වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතය සුන්දරයි කියූ තාත්තා දැන් අප අතැර ගොසිනි...
පසුගිය වසරේ මෙලොව හැර ගිය ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ පිළිබඳ දියණිය ලියන සටහනක්

ජීවිතය සුන්දරයි කියූ තාත්තා දැන් අප අතැර ගොසිනි...

ජීවිතය හරි සුන්දරයි. මොකටද දුකින් ඉන්නේ. සතුටින් ඉන්න’ තාත්තා නිරතුරුව පවසන ඒ වදන් මගේ ජීවිතයෙන් ඈත්ව ගියේ පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමුවනදාය. ඒ ඔහු ජීවිතයෙන් සමුගත් දිනයේය. එදා මගේ දිවියේ අසුන්දරම දිනය උදා වුණා යයි මට සිතෙයි. මා අඳුරු අගාධයකට ඇද දැමුවේ එදිනය. ජීවිතයේ කිසිදාක සිදු නොවන නමුත් ඔහු නැවත පැමිණේය යන සිතුවිල්ල මගේ යටි සිතේ තදින් පවතියි. මා කොතෙක් උත්සාහ කළ ද මට ඉන් මිදීමට නොහැකිය. මා මගේ ජීවිතයේ බොහෝ දේ කළේ පියා සමඟය. මා කළ කියූ හැම කටයුත්තකදීම දැවැන්ත සෙවණැල්ල සේ මා පිටුපස සිටියේ ඔහුය.

පාසල් ගියේ තාත්තා සමඟය. අතරමගදී ඔහුට ආදරය කරන පිරිස්, හිත මිතුරන්, රසිකයන් හා කතාබහට වැටෙන විට මගේ පාසල් ගමන ද ඔහුට මඳකට අමතක වී යයි. මේ හේතුවෙන් ඇතැම් දිනක මා පාසල් යන්නේ ද ප්‍රමාද වීය. ඒ නමුත් මා කිසි දිනක එය වරදක් ලෙස නොදකින්නේ මාද ඉන් බොහෝ සෙයින් සතුටට පත් වන නිසාය. මෙතරම් පිරිසක් මාගේ පියාට ආදරය කිරීම මගේ සිතට සියුම් සතුටක් ගෙන දුනි. පාසලේදී සියලු දෙනා හා හඳුනා ගත්තේ මගේ නමින් නොව බන්දුල විතානගේ ගේ දියණිය ලෙසය. එය මට සියුම් ආඩම්බරයක් ගෙන දුනි.

ඔහු ඉපදුණේ ඉඳුරුව ගෝනගලපුර නම් වූ සුන්දර ගම්මානයේදීය. එහි වූ ගංගා, ඇළ දොළ, කෙත් වතු හා පන්සල නිසා ඔහුගේ කලා දිවිය පෝෂණය වන්නට ඇතැයි මට සිතේ. නිරතුරුව පන්සලේ පොත් ගුලට වැදී පොත් කියවීමට තාත්තාට පුරුද්දක් තිබූ බව මා අසා ඇත. එය ඔහුගේ දැනුම පෝෂණයටත් පසු කලෙක විශ්ව සාහිත්‍ය කෘති පරිහරණය කිරීමටත්, පරිවර්තනය කිරීමටත් ඒ දැනුම ඉවහල් වන්නට ඇතැයි මට සිතෙයි.

එය එසේ වුවත් තාත්තා පාසල් ගොස් ඇත්තේ ඉතා අකැමැත්තෙන්ය. ඉතා අමාරුවෙන් පාසලට ගෙන ගියත් ආපසු ගෙදර දුව එන බව ආච්චි මට පවසා ඇත. එය එසේ වන්නේ එකල ගුරුවරුන් අත තිබූ වේවැලට ඔහු මහත් බියක් දැක් වූ නිසාය. ඔහු වේදනා විඳින්නට අකමැති සේම අන් අයට කිසිදු වේදනාවක් දීමට ද අකැමැතිය. නිරතුරුව ඔහු කියන්නේ හැම දෙනාගේම හොඳ විතරක් දකින්න. එකිනෙකාට ජීවිතේ සතුට විඳින්න පුළුවන් බවය. එහෙත් තාත්තා නොමැති මගේ ජීවිතයට මොන සතුටක් ද, නිරතුරුවම මා සිත පෙළෙන්නේ ඒ වේදනාකරී සිතුවිල්ලයි.

