වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ඇසිදිසි නෑයෝ . . .එකමුතු වේ . . .

ඇසිදිසි නෑයෝ . . .එකමුතු වේ . . .

සිරසට අවුරුදු කලින්.

ජාතික රූපවාහිනිය හත්දා මඟුල් කයි.

ස්වර්ණවාහිනිය නෑගම් යයි.

දෙරණ තරු සමඟ.

ස්වාධීන රූපවාහිනිය ‘සූර්ය මංගල්‍යය’

සිවු දිගින් ඇසෙන්නා වූ සුමිහිරි කොවුල් ගී රාවයේ තාලයට වැයෙන රබන් සුරල් අපට කියන්නේ තවත් හෝරා කිහිපයකින් නිදහසේ අරුනැල්ලත් සමඟින් උදා වන්නා වූ නව අවුරුද්දේ පණිවුඩයයි.

සිරිලක් මවගේ ස්නේහය නිදහසේ විඳිමින් සියලු දෙනාම ලහි ලහියේ වැඩ කරන්නේ අවුරුදු කුමරා බොහොමත් සාදරයෙන් පිළිගැනීමේ අරමුණින්. ඔබේ ආලින්දයේ සුමිතුරන් වන රූපවාහිනී නාලිකාවන් නොයෙක් ප්‍රදේශවල සිට ඔබත් සමඟ නව අවුරුදු උදාව සමරන්න සූදානම්.

‘එක මවකගේ දරු කැලක් මෙන්, එකම පවුලක් ලෙසින් ශ්‍රී ලාංකේය ජන සමාජය අලුත් හිරු මඬලක් යට ‘සූර්ය මංගල්‍යය’ පවත්වනු දැක්ම මෙවර ස්වාධීන රූපවාහිනී සේවයේ හේතු පාඨයයි. හෙට දිනයේදී උතුරත් දකුණත් අතර සංස්කෘතිමය පාලමක් ගොඩ නගන්න මේ කණ්ඩායම බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙනවා. දකුණේ කළුතර සහ උතුරේ යාපනේ ඇත්තන්ට නම් දැනටමත් අවුරුද්දට නෑයෝ ඇවිත්. ඒ වෙන කිසිවක් නිසා නම් නෙවෙයි, ස්වාධීන රූපවාහිනි සේවය 13 සහ 14යන දෙදිනේදි ‘සූර්ය මංගල්‍යය 2012’ දකුණේ කළුතර ඓතිහාසික බෝ සමිඳුන් සමීපයේ පිහිටි කළු ගං මෝය අසබඩ කැලිඩෝ වෙරළ තීරයේ සහ උතුරේ යාපනේ මනිප්පායි ඓතිහාසික මරදඩිපිල්ලෙයාර් කෝවිල් පරිශ්‍රයේ සිට අවුරුදු උදාව සමරන නිසා. සූර්ය මංගල්‍යය හා එක්වන ඔබට අපේකමෙන් පිරුණු සුන්දර හැඟුමන් සමඟ අවුරුදු කුමාරයා පිළිගන්න හැකි වේවි.

අපි හැමෝම අවුරුදු කුමාරයා පිළිගන්න සූදානම් වුණාට තවත් කට්ටියකට නම් අවුරුදු කුමාරයා කලින්ම ඇවිත්.

ඒ ‘සිරස’ නාලිකාවට. අප්‍රේල් පළමු වෙනිදා ලබන කොටම ‘සිරස’ අනුරාධපුරේ ඉඳන් අවුරුදු සමරලා. හැබැයි එදාම අවුරුදු සමරන්න ආරම්භ කළ ජාතික රූපවාහිනිය නම් තවමත් අවුරුදු සමරනවා. අපි මෙතුවක් කාලයකට අහලා තිබුණේ ‘හත්දා මඟුල් කනවා’ කියලා විතරයි. හත දෙකෙන් වැඩි කරලා මෙවර ජාතික රූපවාහිනිය ජයටම අවුරුදු සමරනවා.

