වර්ෂ 2014 ක්වූ මාර්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




“අයියෝ කොළඹ බෝම්බයක් පිපිරිලා බර ගණනක් මැරිලාලු ”

“අයියෝ කොළඹ බෝම්බයක් පිපිරිලා බර ගණනක් මැරිලාලු ”

06 වන කොටස

සරසවිය පුවත්පතේ පළවන සැමීගේ කතාව ප්‍රියංකර විතානාචිච්ගේ සිනමා කෘතිය ඇසුරෙන් සැකසෙන්නකි.

දැල් මාමා මිය ගිය විත්තිය මහත්තයාට පැවසුවේ තරුණයෙකි.කාත් කවුරුවත් නැති දැල් මාමා මිය ගිය පසු ඒ සියළු වියදම් මහත්තයා විසින් ස්වෙච්ඡාවෙන්ම පවරා ගන්නා ලදී.

ඔහුගේ අවසන් කටයුතු සියල්ල නිම වූ පසු සොහොන් පිටියෙන් ආපසු ආවේ පුංචි මහත්තයාත් සැමීත් ය.

‘දැල් මාමාට නම් මහත්තයලා හරි හිටියා .මං මැරුණු දාට කවුරු වළදායිද පුංචි මහත්තයා“

සැමී ඇසුවේ එයින් පිටවීමට මත්තෙනි. පුංචි මහත්තයාට දුක සිතිණ.ඔහු උන් තැනම නැවතී සැමීගේ කරට අත දැමුවේය

“ඇයි සැමීට කවුරු නැතත් අපි ඉන්නවා‘

පුංචි මහත්තයා පැවසුවේ අවධාරණයෙනි.

නිවාඩුව අවසන් වත්ම පුංචි මහත්තයාත් පුංචි නෝනාත් ආපසු යන්නට සැරසුණහ.එය සැමීට මහත් දුකක් ගෙන දෙන කාරණයක් විය.මහත්තයාත් නෝනාත් තමා මෙන්ම දුකින් පසුවන බැව් ඔහුට සිතිණ.සරෝජනී සමග පුංචි මහත්තයාට ගෙන යන්නට ලොකු නෝනා රස කැවිලි සැකසුවාය.සැමී පුංචි මහත්තයාගේ කාමරයට එබි කම් කළේය. ලොකු නෝනා විසින් ගෙන යන්නට සාදා දුන් පාර්සලයක් ද ඔහු අත විය.සිය කාමරයට එබෙන සැමී පුංචිමහත්තයා දුටුවේ බෑගය සකසද්දීය.

පුංචි මහත්තයා සෑම් අත තිබුණ පාර්සලය පරිස්සමට සිය බෑගයට දා ගත්තේය.

‘සෑම්ට මොනව හරි වුවමනා උනොත් මට දන්වල එවන්න“

මහත්තයා පවසන ගමන් කමිසයක් පරිස්සමට නැව්වේය.

‘පුංචි මහත්තයා ඉක්මනින් එන්න“

සැමී එය පැවසූ ආකාරයට ඔහුට දුක සිතිණ.

පුංචි මහත්තයා සැමී වැළඳ ගත්තේය. මේ නිවසේ සිටි සියළු සේවකයන්ට වඩා සැමී තමන්ගේ එකෙකැයි යන හැඟිම පුංචි මහත්තයාට ඇතිව තිබිණ.සැමී ඔවුන් පිටව යනු බලා සිටියේ ඉවසිය නොහැකි දුකකිණි.සියල්ල වෙන්ව ගිය පසු සැමී ගඟ දෙස බලා සිටියේය. සැමී සිටිනුයේ ද තමන් මෙන්ම පාළුවෙන් බව මහත්තයාට වැටහිණි. දූ පුතුන් පිටව යද්දී සෙල්වම් ද ගමට ගොස් එන්නට ගොසිණි.

“සෑම්“

මහත්තයා කතා කළේය.තවත් තත්පර කිහිපයක් ගඟ දෙස බලා සිටි සෑම් මහත්තයා උන් දෙසට හැරිණ. ඔහු සිටියේ සඳළුතලයේය.

