වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මම තරම් හොඳ මිනිහෙක් ලෝකේ තවත් නැහැ

මම තරම් හොඳ මිනිහෙක් ලෝකේ තවත් නැහැ

සොමී රත්නායක සිනමාවෙන් ජීවිත විවරණයක...

සුර දූත පුර - සුර සැප විඳින සොමී පරාවර්තන සමඟ යළි සිනමාවට

සැබෑ රංගන පෞරුෂයකින් හෙබි ලාංකේය රූපණවේදීන් අතලොස්ස අතරින් සොමී රත්නායක ප්‍රමුඛයෙකි. එහෙත් පසුගිය කාලය පුරාවට ඔහුගේ විශිෂ්ට රංගන කුසලතාවන් අපේ සිනමාවට එක් වූයේ නැත.

ඒ විරාම සමය නිමා කරමින් ඔහු නැවත ලාංකේය ප්‍රෙක්ෂකයා අභිමුවට පැමිණ සිටී. ජයනාත් ගුණවර්ධනගේ ‘පරාවර්තන’ චිත්‍රපටයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරමින් සොමී යළි එසේ අපේ සිනමාවට එක්වීම සැබැවින්ම සතුටුදායක පුවතකි. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වෙසෙන සොමී නොබෝ දා මෙරටට පැමිණියේ ‘පරාවර්තන’ මංගල දර්ශනයට සහභාගි වනු පිණිසය.

මේ සොමී මව්බිමට පැමිණ කළ පළමු පුවත්පත් සාකච්ඡාවයි.

‘පරාවර්තන’ මම හිතන්නේ ඔබේ රංගන දිවියේ පරිවර්තනයක් . . .?

ඔව්. පරාවර්තන චිත්‍රපටයේ රඟපාන්න ජයනාත් මට ආරාධනා කරන කොට මම සිංහල සිනමාවෙන් දුරස් වෙලා අවුරුදු දහතුනක්. ඒ ආරාධනාව මම දෙවරක් නොසිතා පිළිගත්තා. හේතුª කිහිපයක් එයට තිබුණා. එකක් ජයනාත්ගේ ආරාධනාව. මම ජයනාත්ව හොඳින් දැනගෙන හිටියත් ඔහු කැමරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක මම රඟපා තිබුණේ නෑ. නමුත් ජයනාත් කරපු චිත්‍රපට ගැන මට වැටහීමක් තිබුණා ‘සොල්දාදු උන්නැහේ’, ‘දොරකඩ මාරාව’ වැනි ඔහු කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණ චිත්‍රපට පිළිබඳ.

වසර දහතුනක් නිහඬව හිටපු ඔබ ඇයි එක් වරම ඒ ආරාධනාව පිළිගත්තේ?

නෑ, මම හිතුවා ඒකෙ විශේෂත්වයක් ඇති කියලා. මොකද ලංකාවේ තව නළුවො නැතිව නෙවෙයිනේ. මේ චරිතය ගැන අපි නොයෙක් වර දුරකතනයෙන් කතා කළා. මට අවබෝධ වුණා මේක සුවිශේෂී, මට යමක් කළ හැකි චරිතයක් කියලා. රත්නේ උන්නැහේ’ කියන චරිතය තමයි මම රඟපාන්නේ. මේ මනුස්සයා සම්බන්ධ පොඩි රහසක් තියෙනවා. මුළු චිත්‍රපටය පුරාම ඒ රහස රැකෙනවා. අන්තිම මොහොතේ තමයි ඒ රහස ඔහු විසින්ම හෙළිදරව් කරන්නේ. රත්නෙ උන්නැහේ ගමේ කාගේත් ආදරය, කරුණාව දිනා ගත්ත මනුස්සයෙක්. ගමේ කාට හරි කරදරයක්, විපතක් සිදු වුණොත් එතනට මුලින්ම එන්නේ මේ රත්නෙ උන්නැහේ. නමුත් කිසියම් දෙයක් දකිද්දී එයා තිගැස්මකට පත් වෙනවා. ඒක තමයි අර රහසට හේතුව.

