වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තා කන්දෙක ඇඹරුවේ ටීවී එකේ මීටරේ කරකවනවා වගේ

තාත්තා කන්දෙක ඇඹරුවේ ටීවී එකේ මීටරේ කරකවනවා වගේ

මං නිල් කොට කලිසම පිටින් අඩි විස්සකට වඩා උස පොල්ගහ මුදුනට නගින්නේ එක හුස්මට. ඊළඟට කරටියෙ දෙපැත්තට කකුල් දාලා ඉඳගන්නවා. ඒ හැරෙන්න වෙන විදියක් නෑ. බිම හිටියොත් අප්පච්චි මාව පතුරු ගහනවා. හුඟක් දවසට එහෙමයි. නුවර රඹුක්වැල්ලෙ අපේ ගමේ ග්‍රාමසේවක අපේ තාත්තා. එහෙව් එකේ මගේ නොසන්ඩාලකමක, දෙකක පැමිණිලි ගම්මුන්ගෙන් තාත්තට ආවාම තාත්තා මගේ පස්සේ පැන්නුවේ උඹව පතුරුගහලත් මදි කියාගෙන.

ඕං ඔහොම වෙලාවට මට ගැලවෙන්න පුළුවන් ඉතින් ගහකටවත් බඩගාගත්තොතින් තමයි. පොඩි පොඩි ගස්වලට බඩගාලා හැංගිලා තිබුණට මං මේ මෙච්චර උස පොල්ගහකට බඩගෑවමයි. පුතය වගේ නැගගත්තට මටත් අමාරුයි. තිබහයි, බඩගින්නයි එක අතකින් දැනෙනවා. තව ඉවසන්නම බැරි තරමේ සුළුදිය බාන්ඩ වුවමානාවකුත් තියෙනවා.

මං ඉස්සෙල්ලා තිබහ යවාගන්නට ගහේම වල්ලකින් ළපටිම වෑවර ගෙඩියක් කඩාගෙන, ඒකට මං මටුල්ලකින් අනිනවා. එතකොට කහකඩ විසිවෙනවා. මේ පොල්ගහයට තණ බිස්ස අපේ නංගී පොත් මිටයත් අරන් ඇවිත් සමහරදාට එතැන බිම ඉඳගෙන පාඩම් කරනවා.

නංගී ගහයට ඉන්නවයි කියන්ඩ මං දන්නේ කොහොමද? මං ගහට බඩගාගත්තේ තාත්තා අතදිග ඇරලා මට දෙන සබ්බුවෙන් ගැලවෙන්නඩනේ. කොහොම වුණත් වුණේ එහෙමයි. ගහ උඩ ඉඳන් වෑවරේ හිල් කරන මගේ අතින් වැටිච්ච ලාකඩයි වෑවර බිංදුවයි වැටිලා තිබුණේ නංගියගේ පොතට. එයා උඩ බලලා ‘කවුදෝ ගහේ ඉන්නවා වගේ අම්මේ’ කියලා ගෙදරටත් කියලා.

අම්මත් ඇවිදින් බලලා. අප්පච්චිටත් ඒ කතාව නම් ඇත්ත වගේ. ඔයත් පොඩ්ඩක් බලන්ඩකෝ කියලා තියෙන්නේ අම්මා. තාම මං හුළං වැදි වැදි පොල්ගහ මුදුනේ. ඒත් පහළ එකම ගිනි විජ්ජුම්බරයයි. අම්මලා ‘සුදු පුතේ’ කියලා මට කතා කරනවා. මං අත වන වනා වෑවරේ බොනවා. ‘බහින්න බහින්න’ එයාලා එහෙම කිය කියා අත් උස්ස උස්සා පහළ දානවා. මං ‘බෑ බෑ’ කියලා අඟවන්ඩ අත් එහෙටයි මෙහෙටයි වනනවා. එහෙ බලලා මෙහෙ බලන්නවත් වෙලාවක් ගියේ නෑ. මුළු ගමම පොල්ගහ යට. උඩ ඉඳන් බලද්දි එකම හිස් ගොඩයි.

‘මයෙ පුතා බහින්ඩ. අප්පච්චි ගහන්නේ නැහැයි කියලා මං පොරොන්දු කරගත්තා අනේ පුතේ.....? ඒ ටික ඇහෙද්දිත් සතුටුයි. මං ස්..රූ..රූ..ස්....ගාලා රූටලා ඇවිදින් තත්ත්පරෙන් ගහ මුල. අම්මට නෙවෙයි මාව බේරගන්න පුළුවන් වුණේ. වෙනද පේර කෝටුවකින් ඉරටු මිටියකින් අප්පච්චිගෙන් මගේ පස්සට වදින පාර එදා ඩබල්. වැටමාර පොල්ලකින් තමයි දුං විසිවෙන්ඩ සැලකුවේ.

