වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මං පළමු පියවර තැබුවා විතරයි

මං පළමු පියවර තැබුවා විතරයි

වරිග පොජ්ජ හැදූ තුෂාර තෙන්නකෝන් හමු වෙමු

මගේ චිත්‍රපටයේ නිෂ්පාදකයන් 80,000 ක් ඉන්නවා

කුඩාකල පටන් සිය සිිතෙහි ඇතිවුණු ප්‍රකාශන කියා ගන්නට ඔහු විවිධ දේ කළේය. එහෙත් කාලයකට පසුව හේ තම ප්‍රකාශනය කියා ගන්න නියම මාධ්‍යය කුමක්දැයි හඳුනා ගත්තා පමණක් නොව කාලයක පටන් සිතෙහි සැංඟී තිබූ සිහිනය ද සැබෑ කර ගත්තේය. මේ දවස්වල තිරගත නව ‘වරිග පොජ්ජ’ සිනමාපටය මේ නවක සිනමාකරුවාගේ සිහිවන සැබැ කර දුන් ඒ අපූරු මඟයි. සිනමාවට බෙහෙවින් ප්‍රිය කරන, ආදරය කරන මේ නවක තරුණ සිනමාකරුවා තුෂාර තෙන්නකෝන්ය.

* ‘වරිග පොජ්ජ’ සිනමාපටය නැරෑඹූ මගේ සිතට පිවිසුණු සිතුවිල්ලක් වූයේ තුෂාර යනු අනාගතයේදී බලාපොරොත්තුවක් තබා ගත හැකි නවක තරුණ සිනමාකරුවකු බවයි. ඒ නවක සිනමාකරුවාගේ සිනමා ආගමනයට පෙර අවධිය පිළිබඳ විමසා බැලුවොත්?

ශිෂ්‍යත්වය පාස් වෙලා රෝයල් එකට යන මම පාසලේ ජනප්‍රිය කාටුන් ශිල්පියෙක්. කාටුන් ශිල්පිියෙක් විදියට කටයුතු කරන කාලයේ මට හැ¼ගුණ දෙයක් වුණේ මගේ ප්‍රකාශනය කියන්න ඒ මාධ්‍ය බොහොම කුඩා බවයි. ඒ නිසා ඊළඟට මගේ මාධ්‍ය ලෙස මා තෝරා ගත්තේ වීදි නාට්‍යයයි. ඒත් වීදි නාට්‍ය වගේ මාධ්‍යයකදී ඊට නියමුවෙක් සිටිය යුතු බවක් මට වැටහුණා. මේ නිසා මගේ ප්‍රකාශනය කියන්න හැකි එකම භූමිකාව ලෙස මා වටහා ගත්තේ අධ්‍යක්ෂණයයි. ඊට මුල් අඩිතාලම දැමෙන්නේ අධ්‍යක්ෂවරයෙක් විදියට සිරස රූපවාහිනියේ ‘වසුදා’ නිෂ්පාදන කණ්ඩායමට සම්බන්ධ වීමෙන්. ඉන් පස්සේ වෙළෙඳ දැන්වීම් අංශයට සිත යොමු කරන මම පසුව සිවිල් ආරක්ෂක බලකායේ මාධ්‍ය උපදේශකවරයා හැටියට පත් වෙනවා. එහිදී සරත් වීරසේකර මහත්තයාත් ස¼මග ‘ගාමණී’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබෙනවා. වසර තුන හමාරක කාලයකින් පස්සේ මා ඉන් ඉවත් වී ඉන්න කාලයේදීයි මට වරිග පොජ්ජ චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයා මුණ ගැසෙන්නේ. කාලයක පටන් මගේ සිතේ තිබුණු ප්‍රකාශනය එළියට දමන්නට ඔහු මට ආරාධනා කරනවා.

* ‘වරිග පොජ්ජ’ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ වරිගය කියන කෙටි කතාව ආශ්‍රයෙන්?

නන්දසිරි ගමගේ කියන මේ විශේෂිත පුද්ගලයා මට මුණ ගැසෙන්නේ ඔහුගේ කාන්තා සමුපකාර බැංකුව ගැන වාර්තා චිත්‍රපටය කරන කාලයේදීයි. එතනදියි ඔහු මට පවසන්නේ ඔහුගේ කෙටිකතා පොතක තියන වරිගය කෙටි කතාවෙන් චිත්‍රපටයක් කරන්න කියලා. මම ඒකෙන් චිත්‍රපටයක් කරනවා. මේ සියලුම කටයුතුª සිදු වෙලා තවමත් වසර එකහමාරකට වඩා නැහැ.

