|
එන්න ජාත්‍යන්තර නාට්‍ය උළෙල නරඹන්නඑම්.සෆීර්ගෙන් ආරාධනාවක් 2014 වසරෙහි පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල හෙට සිට අප්‍රේල් 02 වැනිදා දක්වා කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මෙවර නාට්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාව, ජර්මනිය, නේපාලය, ඉන්දියාව යන රටවල්වලින් නාට්‍ය ඉදිරිපත් කිරීම සිදු වෙයි. මේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පිළිබඳ එහි ප්‍රධාන සංවිධායක එම්. සෆීර් සමඟ සරසවිය කළ සාකච්ඡාවකි.
* කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ තුන්වැනි වරටයි. පසුගිය වසරවලට වඩා එහිදී මෙවර ලැබූ යම් සාර්ථකත්වයක් තිබේද?ගිය වසරවලදී නාට්‍ය උළෙලත් පවත්වාගෙන යාමේදී තිබුණා වූ අමාරුකම් එහෙමම තිබුණත්, මෙවර යම් යම් කාරණාවල සාධනීය බවක්, වර්ධනයක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ගිය වසරවලට වඩා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවීමත් අප අගය කළ යුතුයි. වෙන වසරවලට වඩා මෙවර ජාත්‍යන්තරය නියෝජනය කරන රටවල් ප්‍රමාණයේ වුව ද වෙනසක් දකින්නට හැකියි. අනුග්‍රාහකයන් සොයා ගැනීම පිළිබඳ ගැටලුවට අපට ගිය වසරවල වගේම මෙවරත් මුහුණ දෙන්නට සිදු වුණා. මට තවමත් හිතා ගන්නට නොහැකි කාරණයක් තිබෙනවා. ඒ කිසිම නොවැදගත් දේවල්වලට වුණත් මුදල් වියදම් කරන්න ඕනෑ තරම් අනුග්‍රාහකයන් සිටියත්, මේ වගේ වැදගත් දෙයකට අනුග්‍රාහකත්වය දරන්න අය නැත්තේ ඇයි කියන ප්‍රශ්නයයි.
* ජාත්‍යන්තරයෙහි පැවැත්වෙන නාට්‍ය උළෙලවලදීත් ඔවුන්ටත් මෙවැනි ගැටලුවලට මුහුණ පාන්න සිදු වී තිබෙනවාද?පසුගිය කාලයේ මා ලෝකයේ පැවැත්වුණු බොහෝ නාට්‍ය උළෙලවල් සඳහා සහභාගි වී තිබෙනවා. එහිදී සිදුවන සංවිධාන කටයුතු පිළිබඳ සොයා බලන්නටත් අමතක කළේ නැහැ. මට ඉන් පෙනුණේ මේ උළෙලවලත් බොහෝ ගැටලු සහගත තත්ත්වයක් තිබුණු බවයි. සමහර අයට තම උළෙල පවත්වාගෙන යෑමේ උවමනා තරමටම අනුග්‍රාහකයන් නොලැබී තිබුණා. උදාහරණයක් විදියට මම ගිය මාසයේ සහභාගි වුණු යුරෝපා නාට්‍ය උළෙලේදි සියයට 25% ක්වත් අනුග්‍රාහකයන්ගෙන් ආවරණය වෙලා නැහැ. 25% ක් ආවරණය වෙන්නේ ටිකට්වලින්. ඉතුරු 25% ක් නගර සභාව දැරුවා. ඒ නිසා 25% ක අඩුවක් ඒ උළෙලේ තිබුණා. ඒ වගේම ඉන්දියාවේ දිල්ලිවල තිබුණු ළමා නාට්‍ය උළෙලට සහභාගි වුණු වෙලාවේ ඔවුන්ට හිටියේ අනුග්‍රාහකයෝ දෙන්නයි කියලා. එහි සංවිධායක කටයුතුවලට මාත් දායක වුණු නිසා දන්නවා. අවසානයේ නාට්‍ය කණ්ඩායම්වලට දෙන්නට තීරණය කරගෙන හිටිය මුදල දුන්නේත් නැහැ. මේ වගේ විවිධ ගැටලුකාරී තත්ත්වයන් සෑම නාට්‍ය උළෙලකම සතුයි. ඒ වගේම අපූරු නාට්‍ය උළෙලක් ද මට හමු වුණා. ඒ ටෙරාන්වල තිබෙන නාට්‍ය උළෙලයි. මෙහි ප්‍රධාන අනුග්‍රහය දරන්නේ ඒ රටේ මහ රජු විසින්.
