|
පරම විශ්වාසය වුණේ අපේ හදවත්වල බැඳීමයිආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැන සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්ගේ ආදරණීය හෙළිදරව්ව උත්තම ගණයේ ලාංකේය සිනමා සංස්කෘතියක් බිහි කරලීමෙහි ලා පුරෝගාමී වූ මහා උත්තම පුරුෂයාණෝ එතුමාණන් බැව් පැවසීම විවාදයට තුඩු දෙන කරුණක් නොවේ. ඒ මහා සිනමාවේදියා අන් කවරකුත් නොව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත වැනි උත්කෘෂ්ට සිනමා කෘතීන් සමඟ එකවරම අපේ මතකයට නැඟෙන්නේ එතුමාගේ විශිෂ්ට කලා ප්‍රතිභාවයි. තව දින දෙකකින් එනම් අප්‍රේල් 05 වැනි දින එතුමානෝ සිය අනූපස් වැනි ජන්ම දිනය සමරත්. ඒ දිවි මගේ පනස් වසරක් පුරාවට එතුමාගේ තනි නොතනියට සෙවනැල්ල මෙන් සිටියේ ඇයයි. විටෙක සෙනෙහෙබර බිරියක වෙමින් ද, වරෙක මාතු භාර්යාවක වෙමින් ද මේ මහා කලාකරුවාණන් සිය දෙනෙත මෙන් රැක බලා ගත් ඕ තොමෝ සුමිත්‍රා පීරිස්ය. ඔවුන් එක් වූයේ සිනමාව නිසාවෙනි. ඔවුන් ජීවත් වූයේ ද සිනමාව වෙනුවෙනි. එනිසාවෙන්ම ඔවුනගේ කුටුම්භ ජීවිතය හා සිනමාව දෙකක් නොව එකක්ම වූයේය. ඒ අතීත පුරාවත අප මනසේ සිත්තම් කරමින් හෙළ සිනමාවේ කිවිඳිය සුමිත්‍රාවෝ සිය මතකය අවධි කළේ මෙලෙසිනි.
කොහොමද මුලින්ම ඔබට ලෙස්ටර් මහත්තයා හමු වන්නේ? ඇත්තෙන්ම මම සිනමා අධ්‍යාපනය සඳහා ලංකාවෙන් ප්‍රංශයට යනකොට ලෙස්ටර් ජේම්ස් පීරිස්ව දැනගෙන හිටියෙ නෑ. ඒ 1956 දී. මගේ පාසල් කාලය අවසන් කළ විගස තමයි පිටරට ගියේ. අපේ සිනමාව ගැන මට ඒ වෙන කොට ලොකු දැනුමක් තිබුණේත් නෑ. මම ප්‍රංශයේ ඉන්නකොට තමයි ආචාර්ය පීරිස් ‘රේඛාව’ අරගෙන කාන් ෆෙස්ටිවල් එකට ඉදිරිපත් කරන්න ප්‍රංශයට ආවේ.
ඒ තමයි මුල්ම හමුවීම? ප්‍රංශයේ ශ්‍රීී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරපු වර්නන් මෙන්ඩිස්ලගේ ගෙදර තමයි මම නැවතිලා හිටියේ. ආචාර්ය පීරිස්ගේ නෑදෑකමක් තිබුණ නිසා වර්නන් හමුවෙන්න ආවා දවසක්. ඒ තමයි අපේ මුල්ම හමුවීම.
මොන වගේ හැඟීමක් ද එතැනදි ඇති වුණේ එහෙම විශේෂ අදහසක් ඇති වුණේ නැහැ. සාමාන්‍ය දැනහඳුනා ගැනීමක් විතරයි. අපේ අයියා ආචාර්ය පීරිස්ට කියලා තියෙනවා මාව සිනමාව ගැන ඉගෙන ගන්න උනන්දු කරවන්න කියලා. මොකද ඒ වෙනකොටත් සිනමාව හදාරනවාද නැද්ද කියන දෙගිඩියාවෙන් මම හිටියේ.