කොච්චර තරවටු කළත් අප්පච්චි මට ආදරෙයි. උදේට ඉස්කෝලෙට ඇරලවන්නෙත් මාව මෝටර් බයික් එකේ තියාගෙන. ගෙදරින් යද්දී අම්මා සත හැත්තැපහක්, රුපියලක් විතර දෙනවා. ඒක ඉස්කෝලෙ අයියලට කැන්ටිමෙන් කන්න අරන්දෙන්නත් මදි. අයියලට කන්න අරන් දෙන මල්ලිලට කවුරු හරි පාට් එකක් දැම්මොත් ඒගොල්ලො ඒක ගැන බලාගන්නවා. ඔය විදියට හත් අට වතාව ෆේල් වෙවී හිටිය, අපේ අප්පච්චිටත් වඩා කරදඬු උස්වෙච්ච කට්ටියක් ගමේ ඉස්කෝලෙ හිටියා. මං වැඩිපුර ඉන්ඩ කැමැති වුණෙත් ඒ කට්ටිය එක්කලාමයි.

අයියලට හොඳට සලකන්ඩ හිතාගෙන මං පොඩි වැඩක් කරනවා. ගෙදර අටුවෙන් වී ටිකක් නැත්නම් හාල් ටිකක් පහුවදා පොත් බෑග් එකේ පොත්වලට යටින් ලස්සනට අඩුක්කරලා තියාගන්නවා. පහුවදා ඉස්කෝලෙ ඇරිලා ඒවා හන්දියෙ මුදලාලිට විකුණනවා. ඒකෙන් තව කීයක්හරි හෙයාගන්නවා.

එදා ටිකක් චුරු චුරුව වැඩියි. පාරවල් වුණත් මඩවෙලා. අපි හිටියෙත් වෙල් යායක මායිමේ. ගුරු පාරට එන්න ඕනැත් මඩවෙච්ච පාරකින්. එදත් මං පොත් බෑග් එකත් තුරුලු කරගෙන අලිය වගේ අප්පච්චිගෙ බයික් එකේ පස්සෙන් වාඩිවෙලා.

මඩ ගොඩකදි බයික්එක ලිස්සුවා. වැටුණු පාරට මං වෙලේ. අතේ තිබිච්ච බෑග් එක පෙරලිච්ච බයික් එකට යටවුණා. සට පට ගාලා අප්පච්චි මාවත් නැගිට්ටලා බයික් එකත් කෙළින් කෙරුවා. දැන් ලෑස්තිය මගේ මඩ ටිකත් වක්කඩෙන්ම හෝදලා ආපිට ගමන යන්ඩ. ඒත් සූ...සූ... ගානවා. ඒ සද්දෙට අප්පච්චි මගේ දිහා හොඳට බැලුවා. මටත් වැඩේ තේරුණේ එතකොට. කාලයක් හෙණයක් නැතිව කරගෙන ගිය මගේ හාල් වෙළෙඳාමට එදා හෙනහුරා ලැබුවා. වෙලා තියෙන්නේ මේකයි. පොත් බෑග් එකේ හංගලා තිබිච්ච හාල් මිටිය බයික් එකට යටවෙලා හිල්වෙලා. එතැනින් තමයි සූ...සද්දෙට නියරපුරා හාල් ඇට විසිවෙන්නේ. කොහෙටද?, මොකටද? කාලයක් තිස්සේ මං අටුවෙන් අඩුවෙන ඒවට මොකද වෙන්නේ කියලා හොය හොයා තමයි හිටියේ. අදයි අහුවණේ. එහෙම කිය කියා අප්පච්චි උතුරට හැරිලා තිබිච්ච මගේ කන්දෙක ටීවී එකේ මීටරේ කරකවනවා වගේ අනෙක් පැත්තටම අඹරවනවා. මං යන්තම්වත් බේරෙන්නෙ වෙල්යාය දෙක වෙන්න ‘අම්මෝ..’ කියලා කෑගහලා.

ඉස්කෝලෙ ඇරුණාම ඔය ලඳුවල, කඳුවල, බඩවැටිවල අපි ඔහේ යනවා. එහෙම කන්දකට නගින සමහරදාට එකටම හිටිය අපි හතරදෙනෙක් තරගයක් තියෙනවා. මේ කන්ද පහළින් මහපාර. ඒ පාරෙ යන වාහනවල වහලයට වදින්න ගල් කැටයකින් ගහන්න හරිම අමාරුයි. ඒකම තමයි ඔට්ටුව. වාහනේකට වදින්න මුලින්ම ගල් කැටෙන් ගහන එක්කෙනාට අනෙක් කට්ටිය පහුවදා කැන්ටිමෙන් කන්න අරන් දෙන්න ඕනා.