* ඔබ ඔහුගේ කෙටිකතා සංග්‍රහයේ කෙටි කතාවක්ම චිත්‍රපටය කරන්නට තෝරා ගන්නේ ඔහු මුදල් වියදම් කිරීමට කැමැති වුණ නිසාද?

නන්දසිරි ගමගේ මහත්තයා මගෙන් විමසුවේ මේ වගේ කෙටි කතාවක් තියෙනවා චිත්‍රපටයක් කරන්න පුළුවන්ද කියලා විතරයි. නැත්නම් ඔහු මේ නිර්මාණයෙන් චිත්‍රපටය කරන්න කියලා මට බල කළේ නැහැ. කෙටි කතාව කියෙව්වාට පස්සේ යමක් කරන්න පුළුවන් තැනක ඒ නිර්මාණය තිබෙන බව මට වැටහුණා. අනිත් එක තමයි මගේ ඔළුවෙත් ඒ වගේ කතාවක් චිත්‍රපටයකට නැඟිය යුතුය කියන තීරණය තිබුණේ මම ඒ ලෙවල් කරන කාලයේදීමයි. ඒ කාලයේම මම ලංකා ඉතිහාසය පිළිබඳ රිසර්ච් එකක් කළා. ඒ ඔස්සේ සොයාගත් බොහෝ කරුණු කාරණාත් මේ නිර්මාණයට එකතු කළා. මේ කෙටි කතාව මට උවමනා විදියට වෙනස් කර ගත්තා. නිෂ්පාදකතුමා ඒ කිසිම දෙයකට ඇඟිලි ගැහුවේ නැහැ. කොහොම වුණත් ඔහු මුදල් යෙදෙව්ව නිසාම නෙවෙයි මම මේ නිර්මාණය චිත්‍රපටයක් කරන්නට තෝරා ගන්නේ.

* ඉතිහාසය පිළිබඳ ඔබ දරන යම් මතවාදත් මේ චිත්‍රපටයේ යටි පෙළෙන් දිවෙන බවක් පෙනෙනවා.

මම අදහන්නේ අපේ ඉතිහාසය මහාවංශයේ කියැවෙන කාලයට වඩා ගොඩක් පරණ බවයි. ඒ වගේම අපේ ආරම්භය ගැනත් විවිධ කතා තියෙනවා. අපි ඉන්දියාවට එපා වුණු ලංකාවට පිටුවහල් කළ විජයගෙන් පැවත එනවා කියන මතයට මා එකඟ නැහැ. එහෙම කියන්නේ මම ජාතිවාදියෙක් නිසා නෙවෙයි. ලංකාවේ දේ අගය කරන නිසයි. ප්ලේන් එක, ලිප්ට් එක සොයා ගත්තේ අපි නම් ඉස්සෙල්ලාම ඒ ඉතිහාසය අප සොයා ගෙන යා යුතුයි. ඒ සොයා යෑමයි මගේ පර්යේෂණයෙන් සිද්ධ වුණේ. ඒ විවිධ සොයා ගැනීම් ඔස්සේ වගේම ඉතිහාසයේදී කියන සිංහබාහු, සිංහසීවලී කියන සහෝදර සහෝදරියන්ගෙන් අපි පැවත එන අය නොවෙයි කියලා සිනමාව ඔස්සේ කතා කරන්න මට පුළුවන් වුණා. මේක ඇතුලේ ලංකාවේ වඳ වී ගිය නිට්ටෑවෝ, කම්පුත්තන් ගැන මා කතා කළා.

* වෛද්‍ය ශිෂ්‍යයෙක් වීමට ඉගෙන ගන්න ඔබ අවසානයේදී සිනමාකරුවා කියන භූමිකාවටයි පණ පොවන්නේ. නිවැසියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?

පුංචි කාලයේදී පටන් සම්ප්‍රදායට එහා යන්න, එය මට උවමනා විදියට වෙනස් කරන්නයි උවමනා වුණේ. ඒක මගේ අම්මා තාත්තා පවා දැනගෙන හිටියා. ඒත් මම බයෝ සයන්ස් කළේ බොහොම කැමැත්තෙන්. ඒ අධ්‍යාපන කටයුතු පසුකාලයේ කරන මේ නිර්මාණවලට මට හයියක් ගෙනාවා. මිනිසාගේ අභ්‍යන්තරය පිළිබඳ දැනගෙන සිටීම මට රංගන කටයුතුවලදී පහසුවක් සැලසුවා. මොකද ඔවුන් සමඟ බාහිරෙන් වැඩ කටයුතු කරන්න නම් ඔවුන්ගේ අභ්‍යන්තරය හඳුනා ගැනීම වැදගත්. එවිට ඔවුන් සමඟ මට ගනුදෙනු කරන්න බොහොම පහසුයි. ඒ වගේම මම රංගනය අර්ථ දක්වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකින්. නොසිතා සිදුවන දෙයක් සිතා සිදු කිරීම රංගනය පිළිබඳ මගේ අර්ථකථනයයි. සමහර අයට මේ අදහසට විරුද්ධ වෙන්නත් හැකියාව තිබෙනවා.

