|
අපේ‍්‍රල් පස් වැනි දිනය අපේ ඉතිහාසයේ සටහන් වනුයේ මහත් විනාශකාරී දිනයක් හැටියටය.ජපන්නු කොළඹට බෝම්බ දැම්මේත් තරුණයන් පවතින රජයකට විරුද්ධව කැරුලි ගැසුවේත් අප්‍රේල් මස පස් වැනි දිනකය.එහෙත් එබඳු දිනයක මෙරට සුවහසක් මිනිසුන්ගේ සිත් සතන් බුද්ධියෙන් සහ ප්‍රතිභාවෙන් ඔප වත් කළා වූ ද ලෝක සිතියමේ මෙරට නාමය මහ ඉහලින් සටහන් කළාවූද මහා පුරුෂයෙකු ද ජන්ම ලාභය ලබා ඇත්තේය.ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. 1919 වසරේ අප්‍රේල් මස පස් වැනි දින දෙහිවල දී උපන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ වසරේ අනූ පස් වැනි වයට පා තබයි. වර්තමානයේ ආසියාවේ වෙසෙන සිනමාකරුවන් අතර ජ්‍යෙෂ්ටතම සිනමාකරු ඔහුය.ලෝක සිනමාවේ මට්ටමින් බැලූ කළ ඔහු දෙවැනි හෝ තුන් වැනි තැන ගනු ඇත.ලොව දැනට ජීවත් වන ජ්‍යෙෂ්ටතම සිනමාවේදියා පෘතුගාලයේ මැනුවෙල් ඩි ඔලිවේරාය.1908 වසරේ උපන් ඔලිවේරා පසු ගිය වසරේ ද අලුත් චිත්‍රපටයක් ගැබෝ ඇන්ඩ් ද ෂැඩෝ නමින් නිර්මාණය කළේය.ඔහු සිනමාවට පිවිසෙනුයේ නිහඩ සිනමා යුගයේය. ලෝක සිනමාවේ නිහඩ, කතානාද සහ ඩිජිටල් යන යුග තුනෙහිම චිත්‍රපට නිර්මාණය කළ එකම සිනමාකරු ඔලිවේරාය.එහෙත් ඔලිවේරා රටක මිනිසුනගේ සිනමාව ගොඩ නැගිය යුත් දිශානිතිය මෙයයැයි පෙන්වා දුන්නේ ද නැත.රටක සිනමා පරම්පරාවකට ගුරු වුයේ ද නැත.අලුත් පරම්පරාවේ නිර්මාණකරුවන් යන මග දැක සතුටු වූයේ ද නැත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් ගේ අනූ වැනි ජන්ම දිනය නිමිති කොට මගේ සංස්කරණයෙන් ආවර්ජනා නමින් ග්‍රන්ථයක් එළි දැක්විණ.එහි ඇතුළත් වූයේ ආචාර්ය ලෙස්ටර් ගේම ස්වයං අත්දැකිම් පිලිබඳ ආවර්ජනයකි.එම ග්‍රන්ථයෙහි පසුවදන ලියන ලද්දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ය. ඔහු එහි මෙලෙස සඳහන් කළේය. සිංහල සිනමාවේ පීතෘවරයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.ඔහුට සහජාත අතිජාත පුත්‍රයන් ගණනාවක් සිටිති.ඔවුන්ට ලෙස්ටර් ගෙන් ලැබුණු වාසගම පීරිස් නොව සිනමාවේදී යන්නය.පතිරාජ,වසන්ත,තිස්ස.ප්‍රසන්න,ජයන්ත, හඳගම,බූඩි,විමුක්ති ආදී හු ඒ අතර ප්‍රමුඛයෝ වෙති.මේ සෑම දරුවකුටම ආචාර්ය ලෙස්ටර් හොඳ උප්පැන්න සහතිකයක් දී තිබේ. තිස්ස අබේසේකර Growing with Leste කීවාක් මෙන් ලෙස්ටර් සමග අපේ සිනමාව වැඩුණේය.අපේ රසඥතාව වැඩුණේය.සිනමා විචාරය වැඩුණේය.