‘සෙල්වම් ගමේ ගියානේ.උඹට පුළුවන් ද සරෝජණී එක්ක කෝවිලට ගිහින් එන්න‘

සැමී වගකීම බාර ගත්තේය.බසයක් එනතුරු බලා සිටින සරෝජනී දුටු තරුණයකු බයිසිකලයෙන් යන ගමන් ඇයට විහිලු කළේය.එය දුට සැමී කිපිණ.තරුණයා වහා බයිසිකලයේ නැගිට පලා ගියේය.සරෝජනී සැමීට බෙහෙවින් කරුණාවන්ත විය.සෙල්වම් ඇතැම් දින වල සැමී රවටනු ඇය බලා සිටිනුයේ කෝපයෙනි.එක් දිනක් සැමී සිහිනයක් දුටුවේය. ඔහුගේ අසල ඇඳ ළඟ සෙල්වම් වෙනුවට සරෝජනී නිදන අන්දමය.එහෙත් ඔහු ඇස් ඇර බැලුවේය. ඔහුගේ ඇඳ අසල නිදන්නේ සෙල්වම්ය. සෙල්වම් නිදා ගන්නා විට මහ හඩින් ගෙරවීම පුරුද්දක් කර ගත්තේය.ඒ මදිවට ඔහු තමා ත්‍රස්තවාදියෙක්යැයි සැමී බය කරන්නට නිතර කියා සිටියේය.

ටික දිනකින් යළි සෙල්වම් පැමිණියේය.සැමී කුස්සියට පැමිණෙන විට ඔහු උන්නේ එළවලු කපමිනි.

“මම ගමේ ගිහින් එල්.ටී.ටී.ඊ එකට යනවා.ඉස්සෙල්ලම මරන්නේ උඹව.“

සෙල්වම් සැමීට කියා සිටියේ පිහිය දික් කරමිනි. සැමී එයට උත්තර බඳීන්න නොගියේය. ඔහු ඒ ගැන කාටවත් පැමිණිලි කරන්නට ගියේ ද නැත.ඔහු සෙල්වම් ගේ බැල්ම මග හරින්නට මෙන් බිම බලා ගත්තේය.

මහත්තයාත් නෝනාත් පසුදා කොළඹ ගියේය.

නෝනා අඳීන්නට වෙලා ගත්තාය.ඇය ඉදිරියට එද්දී මහත්තයා විහිළු කරන්න්ට පටන් ගත්තේය.

“ෂ.හරි ලස්සන වෙලානේ“

මහත්තයා රිය පන ගන්වමින් කියා සිටියේය. ඔහු යන්නට පෙරාතුව නිවසේ සියල්ලන්ටම කියා ගෙන ගියේ නිවස බලා ගන්නාලෙසටය.

සැමී මහත්තයා එනතුරු බලා සිටියේය.ඔහු වත්ත සියල්ල සුද්ද කළේය.අනතුරුව මාළුන්ට කෑම ද දුන්නේය. බෝට්ටුව සුද්ද කළේ මහත්තයා පැමිණ ඔරුව පදින්නට කැමැති වනු ඇතැයි අනුමාන කළ බැවිනි. දවල් වන විට ඔහුට බඩගින්නක් දැනිණ.ඔහු කුස්සියට ගියේය. සෙල්වම් සහ සරෝජනී ටෙලිවිෂනය ළඟ සිටගෙන සිටියේය .එහි මහ කලබලයක දර්ශණ පෙන්වයි.සියල්ලම තුෂ්නිම්බූත ව බලා සිටිති.

“අයියෝ කොළඹ බෝම්බයක් පිපිරිලා.බර ගණනක් මැරිලාලු “

සෙල්වම් කලබල වී කෑගැසුවේය.

“මහත්තයා ගියෙත් ඒ පැත්තට සැමී.අනේ කිසිම ආරංචියක් නෑ.නෝනාගෙත් ආන්සර් එකක් නෑ‘

සෙල්වම් මෙන්ම සරෝජනී ද එකවර කියන්නට විය. සැමීට කිසිත් අදහා ගත නොහැක. සරෝජනී මහත්තයාගේ මිතුරෙකු වන වසන්තට කතා කළේය.වසන්ත බොහෝ විට මහත්තයා හමුවන්නට එන්නේය.ඔවුහු ඇතැම් සවසක ගඟ අදද්රට වී මධු විතක් තොල ගාන්නට පටන් ගනිති.එය රෑ බෝවන තෙක් පවතින්නකි.

වසන්ත මහත්තයා ද පුවත ඇසූ කළ බෙහෙවින් කලබල විය.

කාලය ඉක්මවා ගියේය. රාත්‍රිය එළැඹෙමින් තිබිණ.නිවස ඉදිරිපිට රියක් නතර විණ. එයින් බිමට බටුයේ වසන්ත මහත්තයාය. ඔහු රථයේ අනිත් පසුපසට ගොස් එහි සිටි නෝනා බස්සවා ගත්තේය.ඇය පැමිණියේ ඉකි බිඳීමිණි..එයින් එළියට බට නෝනා මහ හඬින් හඬන්නට පටන් ගත්තාය.වසන්ත මහත්තයා ඇය වත්තම් කර ගෙන ගෙට ගියේය. සරෝජනී හිස අත ගසා විලාප දුන්නාය. සෙල්වම් උන් තැනම බිම වැටී දෙවියන් සිහි පත් කරමින් හඩන්නට විය.උදේ කොළඹ ගිය මහත්තයා නෝනා ඇයගේ යෙහෙළියකගේ නිවසට පිටත් කර තනිවම තමන්ගේ රාජකාරියට ගියේය.