* මේ කාරණා ඔස්සේ අපට හැඟෙන්නේ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල මීට වඩා වර්ධනය විය යුතු බවයි. එහෙම නම් ඒ කොහොමද?අපේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල ලෝකයේ තිබෙන්නා වූ නාට්‍ය උළෙලවලට සාපේක්ෂව බොහොම පුංචියි. මට උවමනා වුණේ මිට වඩා සම්පූර්ණ වූ නාට්‍ය උළෙලක් පැවැත්වීමටයි. ලෝකයේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලවල් පැවැත්වීමේදී ඊට උරුම වූ යම් ස්වභාවයක් තිබෙනවා. ආසන්නයේ තිබෙන ඉන්දියාව වගේ රටක නාට්‍ය ශාලා හතරක එකම වෙලාවේ නාට්‍ය හතරක් පෙන්වනවා. එඩින්බරෝ වගේ නාට්‍ය උළෙලක් ගත්තොත් එකම වෙලාවක, නාට්‍ය ශාලා පනහක නාට්‍ය පනහක් පෙන්වනවා. අපට එහෙම කරන්න බැහැ. මොකද අපට ඒ තරමට ශක්තිමක් ප්‍රේක්ෂකාගාරයක් නැහැ. අපි අමාරුවෙන් තමයි දවසකට දර්ශන දෙකක් පෙන්වන්නෙත්. මගේ ඔළුවේ තිබුණු සැබෑ චිත්‍රය නම් ලුම්බිණියේ, පුංචි තියටර් එකේ, බිෂොප් එකේ, ලයනල් වෙන්ඩ්ට් එකේ, ජෝන් ද සිල්වා, ජර්මන් කල්චරල්, රසියන් කල්චරල් කියන සියලුම නාට්‍ය ශාලාවල එකම වෙලාවට නාට්‍ය හතක් පෙන්වන්නයි. අවාසනාවකට ඒ තත්ත්වයට යන්නට අපට බැහැ. ඒ මූල්‍යමය සීමා තිබෙන නිසා. ඇත්තටම කිව්වොත් ඒක මගේ හිතේ මැවුණු සිහිනයක්.
* මෙවර කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලෙහිදී නාට්‍ය තෝරා ගැනීමට ලක් කළේ කුමන පදනමක් මතද?ගිය වසරවලට වඩා ඉල්ලුම් පත් ප්‍රමාණයක් මෙවර කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට පැමිණියා. ඒ හතළිස් අටක් තරම් ප්‍රමාණයක්. ජාත්‍යන්තරයෙන් පැමිණි අයැදුම්පත්වලින් නිතරම නාට්‍ය තෝරා ගැනීමේදී අපට අවශ්‍ය වුණේ එකම වර්ගයේ නාට්‍ය දෙකක් තෝරා ගැනීම නොවෙයි. විවිධ වූ නාට්‍ය තෝරා ගැනීමයි. මේක තරගකාරී නාට්‍ය උළෙලක් නොවන නිසා අපි නිතරම උත්සාහ ගත්තේ තරුණයන්ට හා ළමයින් සඳහා නාට්‍ය තෝරා ගැනීමටයි. එහිදී ජර්මනියෙන් එන්නේ ළමා නාට්‍යයක්. ඉන්දියාවෙන් එන්නේ යොවුන් නාට්‍යයක් හා නර්තනය සම්බන්ධ නාට්‍යයක්. නේපාලයෙන් පර්යේෂණාත්මක නාට්‍යයක් ආදී විදියටයි නාට්‍ය පෙළ ගැසී තිබෙන්නේ. ඊට අමතරව ලංකාවෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට උපහාර පිණිස මනමේ නාට්‍යය පෙන්වනවා. ඒ වගේම පරාක්‍රම නිරිඇල්ල කළ ‘හුණුවටයේ කතාවත්’, රවිබන්දු විද්‍යාපති ගේ පර්යේෂණාත්මක නාට්‍ය රංගයක් වුණු ඔතෙලෝත් වේදිකා ගත වෙනවා. අනික් කාරණය වෙන්නේ ජාත්‍යන්තරයෙන් එන නාට්‍යකරුවන්ගේ ගුවන් ගමන් අපි දරන්නේ නෑ. ඒ නිසා ඔවුන්ගේ ගුවන් ගමන් සඳහා යන වියදම දරන්නේ ඔවුන් විසින්මයි. ගිය වසරෙහි දින අටක් පැවැත්වුණු නාට්‍ය උළෙල මෙවර පැවැත් වෙන්නේ දින හයක් පමණයි. එහෙම වුණේ ආර්ථික ගැටලු නිසා.