මා කුඩා කල බොහෝ දිනයන්හි සවස පහ පසුවන විට අපගේ නිවස එකම කලාගාරයක් බවට පත් වෙයි. ටෝනි රණසිංහ, සුනේත්‍රා සරච්චන්ද්‍ර, දයා අල්විස්, මානෙල් වානගුරු, ආනන්ද වික්‍රමගේ, ග්‍රේස් ආරියවිමල්, ලින්ටන් සේමගේ, රොඩ්නි වර්ණකුල, නිහාල් ප්‍රනාන්දු වැනි නළු නිළියන්ගෙන් නිවස පිරී යයි. ඔවුන්ගේ සිනා හඬ කතා බහෙන් අපේ නිවස සුන්දර වෙයි. තාත්තා නාට්‍ය පුහුණුවීම් කළේ නිවසේය. එහිදී ඔහු සිදු කරන නළු නිළියන් හැසිරවීම, දෙබස් උච්චාරණය, රංග විධානයන් ආදී සියල්ල මාත් අයියාත්, මල්ලිත් පසෙකට වී බලා සිටි බව මතකය. තාත්තාගේ නිහඬ බව මත, ඔහු අපූර්ව ලෙස කිසිවකුගේ සිත් රිදීමක් නොමැති ලෙස ඉතා සූක්ෂම ලෙස තම කාර්යය ඉටුකරන බව මට හැඟුණ වාර අප්‍රමාණය.

ප්‍රේක්ෂකාගාරයේ කෙළවරකට වී බලා සිටින ඔහු නළුවෙකුගේ හෝ නිළියකගේ අඩු පාඩු ඔවුනට පැවසුවේ අනෙකාට ද නෙදැනෙන ලෙසය. මා දන්නා ලෙස එය ඔහුගේ විශේෂ ගුණාංගයකි. මේ සියල්ල බලා සිටි මා හා මාගේ සහෝදරයන් දෙදෙනා ඉන් උගත් දේ බොහෝය යන්න අද අපට වැටහෙයි. තාත්තාට පවුලේ අයගෙන් නිරතුරුවම තම නාට්‍ය සඳහා උදව් ලැබුණි. වැඩිමහල් සහෝදරයා වූ චානක, වේදිකා පරිපාලනයේ හා ශබ්ද පරිපාලනයෙන් සහාය වූ අතර, මමත් බාල සොහොයුරා රංගනයෙන් මෙන්ම වේදිකාව පිටුපස කාර්යයන් සඳහා සහාය විය.

අප නිවසේදී සෙනෙහෙබර ඩොලී, හිරු දහස, රෝමය ගිනි ගනී, ඒ සොඳුරු මිනිසා ආදී වේදිකා නාට්‍ය රැසක් පුහුණුවීම් කෙරිණ. මෙසේ පුහුණු කළ වේදිකා නාට්‍ය සම්මාන රැසකට හිමිකම් කීය. හොඳම නිළියන් ලෙස ප්‍රේමා ගනේගොඩ, සුනේත්‍රා සරච්චන්ද්‍ර, යශෝධා විමලධර්ම හා රත්නා ලාලනී සම්මාන ලැබීමත්, හොඳම නළුවා ලෙස සුමින්ද සිරිසේන සම්මාන ලැබීමත් ඔහු ලද ජයග්‍රහණයන්ය. ඔහු ඉදිරිපත් කළ බොහෝ නාට්‍ය හොඳම පරිවර්තනය, හොඳම පරිවර්තන අධ්‍යක්ෂණ ආදී සම්මාන රැසක් හිමිකර ගත් බව නොරහසකි. ඒ ජයග්‍රහණය තුළින් පවුලේ සියල්ලෝම අසීමිත සතුටක් ලැබූ වාර අනන්තය. අපගේ මව පවා ආහාර පාන හා ඇඳුම් සකසා දෙමින් තාත්තාට ශක්තියක් විය.