චිත්‍රපටය නරඹලාම අපි ඒ රහස දැනගන්න කියමු ප්‍රේක්ෂකයන්ට?

හරියට හරි. මොකද ජයනාත් මට කිව්වේත් මේ කතාව කාටවත් හෙළිදරව් කරන්න එපාය කියලයි. මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ යම් කෙනෙක් කරන, කියන දේවල්වල විපාක තමන්ට කවදා හරි ලැබෙනවායි කියන එක. හොඳක් කළොත් හොඳ දැනෙනවා අඩු වෙන්න පුළුවන්. නමුත් වැරැද්දක් කළොත් ඒකෙ විපාක අපට දැනෙනවා වැඩියි. දැන් ඔයා දවස් තිහක් හොඳ කරලා, එක දවසක් වැරැද්දක් කළා කියමුකෝ. අර හොඳට වඩා මතුªවෙන්නේ එක දවසක වැරැද්ද. ඒක තමා ලෝකෙ හැටි. පැහැදිලිව කිව්වොත් මේ චරිතය හුඟක් ව්‍යාකූලයි. බොහොම සංයමයකින්, පරෙස්සමෙන් රඟපාන්න සිදු වුණ චරිතයක්.

සිනමාවේ මෙතෙක් ඔබ රඟපෑ චරිතත් එක්ක බලද්දී මේ චරිතය කොතන ද ඔබ තබන්නේ?

අතීතයේ ඉඳලා අපි ගත්තොත් ‘උතුමාණෙනි’, ‘සුරබිදෙන’, ‘සුද්දිලාගේ කතාව’, ‘දඩයම’, ‘දොළොස් මහේ පහන’ වගේ මා රඟපෑ චිත්‍රපටවල චරිත අදටත් ප්‍රේක්ෂකයාගේ මනසේ තියෙනවනේ. ඒ චරිත අදටත් ජීවත් වෙනවා. මම හිතන්නේ මේ චරිතයත් ඒ වගේ වෙයි. මොකද ඇත්තටම අසංක මගේ අන්තිම චිත්‍රපටය තිරගත වුණේ 1999 දී. ඒ චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සත්කම්පා’ චිත්‍රපටය. ඊට පස්සේ මගේ අලුත් චිත්‍රපටයක් දකින්න ලැබුණේ නෑ. ඔය දැන් 2014 දී තමයි ඒ කියන්නේ අවුරුදු පහළොවකට පස්සේ තමයි මගේ චිත‍්‍රපටයක් පෙන්වන්නේ. අසාධාරණයක් නෑ මෙහෙම කිව්වට. අවුරුදු පහළොවක් මාව දකින්න නොලැබුණා කියලා පාඩුවක් වෙන්නේ නෑ මේ චිත්‍රපටය හරහා මාව දැකීමෙන්.

ඒ කියන්නේ ඒ අවුරුදු පහළොවටම හරි යන්න ඔබ මේ චරිතය රඟපෑවා කියන එකද?

මගේ යාළුවෙක් වරක් මට කිව්වා අපරාදේ රට ගියේ, හිටිය නම් තව හොඳ රඟපෑම් ටිකක් කරන්න තිබුණනේ කියලා. මම අවුරුදු හතරකට කලින් ලංකාවට ආපු වෙලාවේ හෙක්ටර් කුමාරසිරි කියන මගේ මිත්‍රයා තමයි එහෙම කිව්වේ. ඉතින් මම එයාගෙන් අහපු ප්‍රශ්නේ තමයි මේ අවුරුදු දහතුනට ඔයා දැකපු හොදම රඟපෑම මොකක්ද කියලා. හොඳම පද රචනය මොකක්ද, හොඳම නවකතාව මොකක්ද එහෙම නැතිනම් හොඳම කලා නිර්මාණය මොකක් ද මේ අවුරුදු දහතුනට රටේ බිහිවෙච්ච කියල ඇහුවා මම.

මොකක්ද පිළිතුර?

