වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




පිටකන්දේ එවුන්ට නෑකම් කියන්ඩ අපට පුළුවන්ද

පිටකන්දේ එවුන්ට නෑකම් කියන්ඩ අපට පුළුවන්ද

ශාන්ති දිසානායකගේ සම්මානනීය නවකතාව පාදක කර ගනිමින් සරත් ධර්මසිරි අතින් තිර රචනය කරන ලදුව ෆාහිම් මවුජිඩ් ගේ අර්ථපතිත්වයෙන් සුදත් රෝහණ අතින් ටෙලිවිෂන රූප කාව්‍යයක් වන ගිරිකුළ ඇසුරෙන් සරසවිය වෙත විශේෂයෙන් ලියැවෙන වෘතාන්තයකි.

මුතු මැණිකා ගේ අතුරුදහන් වීම කාටත් වඩා හිතට දුකක් වූයේ හීන් බණ්ඩාටය.

“ඕකිගේ කඩමළුත් නෑ.ඕකි ගෙදර යන්ඩ ඇති.දැන් තමා මයෙ හිතට හොඳ“

කිරි එතනා කියාගෙන ගියාය.එයට හූමිටි තියන්නට හෝ හීන් බණ්ඩා නොගියේය.

“පිට කන්දේ එවුන්ට නෑකම් කියන්ඩ පුළුවනෑ අපට.ඕකි හැදුවේ මෙහෙ පැළපදියම් වෙන්ඩ“

කිරි එතනා තව දුරටත් කියවනු අසා සිටිය නොහැකි හීන් බණ්ඩා එතැනින් නැගිට වත්ත පහළට ගියේය. එකැනට වැව් බැම්ම කදිමට පෙනෙයි.මේ දවස්වල වැව හිඳී ගොසිනි. වැස්ස යළි එන්නට පෙරාතුව එහි බැම්ම හැදිය යුතු වෙයි. එහෙත් ඒ පිළිබඳ කිසිවකුගේ හෝ උනන්දුවක් නැති ගානය.හීන් බණ්ඩා වැව් පිටිය මැදට ඇවිද ගෙන ආයේය. ඔහුට කියා ගත නොහැකි පාළුවක් දැනෙන්නට විය. හීන් බණ්ඩාගේ ඇස් වලට කඳුළු ගලා ආවේ නිරායාසයෙනි.ඔහු ඉකි ගසා හඬන්නට වූයේ එබැවිනි.

තඹුත්තේගම යන්නට පිටත් වුව ද මුතු මැණිකා පාරක් තොටක් හරියට ගැන දැන සිටියේ නැත. හිතුවක්කාරයට ගෙයින් පිට වුව ද මේ ගමන මේ තරම් දුෂ්කර වනු ඇතැයි ඇය සිතුවේ නැත.නිකමට හෝ කිව්වා නම් හීන් බණ්ඩා ද මේ ගමනට පොළඹවා ගැනීම සුළු කාරණයක් විය හැකිව තිබිණ.එසේ වූවා නම් පහසුයැයි ඇයට නිකමට සිතිණ.එහෙත් මේ ගමන ගැන කිසිදු හාංකවිසියක්වත් කිසිවකුට හෝ දැනෙනන්ට ඇය ඉඩ ඇරියේ නැත.පාන්දරින් කුරුණෑගලට පැමිණි ඇයට තඹුත්තේගමට යන ලොරියකට ගොඩ වන්නට ඉඩ ලැබිණ.එය යනවාට වඩා ඉක්මනින් අතරමග නතර වන අවස්ථාවන් එමටය. අතරමග රථය නතරවන හැම විටම එයින් බැස ගන්නා රියැදුරා යකඩ බටයක් ගෙන එහි එන්ජිමට දමා කරකවයි. ඒ හැම විටම තද දුමක් පිට කර සැර දමන්නට ද ලොරිය පුරුදුව සිටි වගක් ඇයට හැඟිණ.ඒ දුම හැම විටම රථය ඇතුළේ සිටින මගීන්ගේ නාස් පුඩු සිසාරා පපු කුහර ඇතුළට කිඳා බසින්නේය.පාරේ දූවිල්ලත් පෑවිල්ලත් එයට වැඩියෙන් මුතු මැණිකා ට වදයක් දුන්නේය.

