වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




චරිතයක් ඉල්ලා ලියුමක් යැව්වා

චරිතයක් ඉල්ලා ලියුමක් යැව්වා

නිළි රැජන මාලිනී ෆොන්සේකා

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලාංකේය සිනමාවේ ජ්‍යෙෂ්ඨතම අධ්‍යක්ෂවරයායි. දේශීය සිනමාව පෝෂණය කරමින් එතුමා හෙළ සිනමාවට දායාද කළ දේ බොහෝයි. එදා මෙදාතුර වසර ගණනක් ගත වී ගොස් තිබේ. මේ අද්විතීය සිනමාකරුවාගේ 95 වැනි ජන්ම දිනය අප්‍රේල් 05 වැනි දිනට යෙදී තිබේ. මෙවැනි වූ සුවිශේෂ අවස්ථාවක ඒ අසහාය අධ්‍යක්ෂවරයා ගැන කතා කරන්නට අපි හමු වුණේ කලාවට සුවිශේෂ වූ තවත් දෙදෙනෙක්. හෙළ සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා සහ ජ්‍යෙෂ්ඨ රංගධර රවීන්ද්‍ර රන්දෙණියයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගැන මගේ හිතේ තියන්නේ හරිම සුන්දර මතක සටහන්. මට මතකයි මම පුංචි කාලේ රංගනය පටන් ගත්තේ නාට්‍යවලින්. ඒ වුණත් ඒ කාලයේ මගේ හැඟීමේ දැනීමේ හැටියට චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉහළින්ම කතා කරන චරිතය ලෙස්ටර් ජේම්ස් පීරිස් බව අවබෝධය තිබුණා. ඉතින් මං එතුමාට ලියුමක් ලිව්වා. මං එතුමාගේ පික්චර් එකක රඟපාන්න ආසයි කියලා. ඒක සුන්දර මතක සටහනක්. එදා මම යැවූ ලියුම එතුමාට ලැබුණා ද කියලා නම් දන්නේ නැහැ.

කාලයකට පසුව මම නිළියක් වෙනවා. ඊට පසුව මේ අග්‍රගණ්‍ය සිනමාවේදියාගේ චිත්‍රපට හයකම ප්‍රධාන චරිත මට ලැබෙන්නේ පුංචි කාලයේ මගේ හීනය සැබෑ කරමින්. මගේ අඩ සියවසක සිනමා දිවියේ සවිමත් අඩිතාලම වුණේ එයයි. විදෙස් රටවල සිනමා උළෙල සඳහා සහභාගි වන විටදී අනෙකුත් රටවල අය සමඟ කතාබහේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ රට පිළිබඳ තබා ඇති අනන්‍යතාව ගැන තියෙන්නේ මහත් අභිමානයක්. දිනක් යුරෝපීය අධ්‍යක්ෂවරයෙක් මා හඳුනා ගත්තේ නිකටේ ලප වලින්. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් අධ්‍යක්ෂවරයා නිධානය චිත්‍රපටයේ කළ සුවිශේෂ අධ්‍යක්ෂණය නිසා.

ඇත්තටම එතුමා සිය නිර්මාණ තුළ අධ්‍යක්ෂණ කර්තව්‍ය ඉටු කළේ හරියට මල නොතලා රොන් ගන්නා සේයි. අපේ රංගනය තුළ වූ ඉතා සියුම් දේ අපටත් නොදැනෙන අයුරින් හරිම අපූරු ලෙසට තම නිර්මාණ තුළට එතුමා ගත්තේ කවුරුත් පුදුම කරමින්. ඒ වගේමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ කවදාවත් කාගෙවත් හිත රිදෙන වචනයක්වත් නොකියූ පුද්ගලයෙක්. එතුමා දර්ශන තලයේ කාර්මික ශිල්පීන් සමඟින් පවා ඉතාම සුහද ලෙසින් කටයුතු කළ විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක්.

සිනමා ලෝකයේ චරිතයක් වුණත් එතුමා ඇත්තටම පුංචි දරුවෙක් වගේ පුංචි පුංචි දේවල් කියලා අපිව නිතරම හිනස්සවනවා. ඒ චරිතය ගැන කාගේත් හිත් තුළ තියෙන්නේ කියන්නත් බැරි තරමේ මහා ගෞරවයක්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉතාම සුහද ආදරණීය පුද්ගලයෙක්. දේශීය සිනමාවට, රටට සම්පතක් වූ එතුමාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.


