වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




එදා ‘ආයුබෝවන්’ යැයි පැවසූ කමලිනී

එදා ‘ආයුබෝවන්’ යැයි පැවසූ කමලිනී

ගැන සංවේදී කතා පුවතක්

‘වණක්කම්’ කියාගෙන ඇය අපේ ගෙදර ආලින්දයට ගොඩ වූයේ වසර තිහක් පුරාවටමය. කමලිනී සෙල්වරාජා නමින් ප්‍රේක්ෂක හදවත් වෙත රූපවාහිනිය මඟිනුත්, ගුවන් විදුලිය මඟිනුත් සමීප වූ ඇය අද වන විට රෝගීව අසරණ වී ඇත්තේ නොසිතූ නොපැතූ ලෙසිනි. කමලිනීගේ අසරණභාවය කියා ‘සරසවියට’ දුරකථන ඇමතුමක් දෙනු ලැබුවේ ජන කරළිය නාට්‍ය කණ්ඩායමේ රොනිකා, අරෝෂා, ලෝහා, ශිවා සිව් දෙනාය. ඔවුන් පැවසූ තොරතුරු අනුව අප කතිකා කර ගත්තේ ඔවුන් සමඟම කමලිනී සොයා යාමටය. ඒ අනුව අපි කමලිනී පදිංචිව සිටින නාරාහේන්පිට ඇන්ඩර්සන් තට්ටු නිවාස සංකීර්ණයේ අංක ර්3/4 දරන නිවසට ගියෙමු.

අප යන විටත් එහි සිටියේ කමලිනීත් ඇගේ එකම පුතු අදීසයන් පමණි. ජාතික රූපවාහිනියේ ආයුබෝවන් ශනිදා වැඩ සටහනේ දෙමළ නිවේදිකාව ලෙසින් එහි ආරම්භයේ පටන් ඇය ප්‍රේක්ෂකයන් අතරට එක්විය. ජාතික රූපවාහිනිය මඟින් ප්‍රචාරය වූ ලොතරැයි වැඩ සටහන්වල නිත්‍ය දමිළ නිවේදිකාව වූයේ ඇයයි. දෙමළ ප්‍රවෘත්ති නිවේදිකාව වූයේ ඇයයි. එදා රූපවාහිනිය පුරාවට දෙමළ බසින් අපට ආමන්ත්‍රණය කළ කමලිනීගේ අපි දුටු සුන්දර සිනහව අද මුව රැඳී නැත. ගතින් මෙන්ම රුවෙන් ද ඇය අද රෝගී බව නිසා අසරණ වී ඇත. අද ඇගේ තනි නොතනියට සිිටින එකම පුද්ගලයා තම එකම පුතු පමණි.

එදා සිංහල බසින් ඉංග්‍රීසි බසින් දෙමළ බසින් මුව පුරා සිනාව රැගෙන අපට කතා කළ කමලිනී අද බලා ගත් අත බලාගෙන කල්පනා ලෝකයක තනි වී ඇත. කිසිවකුත් සමග කතාබහක් නැත. තම පුතු කියන යම් දෙයකට පමණක් ප්‍රතිචාර දක්වන ඈ හුදකලා දිවියක් ගෙවනුයේ රෝගී බවේ අසරණකම නිසාමය. මා ඇගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් යමක් විමසුවද ඇගෙන් ප්‍රතිචාරයක් නැත. ඇයට වූ යම් සිත් වේදනාවක් වූයේ නම් එය දන්නේ ද ඈ පමණි. ඇය කී කළ දේවල් ඇගේ යාළු මිත්‍රයන් පිළිබඳව තියා ඈ කළ මාධ්‍ය මෙහෙවර ද දන්නෙ ඈ පමණි. ඒ කිසිවක් තම පුතුවත් නොදැන සිටීම මෙවන් අවස්ථාවක ඔවුන් තව තවත් අසරණ කොට ඇත.

කමලිනී ගැන පුංචි හෝ තොරතුරක් අපට කිව්වේ ඇගේ පුතු අදීසයන්. මගේ අම්මා අවුරුදු තිහක් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් ලෙසින් වැඩ කළා. හිටි හැටියේම 2009 දී ඇයව ආයතනයෙන් අස් කරනු ලැබුවා. මොන හේතුවක් නිසා එහෙම කළාද කියන්න මම අද වෙනකම් දන්නේ නැහැ. එදා ඉඳලා අම්මාගේ සුපුරුදු ක්‍රියාකාරකම් අඩු වෙන්න පටන් ගත්තා. අන්තිමට අම්මා කතා කරන එකත් අතහැරියා.