"ඒ වලෙන් මේ වලට"

ලොරිය වංගුවක් ගන්නා හැම විටම තවත් වලක් හමු වෙයි.එවිට රියැදුරු තැන එම වල බේරන්නට තවත් පැත්තකට හරවයි. එවිට සිදුවනුයේ තවත් වලකට රෝදය වැටීමය. මගියා ඒ වලෙන් මේ වලටයැයි සෙස්සන් ට හිනා යන අන්දමට තාලයට පැවසුවේ එබැවිනි.රථයේ මුදල් අය කළ ඉලන්දාරියාට ද ඒ බසට හිනා ගියේය.ලොරියේ පුරාවට බඩු ගෝනි රැසක් පටවා තිබිණ. මගින් කිහිප දෙනා වාඩි වී සිටියේ බඩු අතර ඇති ඉඩ කඩ මැදය.ලොරියේ දොරෙහි එල්ලී සිටි පිරිස දූවිල්ලෙන් නැහැවී ඇත්තේය.

මුතු මැණිකා සමීපයෙහිම සිටි මැදි වියේ ගැහැනියක් අඩ නින්දේ පසුවූවාය. එහෙත් රිය වලකින් තව වලකට වැටෙන හැම විටම ඇය නින්දෙන් අවදි වන්නීය.පාදෙණිය හන්දියෙන් හැරුණු ලොරිය තවත් වනාන්තරය මැදට ගිල ගෙන යන්නට පටන් ගත් වගක් මුතුමැණිකාට හැඟිණ. එහෙත් ඇය කිසිත් නොකීවාය. ඒ වෙනුවට ඇය වට පිට බැලුවේ අතර මග නාම පුවරුවක් හෝ තිබෙන්නේ දැයි විමසන්නටය.

" තඹුත්තේගම තව දුරද ? “

ඇය අසල සිටි මැදි වියේ මිනිසෙකුගෙන් විමසුවේය. ඔහු මුතු මැණිකා අසල නිදා වැටෙන ගැහැනියගේ සැමියා බැව් ඇය හඳුනා ගෙන තිබිණ.

"අපොයි තව දුරයි. අපිත් බහින්නේ එහෙන්"

මිනිසා පැවසුවේ බුලත් විටක් මුව තුළට දමා ගනිමිනි.එයින් හිත හදා ගන්නට මුතු මැණිකේ තැත් කළාය.තවත් පැය ගණනකින් රථය කුඩා කඩ මණ්ඩියකට ළං විය. ඒ සමග රථයේ සිටි පිරිස එයින් බැස ගන්නට සූදානම් වන අයුරු මුතු මැණිකාට පෙණින.ඇය මග විස්තර විමසූ ගැමියා ඇය දෙස බැලුවාය.

"මෙන්න ළමයෝ තඹුත්තේගම"

ඔහු කියා සිටියේය. එය කුඩා හන්දියක් විය. රථයෙන් බිමට බට පිරිස අතර සිටි ගැහැනිය හන්දියේ කුඩා කඩය ඉදිරියේ තිබුණ පිංතාලියෙන් වතුර ගෙන බිව්වාය.ඉත් අසීරුවෙන් රථයෙන් බිමට බට මුතු මැණිකා ද කඩය ළඟට ගියේ පින් තාලියෙන් බතුර බොන්නටය.

“‘ගෙදර ගිහිං උණු වතුර නාලා තුං වේලක් බාං වැල් ගැට බොන කම් මේ කෙඩෙත්තුව අඩු වෙන එකක් නෑ“

මුතු මැණිකා තඹුත්තේගමට තව දුරදැයි විමසූ මගියා සෙස්සන් යළි සිනහ ගන් වමින් පැවසුවේය.රථයෙන් බැස ගැනීම මහා සැපතකැයි ඔවුන්ට දැනුණා සේය.මේ ගැමියාගේ නම ඖෂධහාමි යැයි කිසිවකු කියනු මුතු මැණිකාට ඇසිණ. ඔහුගේ බිරින්දෑ මැක්කම්මා නම් විය.පිංතාලියේ කෝප්පය ආපසු තැබූ මුතු මැණිකා මැක්කම්මා ළඟට ගියාය.ඔවුන් හැරුණේ අතුරු පාරකටය.හතර වටේ රූස්ස ගහ කොළ ඒ මාවත කෙළවර ගිල ගනු ඇතැයි මුතු මැණිකාට පෙනිණ.

