වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතයේ කතන්දරේ කියා දියන්නේ

ජීවිතයේ කතන්දරේ කියා දියන්නේ

සොඳුරු මතක මං පෙත් දිග මැරෙන්නේ අහම්බයෙනි. සමහර විටෙක ඔබ සිත් ප්‍රිය කරන ගීයක පද වැලක් ඔබගේ ඒ සොඳුරු අතීතය සැංඟී තිබේ යැයි අපි සිතමු. නැතිනම් ඒ සොඳුරු අතීතය හා බැඳුණු මිතුරකු හෝ සිදුවීමක් ඔබට සිහිපත් වන බව අපි සිතමු. ඒ අතීතයේ දිනක් පිළිබඳ කියන්නට ‘මතක ගී පොතට’ මෙවර සහභාගි වන්නේ ප්‍රවීණ ගේය පද රචකයකු වන වසන්ත කුමාර කොබවකයි.

වෙල් ඉපනැල්ල පිසගෙන හමන සීතල සුළං රැළි එක් වරම කවුළුවෙන් එබෙන්නේ තරගයට මෙනි. සුළං රැළි සමඟ ගෙට වදින්නට පොර බඳන සීතල වැහි බිංදු ගත හිරිගඩු නංවයි. ලියන මේසය අසල ඉඳගෙන සිටින මම ඒ සීතල සුළං රැළි හමා ආ වෙල් ඉපනැල්ල දෙස නෙත් රැෙඳව්වෙමි. එවිට මගේ මතක මං පෙතට පිවිසියේ හොරණ – බුලත්සිංහල – යටගම්පිටිය සොඳුරු ගම්මානයයි. එහි පිහිටි අපේ මහ ගෙදරත්, ඒ අවට සොඳුරු පරිසරයත් සිහිවන සෑම විටෙකම මම නොයෙක් වර සිතෙන් ඒ අතීතයේ සැරිසරමි.

මහ ගෙදර විසුවේ අපේ අප්පච්චිත්, අම්මාත්, මාත් මගේ වැඩිමහල් සොහොයුරියත් පමණි. වෘත්තියෙන් වෙදැදුරෙකු වූ අප්පච්චිත්, ගුරුවරියක වූ මවත් සමඟ ගෙවූ කුඩා අවධිය මගේ ජීවිතයට පාඩම් රැසක් කියාදුන් කාල පරිච්ඡේදයක් විය.

වරක් අම්මාට වැළඳුණු අසනීප තත්ත්වයක් නිසා අප්පච්චිට, වතුපිටි සොයා බැලීමට තබා, වෙදකමවත් කර ගැනීමට නොහැකි වූ කාර්යබහුල ජීවිතයක් ගත කිරීමට සිදු වූයේ අහම්බයෙනි. ඒ කාලය අතර අපගේ වත්තෙහි එක් කොණක අපූරු වෙනසක් සිදු වූ බවක් ඔහුට දකින්නට ලැබුණේ අම්මාව සුව වී මහ ගෙදරට පැමිණි පසු දිනෙකය.

ඇද හැලුණේ කොහේදෝ සිට පැමිණි මොර සූරන වැස්සකි. වත්ත අක්කර කිහිපයක් පැතිර ගිය හෙයින් ද අහල, පහළ මුවා වෙන්නට කිසිවක් නොවූයෙන්ද ඉන් බේරීමට සිතා නිවෙසට දුවමින් සිටි අප්පච්චිට ඇසුණේ බිලිඳෙකුගේ ඉකි බිඳීමකි. නොසිතූ මොහොතක ඇසුණු බිලිඳාගේ ඉකි බිඳීමෙන් අන්දමන්ද වූ අප්පච්චී ඒ ඉකිබිඳුම සොයා දිව ගියේ තමා නියැළෙමින් සිටි කාර්යය ද අමතක කර දමමිනි. අතු කිහිපයකින් සෙවිලි කළ කුඩා පඳුරක් යට අනවසරයෙන් නවාතැන්ගෙන සිටියේ තරුණ යුවළකි. ඔවුන් අත සිටි මාස කිහිපයක් තරම් වන බිලිඳා දුටු අප්පච්චීගේ හදවත ළතෙත්වීමට ගතවූයේ නිමේෂයකි.

