වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන පෙරේතකමට චිත්‍රපට හදලා බෑ

සම්මාන පෙරේතකමට චිත්‍රපට හදලා බෑ

දෘෂ්ටි ප්‍රයෝග චක්‍රවර්ති දිනේෂ් ප්‍රියසාද්

සිනමාව නමැති ‘මායාව’ තුළ පවා විශ්මිත ‘මායා දසුන්’ මවන ඉන්ද්‍රජාලිකයා ඔහුය. සිනමාත්මක අර්ථයෙන් පැවසුවහොත් ඔහු අපේ සිනමාවේ විශේෂ ප්‍රයෝග විශේෂඥයායි. ඒ දිනේෂ් ප්‍රියසාද් බව නොදන්නේ කවුරුන්ද?

තවත් අතකින් හේ අපේ සිනමාවේ පෙරළිකාරයෙකි. ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසය. ඔහු තැනූ චිත්‍රපට කිහිපයක්ම ‘බොක්ස් ඔෆීස්’ වාර්තා බිඳ හෙළීය. ‘ඩබල් - ට්‍රබල්’ ඔහුගේ නවතම චිත්‍රපටය වෙයි. එය මෙම 24 වැනිදා සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනයට නියමිතය.

මේ උණුසුම් කතාබහ ඒ පෙරළිකාරයා සමඟිනි.

* ‘ඩබල් ට්‍රබල්වලින්ම පටන් ගනිමු?

මුලින්ම කියන්න ඕනෑ මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා රාජ් රණසිංහ. ඔහු තමා මාව අධ්‍යක්ෂවරයකු විදිහට සිනමාවට හඳුන්වා දුන් නිෂ්පාදකවරයා. ‘නොම්මර එකයි’ සහ ‘පෙරළිකාරයෝ’ කියන මගෙ මුල්ම චිත්‍රපට දෙක නිෂ්පාදනය කළේ රාජ්. 1986 අප්‍රේල් 25 තමයි මගේ ප්‍රථම චිත්‍රපටය ‘පෙරළිකාරයෝ’ රිලීිස් වෙන්නේ. අවුරුදු විසි හතකට පසුව නැවත ඒ අධ්‍යක්ෂවරයා විසින්ම තමයි මගේ අලුත් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙත්. ඒක විශේෂත්වයක්.

* චිත්‍රපටය ගැන කතා කළොත්?

මේක ක්‍රියාදාම චිත්‍රපටයක්. හැබැයි සාම්ප්‍රදායික ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවේ. ‘ඩබල් - ට්‍රබල්’ කුඩා දරුවකු වටා ගෙතුණු සංවේදී කතාවක්. මවුපියන්ගේ ආදරය නොලැබුණ දරුවෙක් සමාජයේ නිදහසේ හැසිරෙන කොට එයාගේ ජීවිතයට බලපාන කරුණු කාරණා ගැන තමයි මේ චිත්‍රපටයෙන් විග්‍රහ කෙරෙන්නේ. දෙමව්පියන් විසින් හරි ට්‍රැක් එකට දැම්මේ නැතිනම් දරුවෙක් ඉබාගාතේ යන්න ඉඩ තියෙනවා. ඉතින් ලොකු සමාජීය විග්‍රහයක් තමයි මේ චිත්‍රපටයෙන් සිදු කෙරෙන්නේ.

* එතකොට මේ ළමා චිත්‍රපටයක්?

කුඩා ළමයෙක් රඟපෑ පමණින් මම පිළි ගන්නේ නෑ ඒක ළමා චිත්‍රපටයක් කියලා. දැන් ටයිටස් තොටවත්තගේ ‘හඳයා’ ගත්තොත් ඒක මුළුමනින්ම ළමා චිත්‍රපටයක්. තාත්තා ඩෝප් දාගෙන ඇවිත් ළමයින්ට කරන හිරිහැර, අඩන්තේට්ටම් ඒ චිත්‍රපටයේ පෙන්වනවා. ඒක ළමා මනසට බලපාන්නේ කොහොමද කියන එකත් විග්‍රහ කෙරෙනවා. සංවේදී සහ ආදර්ශමත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් ඔය ළමා චිත්‍රපට කියා කියන අනෙක් චිත්‍රපටවලට වඩා වෙනස්.

