වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මරදානට තරු පායයි

මරදානට තරු පායයි

පැරැණි කලාකරුවන් ‘රංග ගී රංග’ සමඟින්

පසුගිය දිනක මරදාන ටවර් රඟහලට තරු රැසක් පෑව්වා. කාලයක් තරු අඹරේ දිදුලමින් හදවත එකළු කළ ඔවුන්ව ඇගයීම සඳහා සූදානම් කරලා තිබුණු මේ උළෙල ‘රගං ගී රංග’ නමින් නම් කිරීමත් විශේෂත්වයක්.

මෙහි වන තවත් විශේෂත්වයක් වන්නේ මෙම උළෙල සංවිධානය කිරීමේ සංකල්පයේ අයිතිකරුවා වූයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා වීමයි.

අමාත්‍යතුමාගේ අදහසක් අනුව පැවැත්වුණු ‘රංග ගී රංග’ උළෙලේ සුන්දරත්වය විඳ ගන්නට පැරැණි කලාකරුවන් රාශියක්ම පැමිණ සිටියා.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ උළෙලට පණ්ඩිත් අමරදේව, නීතිඥ ඩගලස් සිරිවර්ධන, ජනාධිපති ලේකම් කාර්යාලයේ කලා හා සංස්කෘතික කටයුතු සම්බන්ධීකරණ ලේකම් සමන් දිසානායක ආදී කලාවට ආදරය කරන බොහෝ දෙනකුගෙන් උළෙල සුන්දර වුණා.

ඡායාරූපවලින් දැක්වෙන්නේ රංග ගී රංග උළෙලේ සමාරම්භක මොහොතේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පොල් තෙල් පහන දල්වන අයුරු සහ වින්සන් ද පෝල් ගීතයක් ගයන අයුරුයි.


චමින්ද ගෙන් ඡායාරූප ගාරයක්

ටෙලි නාට්‍ය නිෂ්පාදක චමින්ද සිසිර කුමාර පසුගියදා බියගම පීටී ගාර්ඩ්න් හිදී මංගල ඡායාරූප මධ්‍යස්ථානයක් ආරම්භ කළේය. ඡායාරූපයේ දැක්වෙන්නේ චමින්ද සිසිර කුමාර සිය කාර්ය මණ්ඩලය සමඟ එම ඡායාරූප මධ්‍යස්ථානය විවෘත කළ අයුරුයි.


‘බූරුවා මහත්තයා’ අවුරුද්දට හගුරන්කෙත

මෙවර සිංහල අලුත් අවුරුදු දිනයක් වුණු 14 වැනිදා හගුරන්කෙත ප්‍රදේශයේ අපූරු කටයුත්තක් සිදු වෙන බව අපට ආරංචි වුණා.

ඒ මධ්‍යම පළාත් සභා සභාපති සාලිය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා සංවිධානයෙන් පැවැත්වෙන හඟුරන්කෙත බක් මහ උළෙල අවසානයේ රාත්‍රියේදී වේදිකාගත වෙන්නේ ජයලත් මමෝරත්න නම් අපේ ප්‍රවීණ නාට්‍යවේදියාගේ ‘බූරුවා මහත්තයා’ නාට්‍යයයි. මෙම මස 14 වැනිදා රාත්‍රියේ පැවැත්වෙන ‘බූරුවා මහත්තයා’ නාට්‍ය දර්ශනය ඔවුන්ට වගේම ප්‍රේක්ෂකයන්ටත් අපූරු අත්දැකීමක් වේවි.


වැස්ස කෙටි නාට්‍ය උළෙලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය නාට්‍ය සංගමය විසින් පසුගියදා මෙහෙය වූ ‘වැස්ස’ කෙටි නාට්‍ය උළෙල වේදිකා ගත වුණේ නාට්‍ය බැලූ පාසල් ප්‍රේක්ෂකයන්ගේ අත්පොළසන් මධ්‍යයේයි.

සමිත් රවිහාරගේ ‘ගීතයක්ද මේ’, ‘මගේ හිත වමාරයි’, අකිල සෙනෙවිරත්නගේ ‘අහස ඉඹිනවාමයි’, ලාස්ට් තුරුම්පුව’ යන කෙටි නාට්‍ය වේදිකා ගත වුණා පමණක් නෙමෙයි මේ කෙටි නාට්‍යවලට රංගනයෙන් දායක වුණේ එම පාසලේ ළමුන් වීම හා දැනට ඉන් උගෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් වීමත් විශේෂත්වයකි.


වසන්ත නමස්කාරගේ 102 වැනි

සිතුවම් දැක්ම අද පටන් . . .

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබ වෙනුවෙන් පැවැත්වෙන ‘සිරි නාගයා බලු නැටුමින් කම්බි ගසයි’ නම් වසන්ත නමස්කාරගේ 102 වැනි සිතුවම් දැක්ම මෙම මස 12 වැනිදා පටන් 30 වැනිදා දක්වා බෙලිහුල්ඔය නිහඬ මිටියාවතේ ‘සුවඳ මල් කිනිති’ දෘෂ්‍ය කලාගාරයේදී පැවැත්වෙයි.