* චිත්‍රපටයට නළු නිළියන් තෝරා ගැනීමේදී ඔබ අනුගමනය කලේ කුමන ක්‍රමවේදයක්ද?

නන්දසේන මහත්තයගේ අදහස වුණේ පුතාගේ චරිතයට ජගත් මනුවර්ණ ගන්න පුළුවන් නම් හොඳයි කියලයි. මමත් සිටියේ ඒ අදහසේමයි. වැදි අම්මට හරි යන විදියට පුතාත්, වැදි තාත්තට හරියන විදියට දුවක් (සඳුනි) මම හෙව්වා. මේ චරිතවලට වඩාත් ප්‍රසිද්ධ චරිත නොගත්තේ සමහර වෙලාවට චිත්‍රපටය නරඹන්නන් ඒ චරිතය දෙස බලන්නේ ඔවුන් කළින් කළ වැදි චරිත ඔළුවේ තියාගෙනයි. එය වෙනස් කරන්න මට ඕනෑ වුණා.

* මේ චිත්‍රපටයෙහි පසුතල සඳහා බොහෝ ප්‍ර‍්‍රදේශ යොදා ගත්තත් එය සිනමාපටය නරඹන්නන්ට දැනෙන්නේ නැහැ. චිත්‍රපටයේදී ඒ වගේ දෙයක් කරන්නට ඔබට විශේෂ හේතුවක් තිබුණාද?

අපි සිනමාපටයේ ලොකේෂන් සඳහා තන්තිරිමලේ, පේරාදෙණිය, හන්තානේ, බෙලිහුල්ඔය, නන්පේරියල් වත්ත, නෙළුව කියන ප්‍රදේශ හයක් යොදා ගත්තා. එහෙම කරන්න මට උවමනා වුණේ මිනිස්සුන්ට ඇස නොගැටුණු දර්ශන තල බයිස්කෝප් එකට ඇතුළු කරන්නයි. තන්තිරිමලේ ශුෂ්ක පරිසරයේ ඉදන් හන්තානයට එනකොට පරසරයේ විශාල වෙනසක් තිබුණා. හන්තානයේ ඉහළම කන්ද වුණු ඌරාගල කියන කන්දේ තමයි අපි ෂූට් එක කළේ.

කන්දට නැග්ගේ කඹ දාලා. එහෙම කළා කියන එක රූප රාමුවල තිබුණේ නෑ. එක ගම් සීමාවක ඉඳන් අනෙක් ගම් සීමාවන් දක්වා පැහැදිලිවම මම පහතරට වියළි කලාපයත්, කඳුකර වියලි කලාපයත් භාවිත කළා. මේ නිසා අලුත් දර්ශන තල සිනමාපටයට ඇතුළත් වුණා. මේ සියලු දේ කරන්න මට හැකි වුණේ විධායක නිෂ්පාදකතුමා නිසයි. ඒ කටයුතුවලට විශාල මුදලක් දරන්නට සිදු වුණත් ඔහු ඒ පිළිබඳ වචනයක්වත් කිව්වේ නැහැ. ඒක මට ගෙනාවේ ලොකුª හයියක්.

* නවක අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබ සිනමාවට පිවිසෙන්නේ ඒ පිළිබඳ හැදෑරීමකින්ද?

සිනමාපටයක් කිරීමේදී වඩාත් වැදගත් වන්නේ හැදෑරීමයි. එහිදී සිනමාව පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පාඨමාලාවක් මා හැදෑරුවා. ඊට අමතරව චිත්‍රපට නැරැඹුවා. සිනමාව පිළිබඳ මූලික කාරණා මම ඉගෙන ගත්තේ රංගේ සිංහ කියන ඉන්දියන් අධ්‍යක්ෂවරයාගෙන්. ඔහු ළඟ කාලයක් වැඩ කළ නිසා ඔහුගෙන් මට අපූරු දැනුමක් උකහා ගන්නට හැකි වූ බවත් කිව යුතුයි.

* සිනමාවේ මාධ්‍යය වන්නේ රූපයයි. ඔබ ඒ කාරණය නිසි අයුරෙන් වටහා ගෙන තිබෙන බව පේනවා. ඒ ඔස්සේ ඔබ අදහස් කළ දේ සිනමාපටයකට රැගෙන ආ බවක් ඔබ සිතනවාද?

