|
තමන්ගේම කෘතියක් පිළිබඳ සාහිත්‍යවේදියෙකු දක්වන අදහස් ඇතුළත් අලුත්ම ලිපි මාලාවකන්දේ වීදියෙන් දේශපාලන වීරයා මරා පෙම්කතාවක් තැනුවා යැයි චෝදනාවක්
කපිල කුමාර කාලිංග
කපිල කුමාර කාලිංග අපේ රටේ නිර්මාණ කාර්යයෙහි ලා සුවිශේෂ අන්දමින් නියැලී සිටින්නෙකි. ඔහුගේ නිර්මාණ වේදිකාවේ, පුංචි තිරයේ සේම ගීත රචනයේ ද ඉතා අපූරු ලෙසින් වින්දනය කිරීමට රසික රසිකාවන්හට අවස්ථාව ලැබී ඇත. කෙටිකතා රචනයෙහි සහ නවකතා රචනයෙහි ඔහු වෙනස් මඟක් ගත්තෙකි. අද මං සලකුණු ඔස්සේ එම නිර්මාණ අතුරින් ‘කන්දේ වීදිය’ නවකතාව මාතෘකා විය. කන්දේ වීදිය කෘතියේ පසු පිටෙහි මෙසේ සඳහන් වේ. ‘මෙය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අවසන් දශක තුන පසුබිම් කරගත් වෘතාන්තයකි. තවත් කෝණයකින් එය චරිතාපදානයක් ද වෙයි. පාරම්පරික සිංහල වෙද මහතෙකු මෙන්ම වැවිලිකරුවෙකු වන පුද්ගලයෙකුගේ නීතිඥ පුත්‍රයෙකු වටා මේ ප්‍රබන්ධය ලියැවෙයි. කිසියම් චරිතයක් වටා ගොඩනැඟිය හැකි අනන්ත අපරිමාන සිදුවීම් සමුදාය තුළින් වඩා නාටකීය හා අපූර්ව දෑ පමණක් තෝරා ගන්නා කතුවරයා අවසානයේ පාඨකයාගේ ජීවිත තුළ පරිඥානය පුළුල් කරන්නට සමත් වෙයි.’ කන්දේ වීදිය ඓතිහාසික නවකතාවක්ද? නැත්නම් චරිතාපදානයක්ද? කන්දේ වීදිය කෘතිය නවකතාවක්. දැනට වසර සියයකට පමණ ඉහත කාල පරාසයක් ඉංග්‍රීසි පාලන සමයේ අවසන් කොටසත් නිදහස ලබන්න ආසන්න කාලයක් මෙහි නිරූපණය කෙරෙනවා. මෙහි මුලික පරිසරය බවට පත් වුණේ මහනුවර නාගරික පරිසරය යි. මෙයට මූලික වූ සැබෑ චරිතයකුත් තියෙනවා. සැබෑ ලෙස ජීවත් වූ චරිතයට මගේ හිතේ පරිකල්පනයෙන් යම් යම් දේ එකතු කර කතා නායකයා ලෙස ලොයිඩ් නම් පුද්ගලයා නිර්මාණය කළා. ඒ නිසා කන්දේ වීදිය චරිතාපදානයක් යැයි කියන්න බැහැ. ඒක නවකතාවක්. ඉංග්‍රීසි පාලන සමයේ අවසාන භාගය නිරූපණය කෙරෙන නිසා එයට ඓතිහාසික බවක් මුසු වෙලා තිබෙනවා. නමුත් ලොයිඩ් නම් නීතිඥවරයා සැබෑ චරිතයකින් මතු වූ ප්‍රබල චරිතයක්? බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමට ආසන්න වූ කාලයේ ජීවත් වූ ප්‍රකට චරිතයක් වූ ජෝර්ජ් ඊ ද සිල්වා ගේ චරිතය තමයි මෙයට මූලික වුණේ. උඩරට ජීවත් වුවත් ඔහු උඩරැටියෙක් නොවෙයි. ඔහුගේ මූලයන් තිබෙන්නේ දකුණේ. නමුත් නුවරඑළියේ සිට ඔහු මහනුවරට පැමිණ එතැන් සිට නීතිඥවරයෙකු ලෙස කටයුතු කරමින් බාධක මැඬගනිමින් ප්‍රබල චරිතයක් බවට පත් වුණා. ඔහු පැමිණි මේ ගමන දෙස බලා ඔහුගේ චරිතය ඇසුරෙන් මට ඇති වූ හැඟීම්වලින් ලොයිඩ් ලෙසින් පිටස්තර පුද්ගලයෙකු නිර්මාණය කළා. මෙහි ලොයිඩ් වගේම අනෙකුත් චරිතවල පවා දැනෙන්නේ හුරුපුරුදු ගතියක්? මෙහි සරෝජිනිගේ චරිතය ඒකට හොඳම උදාහරණයක්. සරෝජිනි නායිදු කියන්නේ ඉන්දියාවේ සුප්‍රකට කිවිඳියක්. ඇය ජෝර්ජ් ඊ ද සිල්වාගේ බිරිඳගේ හොඳම මිතුරියක්. ඇය ලංකාවට පැමිණි අවස්ථාවකදී නවාතැන් ගෙන තිබෙන්නේත් ජෝර්ජ් ඊ සිල්වාගේ නිවසේ. ඒ විතරක් නෙවෙයි එම අවස්ථාවේදී මෙරට කාන්තා රැස්වීමකට පවා සහභාගි වෙලා තියෙනවා. ඒ වුණත් සරෝජනී නායිදු සහ ජෝර්ජ් ඊ සිල්වා අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැහැ. මම කන්දේ වීදියේදී සරෝජනි එංගලන්තයේදී ලොයිඩ්ට මුණගැසී ලංකාවට එන ආකාරයත් සමීප සම්බන්ධතාවයක් ඇතිවන ආකාරයත් පරිකල්පනය කළා. ඒක පාඨකයාට ආශ්වාදනීය වුණා. කන්දේ වීදිය බොහොම රුචිකර වුණේ මේ සැබෑ චරිත දෙක නිසා තමයි. පාඨකයා මේ දේ හරියට අල්ලා ගත්තා. නමුත් මෙය සැබෑ චරිතයට වඩා බොහෝ වෙනස් බවට ඇතැමුන් ඔබට චෝදනා කළා? සැබෑ චරිතය මේ තුළ තිබෙන්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක්. මගේ පරිකල්පනය නිසා ඇතැම් විචාරකයන් පවා මේක ජෝර්ජ් ඊ ද සිල්වාගේ කතාව කියලා පටලවා ගත්තා. මම ඒ දේශපාලන වීරයා මරා දමා ප්‍රේම කතාවක් නිර්මාණය කළා යැයි කියමින් ඔවුන් මට චෝදනා කළා. ඒක අසාධාරණ චෝදනාවක්. මම ලිව්වේ ජෝර්ජ් ඊ සිල්වා ගැන නොවෙයි. සැබෑ චරිතයේ කතාව මීට වඩා වෙනස්. සැබෑ චරිතය ලොයිඩ්ට වඩා දේශපාලනයට වැඩි නැඹුරුවක් තුළින් ක්‍රියාකාරී ලෙසින් එහි නියැළුණු පුද්ගලයෙක්. මෙහිදී මම සැබෑ චරිතය මගේ පරිකල්පන ශක්තියට හසුකර ගත්තා විතරයි. මම මේ දෙස බැලූ කෝණය වෙනස්. මට චෝදනා කළ අය කියන විදියට සමාජ දේශපාලන දෘෂ්ටියෙන් මෙය රචනා කළා නම් දේශපාලන වීරයා මතු කරන්න තිබුණා. නමුත් මට එහෙම වුවමනාවක් නැහැ. මම හෙව්වේ ඔහුගේ ප්‍රේමණිය ජීවිතය යි. ලොයිඩ්ගේ බිරිඳ සම්බන්ධයෙන් තවත් චෝදනාවක් ආවා. මේ කතාවේ ලොයිඩ්ගේ බිරිඳ තරුණ කාලයේ හෝටලයක රැකියාවක් කරනවා. ඒ කාලයේ කාන්තාවක් හෝටල් ක්ෂේත්‍රයේ රැකියා කළේ නැති බව කියමිනුත් ඇතැම් අය මට චෝදනා කළා. යටත් විජිත සමයේදී සංචාරක ව්‍යාපාරය කියලා දෙයක් තිබුණේ නැහැ. නමුත් සංචාරකයන් අපේ රටට ආවා. කාන්තාවක් හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවලට ගියේ නැහැ. ප්‍රධාන ධාරාව වුණේ එහෙම තමයි. නුවර ඒ කාලයේ තිබුණේ හෝටල දෙකක් විතරයි. එකක් ක්වීන්ස් හෝටලය. අනෙක ස්වීස් හෝටලය යි. මහනුවර