එතකොට ලෙස්ටර් මහත්තයා තමයි ඔබව ඒ ගැන උනන්දු කළේ? ඔව්, එතුමා මට යම් යම් උපදෙස් දුන්නා. තවත් මුදල් වියදම් කරලා ප්‍රංශයේ ඉන්නවාට වඩා නරකද එංගලන්තයට ගිහින් සිනමාව හැදෑරුවොත් කියලා ඔහු ඇහුවා. හැබැයි ඒ වෙනකොට එංගලන්තයට යන්න අපේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. මොකද අපේ දේශපාලන පවුල් පසුබිමත් එක්ක අධිරාජ්‍ය විරෝධී සංකල්පයක් මගේ ඔළුවටත් ඇවිත් තිබුණ හන්දා.
මම හිතන්නේ ඒ කාලේ ඔබ වඩාත් ඇළුම් කළේ ප්‍රංශ සිනමාවට? ඇත්තටම ඒක හරි. මම අමෙරිකානු සිනමාවටත් වඩා ඒ යුගයේ ඇළුම් කළේ ප්‍රංශ සිනමාවට. නමුත් ලෙස්ටර්ගේ උපදෙස් මත මම අවසානයේ ලන්ඩනයේ සිනමා පාසලකට ඇතුළු වුණා, සිනමාව හදාරන්න. ඒ ගමන්ම මම එහෙ පොඩි රැකියාවකුත් කළා.
කවර විෂය පථයක් යටතේ ඔබ සිනමාව හැදෑරුවේ? එකක් නෙවෙයි, සංස්කරණය, අධ්‍යක්ෂණය ඇතුළු තවත් විෂයයන් කිහිපයක්. ඔහොම ඉන්න අතරේ මගේ අයියා මට ලියමනක් එවලා තිබුණා ලෙස්ටර් පීරිස් ලංකාවේ චිත්‍රපටයක් කරන්න යනවා ‘සංදේශය’ කියලා, කැමති නම් ඒකේ වැඩ කරන්න පුළුවන් කියලා. ලෙස්ටරුත් එකග වුණා’ කියලා
ඔබේ තීරණය වුණේ? මම ලංකාවට ආවා. ලෙස්ටර් මුණ ගැසුණා. ලංකාවේ මෙතෙක් ටෙක්නිකල් ක්රූ එකකට කාන්තාවක් අරගෙන නෑ. එහෙම සම්ප්‍රදායක් මෙහෙ නෑ. හැබැයි මේ කටුක අත්දකීම් විඳ දරාගෙන වැඩ කරන්න පුළුවන් නම් එයාගේ අකැමැත්තක් නෑ කියල ලෙස්ටර් කිව්වා. ‘සංදේශය’ රූගත කළේ බෙලිහුල්ඔය. කිසිම පහසුකමක් තිබුණේ නෑ. ලෙස්ටර් ඇතුළු කණ්ඩායම නැවතුණේ කුඩාරම්වල. පිරිමි විතරයි. නිළියක් ෂූටිංවලට ආවොත් ළඟපාත ගෙදරක නතර වෙලා දවසෙන් දෙකෙන් ආපහු යනවා. මමත් නැවතුණේ අප්පුහාමි කියලා මනුස්සයකුගේ ගෙදර.
‘සංදේශය’ට මොන අංශයෙන් ද ඔබේ දායකත්වය ලැබුණේ? සහාය අධ්‍යක්ෂවරියක හැටියට. මට පස්සේ තමයි තිස්ස ලියනසූරියවත් සහාය අධ්‍යක්ෂණයට ගත්තේ. ඔහුªට තිබුණේ නළු, නිළියන් හරියට දෙබස් උච්චාරණය කරනවාද කියලා බලන්න. මට වැඩි හරියක් තිබුණේ කොන්ටිනිවිටි බලන්න. ගාමිණී ෆොන්සේකාත් එතනදි ප්‍රොඩක්ෂන් මැනේජර්, ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්, ඇක්ටර් ඒ තුන හතරම කළා.
කොච්චර කල් රූගත කිරීම් සිදු වුණාද? මාස හයක් විතර. මම හිතන්නේ ඒ කාලේ අපි දෙන්නා හුඟක් සමීප වුණා. ඒක සාමාන්‍ය මිත්‍රත්වයකට එහා ගිය සම්බන්ධයක්.
ඒ කියන්නේ ආදර සම්බන්ධයක්? ඔව්. මම හිතන්නේ ඒක එහෙම වෙන්නැති.
