|
ඇත්තම තාත්තා කවුද ?
ජයග්‍රහණයට පියවරු සියයකි. එහෙත් පරාජයේ දී එය අවජාතක දරුවෙකු වෙයි. සිංහල සිනමාව දකුණු ඉන්දියානු සිනමාවේ අවජාතක දරුවෙකුයැයි සමහර පවසන්නේ නිග්‍රහයටය. මම එයට තරයේ විරුද්ධ වෙන්නෙක්මි. එය අවජාතක දරුවෙකු නම් සිංහල සිනමාවේ පියා ලෙස බෞතීස්ම ලබන්නට බොහෝ දෙනා වලිකන්නේ ඇයි?
එය කිසිසේත් වන්නක් නොවේ. එහෙත් බොහෝ දෙනා විසින් එහි ගෞරවය එකිනෙකා වෙත ලබා ගැනීමේ ප්‍රතිඵලය නම් ඒ සඳහා වෙහෙසුන සැබෑ මිනිසුන් සදාකාලිකව සැඟව යෑමය.පසුගිය වසරේ අගභාගයේ ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලට සහභාගි වූ මම එහිදී විශිෂ්ට නොවූවත් අපූරු සිනමා කෘතියක් නරඹා ඒ පිළිබඳව මෙයට පෙර සරසවියට ලිව්වෙමි. ඒ කේරළයේ මුල් ම චිත්‍රපටය වන විගත කුමාරන් චිත්‍රපටය නිපදවීම පාදක කර ගෙන තැනුන සෙලියුලොයිඩ් නම් චිත්‍රපටය ගැනය.සෙලියුලොයිඩ් පුවත අනුව කේරළයේ මුල්ම චිත්‍රපටය කෙළවර වනුයේ එය තැනූ ජේ.සී.ඩැනියෙල්ට උන් හිටි තැන් ද එහි ප්‍රධාන චරිතය රඟපෑ රෝසා ගේ පියාට ජීවිතය ද ඇයට ඇගේ ආත්මය ද අහිමි කරදීමෙනි. පසු කලක අනාවරණය වන තුරු මුල්ම කේරළ චිතපටය පිළිබඳ ගෞරවය ද ඩැනියෙල්ට හිමි වන්නේ නැත. අපේ සිනමාවේ ද අතීත කතාව සොයා යන්නකුටඑතරම් ඛේදජනක නොවුනත් ඒ සමාන ඉරණමක් ඇති මිනිසුන් සමූහයක් හමු වනු ඇත. මෙම 21 වැනි දිනට අපේ සිනමාව 67 වැනි විය සමරයි.එය අප නිමිති කොට ගනුයේ කඩවුණ පොරොන්දුව චිත්‍රපටය කොළඹ කොටහේනේ කිංස්ලි සිනමාහලේ මුල් වරට තිර ගත වීමේ දිනය නිසාවෙනි.එහි කිසිදු වරදක් නැතත් සිනමාවේ සැබෑ පුරෝගාමින් සොයා යන ගමනේ දී කඩවුණ පොරොන්දුවට පෙර ඒ සඳහා වෙහෙස වුණ මිනිසුන් පිළිබඳ ඒ හරහා අමතක කිරීම බරපතල වරදකි. එය කඩවුන පොරොන්දුව නිර්මාතෘවරුන් කළ මෙහය අඩු තක්සේරු කිරීමක් නොවේ. කඩවුණ පොරොන්දුව නිෂ්පාදක එස්.එම්.නායගම් මෙරට බොහෝ නිෂ්පාදන ආරම්භ කළ පුරෝගාමි ව්‍යාපාරිකයකු විය. ඔහු ගේ එක් අවශ්‍යතාවයක් වනුයේ ස්වදේශිය නමින් මෙරට බිහි කළ සබන්,විලවුන් ප්ලාස්ටික් ඇතුළු කර්මාන්ත පද්ධතියට චිත්‍රපට කර්මාන්තය ද ඇතුළත් කිරීමය. එහි පුරෝගාමියා වන්නටය.එයින් නොනවතින නායගම් දෙවැනි චිත්‍රපටය නිපද වද්දී ලංකාවේදී ඉදි කළ මුල්ම චිත්‍රාගාරයේ වන සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය පුරෝගාමියා ද වෙයි. කඩවුණ පොරොන්දුව ට පෙර නායගම් සැරසෙනුයේ අශෝකමාලා කතාව සිනමාවට නගන්නටය.