එහෙම කල්පනා කරන කොට නම් බිහිවුණ විශිෂ්ට නිර්මාණයක් නෑ කියලා එයා කිව්වා. මම කිව්වා ඉතින් එහෙම නම් මම රඟනොපා හිටපු එක ගැටලුවක් නෙවෙයි නේ කියලා. ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ රටක ප්‍රගමනය, ඉදිරි ගමන සඳහා කලාව ඉතාම වැදගත් වෙනවා කියන කාරණය. ඒ කියන්නේ සිනමාව හෝ නාට්‍යය කලාව හෝ සංගීතය හෝ ගීත සාහිත්‍ය හෝ නවකතාව මේ සියලුම දේවල්. රටේ වටිනාකම ලෝකෙට කියන්න පුළුවන් දේ තමයි කලාව. එතනිනුත් සිනමාව තමයි තමන්ගේ රට, ලෝකය නියෝජනය කරන්නේ. සිනමාව කියන්නේ විශ්ව භාෂාවක්. ලෝකෙට අපිව අරන් යන්නේ සිනමාව. නමුත් අවාසනාවට වගේ අපේ සිනමාව එතැනට ගිහින් නෑ. අපේ සිනමාකරුවන් ඒ ගැන හිතලවත් නෑ.

නමුත් අපේ සිනමාවට අද ජාත්‍යන්තරයේ දොරටු විවර වෙලා තියෙනවා. විවිධ සම්මාන ලැබෙනවා. ඒවාට නිර්දේශ වෙනවා. කොහොමත් ජගත් කීර්තියට ලක් වූ අපේ සිනමාකරුවන්, නළු නිළියන් අපට ඉන්නවා නේද?

ඒක තමයි, අපි මෙහෙම ගම්මුකෝ. ‘ගම්පෙරළිය’ චිත්‍රපටය නවදිල්ලි සිනමා උළෙලේදීී හොඳම චිත්‍රපටය විදිහට ‘රණ මයුර’ සම්මානය දිනා ගන්නවා. මේ 1963 නැත්නම් 64 දී. එතකොට මම ඔබෙන් අහන ප්‍රශ්නය තමයි ලෙස්ටර් ගේ ‘ගම්පෙරළිය’ දිනාගත් සම්මානයට සමාන වූ සම්මානයක් අපි ලබාගෙන තියෙනවද මෙතෙක්. දැන් අවුරුදු පනහක්. අපි සම්මාන ලබාගෙන තියෙනවා. විදෙස් සම්මාන උළෙලවලදී අපිව නියෝජනය වෙනවා. දැන් ජගත් චමිල ‘නිව්යෝක් සිටි’ ෆෙස්ටිවල් එකේ හොඳම නළුවා වුණා. ඒක විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ නළුවාට විතරක් නෙවේ, රටටත් ආඩම්බරයක්. මීට පෙර ජෝ අබේවික්‍රම, අනෝජා වීරසිංහ, මාලිනී ෆොන්සේකා වගේ නළු, නිළියන් සම්මාන දිනා ගත්තා. නළු නිළියෝ, කැමරා ශිල්පියෝ එහෙම සම්මානයට පාත්‍ර වුණත් ඊට සාපේක්ෂව අපේ සිනමාකරුවන් සම්මානනීයත්වයට පත්වුණේ නෑ.

ප්‍රසන්න විතානගේ වැනි සිනමාකරුවකුට ඒ අවස්ථාව ලැබුණා?

