වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ගම්පහින් වැඩිම මනාප ලැබූ ආදරණීය සටන්කාමියා මම කියන තිත්ත ඇත්ත ජනතාව තේරුම් ගත්තා

ගම්පහින් වැඩිම මනාප ලැබූ ආදරණීය සටන්කාමියා

මම කියන තිත්ත ඇත්ත ජනතාව තේරුම් ගත්තා

- රන්ජන් රාමනායක

පෙරළි කරන ඇත් පවුරේ සටන් කරන නායකයා ඔහුය. ඒ සටන්කාමීත්වයට මෙවර මහ මැතිවරණයේදී ඔහුට ජනතාවගෙන් ලැබුණේ ඉහළම මනාපයකි. උණුසුම් ප්‍රතිචාරයකි. එක්සත් ජාතික පෙරමුණේ දිවුලපිටිය ආසන සංවිධායකවරයා වූ රන්ජන් රාමනායක එම පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු තැනට පත් කරමින් රට හදන තැනට යවන්නට පොදු ජනතාව උදේ‍යීගයෙන් පෙළ ගැසුණේ එනිසාය. ඔහු ලැබූ මනාප සංඛ්‍යාව 2,16,463 කි. වත්මන් දේශපාලන පොර පිටියේ නිරන්තර උණුසුම් පුවත් මවන ආන්දෝලනාත්මක චරිතයක් වන රන්ජන් මෙසේ ‘සරසවිය’ හා සුවිශේෂ පිළිසඳරකට එක් වන්නේ අතිශය කාර්යබහුල වටපිටාවක් මැදය.

ඉකුත් රජයේ කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙක් නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එ. ජා. පයේ වැඩිම මනාප හිමි කර ගත්තේ ඔබ. මොකද හිතෙන්නේ මේ විජයග්‍රහණය ගැන?

ලොකු තරගයක් තිබුණා. ජනවාරි 08 වැනිදා ජයග්‍රහණයෙන් පස්සේ ඔය කියපු ඇමැතිවරු විශාල වශයෙන් තමන්ගේ මැතිවරණ සටනට පිවිසිලා හිටියා. ඔවුන් රැකියා ලබා දුන්නා. තවත් බොහෝ දේවල් ලබා දෙන්නට ඔවුනට ප්‍රතිපාදන ලැබුණා. මට ලැබී තිබුණේ සමාජ සේවා, සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය. මට කුකුල් පැටියෙක්වත් ජනතාවට දෙන්න තිබුණේ නෑ අයුතු විදිහට. නමුත් අනෙකුත් පක්ෂ, විපක්ෂ දේශපාලනඥයෝ කෝටි ගණන් මේකට වියදම් කළා. මගේ අමාත්‍යාංශය හරහා මම කළේ අක්ෂි සායන පැවැත්වීමත්, නොමිලේ ඇස් කන්නාඩි බෙදා දීමත් විතරයි.

එය සුබසාධන කටයුත්තක් විදිහටයි ඔබ සළකන්නේ?

ඇත්තෙන්ම. නමුත් ජනතාව අර දේශපාලනඥයන්ගෙන් නොයෙක් දේ අරගෙන මට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒක තමයි තිත්ත ඇත්ත.

සාමාන්‍යයෙන් බොහෝ දේශපාලනඥයන් කරන්නේ ජනතාවට කොකා පෙන්නන එකනේ. දැන් එතකොට මේ වෙලා තියෙන්නේ ජනතාව දේශපාලනඥයන්ට කොකා පෙන්වීමක්?

මැතිවරණ වේදිකාවේදී මම කිව්වා තමුන්නාන්සේලා හැකි තරම් මීටින්වලට යන්න. ගිහින් ඒ දෙන සාරි, තාර පැටවු, කුකුළු පැටව් ගන්න. බුරියානි කන්න. හැබැයි ඡන්දය මට දෙන්න කියලා. ජනතාව මගෙන් ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා. මම කිව්වේ නෑ නෑ මේ බෙදන්නේ තමුන්නාන්සේලාගෙන් හොරකම් කරපු සල්ලි. ඒ නිසා ඒක වරදක් වෙන්නේ නෑ කියලයි. හැබැයි දහඅට වැනිදායින් පස්සෙ ඒ පැත්ත පළාතක යන්න එපා කියලත් මම කිව්වා. මොකද අර පැරදුණු අය දෙකේ දෙකේ පොලු තියාගෙන ජනතාව හම්බ වෙන්න බලාගෙන ඉන්න නිසා.