මේ යුවළව තමන්ගේ නිවෙසට කැන්ඳා ගෙන ආ ඔහු ඔවුන්ට ආගන්තුක සත්කාර කළේ දැඩි ශෝකයෙනි. ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූ සියලු කරදර සාවදානව අසා සිටි අප්පච්චී, යන එන තැනක් නොමැතිව අසරණව සිටි මේ පවුලට තම ඉඩමෙන් අක්කරයක ඉඩක් පැවරූයේ සිය සිතෙහි කවදත් පවතින උතුම් අදහස්වලට මුල් තැන දෙමිනි. ඔවුහු සිය ජීවිතය සොඳුරු මානයක් වෙත රැගෙන යන්නට උදව් කළ මා පියාට පින්දෙමින් එහිම විසුවේ දරු කැලක්ම හදාවඩා ගනිමිනි. ඒ නිවසෙන් අප නිවෙසටත්, අප නිවෙසෙන් ඒ නිවෙසටත් හිතවත්කම වර්ධනය වූයේ නොසිතූවිරූ අයුරෙනි. මා වයසේම වූ ඉන් එක් දරුවෙකු හා මා අතර ද ගොඩනැඟුණේ වැඩිහිටියන් අතරට වඩා වූ අපූරු මිතුදමකි. කුඩාකල මගේ කළණ මිතුරා වූයේ ඔහුය. මට ඔහුව මුණ ගැසෙන්නේ ඒ අයුරෙනි.

ඒ අහඹු මිතුරාගේ හමුවීමෙන් පසුව ඔහුත්, මමත් කෙතරම් යහළුවන් වීද යත් නිතරම අප කෙළි දෙළෙන් ගත කළේත්, වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිද්දේත් එකටමය. ඔහුගේ පියා කඩයක් දැමූ කළ එය අලෙවි කරන්නට ආරාධනා කළේ ද මටමය. කාලය ගෙවී ගියේය. මා මිතුරාගේ පියාණන්ට මුල අමතක වූයේ මේ අතරය. නැවතත් අපගේ වත්තෙන් තවත් කොටසක් අල්ලා ගත් ඔහු අප්පච්චී සමඟ නිතර නිතර රණ්ඩු සරුවල්වලට අර අඳීන්නට විය. මේ නිසා අප අතර වූ සෙනෙහෙදම ඉරිතලා යන්නට ගතවූයේ ඉතා සුළු කාලයකි. එනමුදු මගේත් මා මිතුරාගේත් සෙනෙහෙදම නොබිඳිනි. ඒ සෙනෙහෙදම යෝධ පවුරක් මෙන් දිනෙන් දින ශක්තිමත් වූයේ වැඩිහිටියන් කිසිවකුටත් නොදැනෙන ලෙසිනි. මේ ගීතය ඇසෙන සෑම විටෙකමත්, අසන සෑම විටෙකමත් මගේ මතකයට නැඟෙන්නේ මා සතු වූ සොඳුරු කුඩා අවධියයි. ඒ කුඩා අවධියෙහි මා මිතුරා සමඟ ගතකළ මනරම් පරිසරයයි.

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ

පුංචි දේට කතා වෙලා - රණ්ඩු වෙලා වයිර බැඳන්
කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා
අම්මාලාට හොරෙන් ඇවිත් - සෙනෙහෙ සිතින් යාළු වෙලා
පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ

දෙමාපියන් කතා නැතිව වෛර වුණත් ඒ වාගේ
පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬ ගහලා
ජීවිතයේ කතාන්දරේ කියා දියන්නේ