අධ්‍යක්ෂවරයකු හැටියට එදා ඔබ එතුමාගේ දුටු විශේෂත්වය මොකක්ද? මම එංගලන්තයේදී සිනමාව ඉගෙන ගත්තාට ඒක ප්‍රායෝගිකව, අත්දැකීමෙන් ඉගෙන ගන්න ලැබුණේ ලෙස්ටර් එක්ක වැඩ කරන කොට. එතනදි තමයි මම දැනගත්තේ තව අපි නොදන්න කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න කියලා. එතුමාගේ තිබුණ සිනමා දැනුම ගැන අද තමා මට වඩාත් වැටහෙන්නේ. එය මම අද අගයන්නේ මට වඩා ගොඩක් දේවල් සිනමාවේ කළ මහා ප්‍රාඥයකු හැටියට එතුමාට ගෞරව කරමින්.
දැනුමට අමතරව එතුමාගේ තවත් සුවිශේෂ ගුණාංග තිබුණා? විනය, හික්මීම වගේම ශිල්පීන්ට තිබුණ ගරුත්වය මා එතුමාගේ දුටු සුවිශේෂී ලක්ෂණ. මම හිතන්නේ ඒ ගුණාංග නිසාත් මම එතුමාට තවත් ළං වෙන්නැති. මම මේ කියන්නේ 1959 විතර කාලේ. පිලිප් බාප්පලා (පිලිප් ගුණවර්ධන) එහෙම ඒ යුගයේ දේශපාලන ලෝකයේ වැන්තයොනේ. එයාලත් දවසක් දෙකක් බෙලිහුල්ඔය ආවා. ඇවිත් කෑම කාලා, බීලා ගියා.
පිලිප් බාප්පා මොකද කිව්වේ? නෑ, හැබැයි එහෙම විරුද්ධත්වයක් හරි අමනාපයක් හරි තිබුණේ නෑ සිනමාවට සම්බන්ධ වුණාට. හැබැයි ඒගොල්ල බලන්න ඇති මොකක් ද මම මේ කරන පිස්සුව කියලා. එංගලන්තේ ඉඳන් ඇවිත් තෝර ගත්ත රස්සාව මේකද කියලා එයාට හිතෙන්නැති. ඇයි ඒ දවස්වල ලොකු මුදලක් ලැබුණෙත් නෑනේ. මට මතක විදියට මුල්ම වැටුපෙන් මම අයියාට ඔරලෝසුවක් ද කොහෙද අරගෙන දුන්නා.
කීයක් ද මුලින්ම හම්බ වුණේ? හරියටම මතක නෑ. ඔය රුපියල් දෙතුන් සීයක් විතර වෙන්නැති.
ඊට පස්සේ ‘ගම්පෙරළිය’ටත් ඔබ සම්බන්ධ වෙනවා? ආචාර්ය පීරිස්ට ‘ගම්පෙරළිය’ නවකතාව කියෙව්වට පස්සේ ඒකෙන් චිත්‍රපටයක් කරන්න ලොකු ආසාවක් ඇති වුණා. නිතරම අපි මුණ ගැහිලා කොහොමද මේ චිත්‍රපටය කරන්නේ කියලා කතාබස් කළා. එතනදි මාත් ඔහුත් එක්කලා නිෂ්පාදකවරු මුණ ගැහෙන්න ගියා. දර්ශන තල බලන්න ගියා. අන්තිමට ඇන්ටන් වික්‍රමසිංහ කිව්වා මම දාන්නම් රුපියල් 10,000 ක්, ඔයාලත් හැබැයි දහය, දහය දාන්න කියලා. ඒ කාලේ හැටියට ඒක ටිකක් ලොකු ගාණක්.
අදාල මුදල දැම්මාද . . .? ඔව්. අපි බැංකු ණයක් ද කොහෙදත් ගත්තා. ඇන්ටන් වික්‍රමසිංහ තමයි ‘සිනෙලංකා’ කියන අපේ සමාගමේ චෙයාමන් වුණේ. මමයි ආචාර්ය පීරිසුයි ඩිරෙක්ටර් බෝඩ් එකේ. එතාකොට මම වයස අවුරුදු විසි හතරෙදි ප්‍රොඩියුසර් කෙනෙකුත් වෙලා තියෙනවා.