රංගන ජීවිතයට ලද ආශිර්වාදයක්

රංගධර රවීන්ද්‍ර රන්දෙණිය

දේශීය සිනමාව කියලා දෙයක් තියනවා නම් ඒ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා නිසා කියන්න පුළුවන්. එහි අනන්‍යතාව තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඒක කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා දෙයක්. සිනමාවේ චූඩා මාණික්‍යය ලෙසින් හඳුන්වන්න පුළුවන්. හැට වසරක කාලයක් පුරාවට එතුමාට අභියෝග කරන්නට කිසිවකුට නොහැකි වූවා සේම එතුමා තරම් වූ වෙනත් ජ්‍යෙෂ්ඨ කිසිවෙකුත් අපේ සිනමාවේ නැහැ.

ලෝකය පුරා දේශ දේශාන්තරයන්ගෙන් සම්මාන ලබමින් එතුමා ජාත්‍යන්තරයේ අපේ රටේ නම රැඳ වූයේ, දේව වරමකින් ලද ආශිර්වාදයක් වගේ. ඒ වගේමයි ඉදිරියේදී සිංහල සිනමාව තුළ ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි වූ අග්‍රගණ්‍ය අධ්‍යක්ෂවරයකු බිහි වේවි යැයි මා හිතන්නේ නැහැ. ලෙස්ටර් ජේම්ස් පීරිස් නාමය මෙරට ගෞරවාදරයට පාත්‍ර වන සංකේත අතරින් එකක් ලෙසින් සලකන්න පුළුවන්.

එතුමා සිනමා ක්ෂේත්‍රය තුළ ඇති කර වූ විනය ඉතාමත් සුවිශේෂයි. මගේ චිත්‍රපටයක් තිරගත වෙන්නත් ප්‍රථම මා ‘දෑස නිසා’ චිත්‍රපටයට තෝරා ගැනීම මගේ රංගන ජීවිතයට ලද ආශිර්වාදයයි. මේ අග්‍රගණ්‍ය අධ්‍යක්ෂවරයා එදා මා වැනි ආධුනික රංගන ශිල්පියෙකු තෝරා ගැනීම මගේ හතළිස් දෙවසරක සිනමා ගමනට විශාල සවියක් වුණා. එතුමාණන්ගේ දැවැන්ත චිත්‍රපට අතර ගෝඩ් කිං චිත්‍රපටයේ ලී ලෝසන්, ඔලිවර් ටුබායිස්, ජොෆ්රි රුසෙල් සමඟ රජ චරිතයක් නිරූපණය කළ ශ්‍රී ලාංකික රංගන ශිල්පියා වීමේ භාග්‍ය හිමි වුණෙත් මටයි. එහි මම සමඟ ජෝ අබේවික්‍රම සහ විජය කුමාරණතුංගත් රංගනයෙන් දායක වුණා. ඒ වගේම වෑකන්ද වළව්ව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබීමත් මගේ ජීවිතයේ ලද භාග්‍යයක්. ඒ තුළිත් ලද අත්දැකීම් රංගන ජීවිතයට වූ පිිටිවහල අති විශාලයි.

මේ විශිෂ්ට අධ්‍යක්ෂවරයා සමඟින් දර්ශන තලයේදී විනය සේම කැප වීම නිරායාසයෙන්ම ලැබෙන දෙයක්. ඒ විනය අපේ ජීවිතවලටත් එකතු කළ දේ අප්‍රමාණයි. ලෙස්ටර් මහත්මයා දර්ශන තලයේදී උස් හඩින් කතා කරනවා මා කෙදිනකවත් අසා නොමැති දෙයක්. ඒ අවස්ථාවන් එතුමා ඉතා අපූරු ලෙසින් හසුරුවා ගත්තා. ඒ වගේමයි කිසිම අවස්ථාවක මේ විදියට රඟපාන්න යැයි කිිම රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට එතුමා විධාන පැන වූයෙත් නැහැ.

 ඒ වුණාට රංගන ශිල්පීන් හැසිරවීමේ මහා බලයක් එතුමා සතුව තිබුණා. එතුමා සිටින දර්ශන තලයේ පුදුමාකාර ගෞරවණීයත්වයක් තිබුණේ. ඕනෑම චරිතයක් හඳුන්වා එහි පසුබිම පිළිබඳ අවබෝධය කර දීම පමණයි එතුමා හැමදාම කළේ. එය ලෙස්ටර් නම් වූ අධ්‍යක්ෂවරයාටම සුවිශේෂ වූ ලක්ෂණයක්.