මේක මගේ පළමු නිර්මාණයයි. නිතරම අදහසක් ආවට පස්සේ මම හිතුවේ රූපවලින්. ඒ මම චිත්‍ර ශිල්පියෙක් නිසා. කැලෑවක සොබා අසිරිය මේ යැයි කියලා පෙන්නන්නත් මට උවමනා වුණා. සිනමා රසිකයාට එය පැය කිහිපයකින් සිනමාහලක් ඇතුළේ වාඩිවෙලා විඳිය හැකි යැයි මා සිතනවා. මා අදහස් කළ සියල්ලම සිනමාපටයට රැගෙන එන්නට මට උදව් කළ විශාල පිරිසක් ඉන්නවා. මෙහි යම් සාර්ථකත්වයක් තිබේ නම් ඊට ඔවුන්ගේ දායකත්වයත් මා සිහිපත් කළ යුතුයි. මොකද ඒ අය මම කිව්ව විදියට කැලෑවේ දිව්වෙ නැත්නම්, කැලෑව තරණය කළේ නැත්නම්, මේ කිසිම දෙයක් මට තනියම කරන්න බැහැ. ඒක නිසා මේක මගේ නිර්මාණයක් නොවෙයි. අපේ නිර්මාණයක්.

* වර්තමානයේ තිබෙන ජනප්‍රිය සිනමාවට නෙවෙයි ඔබගේ සිනමා නිර්මාණය අයත් වන්නේ. ඔවුන් සමඟ ඔබට යම් තරගයක් ලබාදෙන්න වෙනවා. කොහොමද ඔබ ඒ තරගය ජය ගන්නේ?

අපි නොසිතුව විදියට චිත්‍රපටය පෙන්වීමට අපට දින ලැබුණා. ඒ නිසා අපට වැඩි ප්‍රචාරයක් ලබාදීමට නොහැකි වුණා. ඒත් එක්කම අනෙක් සිනමා නිර්මාණත් සමඟ සසඳද්දී නම් අපි ප්‍රචාරණ කටයුතුවලට වෙන් කළ මුදල වෙන්නේ බොහොම කුඩා මුදලක්. ඒ අයත් එක්ක අපට හැපෙන්නත් බෑ. මේ සියලු කාර්යවලට වඩා අපි ප්‍රමුඛ තැන දුන්නේ ගුණාත්මක සිනමාපටයක් රැගෙන ඒම සඳහායි. එයයි අපේ මූලික අරමුණ වුණේ. ජනප්‍රිය සිනමාවට වගේම මේ සිනමාවටත් යම් සිනමා රසිකයන් ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් මේ චිත්‍රපටය නරඹාවි. කවදා හෝ යම් දිනක මේ චිත්‍රපට සියලු දෙනාම නරඹන තැනකට ඒවි. එවිට ඔවුන් මේ චිත්‍රපට නරඹාවි. ඒ දවස උදාවනතුරු අපි බලාගෙන සිටිනවා.

මොන දේ කරන්නත් අපි පළමු අඩිය තැබිය යුතුයි. ඒ පළමු අඩිය අපි තිබ්බා. චිත්‍රපටයට මුදල් වියදම් කළ නිෂ්පාදකවරයාට උවමනා වුණේ හොඳ චිත්‍රපටයක් කරන්න. ඒ නිසා ඔහු මුදල් කොයි තරම් ගියා ද කියලා බැලුවේ නැහැ. ඒකත් මේ තරගයේදී මට වැදගත් සාධකයක් වුණා.

* නිෂ්පාදකවරු 80,000 ක්. කිසිම නිර්මාණයක නොමැති තරම් නිෂ්පාදකවරු ඔබගේ නිර්මාණයට දායක වෙලා?

මේක කාන්තා සමුපකාර සමිතියකින් කළ නිසා ඒ සියලු සාමාජිකයන්ම චිත්‍රපටයේ නිෂ්පාදකයන්. එහි 80,000 ක සාමාජිකයන් නිසයි මා චිත්‍රපටය තනන්නේ. මේ කාන්තා සමුපකාරයේ විධායක නිෂ්පාදකතුමා ඇතුළු ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්, අනෙක් සියලු දෙනාටත් මගේ ස්තුතිය පිරිනැමිය යුතුයි. ඒ මගේ බයිස්කෝප් සිහිනය සැබෑ කර ගන්න මට උදව් වුණාටයි.

* ඉදිරියේදී ඔබ සිනමා රසිකයන් අතරට එන්නේ මොන වගේ නිර්මාණයකින්ද?

තවත් චිත්‍රපටයක් කිරීමේ අදහසක් මට තිබෙනවා. මේ දවස්වල ඒ සඳහා පිටපත ලියමින් තමයි ඉන්නේ. ඒ චිත්‍රපටය මේ චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනස්ම නිර්මාණයක් වේවි. ඒ ගැන අපි පස්සේ කතා කරමු.