කොටින්ම ලෙස්ටර් නිසා ලෝක සිනමා සිතියමේ අපේ පුංචි ශ්‍රී ලංකාව බැබලුණේය. ආචාර්ය ලෙස්ටර් පිළිබඳ හඳුන්වාදීමට ඉතා සරල එමෙන්ම සංක්ෂ්පිත හා විශිෂ්ට හඳුන්වාදීමක් තවත් නැති තරම්ය.අපේ සිනමාව ආරම්භ වනුයේ ලොව විශිෂ්ටතම සිනමා කෘතින් රැසක් ද එළි දුටු පසුවය. මුල් දශකයේ අපේ චිත්‍රපට ලෝක මට්ටමෙන් කිසිසේත් අලගු තැබිය නොහැක.සිනමා මාධ්‍ය පිළිබඳ එහි දැක ගත හැක්කේ අල්ප මාත්‍ර ලක්ෂණයන් පමණී.එහෙත් ආචාර්ය ලෙස්ටර් අපේ සිනමාව ට මාධ්‍ය හදුන්වා දුන්නේය.එහි අනාගතය මේයැයි කියා දුන්නේය.සැබැවින්ම අපේ සිනමාව හැදුනේ වැඩුණේ පමණක් නොව එහි සිතුවිලි ධාරාව බිහි කරනුයේ ද ආචාර්ය ලෙස්ටර් ගේ සිනමාව හරහා යන්න අතිශයෝක්තියක් නොවන්නේය. එදවස දකුනු ඉන්දියානු නාටකීය සිනමා මුහුණුවර දුරු කොට එයට සැබෑ සිනමා මුහුණුවර දීමේ දී ආචාර්ය ලෙස්ටර් කළ මෙහෙය කිසිවකු සමග සැසඳීය නොහැක. ඔහු සිනමාවට පිවිසෙනුයේ වාර්තා සිනමාකරුවකු හැටියටය.රජයේ චිත්‍රපට අංශයේ සිට ඔහු සමග යහපත් චේතනාවකින් එළියට බසින පිරිස අතරින් විලී බ්ලේක් තවමත් කැනඩාවේ ජීවත් වෙයි.අනිත් හිතුවක්කාරයා වන ටයිටස් තොටවත්තයන් මෙයට වසර කිහිපයකට පෙර සමු ගත්තේය. ආචාර්ය ලෙස්ටර් උපදිනුයේ නිහඩ සිනමා යුගයේය. ඉංග්‍රීසි උගත් මැද පංතියේ සාමාජිකයකු ලෙස සම්භාවනීය කලා රස වින්දනයට ඔහු යොමුවනුයේ ගැටවරවියට එළැඹෙත්මය. ඔහුගේ මුල් රැකියාව පුවත්පත් කලාවයි. ඔහු සිනමාකරුවකු වන්නට අත් පොත් තබනුයේ එංගලන්තයේය.දෛවෝපගත පරිද්දෙන් මෙරට රජයේ චිත්‍රපට අංශය උදෙසා රැල්ෆ් කීන් නම් වාර්තා සිනමාකරු විසින් යළි ලෙස්ටර් මෙරටට ගෙන්වා නොගෙන්වන්නට ඔහු සිනමාකරුවෙක් වනුයේ එංගලන්තයේය.එසේ වූවා නම් යුරෝපයේ සිට චිත්‍රපට තනන මුල්ම ශ්‍රී ලාංකික සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් වන්නට බැරි කමක් නොතිබුණි. එපමනක් නොව එම බ්‍රිතාන්‍ය සිනමාකරු අපේ කෙනෙක් යැයි යනුවෙන් පමණක් සළකා අප ක්‍රියා කරනු ඇත. එහෙත් දෛවය ඔහුට නියම කර තිබුනේ එසේ වන්නට නොවේ.ඔහුට රටක සිනමා පරම්පරාව ඉදිරියට ගෙන යෑමේ වගකීම පවරා තිබිණ. අපේ සිනමාවේ මතවාදී චින්තනය වෙනස් කරන්නට සිනමාවේ අලුත් පරම්පරාවක් ගොඩ නගන්නට සිනමා රසඥතාව උදෙසා අරගලයක් කරන්නට කිසිවකු මෙරට බිහි වනුයේ නැත. එය කැට හැර කිව හැකි කාරණයක් වනුයේ ආචාර්ය ලෙස්ටර් ට පසු තවත් සිනමාකරුවන් රැසක් බිහිව ආව ද ඒ කිසිවකුට සිනමා කරණයෙහි පරම්පරාවක් බිහි කිරිමේ ගෞරවය අත් පත් නොවන බැවිනි.