ස්වීස් හෝටලය තිබෙන කළු සුදු ඡායාරූපයක දැක්වෙන්නේ එහි කාන්තාවන් දෙදෙනෙකු එහි කාර්ය මණ්ඩලයේ සේවයේ නිරතවන ආකාරය යි. එක් අයෙක් ලිපිකාරිණියක ලෙසත් අනෙක් කාන්තාව මුළුතැන්ගේ ආශ්‍රිතව සේවයේ නිරත බවත් එහි නිරූපණය වෙනවා. මේ කතාවේ ලොයිඩ්ගේ බිරිඳ තරමක් අසාමාන්‍ය චරිතයක්. ඒ නිසා මට ඇය විශේෂ කරන්න වූ අවශ්‍යතාවය අනුව හෝටලයේ සේවය සම්බන්ධ කළා. මෙය හරියට නොදැන චෝදනා කරන්න හොඳ නැහැ. මට හිතෙන්නේ මෙය විශේෂ සමාජ පර්යේෂණයක ප්‍රතිඵලයක් කියලයි? කන්දේ වීදිය තුළින් කියවෙන්නේ අපි නොදන්නා යුගයක කතාවක්. මම ඒ යුගයෙන් පරම්පරා හතරකට පමණ පසු පුද්ගලයෙක්. නමුත් මම ඒ යුගය ගැන ලියන්න නම් අනිවාර්යයෙන්ම ඒ යුගයට යා යුතු වෙනවා. ජේන් රසල් රචනා කළ Our George කෘතියේ ඇතුළත් වෙන්නේ නීතිඥ ජෝර්ජ් ඊ ද සිල්වාගේ චරිතය ගැනයි. එය කියවීමේදී උඩරට තිබූ රදළ වැඩවසම් සමාජයට කඩා වැදී විශාල පෙරළියක් කළ මේ පුද්ගලයා පිළිබඳ මට සොයන්න ලොකු ආසාවක් ඇති වුනා. නීතිඥ ජෝර්ජ් ඊ ද සිල්වා ලංකාවේ ප්‍රථම කැබිනට් මණ්ඩයේ අමාත්‍යවරයෙක්. එතුමාගේ පියා ආයුර්වේද වෛද්‍යවරයක්. අපේ රටේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන බිහිකිරීමෙහි ලා විශාල සේවයක් අමාත්‍යවරයෙකු ලෙසින් ජෝර්ජ් ඊ ද සිල්වා අතින් සිදු කෙරුණා. ඒ කතාව පමණක් නොවෙයි ඒ කාලයේ භාවිත වූ භාෂාව, ඇඳුම් පැළඳුම්, චාරිත්‍ර වාරිත්‍ර ආදි සියලු දේ පිළිබඳව සොයා ගත යුතු වෙනවා. මෙය එක්තරා ආකාරයක සමාජ දේශපාලනික පර්යේෂණයක්. නමුත් මගේ මාධ්‍ය ඒක නොවෙයි. ඒ නිසා මා අතින් එය නවකතාවක් ලෙසින් එළි දැක්වුණා. මෙබඳු කතන්දර රචනා කිරීමේදී විශේෂ වන්නේ සත්‍ය කතාව කීම ම නොවෙයි. විශ්වසනීයත්වය රැකි ගැනීමයි. මෙතැනදී මගේ මනසේ නිර්මාණය වූ ක්ලේරාගේ චරිතය එයට උදාහරණ වෙනවා. ඒ යුගයේදී මහනුවර ප්‍රදේශයේ බර්ගර් පවුල් කිහිපයක්ම ජීවත් වෙලා තියෙනවා. ඔවුන් ඉතාම විමෝදයෙන් ජීවත් වූ අය. නමුත් එංගලන්තයේ ක්ලේරා කෙනෙක් හිටියද. ඇය ජෝර්ජ් ඊ ද සිල්වා ඇසුරු කළාද කියන්න මම දන්නේ නැහැ. මගේ කතාව කියන්නේ ඒවා එසේ විය හැකියි කියන තැනට විශ්වසනීයත්වය ඇති කිරීමයි. මෙහිදී කුල භේදය ගැන කතා කරන්නත් ඔබ අමතක කර නැහැ? ඒක තමයි මෙතන වැදගත් වෙන්නේ. එයින් යම් කුතුහලයක් ඇති වෙනවා. මහනුවර ජාති භේදය, කුල භේදය ප්‍රබලව ඉස්මතු වෙලා තිබුණු අවධියක් ගැනයි අපි කතා කරන්නේ. ඒ වගේ කාලයක පහතරටින් පැමිණි මේ පුද්ගලයාගේ ගමන ගැනයි අවධානය යොමු වෙන්නේ. සැබෑ චරිතය නීතිඥයෙකු වී කැබිනට් අමාත්‍යවරයෙක් දක්වා ගමන් කරනවා. නමුත් මගේ පරිකල්පන චරිතය තුළ එතරම් ප්‍රබල දේශපාලනයක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මගේ නිර්මාණ ආභාෂය ලැබෙන්නේ ජාති, ආගම්, කුල මේ සියල්ල එරෙහිවන විටදී ඒවා බිඳගෙන අභියෝග අතරේ ගමන් කරන්නේ කෙසේද යන්න වෙතයි. සත්‍ය චරිතයක් තුළින් පරිකල්පන චරිතයක් ගොඩනැඟීම අභියෝගයක් නොවේද? සත්‍ය චරිතයක් තුළින් පරිකල්පිත චරිතයක් ගොඩනැඟිමේදී අභියෝගය වන්නේ විශ්වසනීයත්වය රැක ගැනීමයි. බොහෝ දෙනා ජෝර්ජ් ඊ ද සිල්වා පිළිබඳ දැනගෙන හිටියේ නැහැ. දන්නා කිහිප දෙනෙක් යම් යම් අදහස් දැක්වුවත් ඔවුන් පවා නොමඟ ගිහින් තිබුණේ. මම කියන්නේ නැහැ මම ලියන්නේ ජෝර්ජ් ඊ ද සිල්වා ගැන කියලා. ඔහුගේ චරිතය අධ්‍යයනය කරන විට මට ඇති වූ නිර්මාණශීලි අදහස් තමයි මෙහිදී වෙනත් චරිතයක් බවට පත් වුණේ. මට තිබූ අභියෝගය වුණේ එයයි. ඒ යුගයේ භාෂාව, සංස්කෘතිය, චර්යාවන් මට විශ්වසනීය ලෙස ඉදිරිපත් කරන්න හැකි වුණා. මෙතැන ජෝර්ජ් ඊ ද සිල්වා ඇත්තෙත් නැහැ. නැත්තෙත් නැහැ. කෙසේ නමුත් ලොයිඩ් නම් වූ මිනිසුන්ට විශ්වාස කළ හැකි සැබෑ පුද්ගලයෙක් බිහිවෙලා තිබෙනවා. නියම අභියෝගය වන්නේ ඒ සීමාව දක්වා ගමන් කිරීමයි. ඇත්තෙන්ම මට ඒ අභියෝගය ජය ගන්න හැකි වුණා. කන්දේ වීදිය ලැබූ පාඨක ප්‍රතිචාර? කන්දේ වීදිය කෘතිය වෙනුවෙන් වූ පාඨක ප්‍රතිචාර මා දිරිගැන්වූවා. බොහෝ දෙනාගේ අදහස වුණේ අවසානය ඉක්මන් වැඩියි කියලයි. ඔවුන්ට මේ ගැන තව තොරතුරු දැනගන්න අවශ්‍ය බවයි සඳහන් කළේ. මහාගත්කරු මාටින් වික්‍රමසිංහ ගම්පෙරළය, කළියුගය, යුගාන්තය කෘති ත්‍රිත්වය රචනා කළා. මේ පොතට ඒ වගේ සම්බන්ධයක් නැහැ. එසේ නම් දෙවැනි කොටසක් ලෙස වෙනම පර්යේෂණ කළ යුතුයි. එහෙම වුණා නම් හමු වෙන්නේ නිදහස ලබන්න ආසන්න සහ නිදහසෙන් පසු යුගය යි. මෙතැනදී ලොයිඩ්ගේ චරිතය එක්තරා දුරකදී නැවතීමකට ලක්වෙනවා. ඒක නැවතීමක්ම නෙවෙයි වඩාත් සුදුසු වන්නේ කොමාවක්. නමුත් කන්දේ වීදිය මෙතැන අවසන් විය යුතුයි කියන තැන මම හිටියා. තවදුරටත් මෙය ඉදිරියට ගෙන ගියා නම් දේශපාලන ජීවිතය තමයි ලියන්න වෙන්නේ. එහෙමත් නැත්නම් ඔහු අයින් කරලා ලොයිඩ්ගේ ජීවිතය බිරිඳගේ ඇවෑමෙන් ඉදිරියට ගෙන යා යුතුයි. එතැනදී යම් යම් ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. එහිදි ජෝර්ජ්ගේ ජීවිතය වෙනස් වෙනවා. එවිට විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවිය හැකියි.
|