* අපේ රටේ තෝරා ගත් නාට්‍ය කිහිපයක් පමණක් ද ඔබ මේ නාට්‍ය උළෙලට නිර්දේශ කරගෙන තිබෙන්නේ? අනෙක් තරුණ නාට්‍යකරුවන්ගේ නාට්‍යවලට ඉඩක් නැද්ද?මේ කාර්ය එක් එක්කෙනාට එක එක විදියට අර්ථ ගන්වන්න පුළුවන්. ඒ වගේම මේ නාට්‍ය උළෙල පිළිබඳ දන්නේ නැහැ කියලා කිසිම නාට්‍යකරුවෙකුට කියන්න බැහැ. එහෙම කියනවා නම් ඒ නාට්‍යකරුවා මේ රටේ ඉන්න නාට්‍යකරුවෙක් වෙන්න බැහැ. මෙතෙක් අපට කිසිම තරුණ නාට්‍යකරුවෙක්ගෙන් තමන්ගේ නාට්‍ය පෙන්වන්න ඕනෑ කියන ඉල්ලීමක් ලැබිලා නැහැ. පරාක්‍රම නිරිඇල්ල, රවිබන්දු විද්‍යාපතිලාගේ නාට්‍ය මේ උළෙලට ගත්ත එක පිළිබඳ විවිධ මතවාදී අදහස් ඕනෑ තරම් තිබෙන්නට පුළුවන්. මොකද මේ නාට්‍ය උළෙල පටන් ගත්ත දා පටන් අපව නැගිට්ටවන්න ළඟ හිටියේ පරාක්‍රමලා වගේ මිනිස්සු. රවිබන්දුලා වගේ මිනිස්සු. මේ නාට්‍ය උළෙලට නාට්‍ය හදන්නේ කොන්දේසි විරහිතව. මේ කාර්ය රටේ කෙරෙන්න ඕනෑ දෙයක් විදියට. මේ සම්බන්ධව මම සරල උදාහරණයක් කියන්නම්. 2012 වසරේදී අපි ජනාධිපතිතුමා මුණ ගැහිලා කතා කළා. එතුමා එතනදි කිව්ව දෙයක් තමයි යෞවන කටයුතු ඇමැතිතුමාට මේ ගැන හොයලා බලන්න කියලා. එතැන ඉඳල මේ වෙනකම් මට කිසිම කෙනෙක් ඇමතිතුමාව මුණ ගැහෙන්න වෙලාවක් දීලා නැහැ. කොහොම නමුත් තරුණ සේවා සභාව වගේ ආයතනයක් අපිත් සමඟ එකතු වෙනවා නම් අපට පුළුවන් යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය මේ උළෙලේ පෙන්වන්න. ඒ වගේම රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලය අපට කිසිම දවසක ඉල්ලීමක් කරලා නැහැ ජාතික නාට්‍ය උළෙලේ තේරෙන හොඳම නාට්‍යය මේ උළෙලේ පෙන්වන්න කියලා. ඒ අය මේ නාට්‍ය උළෙල දිහා බලන්නේ පාට කණ්ණාඩි දමාගෙන. මේක රටට වැදගත් වැඩක් නම් සියල්ලන්ම ඒකට සහාය දැක්විය යුතුයි. මේත් සමඟම මම ඔවුන්ට විවෘත ආරාධනාවක් කරනවා. ඒ රාජ්‍ය නාට්‍ය උළෙලේ වගේම යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය විදියට තේරෙන නාට්‍යවලට ලබන වසරේදී ඉඩක් ලබා දෙන්න අපි කැමැතියි කියලා. එන්න, එහෙමනම් අපිත් සමඟ ඇවිත් අත්වැල් බැඳගන්න. ඕනෑම නාට්‍යකරුවකුට මේ උළෙල විවෘතයි.
* කොළඹ නාට්‍ය අධ්‍යක්ෂ සම්මේලනය නමින් දේශීය හා විදේශිය නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනයක් ද පැවැත්වීමට නියමිතයි?මේ සම්මේලනයට ලංකාවේ අධ්‍යක්ෂවරුන්ගේ සභභාගි වීම නම් තියෙන්නේ බොහොම පහළ මට්ටමේ. මේ වෙනවිට ලංකාවේ නාට්‍ය අධ්‍යක්ෂවරුන් දහ දෙනෙක් සොයා ගන්න බැරි වෙලා. සමහර අයට ආරාධනා කරලත් එන්නේ නෑ. ඔවුන් බොහොම කාර්යබහුලයි කියලයි කියන්නේ. මේකට සහභාගි නොවෙන්නේ ලංකාවේ නමක් තිබෙන නාට්‍යකරුවෝ වීමයි තිබෙන එකම කනගාටුව වෙන්නේ. මේ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනයට රටවල් හත, අටකම අධ්‍යක්ෂවරු සහභාගි වෙනවා. එවිට ඔවුන් සමඟ එකට වාඩි වෙලා තමන්ගේ අදහස් බෙදා හදා ගැනීමේ ඉඩකඩ හැමෝටම හිමිවීම සුවිශේසී අවස්ථාවක්. එහිදී රංග කලාව ඇතුළේ තිබෙන සමාජ ප්‍රශ්නය, ලංකාවේ අන්තර්ගතයේ සිංහල, දෙමළ නාට්‍ය කලාව කොතැන ද තිබෙන්නේ, මෙක්සිකෝවේ නාට්‍ය කලාවේ තත්ත්වය, ප්‍රචණ්ඩත්වය, ජාතිකත්වය සහ ගැටුම් පිළිබඳ ඉන්දියාවේ තිබෙන තත්ත්වය, නාට්‍ය කියන්නේ කලාවක්ද, ව්‍යාපාරයක් ද, සමාජ කටයුත්තක් ද, අප ජාත්‍යන්තර වශයෙන් අන්තර් සංස්කෘතියත් සමඟ ගෝලීයව වැඩ කරන්නේ කොහොමද, ගෝලීය වශයෙන් පොදු අවකාශයක් නිර්මාණය කරන්නට වගේම ගෝලීය රංග කලා භාෂාවක් පිළිබඳත් ආදී ඊටත් වඩා පැතුරුණු මාතෘකා රාශියක් කතාබහ කරන්නට නියමිතයි. මේ අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනය මෙහෙය වන්නේ ඉන්දියවෙන් මහාචාර්ය ප්‍රසාද් වනරාසී හා ලංකාවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කංචුකා ධර්මසිරියි. දැනට මේ සඳහා සහභාගිවීමට මහාචාර්ය මවුනගුරු, පරාක්‍රම නිරිඇල්ල, පූජිත ද මෙල්, බුද්ධික, හේමන්ත, ගයා නගහවත්ත, වරුණ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ජය ශංකර්, කුසල්, ඉන්දියාවෙන් ආචාර්ය අජේ ජෝස් ආදීන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඊට සහභාගි වෙන්නට ධර්මසිරි බණ්ඩාරනායකටත් ආරාධනා කරලා තියනවා. විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය ආදී උගත් බොහෝ දෙනෙකුත් මීට සහභාගිවීමටත් නියමිතයි.
* කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල නම් කරන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නමින්. එසේ කිරීමට විශේෂ හේතුවක් තිබේද?මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය යෙදිලා තියෙන්නේ ජූනි 03 වැනිදාටයි. ඒ සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය වැඩ කටයුතු දොළහක් කිරීමට නියමිතයි. ඒ දොළහෙන් එකක් වුණේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කිරීමයි. ලංකාවේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් තිබෙන නිසා, ඔවුන් අපෙන් ඉල්ලීමක් කළා මේ නාට්‍ය උළෙල ‘මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර උළෙල’ නමින් නම් කරන්න කියලා. එය අපි සරච්චන්ද්‍රයන්ට ගෞරවයක් ලෙස එනමින් නම් කළා. කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා වෙන්නේ ලලිතා සරච්චන්ද්‍ර. වෙනදා එහිදී පිරිනැමෙන විශේෂ සම්මානය මෙවර පිරිනමන්නේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාමයටයි. එන්න, කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල නරඹන්න අපි හැමෝටම ආරාධනා කරනවා. මේ සඳහා සහභාගීවීමට කුමන හෝ ආර්ථික අපහසුතාවයක් තිබෙන යම් කලාකරුවෙක් වෙත් නම් ඔවුන්ව අපි ආපසු හරවලා යවන්නේ නෑ. ඔවුන්ටත් ඉඩක් ලබා දෙනවා. නැත්නම් මාව අමතන්න ඔවුන්ට හැකියි. |