එයට මුල් වනුයේ ඒ වන විටත් ඉන්දියාවේ දී සිනමා කර්මාන්තය අත පත ගා යම් පළපුරුදුක් ඇතිව සිටි ශාන්ති කුමාර් සෙනෙවිරත්නය. එහෙත් ශාන්ති කුමාර් සහ නායගම් අතර ඇති වන මතබේදයක් හේතුවෙන් ඔවුන් වෙන්ව ගියහ.ශාන්ති කුමාර් ඒ වන විට මෙරට චිත්‍රපට කර්මාන්තයේ දැවැන්තයාව සිටි ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර් සමග එක්ව අශෝකමාලා චිත්‍රපටයේ රූප ගත කිරීම් සැළසුම් කළේය. නායගම් ගේ සොහොයුරු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරවෙකු ව සිටි එස්. රාමමූර්ති ගේ උපදෙස් පරිදි ඒ වන විට මෙරට වේදිකා ගත වන ජනප්‍රියම නාට්‍යය වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ කඩවුණ පොරොන්දුව නාට්‍යය වේදිකා ගත කිරීමට සැළසුම් කෙරිණ. මුලින් එයට ජයමාන්නයන් අකමැති වනුයේ නාට්‍ය චිත්‍රපටයට නැංවීම මගින් තමන් ලබන ආදායම අහිමි වෙතැයි යන සහේතුක බිය හේතු කොට ගෙනය. එහෙත් නාට්‍යයට වඩා සිනමාවේ වාසිය පෙන්වා දීමෙන් පසු ජයමාන්න එයට එකඟ විය.කඩවුණ පොරොන්දුව මදුරෙයි නගරයේ නායගම් ට අයත් චිත්‍රකලා චිත්‍රාගාරයේ දී ඉන්දියානු ජාතික ශබ්ද පරිපාලකයකු වන ජේ.සිංහ අතින් සිනමාවට නැගිණ.එහි ප්‍රධාන චරිතය රඟපානුයේ බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න සහ රුක්මණී දේවිය. ගාඩ්නර් ගේ සහාය ලබන ශාන්ති කුමාර් මදුරෙයි නගරයේ සිට කිලෝමීටර් 213 ක් නැගෙනහිරෙන් පිහිටි කොයිම්බතූර් නගරයේ සෙන්ට්‍රල් චිත්‍රාගාරයේ දී අශෝකමාලා වැඩ ඇරඹුවේය. ශාන්ති කුමාර් සෙනෙවිරත්නට අමතරව ඉන්දියානු ජාතික ටී.එස්.ගෝපු එහි සම අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය.අශෝකමාලා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ශාන්ති කුමාර්ය. එහි අශෝකමාලා ගේ චරිතයට මුලින් ඉවෝන් සූට්ස් නම් යුවතිය තෝරා ගෙන තිබුන ද ඇයගේ සිංහල භාෂාව උච්ඡාරණයේ ඇති දුබල කම හේතුවෙන් පසුව එම චරිතය රඟපෑවේ එමලින් දිඹුලාන විසිනි.