|
මාස දෙකකින් බඳිනවා ආය ඔය චණ්ඩිකම් ඕන නෑ
රසාදරී පීරිස්
අනුලා විද්‍යාලයේ පුංචි කෙළි පැටික්කියක් පාසල් අවසන් වුණු ගමන්ම සුදු ගවුම පිටින්ම නාට්‍ය පුරුදු වෙන්න දුවන්නේ පුදුම ආසාවකින්. පුහුණුවීම් තිබුණේ කොල්ලුපිටියේ ගල් පල්ලියේ. ජයලාල් රෝහණගේ “ලෝකා” නාට්‍ය තමයි පුහුණුවීම් සිදු කළේ. මේ නාට්‍යයට නිළියෝ හිටියේ හරිම අඩුවෙන්. ඇය පුංචි වුණත් තමන්ගේ කොටස හරියටම කළා. 87 වසරේදී යෞවන නාට්‍ය උළෙලේදී හොඳම සහය නිළියට හිමි සම්මාන ලබුණේ ඇයට තිබුණු මේ හැකියාවට. මෙසේ නාට්‍ය කලාවට එකතුවන මේ පුංචි කෙල්ල මුළු රටේම ආදරවන්ත කටහඬට පණ පොවන්න තරම් වාසනාවන්ත වෙන්නේ ඇය සතු සහජ කුසලතාවයෙන්.
ඒ තමයි මුළු රටම ආදරය කළ රසාදරී පීරිස්. ඇයගේ රුවට වඩා හඬ මුළු රටම සංවේදී බවෙන් පිරවූයේ ජපන් රටෙන් ආ ඔෂින් නාට්‍යයෙන්. වසර ගණනක් ගෙවිලා ගියත් ඒ මිහිරි කටහඬට කුඩා දරුවන් පමණක් නොවෙයි වැඩිහිටියන් පවා ආදරය කරනවා. හැබැයි දැන් නම් ඔෂීන් ටිකක් නිහඬයි. මුළු රටම තම හඬින් චුම්භනය කළ ඒ සොඳුරු හඬ හොයාගෙන අපි ඇයගේ කාර්යාලයට ගොඩවුණේ නව වසරේ හා හාපුරා කියා මුල්ම දවසේදී. තම සැමියාගේ ව්‍යාපාර කටයුතු සමඟ අත්වැල් බඳගෙන සිටින රසාදරී කොයි තරම් කාර්යය බහුල වුණත් අප එනතුරු මඟ බලාගෙන සිටියේ මාධ්‍ය දිවියේ නිහතමානීකම බිඳක් හෝ නොමැතිව, එදා වගේම අදත් සිනහපිරි මුව මඬල පුරවාගෙන.... එන්න... එන්න... අපි මේ බලාගෙන හිටියේ ඔයාලා එනකම්. රසාදරීගේ සැමියා දුමින්ද මුණසිංහත් අපිව පිළිගත්තේ සුහදශීලී ලෙසින්. මොකද අප්පා.... අපිව මතක් වුණේ දැන් අපිව මතක අය නැහැනේ... රසාදරී කතාවට මුල පිරුවේ අපේ නිහඬියාවට ඉඩක් නොතියාමයි.
කොහොම අමතක කරන්නද ඔයාගේ හැකියාවන්ට සමකරන්න පුළුවන් කාටද? මම කිව්වේ ඇයගේ අතීතය සිහිකරමින්. ඇත්තම තමයි.... ඇත්තටම අපට තියෙන අත්දැකීම් දැන් නවකයන්ට නම් පුදුමත් හිතෙයි.
ඒ වගේ සිද්ධි අනන්තවත් ඇතිනේ... අපේ කතාවට මුල පිරුවේ ඒ විදිහට. මම මුලින්ම මාධ්‍ය ආයතනයක වැඩ කළේ ABC ගුවන් විදුලියේනේ. ඒ කාලේ වුණු සිද්ධියක මගේ ජීවිතේටම අමතක කරන්න බැහැ.
