|
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේඑච්. එම්. ගේ හිත පිරි මතක පෙළ ගැස්ම
මාදින්නාගොඩ වෙල් යාය සිසාරා හමන සීත සුළඟත් සමඟ සිහින් වැස්සක් වැටිණි. රාස්සිගේ අව්ව සෙමෙන් සෙමෙන් පෑලගිරින් බැස යන නිසාම සිහින් වැස්ස ඔහුගේ ගීතමත් සිතිවිලිවලට නව පණක් ලබා දුන් සේය. සර්පිනාව අතට ගත් හෙතෙම තවත් මියුරු නව ගීතයකට සත්සර මුසු කරන්නට හරිබරි ගැසී වාඩි විය. සිහින් වැස්ස ද, පරිසරයේ අන්ධකාරය ද ඔහු අතින් නිමවන අපූරු ගීයට ආශිර්වාදයක් වැනිය. ගීතයේ ස්ථායි කොටසට සංගීතය නිර්මාණය වූයේ සප්ත ස්වර අතර සැරිසරන දුක් ගීතයක හදවත නිමග්න කරමිනි. නිවෙසේ දුරකතනය කිහිප වරක්ම නාද වුණ නිසාම ඔහු නිර්මාණ කටයුත්ත පසෙකලා සාලය වෙත පිය මැන්නේ ද නිර්මාණයේ ඊළඟ සංගීත ඛණ්ඩය සිතින් පෙළ ගස්වමිනි. රිසීවරය කණට තැබූ ඔහුට අසන්නට ලැබුණේ ඔහු මෙලොව ඇසූ දුක්ඛදායකම වදන් පෙළය. ඇමරිකාවේ ප්‍රසංගයකට සහභාගි වී සිටි ඔහුගේ ප්‍රිය බිරිඳගේ හදිසි වියෝව දරාගත නොහැකිව සිටි තැනම ඉඳ ගත්තේය. පිටතින් ඇද හැළුණ වර්ෂාව අඳෙීනාවක් සේ ඔහුට දැනිණි. ඔහුගේ මුළු ආත්මය කඩා වැටුණා සේ විය. හදවතින්ම ජීවිතය පුරාවටම ඔහු හා සිටීමට සපත කළ ඈ අද ඔහු තනිකර දමා නොඑන ගමන් ගොස්ය. මාලිනී බුලත්සිංහල, ලාංකේය ගී කෙතට ඉමිහිරි හඬක් තිළිණ කළ ඈ ඔහු පමණක් නොව ඇගේ ප්‍රිය රසික කැල ද හැර දමා සදාතනික නින්දේය. මෙවර ‘පිය සටහන්’ තුළින් ප්‍රවීණ ගායන ශිල්පිනී මාලිනී බුලත්සිංහලගේ මතක අතර සැරි සරන්නේ ඇගේ සෙනෙහෙබර සැමියා වන, ප්‍රවීණ සංගීතඥ එච්. එම්. ජයවර්ධනයි. මම ‘පස්සර මධ්‍යම මහා විද්‍යාලයෙන් සංගීතය හදාරලා කොළඹට ආවේ ගුවන් විදුලි සංස්ථාවේ බටනලා වාදකයෙකු විදියටයි. එහිදී මම විවිධ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ බටනලා වාදකයෙකු ලෙස නිර්මාණවලට දායක වුණා. බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ වගේ අයත් සමඟ අමරදේව මාස්ටර්ගේ රෙකෝඩින්වලට ඒ කාලේ මම ගුවන් විදුලියට එනකොට ලස්සන හුරුබුහුටි ගැහැනු ළමයෙකුට මගේ හිත ගියා. එයාට හොඳට ගීත ගායනා කරන්නත් පුළුවන්. ඒ වගේම හොඳ සිහින් හඬක් තිබුණා. ලුෂන් බුලත්සිංහලත් ඔය කාලේ මගේ ළඟම මිත්‍රයෙක්. ඔහු ගීතයක් ලිව්වා ‘රජ මැදුරක ඉපදී සිටියා නම්’ කියලා. එම ගීතයට මම සංගීතය නිර්මාණය කළා. ඒක ගායනා කරන්න බාර දුන්නේ අර හුරුබුහුටි ගැහැනු ළමයට. එයා තමයි මාලිනී. ඊට පසුව නාට්‍යවල සංගීතය සපයන්න මම සහභාගී වෙනකොට එයත් ගීත ගායනා කරන්න එනවා. ඔය කාලේදී කොහොම හරි අපි පෙම්වතුන් බවට පත් වුණා. එච්. එම්. ජයවර්ධන හිස් අහස දෙස බලමින් එසේ පවසන විට ඔහුගේ මුහුණ පුරා ඇත්තේ දැඩි ශෝකයකි. හැත්තෑව දශකයේ හමුවුණු අපි දෙපැත්තේම ආශිර්වාදයෙන් 79 වසරේදී විවාහ වුණා. එහෙම කියූ ඔහු මාලිනී ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපය දෙස බලමින් නැවතත් අතීතයේ සිතිවිලි අතර අතරමං වුණේ ගීයක් ද සිහිපත් කරමිනි. ‘අහසින් තරුවක් කඩා වැටෙනවා - තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ . . .’ මට මේ ගීතය ඇහෙන කොට හිතෙනවා එයා කාලයකට ඉස්සර ගායනා කළ මේ ගීතය මියුසික් කළේ මම. එයා මේ ලෝකේ හැරදාලා ගියාම ඒ ගීතයේ කොයි තරම් අනිත්‍ය බව තියෙනවාද කියලා. එහෙම කියූ හෙතෙම නැවතත් කතාවට එක් වුණේ ප්‍රථම දරු උපත ගැන සිහි කරමිනි. අපි දෙන්නම සංගීතය පැත්තෙන් වෘත්තීය කරන නිසා ගෙදර තිබුණේ හරිම සාමකාමී බවක්. ඔය අතරේ අපේ කැදැල්ලට කසුන් එනවා. කසුන් නිසා අපි දෙන්නගේ ආදරේ තවත් වැඩි වුණා. ඔහොම ටික කාලයක් යනකොට දුව නිර්මාණි අපේ පවුලට තව තවත් සතුට එක් කළා. ඒ සතුට තිබුණේ අවුරුදු දෙකාහමාරයි. දුව අපි තුන්දෙනාවම තනි කරලා ඈත සුරංගනා ලෝකෙකට ගියා. ඒ තමයි මගේ ජීවිතයේ වෙන්වීම දරාගන්න බැරි වුණ පළමු දවස. අපේ කැදැල්ලේ සතුට විසිරිලා ගියා. කාලයත් එක්කම කසුන් නිසා ටික ටික ඒ දුක තුනී කර ගත්තා. මේ ජීවිත ගමන ශක්තියෙන් යන්නට මාලිනී හැම වෙලාවෙම කැප වුණා. කොපමණ රාජකාරී තිබුණත් එයා මගේත්, කසුන්ගේ වැඩ කරන්න අමතක කළේ නැහැ. කසුන් සංගීත ක්ෂේත්‍රයට අලුත් නිර්මාණ එක් කරන කොට මාලිනී හරිම සන්තෝෂයෙන් ඒ දේවල් ගැන කතා කළා. මේ කාලයේදී එයාගේ උනන්දුව නිසාම මගේ අතින් එයා වෙනුවෙන් ගීත කිහිපයක් නිර්මාණය වුණා. පුන් පෝදා සඳ, හිමි සනරාමර, අහසින් තරුවක්, සෙනෙහස ඉල්ලා, වසන් කරන්නට, කන්ද කෙන්ද, විහඟ ගීතය, දුවයි පුතයි, වැට අද්දර, ඔබට මා, අකීකරු හිමියනේ, ප්‍රේමයේ විල් තෙරේ වාගේ ගීත රාශියක් තියෙනවා. මේ ගීත ඇහෙන ඇහෙන වාරයක් පාසා මම හිතින් අතීතයට යනවා. හරියටම මීට වසර දහතුනකට පෙර මාර්තු මාසේ දිනයක එයා ඇමරිකවේ ප්‍රසංගයකට ගියා. බොහෝ ප්‍රසංගවලට මමත් යනවා. නමුත් මේ ප්‍රසංගයට මට යන්න බැරි වුණා. එයා ඇමරිකාවේ ඉන්න කාලේදී මට නිතරම දුරකතනයෙන් කතා කළා. එක දවසක් මම ගීතයකට තනුවක් නිර්මාණය කරන වෙලාවකදී නැවතත් ඇමරිකාවෙන් දුරකතන ඇමතුමක් ආවා. ඒකෙන් කියවුණේ එයා අපි හැමෝම තනි කරලා දාලා ඉක්මනින්ම දුව ගිය ලෝකෙටම එයත් ගියා කියලා. මම හරිම සංවේදී මිනිසෙක්. මේ පණිවිඩය අහපු මට මගේ මුළු ලෝකයම කඩා වැටුණා වගේ දැනුණා. තවමත් මම ජීවත් වෙන්නේ ඇගේ මතකත් එක්ක. ගොඩගම ප්‍රදේශයේ සංගීත් මංජරී නමින් සංගීත පන්තියක් පවත්වනවා මේ දිනවල. එහි ඉගෙනුම ලබන දරුවෝ සමඟ එකතු වෙලා මාලිනී සිහි කරලා වැඩිහිටි නිවාසයකට පසුගිය 27 වැනිදා දානයක් දුන්නා. ඒ වගේම 29 වැනිදා සුනේත්‍රාදේවී පිරිවෙනේ පවුලේ හැමෝම සමඟ එකතු වෙලා පිංකමක් කළා. පසුගිය 30 වැනි ඉරිදා ගොඩගම නිවසේදී ඇය වෙනුවෙන් දානයක් දුන්නා. මගේ දුවයි, මාලිනියි වනුවෙන් මට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ එච්චරයි. එසේ කියු ඔහු සර්පිනාව ළඟට ගොස් ඇය ගැයූ ගීතයක් වාදනය කළේ ඇගේ මතක අතර තනි වෙමිනි. |