වතුරත් එක්ක මට අපලයි
වතුරත් එක්ක මට අපලයි
මැදගෙදර තැනූ රෝහණ සමරදිවාකර
රෝහණ සමරදිවාකර මේ දිනවල විකාශය වන මැද ගෙදර ටෙලි සිතුවමේ අධ්‍යක්ෂවරයාය. එය
නිර්මාණය කරන ගමන් ඔහු තවත් වෙනස්ම ආරක කතා පුවතක් පුංචි තිරයට ගෙන ඒමට සූදානමින්
සිටියි. එය ඉරුදෙණියායයි. සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට ක්ෂේත්‍රයට පිවිසි රෝහණ
ඉරුදෙණියාය දක්වා ආ ගමන් මඟේ රස මුසුතැන් ආවර්ජනය කරමින් අපත් සමඟින් මෙසේ සංවාදයක
නියැලුණි. සම්පූර්ණ නම රෝහණ සමරදිවාකර වුණත් ඔහු ක්ෂේත්‍රය තුළ ප්‍රකටව ඇත්තේ සමරේ
යන නමිනි.
ඉතින් සමරෙ අයියා මැද ගෙදරද? ඉරුදෙණියායද?
මේ දවස්වල මැද ගෙදරට ආවා. ආයෙත් ඉරුදෙණියායට යන්න ඕනෑ.
මැදගෙදර ඔබේ කී වැනි ටෙලි නාට්‍යයද?
තනිව අධ්‍යක්ෂණය කළ දෙවැන්න. මං මුලින්ම අධ්‍යක්ෂණයට පිවිසුණේ සවීණා නාට්‍යයෙන්.
ඒකෙ කොටස් දොළහක් අධ්‍යක්ෂණය කළේ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්තයා. එතැන් පටන් මං
නිර්මාණය කළා. තනිව අධ්‍යක්ෂණයට පිවිසුණේ මුතුවරුසා නාට්‍යයෙන්. මැද ගෙදර දෙක.
ඉරුදෙණියාය තුන.
ඔබව මෙගා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් හඳුන්වනවාට කැමැතිද?
මං නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙද්දී මෙගා රැල්ල තමයි තිබුණේ. හැබැයි මං ඒ රැල්ලෙම
ඉඳලා නිර්මාණ කළේ නැහැ. මුතුවරුසා නාට්‍ය ලොකේෂන් තිබුණේ හලාවතිනුත් එහා. ඒ කාලේ
ගෙවල් ඇතුළේ මෙගා ගැහැව්වා මිසක ඉන් ඔබ්බට යන්න කවුරුවත් උත්සාහ කළේ නැහැ. ඒත් මං
ඒක කළා. ඉරුදෙණියාය වුණත් එහෙමයි. කුරුණෑගල ඉරුදෙණියාය ගමේ නාට්‍ය කළේ. ඒක ගමක
කතාවක්. ගමේ කොල්ලෙක් කොළඹ ඇවිත් නාස්ති වෙලා ඒ පුරුදු ඔහු ගමට ගෙනියනවා. ඕක තමයි
තේමාව. මෙහෙම බලනකොට මම මෙගා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ද කියන එක ගැටළුවක් නේද?
මේ කාලයේ කොළඹින් පිට නාට්‍ය කරලා ලාභයක් ගන්න පුළුවන්ද?
මොකද බැරි. මං ඔය අගේට නාට්‍ය කළේ. තියෙන මෙගා රැල්ල ඇතුළේ අපට මේ හපන්කම කරන්න
පුළුවන් ශිල්පීය ඥාණයයි මොලයයි පාවිච්චි කළොත්.
ඒත් සමහර අධ්‍යක්ෂවරු කියන්නේ චැනල්වලින් දෙන බජට් එකට කොළඹ අවට ලොකේෂන් අරගෙන
තිබ්බා ගැහැව්වා සංකල්පයට නාට්‍ය කරන්න වෙන්නේ කියලයි?
ඒක හරි බොරු කතාවක්. තිබ්බා ගැහැව්වා නාට්‍ය කරන්නේ ශිල්පය දන්නේ නැති අය. කොටස්
ගණන වැඩි වුණත් බජට් එක අඩු වුණත් ඥාණවන්ත අධ්‍යක්ෂවරයකුට මෙගා තුළ විප්ලවීය වෙනසක්
කරන්නට හැකියි. තුන් වේලක් සඳහා අපට පාන් භාගයක් ලැබෙනවා කියලා හිතමු. අපි දැනගන්න
ඕනේ තුන්වේලටම හරි යන්න ඒක ගානට බෙදා ගන්න. මං ඕනෑ චැලේන්ජ් එකක් දානවා දෙන බජට්
එකට වඩාත් ගුණාත්මක නාට්‍යයක් කරලා පෙන්වනවා කියලා.
මෙගා නිසා ආර්ටිස්ල්ගේ අගය අඩු වෙලා නැතිද?
අපොයි නැහැ. ආර්ටිස්ලගේ අගය වැඩි වෙනවා මෙගා නිසා. ඒක හින්දා තමයි චැනල් දහයක වුණත්
එකම ආටිස් පේන්න ඉන්නේ. අගය අඩුවෙලා නම් එහෙම වෙන්න විදිහක් නැහැනේ.
සමරෙ අයියගේ ගමනේ ආරම්භය කොහොමද සිද්ධ වුණේ?