ඔව්. ප්‍රසන්නගේ ‘ආකාස කුසුම්’ සහ ‘මචං’ අමෙරිකාවේ ‘ෆෝම්ස්ස්ට්‍රිං’ ෆෙස්ටිවල් එකට ඉදිරිපත් කරපු වෙලාවේ මම ගියා බලන්න. අවුරුද්දක් පාසා තිබෙන හොඳ සිනමා උත්සවයක් ඒක. ‘මචං’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් අපට මුණ ගැහුණා. එහි සංවිධායක මණ්ඩලය ප්‍රසන්න ගැන කතා කළා. ඔහුගේ ‘පුරහඳ කළුවර’ චිත්‍රපටය ඔවුන් එතනදී මතක් කළා. ඒ චිත්‍රපටයට ඔවුන්ගේ වැඩි කැමැත්තක් තිබුණා. විදෙස් සිනමා උළෙලක ජූරිය අපේ සිනමාකරුවෙකු ගැන කතා කරනවා අහගෙන ඉන්න කොට මට ලොකු අභිමානයක්. ආඩම්බරයක් දැනුණා. මම අමෙරිකාවට ගිය අලුත ඔස්කාර් සම්මාන උළෙලක් බලන්න ගියා. එහිදී ආතර් සී. ක්ලාක් මහතාට ජීවිතයට වරක් පමණක් ලබන සම්මානය ඔවුන් ප්‍රදානය කළා. ඒ හේතු පාඨය කියෙව්වේ ටොම් හෑන්ක්ස්. ඔහු ආතර් සී. ක්ලාක්ගේ නම කියනවා Colombo, Sri Lanka  කියලා. ඔයා කියන්නේ මම උඩ පැනලා කෑගැහුවා.

ඒ තරම්ම සතුටක්?

ටොම් හෑන්ක්ස් ඔස්කාර් නයිට් එකේ වේදිකාව උඩ ඉඳගෙන කතා කරනවා ‘ලංකාව, කොළඹ’ කියලා. ආතර් සී. ක්ලාක් හරි. එයා ඉතින් ජගත් කීර්තිධර පුද්ගලයෙක්. ඒක හරි. නමුත් ටොම් හෑන්ක්ස් ගේ කටෙන් කොළඹ සහ ලංකාව කියන කොට මට පුදුම සතුටක් දැනුණා. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අපේ සිනමාකරුවන් බොහෝ විට එක රාමුවකට කොටු වෙනවා. කාලෙන් කාලෙට එක එක දේවල්වලට අහු වෙනවා.

ඒ කිව්වේ?

අපි සූරයා චිත්‍රපට සාර්ථක වෙන කොට ඒ කාලේ දිගටම සූරයා චිත්‍රපටවලට ගියා. දැන් අපි රජ කතා පිටි පස්සේ යනවා. ඊළඟට බෞද්ධ චිත්‍රපට. ජැක්සන් ඇන්තනි ‘අබා’ චිත්‍රපටයෙන් ඉතිහාසය ගැන කතා කළාම හැමෝම ඒක පස්සේ දිව්වා. නිර්මාණකරුවා එහෙම එක තැනක කොටු නොවිය යුතුයි. පහුගිය කාලේ යුද්ධය පසුබිම කරගෙන චිත්‍රපට හැදුණා. සමහරු කිව්වා ඒවා වැඩක් නෑ, මිනිස්සු බලන්නේ නෑ කියලා. යුද්දේ රූපවාහිනියෙන් ඇති තරම් බැලුවා කියලත් සමහරු කිව්වා. නමුත් අපි අමතක කරන්න නරකයි අවුරුදු තිහකට වැඩි කාලයක් අපි යුද්දෙකින් පීඩා වින්ද මිනිස්සු. දැන් ඒක ජනතාවට අමතක වෙලා. ඉතිහාස පාඩමකදී අනාගතයේදී ළමයකුගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් යුද්ධය ගැන මොකක්ද දෙන උත්තරය, අපි ඒක මේ විදිහට අමතක කරලා දැම්මොත් ...?

ඒ අඳුරු, බිහිසුනු යුගය දැන් අවසන්?

මම කියන්නේ යුද්දේ මතක තියාගෙන, ඒ මානසිකත්වයෙන් ජීවත් වෙන්න කියලා නෙවෙයි. අපි දැන් නිදහස් පුරවැසියෝ. ඒ අවස්ථාව අපට දැන් ලැබිලා තියෙනවා. ඒ්ක හරි. නමුත් ඒ වෙච්ච ව්‍යසනය , පීඩනය අපි අමතක කරන්න නරකයි. ඒ යුද්ධෙන් පීඩා විඳී ජනතාවගේ ප්‍රශ්න,ගැටලු හොඳ සිනමා කෘතියකට පාදක කර ගන්න පුළුවන්. මානුෂීය සබඳතා, ඒ සංවේදනාවන් ඉතාමත් සංවේදීව හා ගැඹුරෙන් විග්‍රහ කරන්න පුළුවන්.

