වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




හිරු වියන යට

හිරු වියන යට

හමුවන ටශාන්ති හිරු මැදියම ගෙවෙද්දී අප නිවෙසට ගොඩ වදින්නිය ඇයයි. සතියේ දිනවල දහවල් එකට ජාතික රූපවාහිනියේ ‘හිරු වියන’ වැඩසටහන මෙහෙයවමින් ඔබේ සිත් වියනට අමතන ඈ ටශාන්ති සිරිවර්ධන.

ඉතිං ටශාන්ති කොහොමද ජීවිතේ?

සතුටෙන්. සැහැල්ලුවෙන් සුන්දරව ජීවන ගමන යනවා.

තනියමද?

අම්මයි මල්ලියි එක්ක. මගේ තාත්තා වෛද්‍යවරයෙක්. ඔහු අද මේ ලෝකේ නෑ.

ටශාන්ති ජනප්‍රියයිද?

අනේ. . . ඒක නම් මම කියන්න හරියටම දන්නෙ නෑ. හැබැයි අද වන විට මගේ නමින්ම මාව හඳුනන අය ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉන්න බව මමත් හරියටම දැනගත්තේ අනුරාධපුරේ පැවැත්වුණ දැයට කිරුළ ප්‍රදර්ශනයේදී.

මොකද එදා වුණේ?

ගොඩක් අය ‘ඔයා නේද හිරු වියන කරන ටශාන්ති?’ කියලා අහලා මගෙත් එක්ක කතා කළා. ඒ වගේම ෆේස් බුක් එකෙනුත් මාත් එක්ක චැට් කරන අයත් ඉන්නවා.

චැට් කරන අතරෙදි ආදරෙයි කියන අයත් ඇති?

එහෙම අයත් නැත්තෙම නෑ. සමහර අය මගේ හිනාවට කැමැතියි කියනවා. තවත් අය කතාවට ආසයි කියනවා. එක දවසක් මට ලිපියක් ආවා ‘ඔයාගේ අතේ කෙනෙක්ගේ ජීවිතේ රැඳිලා තියෙන්නේ. අනේ ප්ලීස් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න කියලා.’

කෝල් කළාද?

අනේ නෑ. මම මේ හැම ප්‍රතිචාරයක් දිහාම බොහෝම උපේක්ෂාවෙන් බලන්නේ. ඒ වුණත් මම හැමදාම මගේ ප්‍රේක්ෂකයන්ට ළෙන්ගතුයි.

රූපවාහිනී නිවේදිකාවක් වෙන්න රූපශ්‍රීය පමණක් ප්‍රමාණවත්ද?

රූපවාහිනී නිවේදිකාවක් වෙන්න ලස්සනම වෙන්න ඕන නෑ.

එහෙනම්?

මට හිතෙන විදිහට නම් ප්‍රසන්න පෙනුම තිබුනහම ඇති. හැබැයි ඒ විතරක් නොවේ. යම් යම් කරුණු සම්බන්ධයෙන් නිවේදක නිවේදිකාවන්ට දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි.

විශේෂයෙන් අපි කාලීන තොරතුරු පිළිබඳ දැනුවත් විය යුතුයි. ඒ විතරක් මදි. අපි දන්න දේ අදාළ අවස්ථාවේදී සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමේ හැකියාවත් තියෙන්න ඕන. ‘සූදානම’ තමයි මගේ සාර්ථකත්වයේ නොකියූ කතාව.

ඒ කතාව දැන් කියමුද?

ඔහොම ඇහැව්වාම නොකියා කොහොමද? ‘හිරු වියන’ කියන්නේ ගීතමය වැඩසටහනක්. මම පුංචි කාලේ ඉඳන්ම ගීත රස විඳි කෙනෙක්. ඒ වගේම තමයි ආසාව නිසාම මම ගීත ගැන ඉස්සර ඉඳන්ම තොරතුරු හෙව්වා. විශේෂයෙන් ගී පද රචකයින්, ගීතවලට පසුබිම් වූ කතාවන්, ගායන ශිල්පීන් ගැන අදටත් මම අවධානයෙන් ඉන්නෙ.

අවදානමට වඩා අවධානය හොඳයි?

අපොයි ඔව්.

ටශාන්ති මයික්‍රෆෝනයක් ඉදිරියට ගිය පළමු දවස මතකද?

හ්ම් . . . මෙහෙමයි, මම මුලින්ම වයස අවුරුදු එකොළහෙදි ළමා ශිල්පී පරීක්ෂණය සමත් වෙලා මහින්ද අල්ගම මහත්මයාගේ ළමා පිටිය කළා.

ඒ කාලේදීම මට ‘ඔෂීන්’ ජපන් ටෙලි වෘතාන්තයේ හඬ කවන්න අවස්ථාව ලැබුණා.

මා නිවේදිකාවක් ලෙස රූපවාහිනිය, ස්වර්ණවාහිනිය සහ TNL නාලිකාවේ වැඩසටහන් මෙහෙයුවා. 2008 දී මම නැවතත් ‘සුසරන්’ කියන ජපන් ටෙලි නාට්‍යයට හඬ කවන්න ජාතික රූපවාහිනියට ආවා.

එතකොට ඔබ හිරු වියනට එන්නේ?

අතුල රන්සිරිලාල් මහත්මයා එවකට ජාතික රූපවාහිනියේ සභාපති වුණු ආරියරත්න ඇතුගල මහත්තයාට මාව හඳුන්වා දුන්නා. එතුමා තමයි මට ‘හිරු වියන’ ඉදිරිපත් කරන්න අවස්්ථාව ලබා දුන්නේ.

හැමදාම හිරු වියන යට ඉන්නද අදහස?

හිරු වියන මම බොහෝම කැමැත්තෙන් ඉදිරිපත් කරන වැඩසටහනක්. ජය ශ්‍රී විජේරත්න සහ ජේ. ඇම්. දසන්ත මාල් ඇතුළු හිරු වියන කණ්ඩයමෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනනවා. ‘හිරු වියන’ යට ඉන්න ගමන්ම මම මගේ අධ්‍යාපන කටයුතුත් අතපසු නොකර කරගෙන යනවා. මම දැනට නීතිවේදී උපාධිය හදාරනවා.

අනාගතයේදී නීතිඥවරියක්?

ඒක තමයි මගේ බලාපොරොත්තුව.

අවසන් වශයෙන් යමක් කියන්න තියෙනවාද?

මහින්ද අල්ගම මහත්මයා, රූපවාහිනී හඬ කැවීම් ඒකකයේ අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් මහත්මයා, හිරු වියන කණ්ඩායම සහ රූපවාහිනී සංස්ථාවේ සියලුම දෙනා ඇතුළු මට ශක්තියක් වුණු හැමෝටම ස්තුතියි කියන්න ඕන.