ගල්කැට ගොඩක් ගහගෙන එක පිට එක අපි පහළට ගල් ගහනවා. පෙළක් වෙලාවට ගල් බාගවලිනුත් දමලා අරිනවා. එක්කෙනෙක් දිනුවම තරගෙ නවත්වනවා. එදා දිනුවේ මං බටකට පුරා පහුවදාට කැන්ටිමෙන් කන්ඩ හිතාගෙන හුරේ දාගෙන අපි පල්ලම් බහිනවා.

පාරට ඇවිදින් බලද්දි අපේ චිත්‍ර සර්ගෙ මෝටර් බයික් එක පාරේ අයිනක පතබාලා තියෙනවා. සර් අමාරුවෙන් නැගිටලා දූවිලි ගස ගසා ඉන්නවා. සර් ඉස්කෝලෙ එක්කරගෙන ගිය පොඩි නංගියෙකුත් සර් එක්කම බයික් එකෙන් වැටිලා. මේ චිත්‍ර සර්ට අපි හරි කැමැතියි. එයාගෙන් අපිට චිත්‍ර පීරියඩ් එකේදි ‘හ්ම්’ කියලවත් කරදරයක් නෑ. ඇයි එයාට දුව ලා නැතැයි කියලා සර් දූලට හරිම ආදරෙයි. උගන්වන්නෙත් කෙල්ලන්ගේ දිහාවටම හැරිලා. ඉතින් කොල්ලන්ට ඕන ජෝගියක් නටාගත හැකි.

එදා වෙච්ච දේ තේරුණාම අපිටම හිනා. ඒත් කටවල් තදකරගෙන සර්ට උදව් කෙරුවා. අපිම පහළට විසිකෙරුව ගල් තඩියක් තමයි අහම්බෙන් සර්ගෙ හෙල්මට් එක උඩට දඩිං ගාලා වැටිලා තිබුණේ. ඒ ෂොක් එකට මොකද වුණේ කියලවත් සර්ට වගක් නෑ. තෝන්තුවාවෙන් වගේ තමයි එයා හිටියේ. එත් ‘තමුසෙලා මොකද අයිසේ මෙහෙ’ ඇහුවාම ‘දං කඩන්න ගියා සර්’ කියලා යන්තම් ගැලවුණා.

පහුවදා අපිට ලකුණු ගොඩයි. මේ බුද්ධිකයි එයාගෙ යාළුවොයි තමයි මං ඊයේ අනතුරකට මුහුණ දීලා ඉඳිද්දි මාව බේරගත්තෙ. අපි මෙයාලා දඟ ළමයි කියලා කියන එක වැරදියි කියන්ඩයි මට ඕන කරන්නේ. චිත්‍ර සර් එහෙම කිව්වේ පහුවදා උදේ රැස්වීමෙදි.

කාටහරි දෙක තුනක් ඇන්නේ නැත්නම් මට ඒ කාලේ හරියට නොකෑවා වගේ. දවසක් මං අතමිට මොලවලා බාල පන්තියක කොල්ලෙකුගෙ මුහුණට ඇන්නා. පස්සට ගිහින් මේකා ආයෙත් ඉස්සරහට ආවේ නෑ. කොහොල්ල බබා ගහේ ඇලුණා වගේ බිත්තියෙ ඇලුණා වගේ වුණා. මටත් අප්සට්. මං තව එකක් මූණට ඇනලා බැලුවා. ඒ පාරවත් එයිද කියලා. එතකොට යාළුවගේ මූණෙන් කඳුළු පැන්නා. එහි ඇනේ, ඔළුවේ ඇනේ කිව්වා. බැලින්නම් බිත්තියට ගහලා තිබිච්ච ඇනේක එයාගෙ ඔළුවෙ හම පැටලිලා. ආයෙ ඔළුව හොලවනවා බොරු.

ඔහොම අප්සට්ම යාළුවො අතරෙ හිටියත් කලාවටත් මං ආසයි. ඩ්‍රාමාවල පොඩි පොඩි කෑලි එහෙම ඉස්කෝලෙදිත් කෙරුවා. රංගන ජීවිතේට පාර කිව්වේ නම් සුනිල් හෙට්ටිආරච්චි, කපිල කුමාර කාලිංග, ක්‍රිස්ටි ෂෙල්ටන් පුනාන්දු, ෂෙල්ටන් පයාගල තමයි ඒ අය. රඟපාගෙන යන අතරෙදි දෙදාහේ අවුරුද්දෙදි විතර දවසක් මීරිගම ෂූටිං ඉවරවෙලා මං කොළඹ එන්න ආවේ ජයසේකර අපොන්සුත් එක්ක. එයාගේ අලුත්ම ඩී එක්ස් කාරෙකේ. එන අතරෙදි ‘මල්ලි මට නිදිමතයි අපි පොඩි ඇලට් එකක් දාලා යමු. ඔයා මට හතරට කතා කරන්ඩ හොඳේ’ කියලා අපොන්සු වාහනේම නිදාගත්තා.

