වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




උණුසුම් නිල් පැහැය කියන ආදර කතාව

උණුසුම් නිල් පැහැය කියන ආදර කතාව

වැසුණු දොර විවර කර ගෙන ඇය නිවසින් එළියට බසියි.ඇයට වයස අවුරුදු පහලොවක් පමණ වනන්ට ඇත. ඇය ගේ නිවසේ අංකය ද පහලොවයි.එය පැහැදිලිව පෙනෙයි. නිල් පැහැය රූපයේ ඇඳී ඇත්තේ සිතුවමක් මෙන් චමත්කාරයක් මවමිනි.නිවස ඇත්තේ කුඩා කඳු ගැටයක් මතට වන්නටය. නැතහොත් උස් බිම් කඩකය. එය ධනවත් නිවසක් නොවේ.නොඅනුමානවම මෙහි වසන්නෝ සාමාන්‍ය මධ්‍යම පංතියේ සාමාජිකයන්ය.

ඇය නිවසේ සිට කඩිනම් ගමනින් තෙරක් නොපෙනෙන මහ පාර දිගේ ගමන් කරයි.පහලට ඇදී එන මග ඈතින් පෙනෙන කඳු පංතිය ද පරිසරය කෙරෙහි අපේ ආදරය වැඩි කරන සුළු දර්ශණයක් මවන්නට සමත් වෙයි. එය නගරයෙන් බැහැර පෙදෙසකි. තරුණියගේ උරහිසේ ඇති ගමන් මල්ල එල්ලා වැටෙයි. අතුරු පාරක ගමන් ගන්නා බස් රථය දුටු මතින් ඇය එයට දිව නොඑයි. එහෙත් එක් වරම ඇය යමක් සිහිපත් වූවාක් මෙන් බස්රථයට දිව යයි. එවිට රථය තරමක් ඉදිරියට ඇදී ගොසිනි. අනිත් ගොඩනැගිලි වලට මුවාවෙන බස් රථය නතර වූවාද අපි නොදනිමු. එහෙත් ඇය දුම්රියක ගමන් කරන වග අපට දැනෙයි. ඇය සිටිනුයේ එහි වීදුරුවට හේත්තුවෙමිනි. එතුවක් ඇය හිස පැළඳී තොප්පිය දැන් නැත.එහෙත් ඊළඟ දර්ශනයේ දී යළි සීතලයට පළඳීන තොප්පිය ලා ගන්නා ඇය කඩිනමින් නගරයේ වීදි දිගේ දිව යන්නීය. ඇය දිව යන්නේ ඇයගේ පන්තියටය.

නිල් පැහැය සොඳුරුය. උණුසුම්ය. එහෙත් එහි සැඟවුණ අර්ථය එයට වඩා වෙනස්ය. යෞවනියකගේ ජීවිතය වටහා ගැන්ම ට ඔබට ඇති හැකියාව කුමක්ද? ඔවුන්ගේ මානව සම්බන්ධතාවන්ගේ යුක්ති අයුක්ති සහගත බව පිලිබද සහතික දෙන්නට තරම් ඔබත් මමත් කෙතරම් අවංක වන්නේ ද? ගැටවර වියට එළැඹෙන ඇයගේ පියකරු ජීවිතය කවර අතට ගලා යන්නේ ද වටහා ගැන්මට අප සමත් වෙන්නේ කෙසේ ද? එහි සොඳුරු මානයන් පිලිබඳ පිටස්තරයන් ලෙස වටහා ගැන්මට අප සමත් ද ?

