|
වැඩිම සම්මානලාභියා සේවයෙන් විශ්‍රාම ලබයි නිර්මාණ ඇරෙන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ
ලයනල් ගුණරත්න විශ්‍රාම සුවයෙන් සරසවියට කතා කරයි
ඔබේ සම්පූර්ණ නම? සෙන්දනායක ආරච්චිගේ ලයනල් ගුණරත්න
භාවිත කළේ? ලයනල් ගුණරත්න කියන නම.
රජයේ චිත්‍රපට සංස්ථාවට එහෙමත් නැතිනම් සරසවි චිත්‍රාගාරයේ ප්‍රධාන ශබ්ද පරිපාලක බවට පත් වන්නේ? 1984 අවුරුද්දෙයි මං සරසවි චිත්‍රාගාරයට එන්නේ.
ඊට කලින්? ලංකා චිත්‍රාගාරයෙයි මං හිටියේ.
එතැනද ඔබගේ මුල්ම රැකියාව කළ ස්ථානය? ඔව්.
කොහොමද ලයනල් ගුණරත්න කියන තරුණයා ලංකා චිත්‍රාගාරයට එන්නේ?
ඉතිං? අපේ ඥාතියෙක් හිටියා ගාමිණී ෆොන්සේකා මහත්තයාව හඳුනන. මාව ඔහු හම්බුවෙන්න එක්ක ගෙන ගියා. මාත් ඉතින් යන්නේ කොහෙද කාව හම්බු වෙන්නද කියලා දැනගෙන හිටියේ නැහැ. ඔන්න ගාමිණී මහත්තයා මුණ ගැසුණා. මාත් එක්ක ගිය ඥාතියා මං ගැන විස්තර කියලා රැකියාවක් හොයලා දෙන්න කිව්වා.
එතුමා මොනවද ඇහැව්වේ? තමුසෙට මොනවද කරන්න පුළුවන් කියලා ඇහැව්වා.
මොකක්ද ඔබේ පිළිතුර වුණේ? මං ගත් කටටම කිව්වා අනේ සර් මට මුකුත්ම බැහැ කියලා. ගාමිණී මහත්තයා පුදුමයෙන් මගේ දිහා බැලුවේ.
මොකක්ද ඔහුගේ ඊළඟ ප්‍රතිචාරය වුණේ? ඔහු මට ලියුමක් දුන්නා ලංකා චිත්‍රාගාරයට ගිහින් දෙන්න කියලා. මට ඔහු ලියුම දුන්නෙත් මට මුකුත් වැඩ බැහැ කියලා ඇත්ත කියූ නිසා.
ඔබට ලංකා චිත්‍රාගාරයේ රැකියාව ලැබුණා? ඔව්.
ඒ කවුරු හැටියටද? සහාය ශබ්ද පරිපාලකවරයකු හැටියට. මං මාස හයක් කිසිම පඩියක් නැතුව වැඩ කළේ. මේ වෙලාවේ නිමල් වීරක්කොඩි මහත්තයාව මතක් කරන්න ඕනෑ. ඔහු තමයි එවකට මගේ ගුරුවරයා සහ ප්‍රධානියා විදිහට හිටියේ.
ප්‍රථමයෙන්ම ශබ්ද පරිපාලනය කළ චිත‍්‍රපටය මතකද? ඔව්. ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක්.
කවුද ඔබට එහි ශබ්ද පරිපාලනය බාර දුන්නේ? ධර්මසිරිම තමයි. ඔහු එවලේ මට චිත්‍රපටය ගැන කියලා ශබ්ද පරිපාලනය බාර දෙන කොට මට ගොඩක් බය හිතුණා.
හේතුව? එහි සංගීත අධ්‍යක්ෂණය කළේ ආචාර්ය කේමදාසයන්. ඔහුත් සමඟ වැඩ කිරීම හරිම අපහසුයි. පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවා.
මාස්ටර්ද මං චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය කරනවාට කැමැත්ත දුන්නා. ඒක මට හයියක් වුණා. හංස විලක් ගොඩ දැම්මා.