“මට කොළනියට යන්ඩ ඕනෑ.ලොරියක් හරි බස් එකක් තියෙයිද දන්නේ නෑ“

මුතු මැණිකා මැක්කම්මාගෙන් විමසුවාය.

“මේ මූකලානේ බස් කොහේදැ.ලොරි නං තියෙයි.ඒත් එව්වා ගිහිං ඉවරයි.ආය් හෙට උදේ තමා“

මැක්කම්මා පැවසුවාය. මේ තරුණිය මේ පලාතට ආගන්තුක එකියක් බැව් මැක්කම්මාගේ සිතට ආයේය.

“කොයි කොලනියට ද? සේනපුර ද කාගම ද ?“

ඇය විමසා සිටියේ එබැවිනි.

‘සේනපුරට“

මැක්කම්මා ගේ සිතෙහි මේ ආගන්තුක තරුණිය කෙරෙහි කිසියම් අනුකම්පාවක් උපන්නා වැනි හැඟුමක් ඇති විය.

"කොළනිය කිව්වාම ස්වල්පයක්යැ.කොයි තරං සෙනග කන්දරාවක් ඉන්නාවාද ?"

"වස්තුහාමි මාමලෑ ගෙදරට යන්නේ.ඒ ඇත්තෝ ළඟදී කුරුණෑගල ඉඳන් ආවේ"

මුතු මැණිකා පැවසුවාය. ඖෂධ හාමි ඉදිරියට පැමිණියේය. ඔවුන් ඉදිරි දුර පයින්ම ගමන් කරන්නට සැරසෙන හැටියක් පළ විය.ගැමියෙක් තමා ළඟ තිබුණ බඩු මල්ල හිස මත තබා ගත්තේය. මැක්කම්මාද එය අනුගමනය කළාය.ගමනේ පෙරමුණ ගත්තේ ඖෂධහාමිය.

"එහනං පිටත් වෙමු.අය්යනායක දෙවියන් සිහිපත් කර ගෙන යං"

ඖෂධහාමි පෙරමුණ ගත්තේය.

"කොළනියට දුර ද?"

මුතු මැණිකා මැක්කම්මාගෙන් විමසා සිටියාය.

"නොම්මර පහක් විතර"

මැක්කම්මා පැවසුවේ අතින් ඇති දුර පෙන්වා දෙමිනි.මුතු මැණිකා වට පිට බැලුවාය.දැන් ඉර අවරට ගොසිනි.ඇය මැක්කම්මා සමග එක් වූවාය. පිරිස අඳුර වැටෙනේනට කලින් තම නිවස් කරා යා යුතු වෙයි.හන්දියේ සිට පෙනෙන මානයේ ඇත්තේ මහ වනයය. ඒ වනය පසු කර ගම්මානයට යා යුතුය.අය්යනායක දෙවියන් මේ වනය තරණය කරන්නට තමන්ට රැකවරණය දෙනු ඇතැයි හැමගේම සිත් වල විශ්වාසයක් විය.එබැවින් ඔවුන් ගුරු පාර දිගේ ඉදිරියට ඇදිණ.මුතු මැණිකා තම ඉරණම කවර ආකාරයේ වනු ඇත්දැයි සිතන්නට ගියේ නැත. නාඳුනන පලාතක නාඳුනන දෙවියන් ඉදිරියේ තම අනාගතය මේ වනාන්තරය මත්තට දිය කර අරින්නට ඇය කැමති නැත. එහෙත් ඇයගේ සිතේ එක් බලාපොරොත්තුවක් ඇත්තේය. ඒ තම කුස ඔත් දරු පැටියාය.ඒ වනාන්තරය පසු කළ විට කොළනියට යා හැකිවෙතැයි ඇය විශ්වාස කළාය. එබැවින් ඇය සිය ශාරිරික අපහසුතාව අමතක කර ඉදිරියට ඇදුණාය.

මතු සම්බන්ධයි