මැතිවරණ වේදිකාවේදී ඔබම ප්‍රකාශ කළානේ ජනතාවට වැඩිම බඩු බෙදුවේ ඔබයි කියලා?

එක්තරා දේශපාලඥයෙක් මට විරුද්ධව උසාවියේ නඩුවක් පැවරුවා. එයා මම උසාවියට එනකොට උද්ඝෝෂණය කරන්න අපේ අම්මලා, අක්කලා, නංගිලා තුන්දාහක් විතර එක් කරගෙන ඇවිත් තිබුණා. ඒ තුන්දාහටම ජුකී මැෂින් එක ගානේ ලබා දුන්නා. ඉතින් මමනේ ඒවා දීලා තියෙන්නේ. මම හරහා ඒවා ලැබුණේ. මම ඒ කාන්තාවන්ට කිව්වා මම එක පාරක් බැන්නම අර පුද්ගලයාගෙන් ජුකී මැෂිම ගාණේ ලැබුණා කියලා. ඇයි එතකං ඒවා දීලා තිබුණේ නෑනේ.

සමහර අපේක්ෂකයෝ ප්‍රචාරන කටයුතු සඳහා රුපියල් කෝටි ගණන් වැය කළා. නමුත් අවම මුදලක් තමයි ඔබ ඒ වෙනුවෙන් භාවිතා කළේ?

මම හැමදාම කතා කළේ තිත්ත ඇත්ත. ජනතාව ඒක තේරුම් අරගෙන තිබුණ එක ගැන මම සතුටු වෙනවා. මට මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැය වුණේ රුපියල් කෝටි තුනකටත් වඩා අඩු මුදලක්. ඒකත් මට ලබා දුන්නේ රත්නපුරයේ මගේ හිතවත් ව්‍යාපාරික මිතුරන්. එයාලා ඇවිල්ලා මට උදවු කළා. තව පිටරට ඉන්න මගේ මිතුරන්. මම දන්න පක්ෂ, විපක්ෂ දේශපාලනඥයන් සමහරු කෝ්ටි විස්ස වියදම් කරලා තිබුණා. අමාත්‍යාංශ හරහා වාහන අසූ ගාණක් මැතිවරණ වැඩට යොදා ගත්ත කෙනෙකුත් හිටියා. ඩිජිටල් ස්ක්‍රීන්, මියුසිකල් බෑන්ඩ්, කැප් තොප්පි, ටී ෂර්ට්, පත්තර, ඊ. ඍ. දැන්වීම් එක්ක බොහෝ අයගේ වියදම කෝටි පහළොවක්, විස්සක් අතර වුණා කියලා තමයි ඒ අයගෙම කළමනාකරුවන් පවසන්නේ.

මම හිතන්නේ රන්ජන් රාමනායක කියන නළුවාට තමයි ජනතාව මේ තරම් මනාප. නැතිනම් දේශපාලනඥයාටද?

අසංක, මෙහෙමයි. අපි වේදිකාවේ මොන දෙයක් කිව්වත්, කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළත් දේශපාලනඥයන්ගේ පැටිකිරිය ජනතාව දන්නවා. දයාසිරිලා, පබාලා වගේ අය එහෙට මෙහෙට පැන්නනේ මුදලට. නමුත් මම එහෙම කළේ නෑ. ඔබ කිව්වා වගේ මගේ නළුකමත් මේ මනාපයට බලපාන්න ඇති. මම ගීතත් ගයනා කළා. ඒ අයව පිනෙව්වා. හැමෝ එක්කම සෙල්ෆි ෆොටෝ ගත්තා. ඒ මගේ Life Style එක. මම ඔයාට කියන්නම ඕනෑ ජනවාරි 08 වැනිදායින් පස්සේ අපේම සමහර ඇමතිලාගේ ඔළුව ඉදිමුණා. ඒ අය සයිරන් ගහගෙන, බැකප් වෙහිකල් හතර පහ දාගෙන ජනතාව පීඩනයට පත් කළා. වාහනවලට ගහ ගත්තා. මේ අපේම පක්ෂයේ අය.