එතැනින් පසුව? මට එක දිගට වැඩ ගලාගෙන එන්න පටන් ගත්තා. මේ වන විට චිත්‍රපට පන්සීයකට අධික ප්‍රමාණයක් ශබ්ද පරිපාලනයෙන් දායක වෙලා තියෙනවා.
ඒක ඇතැම් විට වාර්තාවක් වෙන්න ඇති. ඔව්. මමත් හිතනවා.
කවුද ශබ්ද පරිපාලකවරයකු කියලා කියන්නේ? චිත්‍රපටයක් අප ළඟට ගෙනෙද්දී ඒකේ දෙබස් මියුසික් මුකුත්ම නැහැ. හරිම අජීවීයි. ඒකේ දෙබස් යොදලා සංගීතය ඇතුළත් කිරීම තමයි ශබ්ද පරිපාලකවරයකු සතු රාජකාරිය. චිත්‍රපටය ප්‍රාණවත් කරන්නේ ශබ්ද පරිපාලකවරයා.
ඔබට විවිධ අධ්‍යක්ෂවරන් යටතේ වැඩ කරන්න ලැබුණා. ඉන් කාත් එක්කද අපහසුවෙන්ම වැඩ කළේ? ගාමිණී මහත්තයා, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ වගේ අය හඳුන්වන්න පුළුවන්. හැබැයි මං ඔවුන් එක්ක අපහසුවෙන් නෙවෙයි වැඩ කළේ. ඔවුන්ව සෑහීමකට පත් කරන්න හරිම අමාරුයි.
එතකොට සුන්දරම අධ්‍යක්ෂවරයා? ආයේ වචන දෙකක් නැහැ. ලෙස්ටර් මහත්තයා. ඔහු හරිම තැන්පත්.
ශබ්ද පරිපාලකයකු විදිහට ඔබ ලබා ඇති සම්මාන ගැන සඳහන් කළොත්? හොඳම ශබ්ද පරිපාලකවරයා විදිහට මම ජනාධිපති සම්මාන හතයි, සරසවිය සම්මාන අටයි, විචාරක සම්මාන දෙකයි, ඕසීඅයිසී සම්මාන එකයි. දෙරණ ලක්ස් සම්මාන එකයි මං අරගෙන තියෙනවා.
මේ වන විට තාක්ෂණය දියුණුයි. ඒත් ඔබේ කාලේ? ඒ කාලේ හරිම කටුකයි. අද නම් එහෙම නෙවෙයි හරිම සැහැල්ලුවෙන් තාක්ෂණයත් එක්ක වැඩ කරන්න පුළුවන්.
හංස විලක්, සිසිල ගිණි ගනී, දොරකඩ මාරාව, නොමියෙන මිනිස්සු.
අද ඔබ විශ්‍රාමිකයි. මොනවද ඉදිරි සැලසුම්? මොකුත් නැහැ.
ඒ මොකද? ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. එතකොට එවා සුන් වෙනවා.
ඔබ අඩුම ගානේ චිත්‍රපට අධ්‍යක්ෂණයටවත් පිවිසෙන එකක් නැති වෙයිද? අන්න ඒකට නම් හිතක් තියෙනවා. බලමු.
අවුරුදු හතළිහක් සේවය කරලා අවසානයේ මොනවද ඔබට ඉතිරි වුණේ? ඇත්තම කිව්වොත් මගේ නිර්මාණයන් හැරුණු කොට කිසිම දෙයක් මට ඉතිරි වෙලා නැහැ.
මොනවද අවසන් කොට කියන්න තියෙන්නේ? ලෙස්ටර් ජේම්ස් පීරිස්, නිමල් වීරක්කාඩි, ගාමිණී ෆොන්සේකා, කේමදාස මාස්ටර්, වසන්ත ඔබේසේකර යන මහත්වරුන්ව මතක් කරනවා මේ වෙලාවේ.
|