පසුගිය කාන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි පැල්ම ඩි‘ඔර් සම්මානය දිනා ගන්නා ලද බ්ලූ ඊස් වෝමස්ට් කලර් චිත්‍රපටය ඇරඹෙන මුල් දර්ශන මාලාව ට පසු විවරණයක යෙදෙන්නේ නම් එම ගැටලුවට නිවැරදි පිළිතුරක් අප වෙතින්ම සපුරාලීමේ වගකීම පැවරෙන්නේ නිතැතිනි. චිත්‍රපටය ප්‍රංශයේ තිර ගත වනුයේ ද ලයිෆ් ඔෆ් ඇඩ්ලි: චැප්ටර් වන් ඇන්ඩ් ටූ යන යමිනි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ අබ්දෙලාතිෆ් කෙචීච් නම් සිනමාකරුවෙකි.වර්තමානයේ ප්‍රංශයේ ජීවත් වන ඔහු උපන්නේ ටියුනීසියාවේය.ඔහු මාපියන් සමග ප්‍රංශයට පැමිනෙනුයේ වයස අවුරුදු හයේ දීය.නළුවකු තිර රචකයකු ලෙස ද කටයුතු කරන ඔහු ගේ මුල්ම සිනමා කෘතිය 2000 වසරේ දී එළි දකින බ්ලේම් ඉට් ඔන් වෝල්ටයර් ය.ගේම්ස් ඔෆ් ලව් ඇන්ඩ් චාන්ස්,ද සීක්‍රට් ඔෆ් ද ග්‍රේන්,බ්ලැක් වීනස් ඔහු ගේ මුල් සිනමා කෘතින් වෙයි. මේ අතරින් බ්ලැක් වීනස් පසුගිය වසරේ මෙරට පැවැත්වූ ප්‍රංශ කතාකරන රටවල සිනමා උළෙලට ඇතුළත් විණ.

කාන් සිනමා උළෙලේ දී එයට පැල්මා ඩි‘ඔර් සම්මානය හිමි වනුයේ ආන්දෝලාන්තමක වාර්තාවක් තබමිනි.ආන්දෝලනය ඇතැම් සුචරිත මත නිසාය. එහෙත් ඒ සම්බන්ධයෙන් කලකට ඉහත කාන් සම්මානයට හිමි කම් පෑ නගීෂා ඔෂීමා ගේ රීලාම් ඔෆ් ද සෙන්ස් වැනි චිත්‍රපටයක් සමග මෙය සසඳන්නට යෑම විහිළුවකි. කාන් උළෙල වාර්තාව නම් සිනමාකරුට මෙන්ම එහි ප්‍රධාන චරිත රඟපෑ ලී සිඩොක්ස් සහ ඇඩ්ලි එක්ස්පොලොස් ටද පැල්ම ඩී‘ඕ සම්මානය හිමි වීමය. ඇඩ්ලි එම සම්මානය දිනූ ලාබාලම යුවතියයි. සම්මානය දිනන විට ඇයගේ වයස අවුරුදු විස්සකි. අනෙක් අතට පැල්මඩි‘ඔ සම්මානය සිනමාකරුට මෙන්ම එහි නිළියන් දෙදෙනාට ද හිමී වීම එක් ආකාරයක මවිත කරවන්නක් විය. එහෙත් ජූරියේ තීරණය එය විය.

චිත්‍රපටය රූ ගත කරන අතරතුර දී සිනමාකරු සහ මේ නිළියන් දෙදෙනා ජන්ම වෛරක්කාරයන් බවට පත්වූහ.දර්ශන තලයේ දී අතිශය කෲර අමනුස්සකම් පිරි කෙචීච් සමග යළි කිසි දිනක නිර්මාණයකට දායක නොවන බැව් නිළියන් දෙදෙනාම මාධ්‍යය හමුවේ කියා පෑහ. එහෙත් කාන් සම්මානය ලැබුණ පසු ඔවුන් දෙදෙනාම සිනමාකරු විශිෂ්ටයකු ලෙස පිළිගත්හ. එහෙත් චිත්‍රපටය රූ ගන්වන අතර ඔහු ඔවුන් දෙදෙනා මෙහෙය වීමේදී ලද රෞද්‍ර සැලකුම් කිසිසේත් ඔවුහු ප්‍රතික්ෂේප කරන්නේ ද නැත.කාන් සිනමා උළෙලේ පැල්මඩි‘ඔර් සම්මානය පියානෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද ජීන් කැම්පේන් හැරුණු විට වෙනත් කිසිදු කාන්තාවක් මෙයට පෙර දිනා ගත්තේ නැත.