මොකක්ද.....? ඔයතරම් අමතක නොවෙන සිද්ධිය. “ඒ කාලේ මට ඒ තරම් අත්දැකීම් තිබුණේ නැහැ. මමයි දුමින්දයි එන්ගේජ් වෙලා හිටියේ. එක දවසක් සවස ගෙදර යන්න ඉන්නකොටම එක පාරටම කාසල් වීදියේ බෝම්බයක් පුපුරලා කියලා දැනගත්තා. මේක කවර් කරන්න යන්නේ කවුද කියලා අහන පරක්කුවෙන් මමයි කියලා මම මඟ දුරක් ගිහිල්ලත් ඉවරයි. මාත් එක්ක තේජත් ගියා. ලිෆ්ට් එකේ භාගයක් දුර යද්දි තමයි මතක් වුණේ මීඩියා අයිඩියවත්, ෆෝන් එකවත් ගෙනත් නැති බව. බෝම්බය පුපුරලා තිබුණේ දුමින්දලගේ ගේ ඉස්සරහ. ඒ අයට කරදරයක් නැහැ කියලත් එතනට ගියාට පස්සේ දැනගත්තා. අපි ඊළඟට දැනගත්තා වනාතමුල්ල ෆ්ලැට් එකට කොටි ගිහිල්ලා කියලා. දැන් තේජයි මමයි දෙන්නම එතනට යන්නයි හදන්නේ අපි හිරු එකෙන් කියපුවාම අපට හමුදාවෙන් යන්නත් දුන්නා. තේජත් මම වගේම එන්ගේජ් වෙලා හිටියේ. අපි ෆ්ලැට් එක ළඟටම යද්දි අපිට යන්න දුන්නේ නැතිව නැවැත්තුවා. ඇතුළේ ලොකු ෆයර් එකක් ගිහින්.... පොඩ්ඩක් පරක්කු වුණේ නැත්නම් අපිත් මේකට අහු වෙන්න ඉඩ තිබුණා.” “මේ සිද්ධිය අහගෙන හිටපු කෙනෙක් අපේ ගෙදරට කියලා බෝම්බෙට අහුවෙලා මමත් හොස්පිට්ල් එකේ කියලා. දුමින්දට මේ සිද්ධිය කියලා එයා රැකියාව කරපු රටට කතා කරලා යාළුවෙක්. එයාලගේ ගේ ගාව බෝම්බයක් පුපුරලා කියලා. දුමින්ද අපේ ගෙදරට කතා කරලා මම කොහේද ඉන්නේ අහලා. අම්මට දෙන්න උත්තරයක් නැහැ. අනිත්මට මම රෑ දෙකට විතර ගෙදර ආවා. එතකොට අපේ ගෙදර මල ගෙයක් වගේ. දුමින්ද ආයෙමත් උදේ කතා කළා. මොකද වුණේ කියලා ඇහැව්වා. මම ඉතින් වුණු සියලු දේ පෙත්ත වගේ කිවුවා. ඊට පස්සෙ එයා කිව්වා අපි තව මාස දෙකකින් බඳිනවා. ඉන් පස්සේ ඔය චණ්ඩි වැඩ බැහැ. මගේ බිරිය ඔය වගේ වැඩවලට යනවට මම කැමැති නැහැ. ආයෙත් ඔය ජොබ් එකට යන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඉන් පස්සේ මීඩියා වැඩ තහනම් වුණා. කොහොම කොහොම හරි ආයෙමත් දුමින්දගේ අම්මාට එහෙම කියලා ඔෂින් නාට්‍යයට ඩබින්වලට ගියා. යාන්තමට ඔෂීන්ට පින්සිද්ධ වෙන්න ආයෙමත් මාධ්‍යය වැඩවලට ටික ටික හෙමින් හෙමින් ආවා.
ඔය කියන්නේ එනවුන්සින් වලට ආයෙමත් ආපු එක ගැනනේ.... ඉතින් ඉන් පස්සෙත් හොඳ අත්දැකීම් ඇතිනේ... “එක දවසක් නිදහස් සමරු වැඩසටහනක සජීවි විකාශයක් තිබුණා. කාත් එක්කද කරන්න තිබුණේ කියලා එතනට යනකම්ම දැනගෙන හිටියෙ නැහැ. ස්ටුඩියෝ එකට ගියාම තමයි දැක්කේ ඉන්නේ එච්.එම්. ගුණසේකර මහත්තයා. මගේ ඇඟ සීතල වෙලා ගියා. මේ වගේ කෙනෙක් එක්ක වැඩසටහන කරන්නේ කොහොමද කියලා. මම ලැජ්ජාව පැත්තක තියලා, මම අලුත් කෙනෙක් කිව්වහම එච්.එම්. ගුණසේකර මහත්තයාත් හිනාවෙලා.... අපෝ, මමත් මේ වැඩසටහනට අලුත් කෙනෙක් කියලා වැඩසටහන හොඳට කරගෙන ගියා දවල් සිට රාත්‍රී දක්වාම. ඔෂීන් ප්‍රචාරය වෙන කාලේ දවසක් මට කෝල් එකක් ආවා. අම්මා කෙනෙක් කතා කළේ. ඒ අම්මා කියනවා එයාගේ පුතාට ඔෂින්ට කතා කරන්න ඕනේ කියලා. මගේ අංකය රූපවාහිනී සංස්ථාවෙන් ඉල්ලාගෙන කතා කරලා තියෙන්නේ. දරුවා දැන් මාත් එක්ක කතාවට වැටුණා. මුලින්ම එයාගේ විස්තර එහෙම මම දැනගත්තට පස්සේ පැටියා මාත් එක්ක එකතු වුණා. දරුවා අහනවා ඉතිං ඔෂින් ඔයා ජපන් නම් සිංහල කතා කරන්නේ කොහොමද කියලා. මම උඩ ගියා. මම දැනගත්තා මේ කොලු පැටියා එහෙම රැවටෙන්නේ නැහැ කියලා. ඉන් පස්සේ මම කිව්වා ඔයා අපේ රූපවාහිනී සංස්ථාවට අම්මත් එක්ක එන්න. ඔෂීන් සිංහලෙන් කතා කරන හැටි පෙන්වන්න කියලා. හැබැයි හොඳ වෙලාවට සංස්ථාවට නම් ආවේ නැහැ. ඒ වගේම සිද්ධියක් දවසක් වුණා. 9.05 සජීවී වැඩසටහන අන්තිම දවසේ වැඩසටහන අවසන් වුණු ගමන්ම මට මැදිරිය එක්ක සම්බන්ධ වෙන්න තිබුණේ. වැඩසටහන බලන්න සෙනඟ පිරිලා. මමත් දැන් එළියේ මිනිස්සු අතරේ ඉන්නවා. එක පාරටම හේම නලින් අයියා වැඩසටහන අවසන් කළා. මට හිතාගන්න බෑ මොකක්ද කරන්නේ කියලා. සෙනඟ වට වෙලා ඒ අතරින් කොහෙන්දෝ මගේ අතට මයික් එකක් ආවා. දැන් මම කතා කරගෙන කරගෙන යනවා. වෙන්නේ මොනවද කැමරාව කොහේද කියලාවත් දන්නේ නැහැ. මේ සිද්ධිය ඇතුලේ ඉඳන් දැකපු නලීන් අයියා සෙනග අතරින් කොහොමහරි මා ළඟට ඇවිත් සෙට් එකේ කාටවත් නොදැනීම කැමරාව පැත්තට මාව හැරෙවේවා. එතකොට තමයි මම යාන්තමට දැක්කේ සෙනඟ අතරින් කැමරාවක්.