ගේය පද – කුලරත්න ආරියවංශ
සංගීතය – රෝහණ වීරසිංහ
ගායනය – නීලා වික්‍රමසිංහ

නීලා වික්‍රමසිංහ ගයන මේ ගීතයේ පද මෙන් අප කොතරම් එකල සෙනෙහෙ සිතෙන් බැඳී සිටියේ ද යත්, අපි දැඩි සේ එකිනෙකාට ආදරය කළෙමු.ඒ තරමටම අපි අක්කර කිහිපයක් විහිද ගිය අපගේ ගෙවත්තෙහි ඇවිද එහි වූ සොඳුරු බවෙන් ආශ්වාදයක් ලැබීමු. වැඩිහිටියන්ට හොරෙන් නිතර අප හමු වූ, තරුණියකගේ මුතුවන් දත් දෙපළ විදහා පාන සිනහව සිහි ගන්වන කෝපි මල් යාය මට අද මෙන් මතකය. ඒ කෝපි මල්වල සුවඳත් එහි සුවඳට ඇදී ආ බඹරුන්ගේ ගුම් ගුම් නාදයත් අතරෙන් මා ඇවිද යන්නේ ඔහුව සොයමිනි. එකල මට සිටි එකම කළණ මිතුරා වූ ඔහුගේ උවන මා දුටු විට අවිහිංසක වූත්, අව්‍යාජ වූත් සිනා රැල්ලකින් හැඩවන අයුරු කදිමය.

වරෙක වැඩිහිටියන්ට හොරෙන් අපි බඩවැටිවල ඇවිද ගියෙමු. වෙල් ඉපනැල්ලේ දුව පැන නැටුවෙමු. තවත් වරෙක මම ජීවිතයේ කතාන්දරය වැඩිහිටියන්ට උගන්වන්නට මෙන් මා මිතුරාගේ පියා වෙත ගොස් මේ රණ්ඩුව නවත්වන්නැයි ආයාචනා කළෙමි. ඒ කතාව ඒ අයුරෙන්ම දුටු අයෙකු සේ කුලරත්න ආරියවංශ මේ ගී පද වැලට නඟා තිබුණි. ඊටම රෝහණ වීරසිංහගේ සංගීතයත්, නීලා වික්‍රමසිංහගේ මියුරු ස්වරයත් අපූර්ව අයුරෙන් සංයෝජනය වීම ද අපූරුය. මේ ගීතය අසන සෑම වරෙකම මට සිහිපත් වන්නේ ඒ කුඩාකළ මා ගෙවූ පරිසරයයි. මා මිතුරායි.

මීළඟට මගේ සිත ගත් ගීතය වූයේ කුමාරදාස සපුතන්ත්‍රී නම් ඒ සොඳුරු ගී පද රචකයාගේ සුරතෙන් පැබැඳුණු මේ ගීතයයි.

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පර වී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

පොළවේ උරුමේ කියමින්
බිලි දී විහිගුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව - නහවා සෝ කඳුළින්
සැනැහේ ජයපැන් පුරමින්

උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරෙන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ
ඇවිලේ ගිනි දැල් සයුරේ
සා - පවසමින් ඉකි බිඳීනා
සුසුමෙන් යදියන් පෙළනා

ගේය පද – කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මේ ගීතය ඇසෙන සෑම විටෙකම මගේ මතකයට නැඟෙන්නේ මේ ගීතය ලියැවුණු පසුබිමයි. රත්නපුරයේ රැකියාව කළ එකල මා සති අන්තයෙහි කොළොම් පුරවරයට පැමිණි කළ නවාතැන් ගත්තේ එකල බොහෝ දෙනා ‘කුලේ අයියා’ යන ආදරණීය නාමයෙන් ඇමතූ කුලරත්න ආරියවංශගේ නිවසෙහිය.

