වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




හොලිවුඩ්වලට කලින් අප දකින BATTLESHIP

හොලිවුඩ්වලට කලින් අප දකින BATTLESHIP

හොලිවුඩ් පුරය ද අයිති ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙම චිත්‍රපටය එළි දැක්වෙන්නේ මැයි මස 13 වැනිදා. මේ වසරේ ගිම්හාන චිත්‍රපට පෙළට ඩොලර් මිලියන 200 ක වියදමින් තවත් ළමුන්ගේ විනෝදක්‍රීඩාවක් (බෝඩ් ගේම්) ඇසුරින් තැනූ ක්‍රියාදාම චිත්‍රපටයක් හොලිවුඩ් රිදී තිරයට ගෙන එනවා.

බැටල්ෂිප් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ පීටර් බර්ග්. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර විල් ස්මිත් ප්‍රධාන චරිතය රඟපෑ අතිශයින් ජනප්‍රිය වුණු හැන්කොක් ප්‍රමුඛත්වය ගන්නවා.

මෙය ඔබට නරඹා හුරුපුරුදු ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපට පෙල වර්ගයේ තවත් චිත්‍රපටයක්. මෙවරත් පෘතුවියට පිටසක්වල ජීවීන්ගෙන් තර්ජනයක් එල්ල වෙනවා. ඉතින් මේ පිටසක්වලින් එන සතුරන් සමඟ සටන් කොට ඔවුන් සුන්නත් දූලි කර පෘතුවියේ අප (මානවයන්ගේ) ස්වාධිපත්‍යය තහවුරු කිරීමට පෙරට එන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ යූ. එස්. ඒ ජෝන් පෝල් ජොන්ස් නැමැති යුද නෞකාව සහ එහි සූර වීර නැවියෝයි. මුහුද, අහස සහ ගොඩබිම පුරාම විහිදී යන මෙම සටන්වලින් පිරීගත් මෙම චිත්‍රපටයට ජීවය කැවීමට නව නළු නිළි කැලක් එක් වී තිබෙනවා. ටේලර් කිෂ්, බ්‍රැක්ලින් ඩෙකර්, ඇලෙක්සැන්ඩර් සකාස්ගාර්ඩ් සහ සුපිරි නළු ලියම් නීසන් ඒ අතරට ඇතුළත් වෙනවා.

මෙම චිත්‍රපටය තවත් සිත් ඇද ගන්නා සුළු කිරීමට (යොවුන් රසිකයින් සිනමාහල වෙත ඇද ගැනීමට) නව රැල්ලේ අති මහත් ජනප්‍රියතාවයක් උසුලන සුරූපී සරාගීී ගායන ශිල්පිනියක් වන රිහානා ද ප්‍රධාන චරිතයක යොදා ගෙන තිබෙනවා. අලුතින් යමක් දැකිය නොහැකි වුවත් මදි නොකියන්න ගුටි කෙලගන්නා ක්‍රියාදාම චිත්‍රපටයක් රස විඳීම ප්‍රේක්ෂක ඔබගේ බලාපොරොත්තුªªව නම් ඔබගේ සති අන්ත විනෝදාස්වාදයට මහගු අවස්ථාවක් සලසමින් මෙම බැටල්ෂිප් චිත්‍රපටය හෙට සිට ශ්‍රී ලංකාවේ තිරගත වෙනවා. හොලිවුඩ් පුරය ද අයිති ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙම චිත්‍රපටය එළි දැක්වෙන්නේ මැයි මස 13 වැනිදා. ඉතින් ඊටත් බොහෝ කලින් එය අත් විඳීමට ශ්‍රී ලාංකික ඔබට මෙසේ අවස්ථාවක් ලැබීම වාසනාවක්ම නොවේද?