ලෝක සිනමාවේත් එහෙම දේවල් වෙලා තියෙනවා?

දෙවැනි ලෝක යුද්ධය ගැන තාමත් චිත්‍රට හැදෙනවා. මම කියන්නේ නෑ මේ වාර්තාමය චිත්‍රපට හදන්න කියලා. බැට්ල් ෆීල්ඩ් එකක් පෙන්වන එක නෙමෙයි මේ නිර්මාණයක් කියන්නේ. අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙක් නැති වීම, නැතිනම් බිරියකට සැමියෙක්, දරුවෙකුට පියෙක් නැති වීම, අපි කොහොමද ඒවා අමතක කරන්නේ. තව අවුරුදු පනහකින්, සීයකින් අපේ කෙනෙකුට මේ ව්‍යසනය දකින්න තියෙන හොඳම තැන සිනමාව.

සිනමාවේදියෙක් බොහොම නිර්මාණශිලී, පරිකල්පන ශක්තියකින් හෙබි පුද්ගලයකු විය යුතුයි?

අනිවාර්යයෙන්ම මේ සමාජයේ ඕනෑ තරම් වස්තුª බීජයන් තියෙනවා. අපි ලොකු කතන්දර හොය හොයා යන්න අවශ්‍ය නෑ. මේ එදිනෙදා ජිවිතේ අපි අත්විඳීන, අත්දකින සුළු සිදුවීමකින් ප්‍රබල චිත්‍රපටයක් හදන්න පුළුවන්.

ඕනෑම නිර්මාණකරුවකු වගේම කලා ශිල්පියකුට සතත අභ්‍යාසය සිය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. දිගුª කලකට පසු රංගනයට එළඹුණත් ඔබ විශිෂ්ට රංගනයක නියැලෙනවා. කොහොමද මේ දස්කම කළේ?

ඔයාගේ ඔය ප්‍රශ්නය ඉතාම වැදගත්. දැන් විශිෂ්ට ගණයේ නළුවකුගෙන් පවා අපට අසන්නට ලැබෙන දෙයක් තමයි එදිනෙදා සමාජයේ දකින, අසන කතන්දර තුළින් අප ලබාගන්නා අත්දැකීම් ගබඩා කර තියාගෙන ඒවා අපේ රඟපෑමේදී අපි තුරුම්පු හැටියට පාවිචචි කරනවා කියන එක. මම කියන්නේ ඒක හරි. ඒක ඇත්ත. එයින් හොඳ නළුවෙක් බිහිවෙන්න පුළුවන්. නමුත් ඒ ගබඩා කර ගත් දැනුම අපි පාවිච්චි කරන්න ගියාම මට හිතෙනවා කිසියම් අනුකරණයක් නේද මේ සිද්ධ වෙන්නේ කියලා. මම කියන්නේ නළුවකුට මේ සියලු දේ අවශ්‍යයයි. ඒ කියන්නේ විපරම් සහිත, විමසිලිමත් මනසක් තියන්න ඕනෑ. විචාරශීලී මනසක් තියෙන්න ඕනෑ. නමුත් නිර්මාණකරනයේදී නළුවා අධ්‍යක්ෂවරයාගේ ඉතාම හිත මිත්‍රයා වෙන්න ඕනෑ.

මම ඔබට යෝජනා කරනවා තව වචනයක්. නළුවා කිසියම් දුරකට අධ්‍යක්ෂවරයාගේ අතවැසියෙක් විය යුතුයි?

