වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




නොකා නොබී ඉන්න පුළුවන් ඒත් චිත්‍රපට නොබලා ඉන්න බැහැ

නොකා නොබී ඉන්න පුළුවන් ඒත් චිත්‍රපට නොබලා ඉන්න බැහැ

සිනමාවට, ගීතයට, සරසවියට ආලෝකයක් වූ කැමිලස් පෙරේරා සොය ගිය ගමනක සංවේදී සටහනක්

වාසනා වේවා වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ . . .
වාසනා වේවා . . .

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ගායනවේදියාණන් සිය මධුර ස්වරයෙන් පණ ගැන් වූ මෙම ගීය නෑසෙන මෙරට විවාහ මංගලෝත්සවයක් නැති තරම්ය. තවත් විදිහකින් කිව්වොත් වැදගත් උත්සව සභාවක ජාතික ගීය අනිවාර්ය වගේ මඟුල් ගෙදරකදී නිසැකවම වාසනා වේවා ඇසෙනවාමයි. එය දැන් විවාහයේ නිල ගීතය බවට පත්වෙලා කිව්වොත් වැරැදි නැහැ.

එනමුත් එම සුන්දර ගීය මෙන්ම තවත් රසාලිප්ත ගීත රැසක පදවැල් ඇමිණූ සුරත හිමි තැනැත්තාගේ ජීවිතයට බොහොම අවාසනාවන්ත යුගයක් උදා වෙලා කියලා අපිට ආරංචි වුණා. නමින් ඔහු කැමිලස් පෙරේරා. අප සරසවිය පුවත්පතේ වසර ගණනාවකට පෙර සේවය කළ ඔහු පුවත්පතෙහි උන්නතිය වෙනුවෙන් කැප වී ක්‍රියා කළා. එපමණක් ද නොව එච්. ඩී. ප්‍රේමරත්නගේ වාසනා වේවා ගීතය ඇතුළත් මංගල තෑග්ග ඇතුළු චිත්‍රපට ගණනාවක සහාය අධ්‍යක්ෂවරයා වුණේ කැමිලස්.

ඔහු සරසවියේ සේවය කළ හින්දම කැමිලස්ව අපට දැනෙන්නේ ලේ නෑයෙක් හා සමානව. කැමිලස්ට මොකද වුණේ කියලා අප සොය බලන්න උනන්දු වූයේ ඒ නිසාමයි. අවාසනාවකට කැමිලස්ට ජංගම හෝ අඩුම ගානේ ස්ථාවර දුරකථනයක් නැහැ. තියෙන්නේ අංක 84, කල්‍යාණ මාවත, වත්තල කියන ලිපිනය පමණයි.

ඔයා කතා කරන්න ප්‍රේමරත්න මහත්තයට. එහෙන් දැනගන්න පුළුවන් කැමිලස් ඉන්න තැනට යන්නේ කොහොමද කියලා. එසේ කීවේ සිරි කහවලය.

වත්තල ගැමුණු ෆිල්ම් හෝල් එක ගාවින් තෙළඟපාත පාරට ගිහින් කැමිලස් ගැන අහලා බලන්න. ඕනෑ කෙනෙක් ගේ පෙන්වයි.

ප්‍රේමරත්නයන්ගේ නිවසින් තවත් හෝඩුවාවක් දැනගත් මමත් අමිත් එස්. සේනරත්න සවස් වරුවක කැමිලස් සිටිනා තැන සොයා ගියමු.

ෂුවර් එකට කැමිලස් අයියා ගෙදර ඇති නේද? අමිත්ට සැකයක් පහළ වී ඇති සෙයකි.

අසනීප හින්දා කොහේවත් යන එකක් නැහැ. බෙහෙත් ගන්න ගිහින් හිටියොත් එනකම්ම ඉමු. තෙළඟපාත පාර ගාවට අප පැමිණි විට ත්‍රීරෝද රථ රියදුරන් තිදෙනෙකු අප වට කර ගත්තේය.

කැමිලස් පෙරේරාගේ ගෙදර . . .

අහ් . . . අපේ කැමිලස් මාමා, යමු මං ගිහිං දාන්නම්’

ඉන් එක් අයකු අප දෙදෙනාම ත්‍රීරෝද රථයකට දමා ගත්තේ අප සිතන්නටත් පෙරය.

කැමිලස් මාමා කිව්වේ . . . එයා ඔයාගේ නෑදෑයෝද? මම රියදුරාගෙන් විමසීමි.