මේ නහරකාරයන්ට ජනතාව පසුගිය 17 වැනිදා නිසි පිළිතුර දුන්නා?

ඒක හරියට හරි. තවත් අතකට ජනතාව මගේ විනිවිදභාවයට ගරු කළා. මම මගේ ගේ ෆේස්බුක් එකෙන් පෙන්නුවා. ඒ කියන්නේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසය. ඔයා ඇවිල්ලා තියෙනවානේ මෙතෙන්ට. ඇමැතිකම හම්බ වෙලත් මම ඒ ගේ වෙනස් කළේ නෑ. මම ගියේ මගේ පරණ වාහනේ. ඊට පස්සේ මම අභියෝග කළා තමන්ගේ ගේ පෙන්නලා, වත්කම්, බැරකම් හෙළි කරන්න කියලා. ලංකාවේ එකම මන්ත්‍රී කෙනෙක්, ඇමැති කෙනෙක් තමන්ගේ ගේ පෙන්නුවේ නෑ.

ඒත් ආණ්ඩුවෙන් ලැබුණු නිල වාහනය විකිණූ බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා චෝදනා කළා ඔබට එක්තරා රූපවාහිනී විවාදයකදී?

රජයෙන් මට ලැබුණේ ඉතා සුඛෝපභෝගී වාහන බලපත්‍රයක්. ඒක මට සුවපහසු වැඩියි. මිල අධික ඒ ලෑන්ඩ් කෲසර් වාහනය මට ඔරොත්තු දෙන්නේ නෑ කියලා හිතුණා. ඒක මගේ බලංගොඩ යාළුවෙක්ට දීලා මම මොන්ටේරෝ ස්පෝට්ස් වර්ගයේ කුඩා වාහනයක් මිලට ගත්තා. දැන් මම පාවිච්චි කරන මේ කළු පාට වාහනය. අර ලෑන්ඩ් කෲසර් වාහනයේ මිල ලක්ෂ 250 ක් 300 ක් විතර වෙනවා. ඒත් දැන් මම පාවිච්චි කරන වාහනය රුපියල් ලක්ෂ 50 - 60 අතර එකක්. රජයෙන් ලැබුණු වාහනයට මොන්ටේරෝ එක මාරු කරලා මම ඉතිරි මුදල් අර මිත්‍රයාගෙන් ඉල්ලා ගත්තා. එය මම කෙළින්ම බැර කළේ රන්ජන් රාමනායක පදනමට. පී. එල්. ආරියවතීලා වගේ මැද පෙරදග සේවය කරන අපේ සහෝදරියන්ගේ සුබසාධන කටයුතු සඳහායි ඒ මුදල් වැය කරන්නේ.

එතකොට මොකක්ද මේ කොණ්ඩය ගැන දයාසිරි කිව්ව කතාව?

දයාසිරි මන්ත්‍රීවරයා මගෙන් ඇහුවා මට තියෙන්නේ ඇත්තම කොණ්ඩයක් ද කියලා. බොරු ඇස් දාපු, බොරු දත් සෙට් දාපු, බොරු කකුල් දාපු, වකුගඩු බද්ධ කරපු, බයිපාස් කරපු ඕනෑ තරම් අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒත් දයාසිරි වගේ බොරු කටක් දාපු කෙනෙක් ලෝකේ කොහේවත් නෑ. ඒ කටෙන් ඕනෑ ඕනෑ වෙලාවට තමන්ගේ වාසියට අරුම පුදුම කතා කියවෙනවා. ඒ කියන්නේ අලුත් කටකින් අලුත් විදියට කතා කරන එක. ඒ කට ගැන ජනතාවත් දන්නවා.

දැන් ඔබ ඇමැති කෙනෙක් නිසා දිගටම මන්ත්‍රී නිල නිවාසයේ ඉන්න එකක් නැහැ?