* මොකක්ද ඒ වෙනස?

තාත්තයි, අම්මයි, දරුවකුයි ‘හඳයා’ චිත්‍රපටය බලලා එදා සිනමාහලෙන් ගෙදර අවේ යමක් ඔළුවට අරගෙන. සල්ලි දීලා ඒ අය ගත්තේ නිකං ටිකට් එකක් විතරක් නෙවෙයි. වටිනා කියන අදහසක්, ආදර්ශයක් එදා දරුවන්ට, දෙමාපියන්ට මේ චිත්‍රපටයෙන් ලැබුණා. අන්න ඒ වගේ වෙනස්ම මාදලියේ පවුලේ හැමෝටම එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක් තමයි ‘ඩබල් - ට්‍රබල්’ කියන්නේ.

* තිර නාටකයත් ඔබේමද?

මගේ සහ ක්ලයිව් මාටෙන්ස්ගේ. දැන් කොහොමටත් චිත්‍රපටයක තිර නාටකය සියයට අසූවක් විතරම අධ්‍යක්ෂවරයාගේ අවසන් වශයෙන් බලන කොට. මගේ නම දැම්මේ නැතුවට පූර්ණ අයිතියක් තියෙනවා තිර නාටකයට. මම මෙතෙක් කරපු සියලුම චිත්‍රපටවල තිර නාටක අයිතිය මටයි තියෙන්නේ. සියයට අසූවකට වැඩියේ මගේ දේවල් තියෙන්නේ ඒ තිර නාටකවල. දැන් ලියාගෙන ආපු තිර නාටකය වෙනස් කරලා ෂූට් කරද්දී කොහොමත් ඒක අධ්‍යක්ෂවරයාගේ වෙනවානේ. මම විතරක් නෙවේ ඒක ස්ටීවන් ස්පීල්බර්ග් කළත්, අකිර කුරසාවා කළත් අවසාන වශයෙන් තිර නාටකය අධ්‍යක්ෂවරයාගේ තමයි.

* සිනමාව කියන්නේ අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය බවයි ඔබ ඔය ඉඟි කරන්නේ?

ඔව්. ඒකනේ මම හැමදාම කියන්නේ තිර නාටකය වගේම කැමරා අධ්‍යක්ෂණයත්, සංස්කරණයත් අධ්‍යක්ෂවරයාම කරන්න ඕනෑ. ඔය සේරම මම තමා කරන්නේ.

* සේරම දොඩම් ගොඩ වගේ බදාගෙන හරි යයි කියලා හිතනවාද?

දොඩම් ගොඩ වගේ නෙවෙයි බදා ගන්න ඕනෑ. මේක ඒ අවශ්‍ය කරන කේන්ද්‍රීය විෂයයන් ටික හරියට කරන්න ඕනෑ. ඒ කියන්නේ අධ්‍යක්ෂවරයා මේකප්ඛ කරන්න ගියොත්, ලයිටින් කරන්න ගියොත් එතකොට මේ නළු, නිළියන්ගේ සපත්තු පොලිෂ් කරන්න ගියොත් වැඩේ හරියට කරන්න බෑ. ඒකට වෙන වෙන පිරිස් ඉනනවා. ස්ටන්ට් කරන්න සරත් ඉන්නවා, ටෙඩී ඉන්නවා. එතකොට කොණ්ඩා මෝස්තර දාන්න සෑම් ඉන්නවා. ඒවා අධ්‍යක්ෂවරයාගේ වැඩ නෙවේ. නමුත් ඒවායේ යම්කිසි වැරැද්දක්, දොසක් තියෙනවා නම් අධ්‍යක්ෂවරයාට පුළුවන් මෙතැන වැරැදියි කියලා කියන්න. ඒ වුණාට කැමරාකරණය නම් සීයට සීයක්ම අධ්‍යක්ෂවරයා විසින් කරන්න ඕනෑ. තිර නාටකයටත් සියයට අසූවකින්වත් සම්බන්ධ වෙන්න ඕනෑ. එතකොට සංස්කරණයට සියයට සියයකින් දායක විය යුතුයි.