නැහැ. ගමේ හැමෝම එයාට කැමිලස් මාමා කියලා තමා කතා කරන්නේ. හරිම අහිංසක මනුස්සයා. බලන්නකෝ හදිසිියේම ලෙඩ වුණානේ.

අප කැමිලස් අයියාගේ නිවසට යද්දී ඔහු ඉස්තෝප්පුවේ ඇති පුටුවක මත ඈඳිගෙන සිටියේය.

වෙලාවට කැමිලස් අයියා ගෙදර.

මට කියවිණ.

කැමිලස් මාමේ මෙන්න ඔයාව බලන්න ‘සරසවිය’ පත්තරෙන් ඇවිත් . . .

ඔහු කලබල වී අපව පිළිගන්නට නැගිටින්නට උත්සාහ කළ ද ඔහුව නැවතත් පුටුවටම වැටිණ. නැගිට ගන්නවත් වාරු නැති සැටියකි.

කමක් නැහැ, කමක් නැහැ. නැගිටින්න ඕනෑ නැහැ. ඔහොම්මම ඉමු.

ඔයාලත් ඇතුළෙන් පුටුවක් අරගෙන වාඩිවෙන්න. මමයි පුතයි ගෙදර ඉන්නේ. එයා තවම වැඩ ඇරිලා ආවේ නැහැ.

කැමිලස් වචන එකතු කරන්නේ අපහසුවෙනි. ඔහුගේ දකුණු පාදයට බරපතල ආපදාවක් වී ඇති බව පෙනේ.

කැමිලස් අයියට ඇවිදින්න අමාරුයි වගේ?

බලන්නකෝ වෙච්ච දේ. මාව ගේ ඉස්සරහ පඩි පෙලේ කකුල පැටලිලා වැටුණනෙ. කකුල පෙරලුණා. මගේ වෙලාවට කැඩුණේ නැහැ. පත්තු බැඳ බැඳ දැන් බෙහෙත් කරනවා. වැටිච්ච වැටිල්ල කොහොමද කියනවා නම් ඔළුවත් වැදුණා. සමහර වෙලාවට කල්පනාවත් අඩුයි.

කැමිලස් හිමිං සීරුවේ නිහඬ වී මිදුල දෙස බැලීය.

ඔයාලා කොහෙන්ද ආවා කිව්වේ?

මට මතක නැහැනෙ?

කැමිලස් යලිත් වරක් කල්පනාවකය. මට ඔහු ගැන ඇති වූයේ මහත් සංවේගයකි.

කැමිලස් අයියා බොහොම අමාරුවෙන් වෙන්න ඇති මෙහෙම තනියම ගෙදරට වෙලා ඉන්නේ?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ දරුවො. මං දුවල පැනලා වැඩ කරපු මිනිහා. වැටෙන්න දවස් කිහිපයකට කලින් අලුත් කෙනෙකුට ගීතයක් ලියලත් දුන්නා. එයා කිව්ව ද නැද්ද මං දන්නේ නැහැ. කවුරුවත් දන්නෙත් නැහැ මට මෙහෙම වෙලා කියලා. ඔයාලා ආවට ගොඩක් පිං.

අනේ දරුවෝ සමාවෙන්න . . .

කැමිලස් අයියා හදිසියේම කියපු දෙයින් අපි ගැස්සිණ.

ඒ මොකටද?

මං මේ ගෙදරට ආපු කෙනෙකුට හොඳට සලකල මිසක් ආපහු යැව්වේ නැහැ. ඒත් අද මට ඔයාලට තේ එකක් දෙන්නවත් . . .

කැමිලස්ගේ දෑඟිලි දෑස් අතරට ගියේ වැටෙන්නට ගිය කඳුළු බිංදුවක් හේතුවෙනි.

කැමිලස් අයියා චිත්‍රපට පිස්සෙක්ලු නේද? මම කතාව ඔහුට නොදැනෙන්නට වෙනත් මානයකට යොමු කෙරුවෙමි.

ආයෙත් අහලා. මට නොකා නොබී ඉන්න පුළුවන්. ඒත් චිත්‍රපටයක් බලන්න් නැතුව ඉන්න බැහැ. මේ ඉද්දිත් හෝල් එකකට දුවන්නමයි හිත. ගෙදර ටී. වී. එකෙන් දවල්ට පෙන්නන චිත්‍රපට බලනවා. එච්චරයි.

කැමිලස් අයියා මංගල තෑග්ග මෙන්ම පරිත්‍යාග, සප්ත කන්‍යා ඇතුළු එච්. ඩී. ප්‍රේමරත්නගේ සිනමාපට රැසකම සහාය අධ්‍යක්ෂවරයා විය. උන්මාද වූ ප්‍රේමාදරේ (කමල් - දමයන්ති), විකසිත වත කමලේ (සනත්) හදිස්සියේ හනි හනිකට පය තබනා (ටී. එම්.), හද විලේ (ක්ලැරන්ස්), ප්‍රාණ හතක් දෙනවා කියලා (ඩැල්රින්), හිමි නැති පෙමකට (මාලිනී), දෙව් මන්දීරේ ඔබ (රෝහණ සිරිවර්ධන) ආදී ජනප්‍රියතම ගීත ගොන්නක ගේය පද රචකයා වේ.

ඉස්සර මගෙන් සිංදුවක් ලියලා දෙන්න කිව්වම මුකුත්ම නොඅහා ලියලා දෙනවා. හැබැයි එන අය බෝතලයක් නම් අරගෙන එනවාමයි. සල්ලි ගැන කවදාවත්ම අහන්නේ නැහැ.

කැමිලස්ගේ ඒ කතාව නිවැරැදි බව ඔහුගේ නිවසෙහි සළකුණුවලින් අපට පෙනේ. එය දීර්ඝ කාලයකින් අලුත්වැඩියා කර නැත. කැමිලස් නව පරපුරේ ඇතැම් ගීත රචකයන් මෙන් රිඟිං ටෝන් හරහා මුදල් ඉපයුවා නම් ඔහු අද කෝටිපතියෙකි.

කැමිලස්ගේ හිමි නැති පෙමකට සහ විකසිත වත කමලේ යන ගීත රීමේක් කොට වර්තමානයේ අපට ඇසෙයි. ඒ ගැන අප විමසීමක් කළෙමු.

මට මතකයක් නැහැ පුතා මං දුන්න ද කියලා.

කැමිලස්ගේ පිළිතුර කෙටි එකකි.

කැමිලස් අයියේ මේ වෙලාවේ ෆෝන් එකක් තිබ්බොත් නරකද? එතකොට පරණ යාළුවෝවත් කතා කරයිනේ?

ඒක නම් හොඳයි තමයි. ඒත් මම ඕවා ගැන වැඩිදුර දන්නේ නැහැ. මේ ඇඩ්‍රස් එකේ මං ඉන්නවා. යාළුවෝ එහෙම එනවා නම් කැමැතියි.

එවර නම් කැමිලස්ගේ මුව පුරා අපූරු සිනහවක් මතු විය.

රවින්ද්‍ර රන්දෙණිය, ටෝනි රණසිංහ, ජෝති, විජය, ක්ලැරන්ස් වගේ අයව ළඟින් ඇසුරු කළා. ප්‍රේමරත්න තමයි චිත්‍රපට පැත්තට මාව ගොඩක් ගත්තේ. මගේ අප්පේ අපි කොහොමට හිටිය මිනිස්සු ද? මොන තරම් සන්තෝස වුණාද? මීවිතක් ළං කරගෙන විනෝදෙට නොකරපු දෙයක් නැහැ. එහෙම කාලයක් ආයේ එන්නේ නැහැ පුතේ.

ලසිත් මධුරංග මගේ පුතා. එයා විතරයි දැන් ළඟ ඉන්නේ. දුව විදෙස් ගත වෙලා. බිරිය නැති වුණා කාලෙකට කලින්. කලාකරුවෝ වුණාම නිකම් ඉන්න හරිම අමාරුයි. කඩිසරව කඩියො වගේ වැඩක් කරන්නමයි හිත. වැටුණු දවස් කිහිපයේ ඇවිද ගන්නත් බැරුව හිටියේ. දැන් යන්තම් අඩියක් දෙකක් ගාටනවා.

කැමිලස්ට සමු දෙන්න මොහොතකට මත්තෙන් ඔහු කීවේ එයයි. අපි නික්ම එද්දී ඔහු අසුනට වී ඈත බලා සිටියේ රැකියාව නිම වී තම පුතු එනතුරුය. ඔහුගේ දෑසින් වෑහෙන අප්‍රමාණ දරු සෙනෙහස බොහෝ දුර යන තෙක් මමත් අමිත් අයියාත් දුටුවෙමු.