ඇමැති නිල නිවාසයට යන්න වෙනවා. එතකොට මන්ත්‍රී නිල නිවාසේ ඉන්න ලැබෙන්නේ නෑ. නමුත් මම බලයෙන් ඔළුව උදුම්මාගෙන ජනතාවගෙන් මුදල් ගසා කන්නේ නෑ කියන එකයි මේ කියන්නේ. මගේ කියලා එක පර්ච් එකක්වත් මට නෑ. අම්මගෙන් මට ලැබුණ ගේ විකුණලා තමයි මම නළුවෙක් වෙන්න ආවේ. මගේ පළමු රැකියාව මීගමුවේ හෝටලයක වේටර් වැඩේ. ඊට පස්සේ තමයි මම ඩ්ධබඥත ඉජඩධධත එකට ගියේ. ඉතිං ඉතිහාසයේ ඉඳන් ඇත්ත කියන ගතියත් එක්ක මම ජනතාව අතර ගොඩ නඟා ගත්ත විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය මේ මැතිවරණයේදී තවත් තහවුරු වුණා.

කොහොම වුණත් ඔබට දිවුලපිටිය, ඔබේ ආසනය රැක ගන්න බැරි වුණා?

ඇත්තෙන්ම ඒ ගැන කියන්නම ඕනෑ. මම මරාගෙන මැරෙන මෙහෙයුම්වලට මුහුණ දුන්න පුද්ගලයෙක් හැමදාම. අපේ උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයා එක පාරටම අපිව අසරණ කළානේ මහ ඇමැති අපේක්ෂකත්වය භාර ගන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ කියලා. මම සබරගමු මහ ඇමැති ධූරයට තරග වැදිලා ඡන්ද 1,36,000 ක් ලබා ගත්තා. මම හිතන්නේ ඒක තමයි එතෙක් මේ රටේ කලාකරුවෙක් මැතිවරණයකදී ලබා ගත් ඉහළම ඡන්ද ප්‍රමාණය. ඊට පස්සේ බලංගොඩින් ඉල්ලලා ඡන්ද 60,000 ක් ලබා ගත්තා. මෙවර මැතිවරණයේදී මට ගම්පහ ජනතාව මනාප ඡන්ද 2,16,463 ක් ලබා දුන්නා. මේ වෙලාවේ මගේ ගෞරවනීය ප්‍රණාමය ඔවුන් වෙත පිරිනමන්න කැමැතියි.

නමුත් ඔබේ ආසනය පරාද වීම ගැන කනගාටුවක් නැතිද?

එතනට තමයි මම එන්න හදන්නේ. දිවුලපිටිය ආසනය කියන්නේ ආරියරත්න ජයතිලක මහත්තයා ඉන්න කාලේ ඉඳලම යූ. එන්. පිය පැරදුන ආසනයක්. ගිය මහ මැතිවරණයේදී අපේ පක්ෂය දිවුලපිටිය ආසනය පැරදිලා තියෙන්නේ ඡන්ද 18,000 කින්. ඒ වගේ ඡන්ද ප්‍රමාණයකින් පැරදුන දිවුලපිටිය ආසනය මේ පාර පැරදුණේ 2,700 කින්. ඒකම ලොකුම ජයග්‍රහණයක් නේ.

පක්ෂ නායකත්වය ඔබට දිවුලපිටිය ආසනය බාර දෙන්න ඇත්තෙත් ඔබ හොඳ සටනක් දෙයි කියන විශ්වාසයෙන් වෙන්නට ඇති?

ඉස්සර වෙලාම මට බාර ගන්න කිව්වේ මීගමුව. ඊට පස්සේ යෝජනා කළේ කටාන. නමුත් පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා මට කතා කරලා කිව්වා ‘රන්ජන් නායකතුමාට අවශ්‍ය මේ හැම තැනම දිනන ආසනයක් දිනන එක නෙවෙයි. ඒ ආසනවලට පොල් පිත්තක් දැම්මත් දිනයි. ඒ නිසා කරුණාකරලා අමාරු ආසනයක් අපට ගොඩ දාලා දෙන්න’ කියලා. එහෙම තමයි මට දිවුලපිටිය බාර දුන්නේ. 18,000 කින් පැරදුණ ආසනය දෙදාස් ගාණකට අඩු කිරීමට පුළුවන් වීම ගැන මට තියෙන්නේ වැඩිම මනාප ගත්තටත් වඩා සතුටක්.