බ්ලූ ඊස් ද වෝමස්ට් කලර් චිත්‍රපටය මුල් වර නරඹද්දී එය මගේ සිත් ගත් චිත්‍රපටයක් වුයේ නැත.එයට වඩාත් හේතු වනුයේ පසු ගිය වසරේ කාන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි පැල්ම ඩි‘ඔර් සම්මානයෙන් පුද ලද අමොරේ චිත්‍රපටය සම්බන්ධයෙන් මා ලද ආශ්වාදයයි. මහලු යුවළක් වටා ගෙතුන එය මයිකල් හැනකි නම් පෝලන්ත ජාතික සිනමාකරුවාගේ චිත්‍රපටයකි. එපමනක් නොව එය මගේ ජීවිතයේ මා නැරඹූ චිත්‍රපට අතර විශිෂ්ට ගොන්නෙහි ඉදිරියෙන් තැබිය හැක්කකි. එහෙත් මේ චිත්‍රපටය නරඹන ලද මිතුරියන් කිහිප දෙනෙක්ම එය පිළිබඳ කතා කරන ලද්දේ එය නැවත නැරඹීමට මා තුළ පෙළඹවීමක් ඇති කරමිනි.

එය ඇඩ්ලි නම් යුවතිය සහ ඇයට අහම්බෙන් මුණ ගැසෙන එමා නම් නිල් හිස කෙස් සහිත ඇති යුවතිය සමග ඇති වන සම්මතය ඉක්මවන ඇසුර ද සමග විදාරණය කරන ස්ත්‍රිය නම් මනුෂ්‍යයා පිලිබඳ බෙහෙවින් සංකීර්ණ මනෝභාවයෙන් හා ඉතා සංවේදි ජිවිත ස්වභාවයක් ඉස්මතු කරවන චිත්‍රපටයකි.එහෙත් චිත්‍රපටය පුරා අපට පසක් කරන කාරණය නම් ස්ත්‍රිය සම්බන්ධව වැරදි විනිශ්චයන් සිදු කරනුයේ ද ස්ත්‍රින් බවය. ඇඩ්ලා සහ එමා අතර ඇති වන සම්බන්ධතාවය සමකාලින මෙරට සමාජය විසින් පිළිකෙව් කරන නමුදු මිනිස් වර්ගයාගේ තවත් එක් පැතිකඩකැයි යන සාධනීය තර්කය සියල්ල පරදා නැගී සිටියි.එයින් එක් තරුණියක් සාමාන්‍ය මධ්‍යම පංතික තරුණියකි. ඇය පාසලෙන් පසු ජිවිතය අරඹන්නේ ගුරුවරියක හැටියටය.

ඇය සමග පාශයෙහි බැඳෙන නිල් හිස් ඇති ඇය චිත්‍ර ශිල්පියෙකි. එහෙත් මේ මිතුරු දම ඇති වීම එය බිඳ වැටීම ද ජීවිතයේ තවත් අවස්ථාවක් පමණී. ඉන් අනතුරුව ඔවුන් හමුවන අවස්ථාව උනුන් හඳුනා ගැන්මක් නොමැති අවස්ථාවක් බඳුය. මිනිසුන්ගේ ආත්මාර්ථය ද ස්වභාවය ද රාගයද ස්ත්‍රිය සහ පුරුෂයා යනුවෙන් වෙන් නොකරන සාධකයකි.එමා විසින් පවත්වන ලබන චිත්‍ර දැක්මේ දී ඇය සිය විශිෂ්ට නිර්මාණය අරබයා ස්තූතිය පළ කිරීම එහි කූටප්‍රාප්තියයි. ඇඩ්ලා ශාලාවන් බැහැරව යන්නේ කිසිවකු ගේ හෝ ඇස නොගැටෙන අයුරිනි. ඇය පසුපස වැටෙන තරුණයාට ඇය ගිය මග සොයා ගත නොහැකි වෙයි.

චිත්‍රපටය නිර්මාණය කරන සමයේ දී සිනමා ශිල්පීන් වෙනුවෙන් ඇති කම්කරු නීති කිසිවක් පිළිබඳ තැකීමක් හෝ නිසි ගෙවීම් හෝ සිනමාකරු විසින් සිදු නොකරන ලදැයි මහත් චෝදනාවන් ප්‍රංශ සිනමා ශිල්පීන් දිගින් දිගටම සිනමාකරු වෙත එල්ල කළහ. සිනමා කරු සිය නිර්මාණයයේ දී මහත් ඒකාධිපතියෙකුව කටයුතු කළේයැයි දිගින් දිගටම චෝදනා නැගිණ.එහෙත් තමා එතරම් ආඥාදායකයකු නොවන්නට එහි එන මානව සම්බන්ධතා එතරම් අපූර්වම අන්දමින් රූපයට නොනැගෙනු ඇත. කලාව ජීවිතය සහ වෘත්තිය හමුවේ මිනිස් වර්ගයා සතු අනුකම්පා විරහිත බැව් නිර්මාණ ලෝකයේ ආගන්තුක නොවන්නකි. එහෙත් එය ගැහැනුන් ගේ මනස සමග සසඳමින් ගොඩ නැගූ අවස්ථාවන් මගේ මතකයේ නොඑයි. එමෙන්ම චිත්‍රපටය පුරා නිල් පැහැය සිනමාකරු ඉස්මතු කරන්නේ චරිත පමනක් නොව සිදුවීම් ද වඩා උණුසුම් ආකාරයෙන් ඉස්මතු කරන්නටය.

බ්ලූ ඊස් ද වෝමස්ට් කලර් බොහෝ දෙනා ගල් ගැසෙනුයේ එහි එන ගැහැනුන්ගේ සම්භෝගී අවස්ථාවන් නිරූපණයේ දීය. එහෙත් එය ඉතා සංවේදී දර්ශන මාලාවක් බැව් කිවයුතුය. නූතන සිනමාකරුවන් විසින් සිය සිනමා රූපය ඉස්මතු කරවිමට භාවිතා කරන සිනමා විධි අභිචාරයන් එතරම් කදිම ලෙස ප්‍රදර්ශණය කළ අවස්ථාවක් දැක ගත හැත්කේ ලාස් වොන් ට්‍රයර් වැනි සිනමාකරුවන් ගේ චිත්‍රපට සැසඳීමේදී ය. මෙම චිත්‍රපටය කාන් සිනමා උළෙලේ දී සම්මාන දිනීම මහත් ආන්දෝලාන්තමක සිදුවීමක් විය. එහි විනිශ්චය මන්ඩලයේ සභාපති පදවිය හෙබවූයේ ස්ටීවන් ස්පිල්බර්ග් විසිනි.සුප්‍රකට නිලි නිකොල් කිඩ්මන් සහ තායිවාන සිනමාකරු ආංග් ලී එහි සෙසු සාමාජිකයන් විය.

එහිදී ස්පීල්බර්ග් අවධාරණය කරන ලද්දේ එය විශිෂ්ටතම ආදර කතාවක් බවය.එහි සිනමාකරු ඉදිරියට පැමිණ කතා කියන්නට නොයයි. සිය නිළියන් දෙදෙනාගෙන් සොරා ගන්නා විශිෂ්ට රංගනය උපයෝගී කර ගන්නා සිනමාකරු තමා ඉස්මතු නොවී චිත්‍රපටයේ ජයග්‍රහණයට පාර සකසා දෙන බව විනිශචය මණ්ඩලයේ මතය විය. සිනමාකරු බලා සිටිනුයේ ඔහුගේ චරිත හුස්ම ගන්නා අන්දමය. චිත්‍රපටය පැය තුනකටත් වඩා දිගය. එහෙත් එම පැය තුන ඇතුළත මිනිස් වර්ගයාගේ දුක සැප මෙන්ම බලාපොරොත්තු ආත්මාර්ථය ද ආදරය සහ සම්බන්ධතාවන් ද සිනමාකරු නව මානයකට ගෙන ආවේය. එය සම්මතය ඉක්මවන ආදර කතාවකට සාදාචාරාත්මක හුණු ගෑමක් නොවීමය.ඇත්තටම නිල් පැහැය උණුසුම් වර්ණයක් නොවන්නේ කෙලෙස ද ?

එන්න නිල් පැහැය උණුසුම්ය. තවත් එවැනි සමකළ හැකි වර්ණයක් නැත.