‘උරුමය සුරැකි නුතනත්වය’ තේමා කර ගනිමින් රූපවාහිනී අවුරුදු උදානයේ සමාරම්භය රූපවාහිනී උතුරු අවුරුදු උදානය ලෙසින් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී සිදු වුණා. නිදහස් හිරු යට පළාත් නවයේම ආදරණීය ප්‍රේක්ෂකයන් සමඟ අවුරුදු සමරන ජාතික රූපවාහිනිය අප්‍රේල් 2 වදා රූපවාහිනී රජරට අවුරුදු උදානය ගලෙන්බිඳුණු වැව කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී, අප්‍රේල් 3 රූපවාහිනී නැගෙනහිර අවුරුදු උදානය සේරු නුවර ප්‍රාදේශීිය සභා ක්‍රීඩාංගනයේදී, අප්‍රේල් 4 රූපවාහිනී කඳුරට අවුරුදු උදානය රාගල පී. ඇම්. බී. හේරත් විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී. 5 වනදා රූපවාහිනී සබරගමු අවුරුදු උදානය කලවාන ගාමිනී මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී, 6 වනදා රූපවාහිනී බස්නාහිර අවුරුදු උදානය දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනයේදී, 8 වනදා රූපවාහිනී වයඹ අවුරුදු උදානය ආරච්චිකට්ටුවේදී, 9 වනදා රූපවාහිනී රුහුණු අවුරුදු උදානය ගාල්ල මහ නගර සභා පාපන්දු ක්‍රීඩාංගනයේදී සහ ඌව රූපවාහිනී අවුරුදු උදානය අප්‍රේල් 10 වනදා සෙවණගල කිරිඉබ්බන් වැව් තාවුල්ලේදී බොහොම අපූරුවට පැවැත් වුණා. ඒ හැම සැන්දෑවක්ම සංගීත සංදර්ශනයකිනුත් අපූරුවට හැඩ වුණා. සාමාන්‍යයෙන් අපිට අවුරුදු උත්සවයකදී දකින්නට ලැබෙන්නේ සම්ප්‍රදායික තරග ඉසව් පමණයි. ‘උරුමය සුරැකි නුතනත්වය’ සමග අවුරුදු සමරන ජාතික රූපවාහිනිය අප්‍රේල් 11 වනදා කිතුල්ගල දී බාධක ජල ක්‍රීඬාත් පැවැත් වූවා. එයට සහභාගි වෙන්න බැරි වුණු ඔබ අද හඳපානාගල වැව් ඉහැත්තෑවට එන්න. හෙට දිනයේදී අවුරුදු චාරිත්‍රයන් ඉෂ්ට සිද්ධ කරන ආකාරය උතුරටත් දකුණටත් එක සේම ගෙන එන්නේ ජනාධිපති කාල්ටන් නිවෙස, මොණරාගල සිට සුමේධා ජී. ජයසේන ඇමතිතුමියගේ නිවෙස, කිලිනොච්චියේ සහ කොළඹ රූපවාහිනී මැදිරියේ සිටයි. පහුවෙනිදා ඒ කියන්නේ අප්‍රේල් 14 වනදා ජාතික රූපවාහිනිය ජාතික අවුරුදු උත්සවය පවත්වන්නේ මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ ඉඳන්.

ස්වර්ණවාහිනියේ වසන්ත දුක්ගන්නාරාළ ප්‍රමඛ කණ්ඩායම නම් අද යාපනයට නෑගම් යනවා. ඒ වගේම අද හැන්දෑ යාමේ ජනප්‍රිය ශිල්පීන් සමඟ ගිරිඋල්ල වැව මැද්දේ පැදුරු සාජ්ජෙකුත් පවත්වන්නේ තුටු සිතින් ගී ගයමින්ම අවුරුද්ද පිළිගන්න වෙන්න ඇති. ඒ වගේම හෙට දිනයේදීත් ස්වර්ණවාහිනිය අවුරුද්දට ඔබට නොයෙක් රසබර වැඩසටහන් දෝත පුරා අරගෙන එනවා.

හෙට උදේ 9.00 ට දෙරණ නරඹන ඔබට ඔබ ආදරය කරන තාරකාවන් අලුත් අවුරුදු උදාව සමරන හැටි දැකගන්න පුළුවන්. ඒ දෙරණ කලා ගමේ අවුරුදු තුළින්.

ආදරෙන් අලුත් අවුරුද්ද පිළිගන්නවා වගේම ලබන්නා වූ අවුරුද්ද පුරාම බොහෝම ආදරෙන්, සාමයෙන් ඔබට ගෙවන්න ලැබේවා! සුභ අලුත් අවුරුද්දක් වේවා!