ජනතාව ඔබව පාර්ලිමේන්තුවට යවන්නේ හොරු අල්ලන ක්‍රියාන්විතයේ මහ මොළකරුවෙක් හැටියට?

මහ මොළකරුවෙක් . . . හඞ හඞ හා . . .

ඔය හොරු ඇල්ලීම දේශපාලන පොර පිටියේ ජනප්‍රිය සටන් පාඨයක් වෙලා තිබුණානේ. දැන් මේ සංකල්පයෙන් එහාට ගිය ජනතාවාදී වැඩ පිළිවෙලක් ඔබේ දේශපාලන න්‍යාය පත්‍රයේ නැද්ද?

මගේ න්‍යාය පත්‍රයේ හොරු ඇල්ලීම තමයි ප්‍රධාන. රට ඉදිරියට ගෙනියන්න මොන ව්‍යාපෘතියක්, මොන සැළැස්මක් තිබුණත් ඒක හැමදාම ඇහිරුණේ මේ දූෂණය, වංචාව නිසා. මොන ව්‍යාපෘතිය කරන්න ගියත් සීයට හැත්තෑ පහක් සාක්කුවට දාගෙන ඉතුරු විසි පහෙන් නේ ව්‍යාපෘතිය කළේ. අධිවේගී මාර්ගය හැදෙන ගමන් කොන්ත්‍රාත්තුව දුන්න දේශපාලනඥයාගේ ගේත් හැදුණා. එහෙමනේ වුණේ. මම කියන්නේ අසංක අපේ රටේ ලොකුම සංවර්ධනය, ව්‍යාපෘතිය තමයි හොරු ඇල්ලීම. අපේ ලොකුම ආදායම තමයි ඩොලර් බිලියන අටක විදේශ විනිමය ලබා දෙන මැද පෙරදිග ගෘහ සේවය. ඊට පස්සේ ඇඟළුම් කර්මාන්තය. ඊට පස්සේ එන්නේ සංචාරක ව්‍යාපාරය. කෘෂිකර්මය. ඊළඟට ආනයන, අපනයනය. මේ සියල්ලටම වඩා වැඩියි හොරකම් නිසා රටට අහිමි වූ මුදල.

ජනතාවට අහිමි වන ජාතික ධනය?

ඔව්. ඒ හොරකම්වල ප්‍රමාණය බිලියන ගණන්. නෙළුම් පොකුණ, නෙළුම් කුළුණ බැලුවත්, නොරොච්චෝලේ තාප බලාගාරය බැලුවත්, අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය බැලුවත් මේ සියලු දේවලින් ගහලා තියෙන ගැහිල්ල ගණන් ගත්තෙත් සංවර්ධන ව්‍යාපෘති හැටියට. ඒක නවත්තා ගත්තොත් රටට විශාල මුදලක් ඉතිරි වෙනවා. එතකොට මගේ මේ හොරු ඇල්ලීමේ ක්‍රියාන්විතය කවදාවත් නතර කරන්නේ නෑ. මගේ බුද්ධි අංශය සහ මම දිගටම මේ හොරු ඇල්ලීමේ ක්‍රියාන්විතයේ නියැලී ඉන්නවා. ගිය ජනවාරි 08 වැනිදායින් පස්සේ බැසිල් රාජපක්ෂ මහත්තයා රටෙන් පැනලා ගියාම කවුරුවත් පැමිණිල්ලක් දාලා තිබුණේ නෑ ඔහුට විරුද්ධව. මම තමයි පළමුවැනි කම්ප්ලේන් එක දැම්මේ. මේ ඡන්දෙදි මට දෙලක්ෂ දාසය දාහක් ඡන්දය ලැබෙන්නේ මම හොරුන්ට විරුද්ධව, කුඩුකාරයන්ට, එතනෝල් කාරයන්ට විරුද්ධව කතා කරපු නිසයි.

ජනතාව ප්‍රතික්ෂේප කරපු උදවිය නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර තිබෙනවා. මේ සම්බන්ධව ජනතාවගෙන් එල්ල වී තිබෙන්නේ බලවත් විරෝධයක්. ඔබේ පෞද්ගලික මතය කුමක්ද?

