වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

අහසින් පොළොවට

දොයි දොයි දොයි දොයිය පුතේ
බයි බයි බයි බයිය පුතේ
නුඹෙ අම්මා කොතැන ගියා
කිරි එරවා එන්න ගියා
ඇත්තු ඇවිත් මග රැකලා
කොක්කු තනේ කිරි බීලා

ඇත්තු රෑන දුවයි කැලේ
කොක්කු ඉගිල දුවයි රැලේ
කට කොනකින් හිනා වෙලා
දොයි දොයි දොයි නාඬන්න පුතා
කිරි පාටින් පොඩි නැවක් හදන්නම්
කිරි මුහුදේ එය පා කරවන්නම්
කිරි සිහිනෙන් රන් කිරි කට ලන්නම්
කිරි අම්මා එනතුරු දොයියන්නා

ගී පද – ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය – නිමල් මෙන්ඩිස්
ගායන – රුක්මණී දේවි
අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්


බිරියකගේ සෝකය

ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි ලියනගේ
මෙලොව හැර පියා
ගොස් තෙමසක් පිරීම නිමිත්තෙන් ඔහුගේ
ආදර බිරිඳ ප්‍රවීණ නිළි කාංචන මාලා
මහවිතාන ඇයගේ ශෝකය
සරසවියට ලියා එවූ අයුරු . . .
මුළු ලොව දිනාගත් ඇත් රැජින සේ
ඔබව හිමි කර ගත්තෙමි දෝතින් වැළඳ බදා
යස ඉසුරු ධන සම්පත් භෞතිකව
නැත ලැබූයේ
එනමුදු කල් ගෙවූ වෙමු සෙනෙහස
දෝරේ ගලා
සිත්තැවුල් අඬ දබර තිබුණේය, එහෙත්
රෑ තුරුලට එන තෙක් පමණි . . . .
යළිත් පසු දින අවදි වූයේ නැවුම් සෙනෙහස්
සැනසුමින්මය
දුවා දරුවන් ලද්දේ නමුදු, නැතේය සෙනෙහෙ
බිඳකුදු අඩු වූ බවක්
ස්වර සප්තක පිරිමදිමින්
ඔබේ හා මාගේ සොඳුරු කලා ඉසව් දීප්තිමත්
තරු සේ බැබළුනි
. . . භයානක හෙනයක් පාත් වුණි මගේ හිසට . . .
ඔබ මා හැර පියා නික්ම ගියේය හිමි සඳුනි
දැරිය නොහේ මේ වියෝ දුක මාගේ සෙනෙහෙබර
ප්‍රියයාණෙනි
තනිකම . . . මේ තනිකම . . .
මා කාට කියන්නද ඔබටම හැර
මගේ ආදර හිමි සඳුනි,
දරා ගත නොහැක මේ වියෝ දුක -
විටෙක මට දැනේ
මා ලය පැලී යනු ඇති බව
එහෙත් මා ජීවත් විය යුතුව ඇත
අපේ දුවණිය –
ඔබේ ප්‍රාණය රැක බලා ගන්නට
එයයි මා හට දේව දඬුවම
මගේ කුරිරු වූ දෛවයෙන් ලද
කාට කියන්නද, කෙලෙස කියන්නද,
කවුරු
අසන්නද කොහොම
දැනෙන්නද . . .
ඔබ නැති මගෙ දිවියේ ඇති
මූසල, පාළු, අන්ධකාරයේ අනන්තය . . .!