අම්මාගේ සිහිය විකල් වුණා වගේ දෙයක් සිදු වුණා. මොන වගේ ප්‍රශ්නයක් නිසා මෙහෙම වුණාද මම දන්නේ නෑ. අම්මගේ කල්පනාව අඩු වෙන කොට මම තවත් අසරණ වුණා. මම තමයි අම්මට ඉන්න එකම දරුවා. තාත්තත් මීට අවුරුදු විස්සකට ඉස්සෙල්ලා නැති වුණා. තාත්තා හොඳ කලාකාරයෙක්. ප්‍රසිද්ධ කලා පවුලක සාමාජිකයෙක්. සෙල්වයුර් සෙල්වරාජා තාත්තා කවියෙක් වගේම නළුවෙක්. කලා කටයුතුවල නියැළී සිටියා.

නාට්‍ය පිටපත් රචනය, කවි නිිර්මාණ, නාට්‍ය නිර්මාණ, පරිවර්තන වගේම රඟපෑමත් කෙරුවා. ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමයි මගේ පියාණන්. තාත්තාගේ අභාවයත් සමඟ මාව රැක බලා ගත්තේ අම්මා. තාත්තා නැති වෙන කොටත් මම පුංචි දරුවෙක්. අද වෙන කොට මගේ වයස අවුරුදු තිහක්. අම්මා නිවේදන කටයුතු විතරක් නොවෙයි රඟපෑමත් කළා. හඬ කැවීමත් කළා. මයාන කාන්ඩම්, ඥාන සවුන්දරී වේදිකා නාට්‍යවල අම්මා රඟපෑවා කියල මම දැනගෙන හිටියා.

තව ගොඩක් නාට්‍යවල රඟපෑවත් ඒවායේ නම් ගැන මම දන්නේ නෑ. ආදර කතාව චිත්‍රපටයේ තාත්තාත් අම්මාත් රඟපාල තියෙනවා. ‘කෝමාලිගල්’ චිත්‍රපටයේ තාත්තාත් එක්ක අම්ම රඟපාලා තිබුණා. ගුවන් විදුලි දෙමළ නාට්‍යවල අම්ම ගොඩක් ඉඳලා තියෙනවා. අම්මාට සම්මාන කීපයක් ලැබිලා තිබුණා. ගුවන් විදුලි සංස්ථාව 1995 දී පිරිනැමූ ගුවන් විදුලි ජනාධිපති සම්මානය දෙමළ ජනප්‍රිය නාට්‍ය ශිල්පිනිය ලෙසින් අම්මා දිනාගෙන තිබුණා.

අම්මාගේ කල්පනාව අඩුකම නිසාම මට අම්මා ඇසුරු කරපු කවුරුවත් පිළිබඳ දැනගන්න විදියක් නෑ. ඒ නිසාම මම තවත් අසරණ වෙලයි ඉන්නේ. අද වෙන කොට මට පොඩි හයියක් තියෙන්නේ අම්මාගේ මල්ලියි, නංගිලායි මට උදවු කරන නිසා. ඒ අය අම්මට ප්‍රතිකාර කරන්න ගොඩක් වෙහෙසෙනවා. අම්මව බලා ගන්නේ, කවන්නේ, පොවන්නේ රෙදි සෝදන්නේ මේ හැම දෙයක්ම මම තමයි කරන්නේ. මට පුළුවන් හැටියට අම්මට කෑම ටික උයල දෙනවා. එහෙම බැරි වෙලාවට කඩෙන් ගෙනත් දීල අම්මගේ කුස පුරවනවා. මට කියලා ස්ථිර රස්සාවක් නෑ. භාෂා පරිවර්තන කටයුතු තමයි මම කරන්නේ. ඒකත් හැමදාම නෑ. ලිපි පරිවර්තනය කරලා ලැබෙන මුදලකින් තමයි මම අම්මවත් බලාගෙන ජීවත් වෙන්නේ.