‘ගම්පෙරළිය’ ඔබ දෙපළගේ ජීවිතයේත් පෙරළියක් සිදු කළා? මම කිව්වනේ එතකොට මගේ වයස අවුරුදු විසි හතරයි කියලා. ලෙස්ටර් මට වඩා අවුරුදු දාසයක් වැඩිමල්. ඒ වගේම අපේ පවුල් පසුබිමත් වෙනස්. මගේ අම්මා නැති වුණේ මට අවුරුදු දහතුනේදී. තාත්තා වාමාංශික දේශපාලනඥයෝ ඇසුරු කරලා ටිකක් පළල් අදහස් තිබුණ කෙනෙක්. අපේ අයියත් ආචාර්ය පීරිස් එක්ක හොඳ මිත්‍රත්වයක් තිබුණා. ඉතින් අපි දෙන්නා බඳිනවා කිව්වාම කාගෙවත් එහෙම ලොකුª විරුද්ධත්වයක් තිබුණේ නෑ.
ආගම, දහම හරස් වුණේ නෑ එතනදි? ඔව්. ඉතින් අපි ආගමෙනුත් වෙනස්. පවුල් පසුබිමෙන් විතරක් නෙවෙයි වයසෙනුත් වෙනස්. හැම අතින්ම වෙනස් වුණාට මම හිතන්නේ අපි අතරේ තිබුණු ආදරයට ඒවා බලපෑවේ නැහැ. සිනමාව ගැන අපි දෙන්නගෙම තිබුණ ඒ ලොකු බැඳීම තමයි අපිව එක් කරන්න ඇත්තේ. අපි දෙන්නගෙම හිත්වල තිබුණ ඒ ලොකු බැඳීම තමයි අපිව එක් කරන්න ඇත්තේ. මොකද අපි දෙන්නගෙම අරමුණ වුණේ සිනමාවේ යමක් කරන්නනේ.
ඉස්සර වෙලාම ‘ආදරය’ ප්‍රකාශ කළේ කවුද? ඒක හරි අමාරුයි කියන්න. හුඟක්ම යාළුවෝ තමයි අපිට ඒ ගැන ඔළුවට දැම්මේ. දැන් ඇන්ටන් වික්‍රමසිංහ හම්බ වුණාම අහනවා ‘ආ දැන් කවදාද ඔයගොල්ල කසාද බඳින්නේ’ කියලා. අන්න ඒ වගේ. ආචාර්ය පීරිස්ට ‘අපි කසාඳ බඳිමු’ කියලා කියන්න තරම් ඒ වෙන කොට සිනමාවේ ස්ථිරත්වයක් තිබුණේ නැහැ. අම්මා නැති වුණ දවසක වත්තක් එයාට හිමි වෙන්න තිබුණාට එදිනෙදා ජීවිතේ අපට නිදහසේ ගත කරන්න එහෙම ලොකු ආර්ථික පසුබිමක් තිබුණේ නැහැ.
ඔබටත් ඉඩකඩම් එහෙම තිබුණා? පිටරට අධ්‍යාපනයට යනකොට සමහරක් ඒවා විකුණුවා. එතකොට ‘ගම්පෙරළිය’ට සල්ලි දාන්න අවිස්සාවේල්ලේ ඉඩම් කෑල්ලක් වික්කා. ඒ නිසා අපි හෙට බඳිමු, බැඳලා මේ විදිහෙ ජීවිතයක් ගත කරමු, මේ තියෙන්නේ මගේ ගෙදර කියලා කියන්න කාටවත් තත්ත්වයක් තිබුණේ නෑ. කොටින්ම ජීවිතය මේ මේ විදිහට සැලසුම් කර ගනිමු කියන්නවත් අපට පුළුවන්කමක් තිබුණේ නෑ.
නමුත් අභියෝගය භාර ගත්තා? ඔව්. අපි කසාඳ බැඳලා මුලින්ම හිටියේ බ්‍රවුන්රිග් රෝඩ් එකේ (කැප්පෙටිපොල මාවත) ගෙදරක. ‘සිනෙලංකා’ ඔෆිස් එකෙන් අපට මුදලක් එව්වා. ඉතිරි ඒවා අපි ගෙව්වා. එහෙම තමයි අපේ ජීවිතේ අපි පටන් ගත්තේ. අපි විවාහ වුණේ 1964 ජූනි මාසේ 19 වැනිදා. මේ ජූනි 19 ට අවුරුදු පනහක්.