ඇත්තෙන්ම මම ඉතා කණගාටු වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ ලක්ෂ හැට දෙකක ජනතාව ප්‍රේම කරන, ආදරය කරන චරිතයක්. එතකොට එතුමා මුලින් ප්‍රකාශ කළා මේ වගේ දෙයක් කරන්නේ නෑ කියලා. ඉතින් මෙවැනි දේවල් සිදු වෙන එක එතුමාගේ විශ්වාසනීයත්වයට හොඳ මදි. මම ආදරයෙන් එතුමාගෙන් ඉල්ලීමක් කළා මාධ්‍යය හරහා. කරුණාකර ඔබ නැවත මේ පිළිබඳ කල්පනා කර බලන්න. අපි ඉන්නේ ඔබතුමාව ආරක්ෂා කරන්න. අපි වන්දිභට්ටයෝ නෙවෙයි. ඔබතුමා බලයට පත් කරන්න මම විශාල මෙහෙයුමක් කළා. මම මෙහෙම කියන්නේ අවංකවමයි. එතුමා මටත් හරි ආදරෙයි.

හරි දැන් මොකක්ද ඔබේ යෝජනාව?

මම ඩීල් එකක් දාන්නම් මෙහෙම. ඔය ජාතික ලැයිස්තුවෙන් එන පැරදුන ඇමැතිවරු එකතු වෙලා මැතිවරණයට ගිය මුදල් මැතිවරණ කාර්යාලයට ගෙවන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මේ ජනතාවගේ සල්ලි. මේ අවුරුදු පහම අපි ඔවුන්ට වධ දෙනවා. නැගිටින්න දෙන්නේ නෑ මම නම්.

ජාතික ආණ්ඩුවකට, එහෙම නැතිනම් සම්මුතිවාදී ආණ්ඩුවකට විරුද්ධ පක්ෂයේ ඇතැම් අය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. එය ජනවරම කොල්ලකෑමක් හැටියටයි ඔවුන් දකින්නේ. ඔබේ මතය?

ඕකේ ඉතිහාසයට ගියාම ශ්‍රී ලංකා, යූ. එන්. පී කියලා දෙකක් තිබුණේ නෑනේ. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්තයා ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයානේ. එතකොට එතුමා තමයි සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය පිහිටුවාගෙන වෙනත් පක්ෂයක් හදා ගත්තේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්තේ. එතකොට අපේ පොදු අපේක්ෂකයා වුණේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා. එතකොට යහ පාලනය යටතේ එක්සත් ජාතික පෙරමුණ වේදිකාවේ හිටියේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය, අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, චම්පික රණවක, අර්ජුන රණතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ සියලු දෙනා ඉන්නවානේ මෙතන. ඒක කොච්චර හොඳද. මේක පක්ෂ දේශපාලන සටනක් නෙවෙයි. හොරුන් සහ හොරුන් නොවන අය අතර සටනක්.

එදා මෙදාතුර පාර්ලිමේන්තුවට ගිය හා තනතුරු, පදවි ලබා ගත් කිසිම කලාකරුවෙක් සිනමාව වෙනුවෙන් හඬක් නැඟුවේ නෑ කියා එක් පිළිසඳරකදී කමල් අද්දරආරච්චි මා සමඟ ප්‍රකාශ කළා. ඒ මතය පිළිබඳ ඔබ මොකද කියන්නේ?

ඔහු එහෙම ප්‍රකාශ කළා නම් මම ඒ ගැන කණගාටු වෙනවා. මම හිතන්නේ ඔහු පුවත්පත් හා මුද්‍රිත මාධ්‍ය පරිහරණය නොකරන කෙනෙකු වෙන්නැති. මම 2010 අප්‍රේල් 22 වැනිදා තමයි ජනතා වරමින් පාර්ලිමේන්තුවට ආවේ මුලින්ම. එදා ඉඳලාම මම කලාව සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න ගැන, අර්බුද ගැන පාර්ලිමේන්තුවේ හඬක් නැඟුවා. මම තමයි එක්තරා ඇමැතිවරයක් ටෙලි නාට්‍යය විකාශය කර දෙන්න නළු, නිළියන්ගෙන්, නිෂ්පාදකයන්ගෙන් මුදල් කොල්ල කෑ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ. ඔහුගේ සහෝදරයා මාර්ගයෙන් තමයි මේ සියල්ල සිදු කළේ. ජ්. ඛ්. ධ්. ච්. එකට, බ්‍රයිබරි කොමිෂන් එකට කම්ප්ලේන්ස් දාලා ඒ නීතීමය කටයුතු කරන්න මුල් වුණේ මම. කලාකරුවන්ට වාහන දෙනකොට ගැරන්ටස්ලා ඉල්ලද්දී ඒකට විරුද්ධ වුණේ මම. කලාකරුවන්ට විශ්‍රාම වැටුප් දෙන්න යෝජනා කළා. ඒ දේවල් කළේ මම. ඒ වගේම කලාකරුවන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියකුත් අපි ක්‍රියාත්මක කර තිබෙනවා.