මගේ ගම මාතලේ ගුරුබැබිල. ගුරුබැබිල ගමේ ඉස්කෝලේ යන කාලේ මං ගොඩක් උනන්දු වුණේ
සංගීතයට. මං සෞන්දර්ය කැම්පස් එකටත් තේරුණා. මගේ ඩිග්රිය සංගීතයෙන් මං ගත්තේ. ඔය
අතරෙ ඒලෙවල්වලට නාට්‍ය හා රංග කලාව කළ නිසා සහ ඒ පිළිබඳ උනන්දුවක් ඇතිවීම හින්දා මං
ටවර් රඟහලේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව කළා. එතැනින් පිරිස හඳුනගෙන පළමුව සහාය
අධ්‍යක්ෂවරයකු වෙලා කුරුළු පිහාටු, අහස් ගංගා, සසර බැඳි බැමි, නිසල් විල්තෙර ආදී
නාට්‍ය ගණනාවක වැඩ කළා.
අද ඔබ අධ්‍යක්ෂවරයෙක්. තම වෘත්තීය ගැන තෘප්තිමත්ද?
ඔව්. මං ගොඩක් සතුටින් අධ්‍යක්ෂවරයකු හැටියට වැඩ කරන්නේ.
නාට්‍ය කරන්න ගිහින් හොඳ හොඳ අත්දැකීම්වලටත් මුහුණ දෙන්න ඇති නේද?
මැද ගෙදර නාට්‍යයේ නම් එහෙම විශේෂ සිදුවීමක් වෙලා නැහැ. නමුත් ඉරුදෙණියාය කරන්න
ගිහින් නියම වැඩක් වුණා. ඒකේ ජීප් එකක් යන සීන් එකක් තිබුණා. මං එය පදවපු නළුවට
කිව්වා අඩියක් ඉස්සරහට ගත්තම ඇති කියලා. නමුත් ඔහුට ඒක තේරිලා තියෙන්නේ ඉදිරියටම
යන්න කිව්වා වගේ. කැමරාව තිබුණේ ජීප් එකේ. ඒක පිකප් කරලා ගියේ කැමරාවයි ඒකේ කෙරවලේ
කේබල්වලින් සවි කොට තිබූ මොනිටරයත් පෙරලගෙන. මොනිටරය ඇවිත් දඩස් ගාලා මගෙ මූණේ
වැදුණා. දත් හිරිවැටිලා කන්න බැරිව සතියක් විතර අපා දුකක් තමයි වින්ඳේ. ඒ නාට්‍යයේ
ඉන්නවා ධනුක දිල්ෂාන්.
ඔහු වැවක පැනලා පීනන දර්ශනයක් තිබුණා. මං ඔහුට කිව්වා දුවලා
දුවලා වැවට පනින්න කියලා. මං දන්නේ නැහැ ඔහුට පීනන්න බැහැ කියලා. වැවට පැන්නා
විතරයි ඔහුගේ කකුල ලොක් වෙලා ගිලෙන්න ගියා. හරිම අමාරුවෙන් බේර ගත්තේ. මාත් එවලේ
බොහොම බය වුණා. වතුරත් එක්ක මට ටිකක් අපලයි. මුතුවරුසා කරන්න ගිහින් හලාවත වැවක
ඔරුවක නැගලා අපි යද්දී ඒක පෙරලුණානේ. දන්න ශිල්ප ඔක්කොම දාලා ගොඩට ආවේ.
මොකක්ද රෝහණ සමරදිවාකරගේ ටාගට් එක?
මිනිස්සුන්ගේ සිතුම් පැතුම් සුබදායී පැතිවලට ගේන ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම. මගේ
නාට්‍ය නරඹන අයට ඉන් ආදර්ශයක් ලැබෙනවා කියලා මට විශ්වාසයි. නිර්මාණකරුවකු විදිහට
හැමදාමත් එවන් වූ වගකීමකින් වැඩ කරන එක තමා මගේ බලාපොරොත්තුව.
අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?
මට චුට්ටක් ඉරුදෙණියායේ පිරිස ගැන පොඩි සඳහනක් සහ පුංචි ස්තුතියක් කරන්න ඕනෑ
පුළුවන්ද?
අනිවාර්යයෙන්ම පුළුවන්.
ප්‍රසන්නජිත් අබේසූරිය, මොරීන් චාරුණී, නිලුක්ෂි ප්‍රනාන්දු, ධනුක දිල්ශාන්, අනුර
වරාගොඩ, මුතු තරංගා, නිරෝෂා තලගල, ධනුෂ්ක රත්නායක, අවන්ත පෙරේරා, ආනන්ද
කුමරඋන්නැහෙ, දයාසිරි හෙට්ටිආරච්චි, ලසන්ත උඩුකුඹුර, ලක්ෂමන් අමරසේකර, ප්‍රියන්ත
ජයසිංහ, පවිත්‍රා වික්‍රමසිංහ. නිෂ්පාදනය මම සහ ධනුෂ්ක රත්නායක. සංගීතය කෝලිත භානු
දිසානායක. නිෂ්පාදන කළමනාකරණ ප්‍රියන්ත ජයසිංහ. ගැමුණු හෙට්ටිආරච්චි සහ සහාය
අධ්‍යක්ෂ වාරුක දිල්හාර. මට තුති පුදන්න තියෙන්නේ මගේ මවුපියන් ඇතුළු අනුර වරාගොඩ,
ලක්ෂ්මන් පුෂ්පකුමාර, ප්‍රියන්ත ජයසිංහ යන මහත්වරුන්ට.
සටහන -
ප්‍රසාද් සමරතුංග
සේයාරුව -
මාලන් කරුණාරත්න
|