කුලේ අයියා එකල සේවය කළ සිංග් ලංකා ආයතනය අපට නුපුරුදු තැනක් නොවීය. එහි යන අප පටිගත කිරීම් නරඹන්නට ද, ඔහු සමඟ ගීත පිළිබඳ සංවාදයක යෙදෙන්නට ද දැක් වූයේ දැඩි කැමැත්තකි. මා කොළොම් පුරවරයට පැමිණි එවැනි දිනක කුලේ අයියා ඇතුළු පිරිස සුනිල් එදිරිසිංහයන්ගේ අලුත් කැසට් පටයකට ගීත සකසමින් සිටි බව මට මතකය. සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු ස්වරයෙන් ගැයුණු ගුවන් විදුලියෙන් ඇසුණු මේ ගීත එකතුවට අලුතෙන් ගී පද රචනා කිහිපයක් ද ඇතුළත් විය. ඊට ගීතයක් ලියන්නට මට කුලේ අයියාත්, රෝහණ අයියාත් ආරාධනා කළේ මේ අතරය. මම ගීතයේ තනුවට සිත යොමු කළෙමි. ඒ මියුරු තනුවට සවන් යොමු කළ මා වෙව්ලා ගියේ එය අපූරු මියුරු තනුවක්ම වූ නිසාමය. මෙය තනුවක් නොව සිම්පනියක්ම යැයි මට සිතුණි. තනුවෙහි වූ ඒ ගැඹුරු බව නිසාම මම මේ තනුවට පද යොදන්නට පසුබට වීමි. බොහෝ විට මම මෙතෙක් කළේ ගීතයක පද ගොතා ඊට පසුව තනුව හා සංගීතය නිර්මාණය කිරීමට දීම මිස, එසේ නිර්මාණය කළ තනුවකට පද ගෙතීමක් නොවේ. එය මට නුපුරුදුම රාජකාරියක්ම විය. ඒ නිසා මම ඒ නුපුරුදු දෙය කරන්නට බියවීමි. ඒ යෝජනාව එලෙසම යටපත් වී යන්නට හැරිය මම රත්නපුරය බලා පිටත් වූයෙමි.

ටික කලෙකින් සුනිල් එදිරිසිංහයන් ගැයූ නව කැසට් පටය වෙළෙඳපොළට නිකුත් විය. කුලේ අයියාගෙන් මට ද කැසට් පටයක් ලැබුණි. කැසට් පටයේ ගීත අසන්නට මට තිබුණේ නොඉවසිල්ලකි. ඒ ගීත අතර මට පද ගොතන්නට යැයි පැවසූ ගීතය ද වාදනය වූයේ මා පුදුමයට පත් කරමිනි. ඒ සොඳුරු තනුවට යෙදූ පද ඇසූ මම තව තවත් පුදුමයට පත්වීමි. එමෙන්ම ගීතයේ මනා අර්ථ රැසක් හෙළි කරන, සොඳුරු පද ඇසූ මම විමතියට පත් වීමි. එදා ඒ තනුවට මා පද ගෙතුවේ නම්, සපු අයියා තරමටම අර්ථවත් වූ පද ගොතන්නට මට නොහැකි වන බව හොඳටම විශ්වාසය. ඒ සොඳුරු තනුවට පද නොගොතා මඟ හැරීමෙන් මා කරන ලද්දේ කොතරම් උචිත වූ කාර්යයක්දැයි මට දැනුදු මේ ගීතය ඇසෙන විට සිහියට නැෙඟ්. අද වනවිට මා ගීතය පිළිබඳ යම් තැනක ස්ථානගත වී සිටින්නේ යැයි බොහෝදෙනා පවසන බව සැබෑවකි. නමුදු සපු අයියා පද ගෙතූ අයුරෙන්, එනම් ‘මිනිසා සුවඳයි මල සේ’ යන ආකාරයට සොඳුරු ලෙස පද ගොතන්නට කිසිදු දිනෙකවත් මට නොහැකි බව මා පවසන්නේ අවංකවමය. ඒ සොඳුරු තනුවට උචිත වූ සොඳුරු පද ගොතන්න සුදුස්සා වෙතට යොමු කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ කුලේ අයියාටත්, රෝහණ අයියාටත්ය. මන්ද ඒ තරමටම ඔවුන් ඒ කලාවෙහි කෙළ පැමිණි අය වූ බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය. මෙවන් වූ අපූරු පසුබිමක් මේ ගීතය අසන සෑම විටෙකම මගේ සිතෙහි ලියැවී තිබේ. ඒ නිසා මේ ගීතය අසන සෑම විටෙකමත්, නිරතුරුවමත් මට ඒ අතීතය සිහිපත් වෙයි.