විවාහ උත්සවයක් එහෙම පවත්වන්න නැතුව ඇති? උත්සවයක් ගත්තේ නෑ. බොහොම චාම්ව ඒ කටයුතු කළා. ආචාර්ය පීරිස්ට වුවමනාව තිබුණා එයාගේ අම්මව සතුටු කරන්න පල්ලියේ මොනව හරි තිබිය යුතුයි කියලා. මටත් කාගෙන්වත් බලපෑමක් තිබුණේ නෑ. මම ස්වාධීනව හිතලා කිව්වා අපි ඉස්සරවෙලාම විවාහය ලියාපදිංචි කරමු කියලා. ඉතින් බ්‍රවුන්රිග් රෝඩ් එකේ ගෙදර තමයි විවාහය සිදු වුණේ. දහ දෙනෙක්වත් ඉන්න නැතිව ඇති. අපේ තාත්තයි, අයියයි ආවා. අක්කයි ළමයි ටිකයි ආවා. ඇත්තෙන්ම දහ දෙනෙක්වත් නැතිව ඇති.
කලා ක්ෂේත්‍රයේ කවුරුත් හිටියේ නෑ? තිස්ස අබේසේකර හිටියා. එතකොට තිස්ස සහාය අධ්‍යක්ෂවරයානේ ‘ගම්පෙරළියේ’. ඇන්ටන් වික්‍රමසිංහත් හිටියා. විලී බ්ලේක් තමයි පින්තූර ගත්තේ. ඊට පස්සේ ආචාර්ය පීරිස්ගේ අම්මයි, අක්කයි එහෙම හවස පල්ලියට ඇවිල්ලා පුංචි උත්සවයක් තියලා අපේ මුදු මාරු කළා. අද ආපසු හැරිලා බලන කොට අපිටම පුදුම හිතෙනවා කොහොමද මේ ගමන ආවේ කියලා.
රෝස මල් ඇතිරූ මාවතක ආ ගමනක් නෙවේ මේ? අපේ අම්මා කොළඹින් ගෙයක් ගත්තේ මාව විශාඛා විද්‍යාලයට යවන්න. මම අවුරුදු දහයේ තරමේ ඉඳලා මේ යාර දෙසීයක විතර භූමි භාගෙ තමයි ජීවත් වුණේ. ඉතින් ජීවිතය අතරමං නොවී ගැට ගහගන්න පුළුවන් අවබෝධයක් මට තිබුණා. අපිට හැම රටකටම වගේ යන්න පුළුවන් වුණා. ඒ අපි අතින් මුදල් ගෙවලා ගිය ගමන් නෙවේ. වරප්‍රසාද හැටියට හම්බ වුණ දේවල්. චිත්‍රපටවලිනුත් අපට එහෙම ලොකුවට මුදල් ලැබුණේ නෑ. දැන් ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ඩිරෙක්ටර් ජ්ඥඥ එක රුපියල් දහ දාහද කොහෙද? ‘ගම්පෙරළිය’ අපි අතින් සල්ලි දාලා කළේ. ඒකෙන් අපට ලොකු පාඩුවක් වුණෙත් නෑ, ලාභයක් තිබුණෙත් නෑ. ‘දෙලොවක් අතර’ත් එහෙමයි.
එකම ආදායම මාර්ගය වුණේ සිනමාව? ඔව්. අපි වාර්තා චිත්‍රපට හැදුවා. සිනමාවෙන්ම තමයි යැපුණේ. අපිට වතුපිටිවලින් ආදායමක් ලැබුණේ නෑ. ඉඩමක් විකුණලා මුදල් ගත්තා මිසක්. සාමාන්‍යයෙන් අපි හොඳ ගෙදරක ජීවත් වුණා. කෑවා, බිව්වා, වැඩකාරයෝ හිටියා. ඩිනර් පාටිස් දැම්මා, මිනිස්සුන්ට සංග්‍රහ කෙරුවා. ඒවායෙන් අඩුවක් තිබුණෙත් නෑ.
ලස්සෙට කොඩි දැම්මෙත් නැහැ? ලස්සෙට කොඩි දැම්මේ නැහැ. ඒත් වෙලාවකට හිතෙනවා කොහොමද අපි ඒවා කළේ කියලා.