එහෙම කියලා විනාඩි දෙකක් ගියේ නෑ මුළු වාහනේම භූමිකම්පාවකට අහුවුණා වගේ දෙදරන්ඩ ගත්තා. කාපට්වල තිබිච්ච දූවිල්ලත් ඇදිලා ඇවිත් අපොන්සුගෙයි මගෙයි මූණු දූවිලිවලින් නෑවුණා. මං හිටියේ ඉස්සරහා සීට් එකේ මෙයා ළඟමයි. යාළුවා හුස්ම ඉහළ ගනිද්දි මාව ඒ සීට් එකෙන් අපොන්සුගේ නාහෙ අගට ඇදිලා යනවා. ආයෙත් හුස්ම පහළ දානකොට මාව විසිවෙලා ගිහින් වාහනේම වදිනවා. මේ දුක නම් පැය තුනක් තිස්සේ ඉවසන්නේ කොහොමද? මං වටපිට බැලුවා. ලොක්කා මට එයාව නැගිට්ටවන්ඩයි කිව්වේ හවස හතරට. මං මුලින්ම ලොක්කගේ මොබයිල් ෆොන් එක හිමීට අරගෙන ඒකේ වෙලාව හවස හතරට තිබ්බා. ඊළ¼ට වාහනේ වෙලාවත් හතර කෙරුවා. මගේ ඔරලෝසුවෙත් කටු හතරට කැරකෙව්වා.

ලොකු අයියෙ වෙලාව හරි තුනයි, තුනයි කියලා දහපාරක් විතර හොලවලා, හොලවලා එයාව නැගිට්ටගත්තා. ‘මොනවද මල්ලි විනාඩි හතළිහක්වත් ගියේ නෑ නේද’ කියලා ඇස් පොඩි කර කර අපොන්සු නැගිට්ටා. නැගිටලා එහෙම වෙලාව බැලුවා. ‘බලන්ඩකෝ මේ දැන් නිදාගත්තා වගේනේ මල්ලි’ කියලා ස්ටාර්ට් කෙරුවා.

අපි වාහනේ නතර කරලා තිබුණේ වංගුවක. ලොක්කා බරදාලා වංගුවෙන් වාහනේ මහපාරට හැරෙව්වා විතරයි ’දඩ බඩෝං’ ගෑවා. ඉස්සරහා එහා කොනේ සීට් එකේ ඉඳගෙන හිටිය මං විසිවෙලා ගිහින් එල්ලුනේ අපොන්සුගේ කරේ. අපිට හොඳ කල්පනාවට එන්නත් ටිකක් වෙලා ගියා.

එතකොට බැහැලා බැලුවාම මහර හිරගෙදරට ට්‍රින්කො ඉඳන් රැඳවියො ගෙනාව බස් එකේ තමයි අපි වාහනේ ඇනලා තියෙන්නේ. කාරෙකේ පදාසයක්ම කුඩේ කුඩු.

පි‍්‍රසන් එකේ ඉන්චාජ් අපි ළඟට ඇවිත් බැලුවා. අපිව අඳුන ගත්තාම එයාටත් වෙච්චදේට කනගාටුයි. ඒත් මොනවා කරන්නද? නිදි මරගතේ බස්එකේ ඇන්නේ අපොන්සුනේ.

‘මහත්තයා අපි මේ කලබලේ යන්නේ එකහමාර වෙද්දි උසාවියට බාර දෙන්න ගෙනියන හිරකායොත් අරගෙන කියලා ජේලර් කිව්වා.

‘ඉතින් මල්ලි දැන් මේ හවස හතරයිනේ. ඔයා කොහොමද එකහමාරට මිනිස්සු බාර දෙන්නේ’

‘නෑ මහත්තයා තාම වෙලාව දොළහයි හතළිස් පහයි’ ජේලර් එහෙම කිව්වම වැඩේ අවුලු වුණා. ඇත්තම වෙලාව ඒක තමයි කියලා අපොන්සුටත් තේරුණා. බැරිම තැන මං ඇත්තම කිව්වා. ලී මෝලක හිටියා වගේ වාහනේ ඇතුළෙදි වින්ද දුක කිව්වාම අපොන්සුටත් හිනා. එත් කේන්තිය ඉවර වුණේ නෑ. කොළඹ එනකල්ම ලොක්කා අවේ මට බැණ බැණම තමයි.

මං බුද්දික රඹුක්වැල්ල