එමලින් ඉන් පසු චිත්‍රපට රංගනයට එක් වූයේ නැත. මුල්ම චිත්‍රපටය තරගය පසෙකලා වඩා හොඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම අශෝකමාලා චිත්‍රපටය බාරව කටයුතු කළ සිලෝන් තියටර්ස් සමාගමේ සවරිමුත්තු මහතාගේ අදහස වූයෙන් වඩා හොඳ චිත්‍රපටයක් කළ අශෝකමාලා පිරිස තිර ගත කිරීමේ දී දෙවැනි තැනට පත් විය. කෙසේ වෙතත් මේ චිත්‍රපට දෙකම එතරම් ඉක්මනින් බිහි වන්නට හේතු වූයේ එක් පුද්ගලයෙකි. ඔහු ශාන්ති කුමාර් සෙනෙවිරත්නය. කුරුණෑගල ප්‍රභූ පවුලක උපන් බර්ටි සෙනෙවිරත්න ඉගෙන ගනුයේ මහනුවර ත්‍රිත්ව විදුහලේය. ඔහු හැදී වැඩෙනුයේ සිය මව්පාර්ශවයේ නෑයන් වන සඳලංකාවේ සුප්‍රකට සුබසිංහ පවුලේ නිවසේය. ඉන්දියාවේ දී සිනමාව යම් ප්‍රමාණයකට හදාරා යහපත් සිතින් සිනමාවට එක් වන්නට වෙර දරන ඔහුට ලැබෙනුයේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ඔහු සිය නාමය ශාන්ති තුමාර් ලෙස වෙනස් කරලනුයේ ඉන්දියාවේ සිට පෙරළා ලංකාවට පැමිනි පසුවය.අශෝකමාලා චිත්‍රපටය කඩවුණ පොරොන්දුව සමග සසඳද්දී නරක චිත්‍රපටයක් නොවේ. එහි බොහෝ අංග සමකාලින දකුණු ඉන්දියානු චිත්‍රපට හා සසඳද්දී පවා ඉදිරියෙන් තිබිණ.එහෙත් සිනමා විචාරකයන් හා අද මෙන් එදා ද සිටි අහක යන විද්වතුන් පැල් බැඳ ගෙන අශෝකමාලාවට පහර දුන්හ. මූලු චිත්‍රපටයම අමතක කළ ඔවුහු ඉලක්ක කර ගත්තේ ඉතිහාසය විකෘති කළා ය යන සුලබ චෝදනාව පමණී. කෙසේ වෙතත් ඉන් අනතුරුව එවැනි චිත්‍රපටයක් මිය යන තෙක්ම ශාන්ති කුමාර් අතින් බිහි වූයේ නැත. සෙනෙවිරත්න මෙයට ගත් නායගම් ට සහ ගාඩිනර් ට ද පෙර මුල් චිත්‍රපට තැනූ ඉතිහාසය විසින් අමතක කරන ලද තවත් පිරිස් වෙති.ඔවුන් අතරින් මුල් තැන ගත්නේ ටී.ඒ.ජේ.නූර්බායි නමැති බෝරා ජාතික ව්‍යාපාරිකයාය. නූර්බායි නිර්මාණය කරන ලද චිත්‍රපටය නම් කරන ලද්දේ රාජකීය වික්‍රමය හෙවත් ශාන්තා නමිනි.1925 වසරේ දී රූ ගැන්වුන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කැමරාකරණය මෙහෙය වනුයේ ගුප්තා නම් ඉන්දියානු සිනමාකරුවෙක් බැව් පැවසේ. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ එවකට කොළඹ ආනන්දයේ ශිෂ්‍යයෙකු ව සිට පසු කලක කීර්තිමත් දේශපාලන නායකයකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරා ය. අපේ කතානාද චිත්‍රපට තනන්නට ඉන්දියානු චිත්‍රාගාර සොයා ගිය ද මෙම චිත්‍රපටය රූ ගන්වා ඇත්තේ බම්බලපිටියේ තනා ගත් තාවකාලික චිත්‍රගාරයක වන අතර අනෙත් සියළු දර්ශණ රූ ගන්වා ඇත්තේ කෝට්ටේ දියවන්නා ඔය ආශ්‍රිත පෙදෙස් වලය. එම කාලයේ මෙම බිම් ජනගහනය ඉතා අඩු කැලෑ බද පෙදෙස් බැව් අමුතුවෙන් කිව යුතු නැත. චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සදහා දායක වූයේ එකල ජීවත් වූ සුප්‍රකට චිත්‍ර ශිල්පී සාර්ලිස් මාස්ටර් සහ ඔහුගේ ශිෂ්‍යයකු වන ජී.