ඔය ඔයාගේ මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් වගේම සාමාන්‍ය ජීවිතයේ අමතක නොවන සිද්ධි ඇතිනේ. අපෝ ඔව්... (මේ කතාවට රසාදරීගේ සැමියත් එකතු වුණා.”) අපි පොළොන්නරුවේ ට්‍රිප් එකක් ගියා. එතකොට අපේ පුතා පොඩියි. දරුවට අසනීප වෙලා හදිසියේම රෑ ආපහු කොළඹ එන්න වුණා. ඒ එද්දී හබරණ දී දේවාලෙට පඬුරක් දාන්න දුමින්ද බැස්සා. පළාතම කරුවලයි. මට මේ අඳුරේ යාන්තමට කළුවට ගලක් වගේ දෙයක් අපේ පස්සෙන් එනවා පේනවා. මම කෑ ගහනකොට දුමින්ද දුවගෙන ඇවිත් වාහනයට නැග්ගා. ඉක්මනට වාහනය ස්ටාට් කරලා ටික දුරයි ගියේ.... මෙන්න දෙයියනේ අපේ වාහනය ඉස්සරහ තව අලියෙක්. මොකද කරන්නේ.... අපි වාහනය එහෙම්ම නවත්තලා ලයිට් නිමුවා. අලියා ආවා. වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකට හොඬෙන් පාරක් ගැහැව්වා. ආයෙත් පස්සට ගියා. ගිහින් ගහක තිබුණු කොළ මිටියක් කඩාගෙන අපේ වාහනයට ගැහැව්වා. මම හිතුවා දැන් නම් අපි ඉවරයි කියලා. මෙන්න.... මේ අලියා හෙමිහිට කැලේට ගියා. වාහනේ ස්ටාට් කරලා එන්න පටන් අරගෙන අපි බයවුණු පාර කතා කළේ දඹුල්ලෙදී. ඒ වගේම තමයි සුනාමි දවසට ඉස්සෙල්ලා දවසේ අපි කතරගම ගියා. එදා රෑ දුමින්ද කිව්වා බුත්තල පාරේ යාල යමු පහුවදාට කියලා. මම මේ ගමනට කොහෙත්ම කැමැති වුණේ නැහැ. අපි ඇවිත් දවස් තුනක් නිසා ගෙදර එන්න වුවමනාව තිබුණේ. ඒත් දුමින්ද එයාගේ යාළුවකුට කියලා හෝටලේ බුක් කරලා ඔක්කොම ඉවරයි. නංගියි එයාගේ දරුවයි ඒ පවුලේ අයත් හිටපු නිසා මම කිවුවා ඔයාලා යනවා නම් යන්න මම ආපහු බස් එකේ ගෙදර යනවා කියලා. බැරිම තැන දුමින්දත් මට දොස් කිය කියා ගෙදර ආවා. මඟ දුරක් එද්දි තමයි දැන ගත්තේ සුනාමියක් ඇවිත් ඒ පළාතම විනාශයි කියලා....” “ඉතිං කවදාවත් එදායින් පසසේ දුමින්ද මම බැහැ කියන දෙයක් කරන්නේ නැහැ. ව්‍යාපාරික වැඩවලදී වුණත් එහෙමයි.” මෙවැනි බොහෝ දේ කතා කරමින් සිටි අපට කාලය ගෙවී යනවා නොදැනුණි. රසාදරීගේ පුතා වෙනුල් ද අසලින් සිටිමින් ඇවිටිලි කරයි. ඒ නිසාම ඒ ළෙන්ගතු රසවත් හමුවට සමුදුන්නේ ඇගේ කටහඬින් ඔෂීන් වැනීම නිර්මාණයකට දායක වන ලෙස සිහි කරමිනි.
|