ලේඛන කලාවට වැඩි ඇල්මක් දැක් වූ තාත්තා පොත් කියවීමට දැඩි රුචිකත්වයක් දැක් වීය. ඔහු විසින් නිර්මාණය කරන ලද බොහෝ නාට්‍ය, ග්‍රන්ථ ලෙස මතු පරපුරට දායාද කොට ඇත. එමෙන්ම විශ්ව සාහිත්‍ය දැනුම ගෙන ඒමට හැම්ලට්, සංදීපනී, ෂේක්ස්පියර් හඳුනා ගනිමු වැනි කෘති ද නිර්මාණය කර ඇත. ඔහු හොඳම පරිවර්තන කෘතියට හිමි සම්මාන දෙවරක් හිමි කර ගෙන තිබීම විශේෂිතය. ඉන් ‘හැමෝටම වැරදිලා’ නම් කෘතියට සම්මාන හිමි වන්නේ ඔහු දැයෙන් සමුගන්නා දිනයේය. මෙය මට කිසිදා අමතක නොවන බව සහතිකය. බොහෝ දෙනෙකුගේ සිත් සසල කිරීමට මෙය හේතු විය. ඔහු අතින් ලියවුණු තවත් කෘති කිහිපයක් අනාගතය වෙනුවෙන් දායාද කිරීමට ගොඩගේ සහ සහෝදරයෝ හි අධිපති සිරිසුමන ගොඩගේ මහතා අපට ඉඩ සලසා දී ඇත. මා පියා අතින් චිත්‍රපට පිටපතකට ලියැවුණු ‘ජීවන රේඛාව‘ නම් කෘතිය ඔහු අපෙන් සමුගෙන වසරක් පිරෙන මොහොතේ එළි දැක්වීමට නියමිතය. එමෙන්ම රෝමියෝ සහ ජුලියට්, ඒ සොඳුරු මිනිසා වැනි කෘති ඉදිරියේදී පාඨකයන් වෙත ගෙන ඒමට මාගේ වැඩිමහල් සහෝදරයා වූ චානක විතානගේ උත්සුක බව කිව යුතුය.

සිංහල සිනමාවේ සාර්ථක නිර්මාණ ලෙස පැසසුම ලද අහස් ගව්ව, පෙම්බර මධූ, විරාගය, ගුරු ගෙදර, සුළං කිරිල්ලී වැනි ප්‍රධාන සිනමාපට රැසකට ඔහුගේ රංගන දායකත්වය ලබා දී ඇත. ඔහුගේ සිහිනයක්ව තිබූ සිනමා නිර්මාණ ක්ේෂ්ත්‍රයට තම බාල පුතනුවන් වූ නාලක විතානගේ පිවිසීම ඔහුට විශාල සතුටක් විය. නාලකගේ කුලුඳුල් සිනමා නිර්මාණය වූ අනිත්‍යා චිත්‍රපටයේ ද පියාණන් සුළු චරිතයකට පණ පෙවීය. එමෙන්ම වසන්ත ඔබේසේකරයන්ගේ වෙස්ගත්තෝ සිනමා කෘතියේ හා පතිරාජ එල්. එස්. දයානන්දගේ ජෝඩු වළලු හි සහාය අධ්‍යක්ෂණයෙන් ද තම දායකත්වය ලබා දීම අමතක කළ නොහැක.

හේලිස් සමාගමේ පරිවර්තකයකු ලෙස සිය සේවය ආරම්භ කළ මා පියාණන් ගුවන් විදුලිය හා රූපවාහිනියට පිවිසියේ ඉන් පසුවය. රූපවාහිනී සංස්ථාවේ මුල් සාමාජිකයෙකු ලෙස බොහෝ නිර්මාණවලට දායකත්වය ලබා දී ඇති අතර, ඒ සියල්ල විශාල ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනීය. යහළුවෝ, උපන් දින තෑග්ග, පුංචි කුමාරිහාමි වැනි ඒකාංගික ටෙලි නාට්‍ය මෙන්ම අත්ත බිඳෙයි, බුමුතුරුණු හා අසල්වැසියෝ වැනි මාලා ටෙලි නාට්‍ය ද වෙයි. පියාගෙන් ලත් ආභාසය හරහා මමද රූපවාහිනී ක්ෂේත්‍රයට පියමැන්නෙමි. නමුත් නාට්‍ය කලා මාධ්‍යයට නොව ඔහුගේ පරිවර්තන කලාවේ එක් පැති කඩක් වූ හඬ කැවීම් කලාවටය. එහිදී පියාගෙන් ලද සහයෝගය අති මහත්ය. ඔහු අතින් විශිෂ්ට සිනමා නිර්මාණ මෙන්ම මාලා නාට්‍ය ද පරිවර්තනය විය. ඒ අතර සත්‍යජිත් රායි මහා සිනමාකරුවාගේ පාතර් පංචාලි, අපූර් සංසාර්, අපරාජිතෝ, ඔඩ්සි, සුජාත දියණි විශේෂිතය. හඬ කැවීම් නිර්මාණයන්හි හා උප සිරැසි නිර්මාණයන් හි දායකත්වය ලබාදීමටත් මට ගුරුහරුකම් ලබාදීමත් මා පියාණන් නිබඳව සිදු කළ කරුණකි. නමුත් අද මා තනි වී ඇත. කෙසේ නැවත ඒ සොඳුරු වදන් අසන්නද?

සිංහල වේදිකා නාට්‍ය, ගුවන් විදුලිය, සිනමාව සහ රූපවාහිනිය යන සිව් මාධ්‍යයේම ඔහු කළ සේවය සදා අමරණීයය.