පවුල් ජීවිතයේ ගැටුම්, ආරාවුල් එහෙම ඇති වුණේ නැද්ද? මම හිතන්නේ මට තිබුණ ලොකුම හයිය එයා මා ගැන තිබුණ විශ්වාසය. පුදුමාකාර විශ්වාසයක් තියෙන්නැති. මොකද ‘ගම්පෙරළිය’ අවෝඩ් එක දිනලා මෙක්සිකෝවට යන්න ආරාධනාව ලැබුණාම පුණ්‍යා හීන්දෙනියයි, හෙන්රි ජයසේනයි, මමයි ගියේ. විවාහ වෙලා අවුරුද්ද ද කොහෙද එතකොට. ඒ දෙන්නා ආපහු ආවා. මම මාස තුනක් විතර එහෙ හිටියා. මගේ නෑදෑයෝ හිටියා. යාළුවෝ හිටියා. එතනින් මම ලෝක වටේම ගියා. මම කැලිෆෝනියාවට ගියා. මට මතකයි චන්ද්‍රන් රත්නම් සුමාන දෙකක් විතර මාව බලා ගත්තා. ඊට පස්සේ ජපානයට ආවා.
ලෝක සවාරියෙන් පස්සේ ගෙදරට ආපුවාම ප්‍රශ්නයක් වුණෙත් නැහැ? අනේ නැහැනේ. ඒ කාලේ ටෙලිෆෝන් නැහැ. අපි එහෙම මේ හැමදාම ලියුම් ලියන අයත් නෙවෙයි. ටෙලිග්‍රෑම් අරින්නෙත් නෑ. වෙන එකක් තියා ඒ කාලේ වෙද්දී මම ‘පරසතු මල්’ එඩිට් කර කර හිටියේ. ඒකත් නැවතිලා තිබුණා. චිත්‍රා බාලසූරිය, ගාමිණී ෆොන්සේකා ආචාර්ය පීරිස්ගෙන් අහලා තියනවා මම කවදාද එන්නේ කියලා. ‘මට වුණත් කියන්න බෑ එයා කවදා එයිද කියලා’ තමයි ඔහු ඒ අයට උත්තර දීලා තිබුණේ. ඒ වගේ විවෘත, තනිකර නිදහසක් තිබුණ කෙනෙක් මම.
ඒ විශ්වාසය කිසිදාක පළුදු වුණෙත් නෑ? නෑ. එහෙම පළුදුවීමක් මගේ අතින් සිදු වුණෙත් නෑ. 1969 දී ශිෂ්‍යත්වයක් ලැබිලා මම ආයෙත් පිටරට යනවා, වසන්ත ඔබේසේකරත් ගියා. අවුරුදු එකහමාරක් මම එහෙ හිටියා.
අද නම් තොරතුරු විමසන්න, ආදරය ප්‍රකාශ කරන්න විවිධ සන්නිවේදන ක්‍රම තියෙනවා. අද තරුණ පරපුර ආදරය කරන්නේ එස්. එම්. එස්. වලින්නේ? එස්. එම්. එස්. තියනවා. එතකොට ස්කයිප් තියනවා. මුහුණු බලනවා. විවිධ ක්‍රම.
ඔබ දෙපළගේ ආදර සිතිවිලි ප්‍රකාශ වුණේ ලියුම් කියුං හරහා ද? ආචාර්ය පීරිස් මට ලියුම් දෙක තුනක් දෙන්නැති, මමත් දෙක තුනක් දීලා ඇති. අපි ලොකුවට ලියුම් ලියපු අය නෙවෙයි. ආදර හසුන්, ඒවා නෑ. ‘නිධානය’ කරන කාලේ එයාට යම් යම් ප්‍රශ්න තිබුණා. ඒ ගැන අහලා මම ලිපියක් යැව්වා මට මතකයි. මම පිටරට ඉන්න කොට එයා කතා කළේ ටෙලිෆෝන් එකෙන්. ඒත් එකම වතාවයි. ඒ එයාගේ අම්මා නැති වුණා කියලා කියන්න. අපේ හදවත්වල තිබුණ බැඳීම තමයි පරම විශ්වාසය වුණේ.