එස් ප්‍රනාන්දු ය. රාජකීය වික්‍රමය චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ආචාර්ය එන්.එම්.පෙරේරා ට දවසකට රුපියල් සියයක් ගෙවූ බව ඔහු පසුකලක පුවත්පතකට හෙළිදරව් කර තිබින.රුපියල් සියයක් යනු 1925 වසරේ දී ඉතා ඉහළ මිලකි. අද පවා දවස් කුලියට රඟපෑමේ යෙදෙන අපේ කිසිදු ටෙලි නළුවකු හෝ නිළියක ද එදා ආචාර්ය ඇන්.ඇම්ට ඉපැයූ මුදලට සාපේක්ෂව එතරම් මුදලක් උපයනවාදැයි සැක සහිතය.ආචාර්ය එන්.එම්. පෙරේරා මේ චිත්‍රපටයේ රඟපාන්නට තෝරා ගත්තේ සම්මුඛ සාකච්ඡාවකින් පසුව බවත් ඒ අවදියේ ඔහු පාසලේ උසස් අධ්‍යාපනය හදාරා එහි ප්‍රතිඵල එන තුරු බලා සිටි දවස් කීපය බැව් ඔහු සිහිපත් කර තිබිණ. මේ චිත්‍රපටයේ ඔහුගේ පෙම්වතිය ලෙස රඟපෑවේ බර්ගර් යුවතියක වන සිබිල් පිම් නමි යුවතියකි. අපේ සිනමාවේ මුල්ම නළුවානන් කවුදැයි සොයා ගත්ත ද මේ මුල්ම නිළියට සිදු වූයේ කුමක්දැයි හෝ ඇය කාගේ කවුරුන්දැයි කිසිවකුට හෝ දැන ගන්නට ලැබෙන්නේ නම් එය සරසවියට දන්වන මෙන් අපි සිනමාවේ නාමයෙන් ඉල්ලා සිටිමු. මේ පිරිසට අමතරව එන්.පී.ඩී.සිල්වා,රෙජිනෝලඩ් පෙරේරා. පර්සි පෙරේරා,එරික් වීරසේකර,ග්‍රේෂන් පෙරේරා.එන්.ආර්.ඩයස් ආදි නළු නිළියන් රැසක් මේ චිත්‍රපටයට දායක ව සිටියහ. ප්‍රධාන නළු නිළියන් හැරුණු විට මේ බොහෝ දෙනා ඒ අවදියේ ටවර් රඟහලේ ජනප්‍රිය නළුවන් විය. අපේ මුල් චිත්‍රපටය වන රාජකීය වික්‍රමය කිසි කලක මෙරට ප්‍රදර්ශණය කරන්නට ඉඩ ලැබුණේ නැත. එහි පිටපත ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ප්‍රදර්ශණය කළ ද අභිරහස් ගින්නකින් විනාසයට පත් විය. මේ ගින්න මෙරට ප්‍රදර්ශකයකුගේ කුමන්ත්‍රණයක්යැයි පැවසේ. කෙසේ වෙතත් පළමු කේරළ චිත්‍රපටය පිළිබඳ ඉතිහාස කතාවේ දී දර්ශණ කිහිපයක් ලංකාවේ ද රූප ගත කළැයි පැවසෙයි. එමෙන්ම රාජකීය වික්‍රමයද සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ ප්‍රදර්ශණය වූවා නම් ඒ කුමන ආකාරයෙන් ද යන්න තවමත් හෙළිදරවු කර ගත හැකි වී නැත.එහෙත් මේ චිත්‍රපටය වාණිජ වශයෙන් හෝ මේ දෙරටෙහි ප්‍රදර්ශණය වීම පුදුමයක් නොවන්නේ නූර්බායි යනු කවරෙක්දැයි සොයා යන විටය.
නූර්බායි කවුද ලබන සතියේ... |