අලුත් මතවාද ගෙන ආව ද ඒ සියල්ල සමග පරම්පරා ගැටුමක් ඇති නොකොට යාවත්කාලීන වන පුද්ගලයන් ඒ අතර නොවේ. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මෙන්ම තිස්ස අබේසේකරයන් ද ඇතුලු සිනමා පරම්පරාව හඳුන්වා දිමේ ගෞරවය හිමි වණුය් ලෙස්ටර්ටය.අද කවර තරමේ කෙනෙකු මෙරට සිනමාකරණයේ නියැලුන ද ඒ සියල්ල කොයි මාර්ගයෙන් හෝ ආචාර්ය ලෙස්ටර් මග අනුදත් සිනමාකරුවන් බව පැහැදිළිය. එමෙන්ම සිනමා ආකල්ප වෙනස් කිරිම සඳහා ඔහු දැරූ ප්‍රයත්නය අද වනතෙක් කිසිවකු ගේ අවධානයට පතු නොවූ කාරණයකි. ආචාර්ය ලෙස්ටර් විසින් වරින් වර පළ කරන ලද අදහස් සහ ඔහුගේ ලිපි ඇතුළත් පොත් ගණනාවක් එළි දැක ඇත්තේය.මේ ඇතැම් ලිපියක් මෙරට සිනමාව පිලිබඳ ඔහු අන් සියල්ලට වඩා ඉදිරියෙන් ලෝකය දැන සිටියේ ද යන්න සාක්ෂාත් කරනුයේය. ඔහුගේ මතවාද අපේ ඇතැම් සිනමා බලධාරීන් ගණන් ගත්තා නම් අපේ සිනමාව පිලිබඳ කතාව වර්තමානයට වඩා යහපත් වනු ඇත.එහෙත් සිනමාව පිළිබඳ දූපත් මානසිකත්වයෙන් හෙබි අපේ උද්ධච්ච සිනමා බලධාරීන් ආචාර්ය ලෙස්ටර් ගේ මත කියවන්නට තරම් නිහතමානිවූයේ නැත. පස් වැනි දින බිහි වීමට නියමිත ජාතික සිනමා සංරක්ෂණාගාරය පසුගිය කාලය මුලුල්ලේම එකිනෙකා අතර කඹ ඇදිල්ලෙන් යටපත් ව ගිය කරුණකි.එහෙත් ආචාර්ය ලෙස්ටර් සිනමා සංරක්ෂණාගාරයනක් අවශ්‍යතාව මුලින්ම කියා සිටියේ 1983 වසරේ අපේ චිත්‍රපට ගින්නෙන් විනාස වූ පසුව නොවේ. 1957 තරම් ඇතකදීය. සිනමාව ඩිජිටල්කරණය පිළිබද ඉක්මන් උනන්දුවක් අපට ඇති වුණ ද දළ සේයා පටයේ චිත්‍රපට තනන අවසන් පරම්පරාව පිලිබඳ ආචාර්ය ලෙස්ටර් පැවසුයේ මෙයින් දශකයකට මත්තෙනි.එකී පරිවර්තනයන් අද ගිරව් මෙන් කියා පෑව ද ආචර්ය ලෙස්ටර් තරම් සිනමාකරණයෙහි ලා යාවත් කාලින වන්නන් අපට ඇත්තේ කෙනෙකු දෙන්නෙකු පමණී. සිනමා රස වින්දන ආකල්ප වෙනස් කරන්නට ඔහු දැරූ ප්‍රයත්නය මල් පල ගැන්වනුයේ එක් රැයකින් නොවේ.එය වාණිජ ලාභයන් ගෙන් තොර කැප කිරීම් පිළිබඳ දුෂ්කර ව්‍යායාමයක් විය. ආචාර්ය ලෙස්ටර් පවසන පරිද්දෙන් ඔහු මෙරට ජන ජීවිතය අඳුනා ගන්නේ වාර්තා සිනමාකරුවකු හැටියටය. රැල්ෆ් කීන් ගේ මා හැඟි වාර්තා චිත්‍රපට නිර්මාණයක් වන වියලි කලාපය ජය ගැන්ම රූ ගැන්වීම සඳහා අනුරාධපුරයට යන තුරුම ඔහු අපේ රටේ වියලි කලාපය හෝ සාමාන්‍ය ජන ජීවිතය දැන සිටියේ නැත. එහෙත් ඔහු ඉතා ඉක්මනින් ගමේ ඉපිද නගරයේ චිත්‍රාගාරවලට වී ගම රූ ගත කළ සිනමාකරුවන්ට වඩා ඔහු ගම හඳුනා ගත්තේය.