ලෙස්ටර් මහත්මයාට කේන්ති යන්නේ නැද්ද? නෑ. අපරාදේ කියන්න බෑ. හැම දේම හොඳට හිතලා බලලා කරන්නේ. ඇත්තටම සුවිශේෂ පුද්ගලයෙක්. ඉවසීම තියෙනවා, මනුස්සකම තියෙනවා. ගොඩක් සංවේදියි. අනෙකාට ගරු කරනවා. මුදල් ගැන හෙවිල්ලක්, බැලිල්ලක් නෑ. මම වෙලාවකට කියනවා පන්සලේ ඉන්න හාමදුරුවෝ වගේ කියලා. මොකද එයාට කන්න ටික දෙනවා නම්, බොන්න ටික දෙනවා නම් එතනින් එහාට දේවල් හොයන්නේ නෑ. බෑන්ක් එකවුන්ට් එක වුණත් අපි දෙන්නගෙම තියෙන්නේ එකට.
නමුත් ඒ මුදල්, හදල් පරිපාලනය වුණේ එදා ඉඳන්ම ඔබේ අතින්? මම දන්නේ නෑ කවදාවත් බැංකුවකටවත් ගිහින් තියෙනවාද කියලා. හැබැයි වෙලාවට ටැක්ස් එක නම් ගෙවන්න ඕනෑ. කොලේ ආපු වෙලාවේ ඉඳලම ටැක්ස් එක. මම එතකොට කියනවා අපිට ටැක්ස් ගෙවන්න නෑ, එයාලයි අපිට සල්ලිල දෙන්න ඕනෑ මෙහෙම ජීවත් වෙනවට කියලා. එහෙම නෑ, රුපියල් දාහ හරි ඒක වෙලාවට ගෙවන්න ඕනෑ. ඒක විතරයි ගෙවන්න ඕනෑ. නැත්නම් අපි කන්නේ, බොන්නේ, සර්වන්ට්ස්ලාට ගෙවන්නේ කොහොමද කියලා ගානක් නෑ. ඇත්තටම වෙලාවකට හිතෙනවා රහත් වෙච්ච කෙනෙක් ද කියලත්.
එතුමා කෑම, බීම ගැන විශේෂ අවධානයක් යොමු කරපු කෙනෙක්ද? කෑම ගැන නම් එයාට තියන්නේ හරිම විනයක්. දැන් නම් සැරට මිරිස් දාලා කන්නේ නැහැ. එළවළු හරි, මස්, මාළු කෑල්ල හරි සුදට උයලා ඒක පිළියෙල කරන්න ඕනෑ. අපි හම්බන්තොට ‘බැද්දේගම’ කරන කාලේ පවා ඒ විදිහට තමයි ආහාර පාන සකසා දුන්නේ. අතේ කුණු, දූවිලි කියලද කොහෙද කෑවෙ හැඳි, ගෑරුප්පුවලින්. හම්බන්තොට, කාෂ්ටක අව්වේ ගහක් යට ඉඳගෙන වුණත් එයා කෑවේ ඒ විදිහට. කන ටික හරි ප්‍රවේශම්.
කැමැති විශේෂ කෑම එහෙම මොනවාද? එහෙමත්ම නෑ. හැබැයි මේ දවස්වල නම් රාබු කනවා දිගටම. කතානායක චමල් රාජපක්ෂ මහත්මයා අපට මෑතකදී ලන්ච් එකක් දුන්නා. එදා එතුමා කිව්වා ‘මේක කන්න මේවා හරි ගුණයි, මේවා මෙහෙ හැදෙන රාබු’ කියලා. ඔන්න එදා කෑවට පස්සේ දැන් දිගටම රාබු ඕනෑ. ඊට කලින් අපි කෑම මේසෙට තිබ්බත් කියනවා ‘ගඳයි’ කියලා. දැන් රාබු නැතිවම බැහැ.
