වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




තරු සටනක්

තරු සටනක්

සැප්තැම්බර් මාසයේ තාරකා යුද්ධයක් ඇරැඹෙන ලකුණු තිබේ. මේ තාරකා තුන අත්දැකීම් සපිරි තරු ත්‍රිත්වයක් නිසා, යුද්ධය ද වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

කරීනා කපූර්, රාණි මුකර්ජි සහ ප්‍රීති සින්තා මේ තාරකා ත්‍රිත්වයයි. කරීනාගේ ‘හෙරොයින්’, රාණිගේ ‘ආයියා’, ප්‍රීති සින්තාගේ ‘ඉෂ්ක් ඉන් පැරිස්’ තිරගතවීමට නියමිත සැප්තැම්බර් මාසයේය.

සිනමාපට තුනම තාරකාවන් වටා ගෙතුණු කතාන්තරය. මෙවැන්නක් බොලිවුඩය අත්දකින්නේ ප්‍රථම වරටය.

‘හෙරොයින්’ (සැප්තැම්බර් 14), ‘ඉෂ්ක් ඉන් පැරිස් (සැප්තැම්බර් 21) සහ ‘ආයියා’ (සැප්තැම්බර් 28) සිනමාපට තුනේ සැබෑ වීරවරිය කවුරුන්ද? මෙය සැබැවින්ම ප්‍රේක්ෂකයන්ට කුතුහලය ගෙන දෙන කරුණක් වනු ඇත.


පරණ කතා අලුත් කළ අම්බානිගේ සාදය

සචින් තෙන්ඩුල්කාර්ගේ ශතක වාර්තාව මුළු බොලිවුඩයම කුල්මත් කළේ සුඛාන්තයකින් කෙළවර වන හින්දි සිනමාපටයක් නැරැඹුවාටත් වඩා වැඩි සතුටක් ගෙන දෙමිනි.

සතුටු සාදයක් බවට පත් කරමින් බොලිවුඩයේ සියල්ලන්ම පසුගියදා එකම වහලක් යටට රැස් වූහ. සාදය සූදානම් කර තිබුණේ ඉන්දියාවේ ඉහළම ධනවතා වන මුකේෂ් අම්බානි සහ නීටා අම්බානිය. සාදය කාටවත් අමතක නෙවන අත්දැකීමක් වූයේ කලකට පෙර ප්‍රේමවන්තියන් වූ දැන් අනෙකකු හා සරණ ගොස් සිටින තාරාකාවන් ද මේ අතර සිටීමයි. අභිෂේක් – කරිෂ්මා, ඓශ්වර්යා - සල්මන් ඒ අතරින් ප්‍රධාන විය.

ඓශ්වර්යා සල්මන් ඛාන්ට අසුන් දෙක තුකට ඈතින් වාඩි වී සිටි අතර සචින්ට යොමුවන අවධානය නොඅඩුවම ඔවුන්ටත් ලැබී තිබේ.

වේදිකාවට පැමිණි සල්මන් විහිළු කතාවලින් රැස්ව සිටින්නන් කුල්මත් කළේය. වෙනදා සල්මන් යනෙන තැන්වලට නොයා ඔහු මඟ හරින ඈෂ් එදින නම් දෙනෙතින් කඳුළු පිටවන තරමට සිනාසී තිබේ.

ඓශ්වර්යා රායි බච්චන් මේ දිනවල සිව්මස් දියණිය, ආරද්‍යා සමඟ ඩුබායි ලෝක කුසලානයට ගොස් සිටින අතර කිසිවකුටත් තවමත් ආරද්‍යාගේ රුව කැමරාවට අසු කර ගැනීමට නම් වරම් ලැබී නැත.


මන්දාකිණි වන සෝනක්ෂි

‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් මූම්බායි 2’ ප්‍රධාන තාරකාව වී සිටින්නී, සෝනක්ෂි සිංහය. ඇය මෙහි කලක් ජනප්‍රිය නිළියකව සිටි මන්දාකිනි නිළියගේ භූමිකාව නිරූපණය කරන්නීය.

මන්දාකිනිගේ චරිතය නිරූපණය කළ ද සෝනක්ෂි අඩ නිරුවත් ජවනිකා නම් නිරූපණය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත. රාජ් කපූර්ගේ ’රාම් තෙරී ගංගා මාලි’ සිනමාපටයේ විනිවිද පෙනෙන සුදු සාරියකින් සැරසී දිය ඇල්ලක් යට ඇය රැගූ ජවනිකාව තවමත් බොහෝ දෙනකුට මතකය. එහෙත් සෝනක්ෂිගෙන් නම් එවැනි චරිතයක් දකින්න නොලැබෙන පාටය.

මෙහි ඇයගේ පෙම්වතාට රඟන්නේ අක්ෂේ කුමාර්ය. අක්ෂේගේ තිරයේ පෙම්වතිය බවට සෝනක්ෂි පත් වන්නේ තෙවැනි වරටය. ‘රවුඩි රතෝර්’, ‘ජෝකර්’ මීට පෙර දෙදෙනා එක්ව රැඟූ චරිතයි.