එතකොට පාර්ලිමේන්තුවට ගිය සෙසු කලාකරුවෝ සියඹලා ගෙනාවේම නැද්ද?

සමහරු කලාකරුවන්ට ගිමන්හල් හදන්න රුපියල් මිලියන ගණන් ඉල්ලුවා. කලාකරුවන්ට මොකටද ගිමන් හල්, ඈත පළාතකට ගිහින් ගිමන් හරින්න. මොන බොරු, මෝඩ යෝජනා ද මේවා. අර පබාලයි, බබාලයිනේ ඔය යෝජනා කළේ. එතකොට යන්න සල්ලි නෑ. කන්න සල්ලි නෑ. ගිමන්හල් තියෙනවා. ඔය සමහරුන්ගේ උපදෙස් මත නෙළුම් පොකුණ හැදුවා. රන්මිහිතැන්න හැදුවා. අද මේවා සුදු අලි බවට පත් වෙලා. මේවා මෙහෙම වෙද්දී ජැකලින්ලව, සල්මන්ලව ගෙන්නුවා. නොයෙකුත් විකාර කළා. නමුත් එයින් කලාවට, කලාකරුවන්ට සේවයක් වුණේ නෑ. ඒ අය තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට සියලු දේවල් කර ගත්තා. ඉතින් කමල් අද්දරආරච්චි මහතා හැන්සාඩ් වාර්තා බැලුවොත් තේරෙයි මම පාර්ලිමේන්තුවේ නඟපු හඬ.

ඇත්තටම පාර්ලිමේන්තුවේ ඔබේ විෂය පථයට අයත් වූයේත් සිනමාව හෝ කලාව නෙවෙයි?

පළාත් සභාවේ හෝ පාර්ලිමේන්තුවේ හෝ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල කොතනකවත් නෑ මම කලාව වෙනුවෙන් කැප වී ක්‍රියා කරනවා කියලා. මම පාර්ලිමේන්තුවට ආවේ මැද පෙරදිග දුක් විඳින අපේ සහෝදර අක්කලට, නංගිලට උදවු කරන්න. ඒ අයට යම් පිළිසරණක් වෙන්න.

තත්ත්වය එහෙම වුණත් බොහෝ කලාකරුවන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා රන්ජන් රාමනායක මැදිහත් වෙලා කලාවට කලාකරුවන්ට යම් මෙහෙවරක්, සේවාවක් සිදු කරාවි කියා?

ඔව්. දැන් ශ්‍රියානි අක්කා හම්බ වුණත්, රෝයි සුමනා යුවළ මුන ගැසුණත් ඒ වගේ අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ මුණ ගැසුණත් මගේ පාර්ලිමේන්තු භූමිකාව අගය කරනවා. කලාකරුවෙක් හැටියට මම බැඳිලා ඉන්නවා කලාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න. මම මේක රූපවාහිනී සංවාදවලදී බොහොම තදින් අවධාරණය කර තිබෙනවා. ටෙලි නාට්‍යය ප්‍රදර්ශනයේදී කප්පම් ගෙවන ක්‍රමය අහෝසි කරලා, චිත්‍රපට පෝළිමෙන් පිට ප්‍රදර්ශනනය කිරීම නවත්වලා, ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැඩ පිළිවෙලකට අපි මුල පුරලා තියනවා. ඒක මම ගයන්ත කරුණාතිලක මහත්මයා එක්කත් කතා කරලා ඉවරයි.