ඔව්. අන්න හරි. අපි වඩාම කැමැති හොඳටම වැඩ කරනකොටනේ. කාර්යාලයක වුණත් එහෙමයි. අධ්‍යක්ෂවරයාගේ වඩාත්ම සිත් ගන්නේ මේ කැපවීම, උනන්දුව තියෙන නළුවානේ. එහෙම හොඳ දායකත්වයක් ලැබුණාම තමයි අධ්‍යක්ෂවරයාව තව තව පොළඹවන්නේ ඒ තුළින් වඩා වටිනා නිරූපණයක් අරන් එන්න. එතනදි නළුවාට අර මූලික අභ්‍යාසයන් තියෙන්න ඕනෑ. දැන් මම අවුරුදු දහතුනක් තිස්සේ රඟ නොපා හිටියට ලෝකයේ විශිෂ්ටම ගණයේ රඟපෑම්, විශිෂ්ට ගණයේ නළුවන් පිළිබඳ විමසිල්ලෙන් හිටියා. ඔවුන් ගැන හදාරලා තිබුණා. ඔවුන්ගේ කටහඬ භාවිතය, ඔවුන්ගේ නම්‍යතාවය, ඒ නිහතමානිකම මේ සියල්ලම කොහොමද චරිතයක් කරා අරන් එන්නේ කියලා මම අවබෝධයෙන් හිටියා.

රඟ නොපාපු එක විතරයි වුණේ?

ඒක හරි. හැබැයි ඉතින් කැමරාවක් ඉස්සරහට එනකොට අවුරුදු ගණනක් රඟ නොපා ඉඳලා ඒ චකිතය එනවාමයි. මම කැමරාවට මුහුණ දෙන පළවෙනි දර්ශනයේ තරම් මම තැති ගන්න අවස්ථාවක් වෙන නැහැ. තාමත් ඒක තියෙනවා. මගේ පළමුවැනි චිත්‍රපටය ‘අමරණීය ආදරේ’ ඉඳන් තාම ඒක තියෙනවා. වේදිකා නාට්‍යයක රඟපාද්දී වුණත් ඒක එදා ඉඳලම තිබුණා. ඒ පළවෙනි ඇපියරන්ස් එක. මම හිතුවා මේ ප්‍රශ්නය තියෙන්නේ මට විතරයි කියලා. හැබැයි පසු කාලෙක මම මේ ගැන හොයා බල්දී මේ ‘චංචලකම’ සර් ලෝරන්ස් ඔලිවියර්ටත් තිබිලා තියෙනවා. ඔහුට තිබිලා තියෙනවා හැමදාම.

ඒක දුර්වලකමක්ද?

නෑ ඒක දුර්වලකමක් විදියට මම දකින්නේ නෑ. දැන් අපි අර ගබඩා කරපු සියලු දේවල්වලින් සන්නද්ධ වෙලා රඟපෑමකට එද්දී අර විදිහේ තැතිගැන්මක් තියෙන්න විදිහක් නෑනේ. නමුත් ඒ තැතිගැන්ම තමයි කෙනෙකුගේ හෘද ස්පන්ධනය වේගවත් කරන්නේ නේද? තමන්ගේ ශරීරය වැඩ කරන්න පටන් ගන්නේ ඒ තැතිගැන්ම තුළ. ඒ හරහා තමයි ඔහු අධ්‍යක්ෂවරයා ඉදිරියේ නම්‍යශීලිභාවයට පත් වෙන්නේ. ඊට පස්සේ තමයි ඒ නළුවා අධ්‍යක්ෂවරයාගේ බොහොම සුන්දර මිත්‍රයෙක් බවට පත් වෙන්නේ. ‘පරාවර්තන’ චිත්‍රපටයේ සිදු වුණේත් මේ කතන්දරයම තමයි.පළවෙනි ඉඩධබ එකේදී ජයනාතුත් ඒ අත්දකීමට මුහුණ දුන්නා. ‘මචං තව ටිකක්, තව ටිකක්’ කියලා ඔහු කියද්දී මම වචනයක්වත් නොකියා කට වහගෙන හිටියා. නමුත් අද චිත්‍රපටය නරඹද්දී ජයනාත් ඉතාමත් තෘප්තිමත් මගේ රඟපෑම ගැන. අවුරුදු දහතුනකට පස්සේ මම රඟපාන කොට ප්‍රේක්ෂකයෝ මා කෙරෙහි යම් විශ්වාසයක් තියාගෙන හිටියා නම් නළුවෙක් හැටියට, ඒක බිද වැටුනයි කියලා මම හිතන්නේ නෑ. ඔවුන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න එන්නයි කියලා. මොකද රටක සිනමාව රැක ගන්න පුළුවන් සිනමාකරුවන්ට නළු නිළියන්ට හෝ රජයට නෙවෙයි. රටේ පොදු ජනතාවටයි.