එයටත් වඩා ලෝකයට පොදු මිනිස් ධර්මතාවයන් සිනමා තිරයට නංවා ගත්තේය. බාහිර වශයෙන් කවර පරිසරයක සිටිය ද අභ්‍යන්තර වශයෙන් මිනිස් සිත් සතන් අතර සඟවා ගත් සිතුවිලි ඔහු රිදී තිරය මත විස්තාරණය කළේය.මිනිස් සිතුවිලි අතර ඇති ගූඩ අඳුරු ස්වභාවය හෙළි කිරීම අප මුල් වරට දකිනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාව හරහාය. මෙරට සමාජ පරිවර්තනයේ යේ සිදුවන විපරීත කම් අප හඳුනා ගනුයේ ඔහුගේ සිනමාව හරහාය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඉන්දියාවේ නවදිල්ලි අන්තර් ජාතික සිනමා උළෙලේ දී සිනමා කර්මාන්තය වෙනුවෙන් යාවජීව සම්මානයෙන් පුදනු ලද්දේ 2000 වසෙර්ය.මෙම උළෙලට මම ද සහභාගි වුනෙමි.ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් ඇති ජාත්‍යන්තර පිලිගැනිම කෙතරම්දැයි මා ඇස් පනාපිට දැක ගත්තේ එදාය.එමෙන්ම සිනමාව පිළිබඳ එතුමන්ගේ ඇති උනන්දුව ද මට වැටහුණේ එහිදීය.ඒ වන විට ද ආචාර්ය ලෙස්ටර් ට වයස අවුරුදු අසූවකි.ඒ දවස්වල දිල්ලියේ සීතල සෘන අංශක ගණනට කිට්ටුය.දිල්ලියට වැඩිම සීතල ගෙන දෙන ජනවාරිය එය බැව් එරට කාලගුණය ද පවසා තිබිණ.සිනමා උළෙලේ චිත්‍රපට දැක්ම ඇරඹෙනුයේ උදේ නමයයි තිහටය.එහෙත් හොඳ චිත්‍රපටයක් ඇති දවස්වල ආචාර්ය ලෙස්ටර්ට සීතල දැනෙන්නේ නැත.අයහපත් කාලගුණයට අභියෝග කරන එතුමන්ට ඇවැසි චිත්‍රපට නරඹන්නටය.දා හතර වසරකට පසු අද ද එතුමන්ගේ සිනමා උනන්දුව තවමත් තරුණය.අද පවා තිර ගත වන අලුත් සිනමාකරුවන්ගේ චිත්‍රපට පිළිබද දැන ගන්නට එතුමන්ට ඇති උනන්දුව අධිකය.සාමාන්‍යෙයන් වර්තමානයේ සිනමාහලකට ගොඩ නොවුන ද චිත්‍රපටයක් දැක ගන්නට එතුමන්ට ඇත්තේ බලවත් ආසාවකි.සිනමාව පිලිබඳ කතා කරන්නට එක් වද්දී වයෝවෘධ භාවය නිසා ගතට ඇති වන අසීරුකම් සියල්ල සිතින් බැහැර යයි.ඉතා මෑතක සැමී ගේ කතාව චිත්‍රපටය නරඹන්නට සිනමාහලකට ගොඩ නොවැදුන ද එය නිවසේ සිට නරඹා ඒ පිළිබද එතුමන් කතා කළේ අභිරුචියෙනි. මේ මහා සිනමාකරුවා ගේ අතීත මතක පොත දීප්තිමත්ය.වසර ගණනාවකට පෙර නැරඹූ චිත්‍රපටයක රූප රාමු ඔහු විස්තර කරනුයේ එය එයට පැයකට පෙර නරඹා නිම කළ අන්දමටය.පසුගිය ජීවිතයේ අත්දැකීම් දින වකවානු සහිතව පවසන්නේ සිය මතක පොත පිළිබද අපට ද ඊර්ෂ්‍යාවක් ඇති වන පරිද්දෙනි.මේ මතක පොතේ එක් පිටුවක් පෙරලූ ඔහු ඒ මගේ දියණිය හමුවෙයි මෙලෙස පැවසුවේය. මතක තියා ගන්න ඔයාගේ තාත්තා අම්මාව කැන්දාගෙන එන දවසේ අපිත් ආවා“ අපේ මහා සිනමාකරුවාණනි ඔබට චිරං ජයතු !!!
|