එතුමා පොඩි ඩ්රින්ක් එකක් ගත්තා. සිගරට් එහෙමත් බිව්වා නේද? ඒ කාලෙම ඩොක්ටර් කිව්වා දුම්බීම නවත්වන්න කියලා. ඒක නැවැත්තුවා. ඩ්රින්ක්ස් නම් ගත්තා මේ ළඟක් වෙනකල්. දැන් අවුරුදු දෙකකට විතර කලින් ඒකත් නැවැත්තුවා. අපේ ගෙදර ඉස්සර ක්ලබ් එකක් වගේනේ. මම නැති කාලේ ඔය සරත් අමුණුගම, ගාමිනී ෆොන්සේකා එහෙම මෙහෙටයි එන්නේ බොන්න. ඒ කාලේ ආචාර්ය පීරිස් අරක්කුත් ගහනවා. ඊට පස්සේ පස්සේ විස්කි විතරක් බොන යුගයකුත් ආවා. හැබැයි ඒකත් විනයක් ඇතිව බිව්වේ. මම ඉස්සර කියන්නේ හරියට මේක ක්ලබ් එකක් වගෙයි කියලා.
ලෙස්ටර් මහත්තයා විහිළු, තහළුවලටත් මම හිතන්නේ බොහොම කැමැති කෙනෙක්? අපොයි ඔව්. මොනවා කිව්වත් ඒක ජෝක් එකකට හරවලා කියන්න එයා දන්නවා. තාමත් ඒ පුරුද්ද එයා ළඟ තියෙනවා. ඉස්සර ප්‍රොෆෙසර් ඒ. ජේ. ගුණවර්ධන එහෙම දෙකට නැවිලා, බඩ අල්ලගෙන හිනා වෙන්නේ ලෙස්ටර්ගේ ජෝක්වලට.
කොහොම වුණත් එතුමාණන්ට ක්ෂේත්‍රයේ හැමෝම ගරු කළා. අදටත් ඒ ගරුත්වය තියෙනවා? ඇත්ත. හැමෝම ඔහුට ගරු කළා. කවුරුත් ඔහුට ‘අංකල්’ කියන්න ආවේ නෑ. මට නම් ඔය සමහරු ‘ඇන්ටි’ කියලා එහෙම කියාගෙන ආවා. ඒත් ලෙස්ටර්ට එහෙම නෑ. ඒ ගරුත්වය එයා ඉල්ලලත් නෙවෙයි. සෙට් එකක වුණත් එයා ඉන්නකොට කවුරුත් සද්දයක් නැහැ. බොහොම ඩිසිප්ලින්.
ඔහු විශේෂයෙන් ප්‍රිය කළ නළු, නිළියෝ හිටියාද? මම හිතන්නේ ගාමිණී ෆොන්සේකාට ඔහුගේ විශේෂ ඇල්මක් තිබුණා. ආචාර්ය පීරිස් කෙනෙක් අපිරිසිදුව අත ඇල්ලුවොත් දහ පාරකවත් අත හෝදන පුද්ගලයෙක්. මොකක් හරි ටැබ්ලට් එකක් ගන්න ගියත් එහෙමයි. හැබැයි ගාමිණී ෆොන්සේකාගේ මරණයට ගිය වෙලේ මම දැක්කා නැමිලා එයාගේ නලල ඉඹිනවා. මමම පුදුම වුණා. ඒ වගේම අයිරාංගනී, මාලිනී වගේ අයටත් ඇල්මක් තිබුණා. රවීන්ද්‍ර රන්දෙණියගේ ඇසුරටත් එතුමා කැමැතියි. විලී බ්ලේක් එක්ක ලොකු ඇසුරක් තිබුණා. බ්ලේක්ටත් දැන් හුඟක් වයසයි. ඒත් ඉඳලා හිටලා හම්බ වුණාම තාමත් කතා කරන්නේ ‘රේඛාව’ ගැන.
මම හිතන්නේ තාම එතුමා දැනුම හොයනවා. ඒ වගේම අතීතයත් හොඳට මතකයි නේද? පරණ අතීත සිදුවීම් මතක් කරන කොට වෙලාවකට පුදුමත් හිතෙනවා. මේ ළඟකදී අර එතුමාගේ උපන් දිනයට විවෘත වෙන සංරක්ෂණාගාරය ගැනත් ;මාන මොනවදෝ ඇහුවා. මමවත් ඒවා දැනගෙන හිටියේ නෑ. ජිනීවා සමුළුව ගැනත් අවධානයෙන් හිටියේ. ඒත් මේ දවස්වල වැඩියෙන්ම හොයන්නේ අර අතුරුදන් වුණ ප්ලේන් එක ගැන. මගෙන් හැම තිස්සෙම අහනවා මොකද ඒ ප්ලේන් එකට වුණේ කියලා.
|