ඇත්තෙන්ම ඔබ මේ චිත්‍රපටය හා ඔබේ රංගනය පිළිබඳ අදහස් ප්‍රකාශ කළේ තෘප්තිමත් හැඟීමකින්. එතකොට අර අතහැරලා දාපු අවුරුදු දහ තුන ගැන අවංකවම අද ඔබට කනාගටුවක් දැනෙන්නේ නැද්ද?

නෑ . . . නෑ . . . නෑ . . . මොකද මම දිගටම රඟපෑවා නම් මගේ චරිත සංඛ්‍යාව වැඩි කර ගන්න තිබුණා. එහෙම නැතිනම් ටෙලි නාට්‍යය, වේදිකා නාට්‍යවල තව රඟපාන්න තිබුණා. ඒත් මම තීරණය කළා නෑ දැන් මම මේ තීරණය ගන්න ඕනැයි කියලා. ඒ අනුව තමයි 1996 වසරේ මම අමෙරිකාවට ගියේ. එහෙම යන කොට ලංකාවේ හිටපු එකම වෘත්තීය නළුවා සහ වැඩිම මුදලක් අය කරපු නළුවා මම. චිත‍්‍රපට කිහිපයක් සඳහාත් ආරාධනා ලැබී තිබුණා.

ඇයි එතකොට ලංකාව දාලා ගියේ?

මම කිව්වනේ එතකොට අපේ රටේ හිටපු එකම වෘත්තීය නළුවා මම විතරයි කියලා. මොකද අනෙක් හැමෝටම වගේ වෙන මොනවා හරි ව්‍යාපාර, ආදායම් මාර්ග තිබුණා. නමුත් මම කළේ රඟපෑම විතරයි. ඒ කාලේ තිබුණ යුදවාදී වාතාවරණයත් එක්ක අනාගතයේදී වෘත්තීය සුරක්ෂිතභාවය නැති වෙයි කියලා මට හිතුණා. අනෙක මගේ බිරිය, පුත්තු දෙන්නා හොඳීන් ජීවත් කරවන්න මට අවශ්‍ය වුණා. මට ලංකාවෙදී තිබුණේ සොයිසාපුර මහල් නිවාසයක් විතරයි. අද මට අමෙරිකාවේ සුඛෝපභෝගී නිවසක් තියෙනවා. අනෙක් හැම පහසුකමක්ම තියෙනවා. ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි. භෞතික සම්පත්ම නෙවෙයි. මානසික සතුට අපට අවශ්‍යයි. ඒ හැම දේම මට තියෙනවා. ඇත්තටම මම තෘප්තිමත් පුද්ගලයෙක් අසංක.

බොහෝ වෙලාවට අපි දැකපු සොමී රත්නායක කියන නළුවා රෞද්‍ර, නපුරු, කළු චරිතයක්. ඇත්ත ජීවිතයේ මේ ගති පැවැතුම්වල ඡායාමාත්‍රයක්වත් ඔබ ළඟ නැති වෙන්න බැහැ?

අසංක, මේ මුළු ලෝකෙම, මේ මුළු ලෝකෙම හෙව්වත් ඔයාට මම තරම් හොඳ පුද්ගලයෙක් හොයා ගන්න බැරි වෙයි. එච්චරයි ඔයාගේ ප්‍රශ්නයට මගේ පිළිතුර.