ගෙදරින් පිට ගිහින් රැකියාවක් කරන්නත් බෑ. අම්ම ළඟ තියල යන්න කවුරුවත් නෑ. මේ තට්ටු නිවාසයේ අල්ලපු ගෙදරට ගියත් මම දොර වහල අගුල දාලා තමයි යන්නේ. අද මම හැම පැත්තෙන්ම අසරණයි. මම දන්න අම්මත් එක්ක එකට වැඩ කරපු කීප දෙනෙකුටම කිව්වා අද අම්මා ඉන්න තත්ත්වය ගැන කියලා. ඒත් ඒ කවුරුවත් අම්ම බලන්නවත් ආවේ නෑ. අපි මේ ඉන්න නිවාස සංකීර්ණයේම රූපවාහිනියේ අම්මත් එක්ක එකට නිවේදන කටයුතු කරපු කෙනෙකුත් ඉන්නවා. එයාටත් කිව්වා, ඒත් වචනයකින්වත් පිහිටක් නෑ. මාමා ආපුදාට අම්මව කෝවිලට එක්ක ගෙන යනවා. ඒ ඇරෙන්න අම්මා හැමදාම මේ ගෙදර බිත්ති හතර මැද මාත් එක්ක දිවි ගෙවනවා.

ජන කරළිය නාට්‍ය කණ්ඩායමේ අරෝෂා සරසවියට කිව්වේ මේ වගේ දෙයක්. කමලිනී මැඩම් අපේ ජන කරළිය නාට්‍ය කණ්ඩායමේ උපදේශිකාවක් වශයෙන් කටයුතුª කළා. ඇය අපත් සමඟ සමීපව කටයුතු කළ අවස්ථා තිබුණේ කීපයක් පමණයි. ඇය අපේ කණ්ඩායම සමග ගනුදෙනු කළේ ඉහළ නිලධාරී මණ්ඩලය සමඟ පමණයි. අපි උනත් අද වෙනකන් දන්නේ නෑ ඇයට මොනවද වුණේ කියලා. මීට වසර එකකට දෙකකට පෙර අපි ඇයට විවිධ දේ සඳහා ආරාධනා කළත් ඇය ඒ සඳහා සහභාගි වුණේ නැහැ. අපි වුණත් නාට්‍ය වැඩ නිසාම නිතර කොළඹ සිටියේ නැහැ. දුර ඈත පළාත්වල තමයි වැඩි කාලයක් ගෙවුණේ.

මැඩම් ගැන තොරතුරක් නැති තැන අපි ඇයව සොයාගෙන මේ ගෙදරට ආවා. එතකොට තමයි මේ දේවල් දැනගන්න ලැබුණේ. අපිත් අපි දන්න මැඩම් හඳුණන අයට ගිහින් මේ පිළිබඳව දැනුවත් කළා. ඒ කවුරුත් මෙහෙම තමයි ජීවිතේ කියල අපිට කිව්වා. බැරිම තැන අපි තීරණය කළා මේ ගැන මාධ්‍යයට කියනවා කියලා. ඒ අනුව තමයි සරසවිය පත්තරයට කතා කරලා කිව්වේ. අපි එහෙම කළේ පත්තරෙන් හරි මැඩම් අද ඉන්න තත්ත්වය කවුරුන් හෝ දැනගනියි කියන අදහසින්.

කාත් කවුරුත් නැතිව අදීසයන් පුතු තම මව ජීවත් කරන්නට, රෝග තත්ත්වය සුව කර ගන්නට දරන වෙහෙස අපි ඇස් පනාපිටම දුටුවෙමු. ගෙදර තිබූ දුරකථනය පවා අද විසන්ධි කොට ඇත්තේ ඒ සඳහා ගෙවීමට මුදල් නොමැතිකම නිසා බව අදීස අපට පැවසුවේ බොහෝ දුක්බරවය. මට ඕනේ මුදල් නෙමේ. මගේ අම්මව සනීප කර ගන්න . . . මගේ අම්මව සනීප කර ගන්න . . . ඒ දේට කවුරු හෝ පිහිට වෙන්න. මට ඒ ඇති. අම්ම සනීප වුණා කියන්නේ මට ඒ හොඳටෝම ඇති. 0716419264 ජංගම දුරකථන අංකය මතක් කරමින් අදීසයන් පුතු අපිට කිව්වේ මට අම්මව සනීප කරගන්න උදවු කරන්න කියාය.

වසර තිහක් පුරාවට ජාතික රූපවාහිනියෙන්, චැනල් අයි. නාළිකාවෙන්, ගුවන් විදුලියෙන් හඬ අවධි කරමින් මුව පුරා සිනහවක් නඟා ‘වණක්කම්’ කියූ කමලිනී, එන්න ඔබ හෙටත් සුව වී අපිට ‘වණක්කම්’ කියන්න.

‘සරසවිය’ අපි ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරමු.