වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




මද්දුම බණ්ඩාරගේ හිස ගසා දමන මොහොතේ අනෝරා වැස්සක්

ඇහැලේපොළ කුමාරිහාමි රූ ගත වෙන්නේ මෙහෙමයි

මද්දුම බණ්ඩාරගේ හිස ගසා දමන මොහොතේ අනෝරා වැස්සක්

කැප්පෙටිපොළ නිළමෙතුමා කියන රසබර කතාන්දරය ඇහැලේපොළ කුමාරිහාමි සහ පුස්සැල්ලේ පුංචි කුමාරිහාමි අසා උන්නේ ආශාවෙනි. ඇස් ගෙඩි කරකවමින් ඔහු හඬ උස් පහත් කරමින් කතාව කියන්නේ රස කරමිනි.

‘තාත්තේ මගේ මව්බිම’

‘ඔව් පුතේ අපි හැමෝගෙම මව්බිම’

‘තාත්තා . . . මගේ. . . මව්බිම’

‘ඔව් දරුවෝ මේ අපි හැමෝගෙම මව්බිම’

‘තාත්තේ අර අපේ අම්ම බිම’

ඔහු කියන්නේ බයිසිකලයකින් ගමනක් ගිය පවුලකට වූ ඇබැද්දියකි. කතාව අවසන සියල්ලෝ සිනාසෙන්නේ ශාලාවම දෙවනත් කරමිනි.

‘මෙතන හැටි ඔහොම තමයි. හැමෝම වැඩ කරන්නේ හරිම ආසාවෙන්. මේ කටයුත්තට හැම දෙනාගේ උපරිම සහාය හම්බ වුණා මල්ලි’

සිනහව අතරේ මා අමතන්නේ හිතවත් සුගත් සමරකෝන්ය. මේ ලිපිය ලියන මොහොත වන විට ඇහැලේපොළ කුමාරිහාමි රූගත කිරීම් නිමා කොට හමාරය. ඉතාමත් දර්ශනීය දර්ශන තලවල ඇහැලේපොළ කුමාරිහාමි රූගත වූ හැටි හරිම අපූරුය.

‘හරිම පුදුම සිද්්ධි ටිකක් වුණා. මද්දුම බණ්ඩාරගේ හිස ගසා දමන දර්ශනය තිබුණේ බතලෙගොඩ වැව ළඟ. දර්ශනයට ඔක්කොම සූදානම් කළා. හැමෝම ඉතාම කැපවීමෙන් රූගත කිරීම් ඇරැඹුවා. හිස ගසා දමන දර්ශනය ඉවර වුණා විතරයි මහා වරුසාවක් කඩා පාත්වුණා. දර්ශනය රූගත කරන තැන සේදිලා යනකල්ම අනෝරා වැස්සක් වැටුණා. ඒ වගේම කුමාරිහාමි දියේ ගිල්වන දවසේ කාලෙකට පස්සේ ඒ පළාතට වැස්සා. මේක පුදුම ආශ්චර්යමත් සිද්ධියක්. මට හිතෙනවා මේ නිර්මාණයට ස්වභාව ධර්මයත් ආශිර්වාද කළා කියලා.

සුගත් පටන් ගත්තේ නිහතමානී ආඩම්බරයකිනිි. 1700 කට ආසන්න පිරිසක් යොදා ගනිමින් ඉංගිරිය, දඹුල්ල, කුරුණෑගල සහ කොළඹ අවට රූගත කරන ඇහැලේපොළ කුමාරිහාමි අති දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියක්.

‘ එක දවසක් තිබුණා රජතුමාගේ ඔටුන්න ගැලවිලා වැටෙන දර්ශනයක්. එක පාරටම රජතුමාගේ ඔටුන්න ගැලවිලා වැටුණා. ඔටුන්න වැටෙන කොටම එතන හිටිය කෙනෙකුගේ සළුවක් බිම වැටිලා ඔටුන්න වැටුණේ ඒකෙ උඩට. අපි රූගත කිරීම් නවත්තලා බොහෝ වෙලා ඒ ගැන කතා කළා. මේ චිත්‍රපටයේ ඇතුළේ පුදුම සහගත සිද්ධි කිහිපයක්ම වුණා.

සුගත්ගේ කතාව අතරතුර අප සිටි තැනට පැමිණියේ ගයාන් රණධීරය. ඔහු ඇහැලේපොළ කුමාරිහාමි හි නිෂ්පාදකවරයාය. කැප්පෙටිපොළ චරිතයට පන් පොවන ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රසබර කතා තවමත් නිම නැත. වසන්ත විට්ටච්චි සමඟ එකතුව ඔවුන් කියන රසබර කතා අසන්නට සියළු දෙනා වට වී ඉන්නේ වීදි නාට්‍යයක සිරි මවමින්. මද්දුම බණ්ඩාරගේ චරිතය රඟන ප්‍රමුදිතගේ කටකාර දඟකම මේ දර්ශන තලයට සම්පතකි.

‘පුතා දත කෝ’

ප්‍රමුදිතගෙන් අසන්නේ කලා අධ්‍යක්ෂ ධම්මික හේවාදූවත්තය. ප්‍රමුදිතගේ ඉදිරි දත ගැල වී ඇති නිසා රංගනය සඳහා දතක් දැමිය යුතුව තිබේ. ඒ කාර්්‍යය නිරතුරුවම සොය බලන්නේ ධම්මිකය.

මේකේ තියෙනවානේ ඇහැලේපොළ කුමාරිහාමි වැවට තල්ලු කරන දර්ශනය. ඒක හරිම බිහිසුනු අත්දැකීමක්. බතලෙගොඩ වැවට දුලානි පැන්නා. වැව පතුලට ගියා. ආයෙත් උඩ එන විනාඩි ගාන හරියට දවසක් ගත වුණා වගේ තමයි දැනුණේ.

සුගත් මෙනෙහි කරන්නේ බිහිසුණු සුන්දර මතකයකි.

ක්ලීටස් අයියටත් මේ චිත්‍රපටය ඇතුළේ අනතුරකට මුහුණපාන්න වුණා. අශ්වයගෙන් වැටුණා. ඒ වෙලාවෙත් දැනුණේ බයක්. ඇත්තටම අපි මේ කටයුත්ත සාර්ථකව නිමා කළා කියලා සතුටු වෙන්න පුළුවන්.

අධ්‍යක්ෂවරයා පසු වන්නේ සන්තෝෂයෙනි. සියළු දෙනාගේ සතුටු සිනා මැද ගෙවෙන දවස සුන්දරය. අති සුන්දරය.

ජැක්සන් ඇන්තනි රාජාභරණයෙන් සැරසී වැඩ කටයුතුවලය. ලකී ඩයස් හඳුනා ගැනීමට බැරි තරමට වෙනස්ය.

‘මාව අඳුනගන්න පුළුවන්ද ඔයාට?’

එකවරම මා අසලට පැමිණි පුද්ගලයා කිසිම මොහොතක හඳුනා ගැනීමට නොහැකිය. ඒ අනුර ධර්මසිරිවර්ධනය. ඔහු ඇහැලේපොළ අධිකාරම් ලෙස හැඩ වී සිටින්නේ ගෞරවාන්විත තේජාන්විත අයුරිනි.

බොහෝ වේලාවක් ගෙවුණ ද හඳුනා ගැනීමට නොහැකි චරිත බොහොමයකි. රස කතා අතර වැඩ කටයුතු සිදු වන්නේ ඉතාම පිළිවෙලටය. ඒ පිළිිවෙලට තැනෙන චිත්‍රපටය නුදුරේදීම අපට රස විඳීන්නට හැකිවනු නොඅනුමානය.

නළු නිළියෝ - ජැක්සන් ඇන්තනි, දුලානි අනුරාධා, අනුර ධර්මසිරිවර්ධන, රිචඩ් මන්ඩි, ක්‍රිස් හෙන්රි හැරිස්, බුද්ධදාස විතානාරච්චි, පුමුදිත උදයකුමාර, ලකී ඩයස්, ක්ලීටස් මෙන්ඩිස්, නදීකා ගුණසේකර, රිංස්ලි වීරරත්න, ශ්‍රීයන්ත මෙන්ඩිස්, විශාකා සිරිවර්ධන, සරත් දික්කුඹුර, සඳුන් විජේසිරි, ගිරිරාජ් කෞෂල්‍ය, විනු සිරිවර්ධන, විල්සන් කරුණාරත්න
අධ්‍යක්ෂණය සහ තිර රචනය – සුගත් සමරකෝන්
නිෂ්පාදනය – ගයාන් රණධීර
කැමරා අධ්‍යක්ෂණය –  චන්දන ජයසිංහ
ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය – ජයන්ත අභයරත්න
නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රීලාල් වික්‍රමගේ
දෙවන සහාය අධ්‍යක්ෂණය – ජානක හදාසූරිය
තුන්වන සහාය අධ්‍යක්ෂණය – එරන්ද ජයවර්ධන
හතරවන සහාය අධ්‍යක්ෂණය – ඉන්දික, තරිඳු ඉලංගකෝන්
නිෂ්පාදන කළමනාකරණ සහාය – දිමුතු සම්පත්, චම්පිකා කැකුලන්දල, නිලුක්ෂාන් ඒකනායක
කලා අධ්‍යක්ෂණය – ධම්මික හේවදුවත්ත,
සහාය - සංජීව දැරණියගල, සමන් තෙන්නකෝන්, දේශාන් රජීව, සමන් වන්නිනායක
අංග රචනය – වසන්ත විට්ටච්චි
සහාය – උපුල් මහානාම, සනිල් වැලිවිට
කොණ්ඩා මෝස්තර - සරත් රණවීර
සහාය (අංග රචන) – උපුල් මහානාම
ඇඳුම් නිර්මාණය - වෙනුක වික්‍රමාරච්චි
සංස්කරණය – අජිත් රාමනායක