ඒ මොහොතේ ඔහුගේ ඉරණම විසඳෙන්නට තීන්දු කර තිබිණ.ඔහු මෙන්ම අහිංසක මිනිසුන් රැසක් ත්‍රස්තවාදීන්ගේ බෝම්බයට බිලි විණ. .පියාගේ මළගම ඇසූ දරුවන් අම්මා සොයා ආහ.හිටි අඩියේ මහත්තයා සොරු ගෙන ගියේය යැයි සැම්ට සිතිණ.

පුංචි මහත්තයා සැමීටත් සෙල්වම් ට සහ සරෝජනීටත් අඩ ගැසුවේය.

‘දැන් තාත්තා නැති එකේ.අම්මාව මෙහෙ තියා ගන්න බෑ අපි අම්මාව එක්කන් යනවා“

ඔහු අවසාන තීන්දුව දුන්නේය.දින දෙකකට පසු සරෝජනී ද සෙල්වම් ද පිටත්ව ගියහ.

ඒ වන විට සෙල්වම් සරෝජනී විවාහ කර ගන්නට තීන්දුවක් ගෙන තිබිණ.

මම එල්.ටී.ටී.ඊ එකට බැඳනවා කිව්වේ බොරුවට.උඹ මාත් එක්ක කවදාවත් තරහ නෑ නේ ද සැමී “

යන්නට පෙර සෙල්වම් සැමී ගෙන් ඇසුවේය.ඔහු නැහැයි කියන්නට හිස වැනුවේය.මේ අහිංසකයා රවටමින් ගත කළ කාලය ගැන ඇත්තටම සෙල්වම් දුක් වූයේය.සැමී සරෝජනී සහ සෙල්වම් යනු ඉවසා බලා සිටියේය.දැන් තමන් ද පිටත් වන්නට කාලය එළැඹ ඇත්තේය.නෝනා ද පුංචි මහත්තයා මෙන්ම පුංචි නෝනා ද සාලයේ වාඩි වී සිටයහ. ඔහු නෝනාට දණ ගසා වැන්දේය.පුංචි මහත්තයා ට වඳීන්නට ඔහුට වුවමනා වුවත ඔහු එයට ඉඩ නොදුන්නේය.

සැමී ගෙයින් පිටව යන විට නෝනා ඔහුට මුදලක් දුන්නාය.

“මං කවද හරි දවසක උඹව සොයා ගෙන එනවා සැමී “

පුංචි මහත්තයා පැවසුවේය. සැමීගේ ඇස් වල ඉපැදුන කඳුළු ගලා හැළිණ. ජීවිතය පිළිබඳ බලාපොරොත්තවක් ඉපිද ඇත්තේය. ඔහු එනතුරු අම්මා මග බලා සිටනු වග සැමීට දැනිණ.කවදාක හෝ දවසක යළි පුංචි මහත්තයා එනු ඇති වග ඔහු විශ්වාස කළෙය.කුඩා කාලයේ සිට ඔහුට අවශ්‍ය වූයේ ලොරියක් ගන්නටය.ඒ මිනිසකු වන්නටය. ජීවිතයේ අවසානයේ ඔහුට මිනිසුන් පෙළක් මුණ ගැසිණ.ඔවුහු ඔහුට බෙහෙවින් ආදරය කළේය.අම්මා හැරුණු විට ඔහුට ලෝකය වූයේ මහත්තයාය.ඒ මහත්තයා දැන් නැත.එහෙත් පුංචි මහත්තයා ඔහුගේ ජීවිතය තනි නොකරනු ඇතැයි ඔහු විශ්වාස කළේය.එතෙක් අම්මා සොයා යන්නට ඔහු කැමැතිය.

මේ දිනවල අති සාර්ථකව තිරගත වන සැමීගේ කතාව ඇසුරෙන් සරසවිය ගෙන ආ කතා මාලාව මෙයින් නිම වෙයි.එහෙත් සැමීගේ ඉරණම මෙයින් නිම නොවේ.එය අප ගෙන ආ පුවතට වඩා වෙනස් ය. එය දැක ගත හැක්කේ සිනමාහලෙන් පමණි.