* දැඩි වෙහෙසක් දරා තමන් රූගත කළ දර්ශන කපා කොටා දාන එක අධ්‍යක්ෂවරයකුට අසීරු කාර්යයක් වෙන්නට පුළුවන්?

මිනිස්සු මේ සංස්කරණය කියලා හිතාගෙන ඉන්නේ ෂූට් කරගෙන, ෂූට් කරගෙන ඇවිල්ලා දර්ශන ඉවත් කරන එක කියලා. එහෙම එකක් නෙවෙයි සංස්කරණය කියන්නේ. සංස්කරණය කියන්නේ සමෝධානය. චිත්‍රපටයක කතාව ගලාගෙන යෑමට අනුබල දෙන විදිහේ කට් එක ගහන්නේ මේකෙන්. හැබැයි අධ්‍යක්ෂවරයා එක් කෙනෙක්, කැමරා අධ්‍යක්ෂවරයා තව කෙනෙක්, සංස්කරණ ශිල්පියා තවත් කෙනෙක් වුණොත් වැඩේ ටිකක් අමාරුයි. එතකොට තුන් දෙනා හැප්පෙනවා. ෂොට් එක කපන්න ගියාම සංස්කරණ ශිල්පියාට ඛ්චතත කරලා අහන්න ඕනෑ. නැතිනම් සංස්කරණ ශිල්පියා ගෙනත් තියා ගන්නවා ලොකේෂන් එකේ. එයාගෙන් අහනවා ගත්ත ෂොට් එක හරි ද කියලා.

* නමුත් ඔබේ ක්‍රමය ඒක නෙවෙයි?

මට නම් ඔය කිසි දෙයක් බලන්නේ නෑ. අධ්‍යක්ෂණයේදී කැමරාවට ඇහැ තියන්නේ මමයි. මම තමයි ෂොට් එක ගන්නේ. මට ඕනෑ කරන ලෙන්ස් එක මමයි දාන්නේ. මට ඕනෑ කරන ඈන්ගල් එක මමයි ගන්නේ. එතනින් එහාට ඇඟිලි ගහන්න මම කාටවත් ඉඩ තියන්නේ නැහැ. මෙතෙක් මගේ චිත්‍රපටයකට කවුරුවත් ඇඟිලි ගහලත් නැහැ, ඇඟිලි ගහන්න මම ඉස්සරහට ඉඩ තියන්නෙත් නෑ. ඒ මොකද චිත්‍රපටයක් නිර්මාණය කරන එක හරි අමාරු දෙයක්. ඒක තනි තීන්දුවක් අරගෙනයි කළ යුත්තේ.

සොදුරු ආඥාදායකයෙක් වෙන්න ඕනෑ?

සොඳුරුම වෙලා බෑ. පොඩ්ඩක් ටෆ් වෙන්නත් ඕනෑ. නැතිනම් බෑ. සොඳුරුකමට එහා ගිය ටිකක් තද හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ අධ්‍යක්ෂවරයා කියන මිනිහා. දැන් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වගේ දැවැන්තයෙක් ප්‍රධාන චරිතය රඟපාපු ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මමයි. ඒ වගේම සහාය අධ්‍යක්ෂණය, කැමරාව, සංස්කරණයත් මමයි. විශේෂ ප්‍රයෝගත් මගේමයි.

* ඔබ ඉලක්ක කර ගත් ප්‍රේක්ෂක පිරිස ඔබේ අලුත් චිත්‍රපටය වැළඳ ගනීවි කියා සිතනවාද?

ඇයි ඔබ එහෙම ඇහුවේ?

* නෑ පසුගිය කාලේ තැනුණ ක්‍රියාදාම චිත්‍රපට, ප්‍රේමය මුල් කරගත් චිත්‍රපට අසාර්ථක වූ අවස්ථා අප දුටුවා?

මෙහෙමයි අසංක, මම චිත්‍රපට හදනවා කියලා මේක මේ කරේ දාගෙන හදන්න මට වුවමනාවක් නෑ. අපි හිතමු සිගරට් එකක් බොන දර්ශනයක් තියෙනවා නම් ඕක කපලා දාලා ප්‍රේක්ෂකයෝ තව දහ දෙනෙකුªª වැඩි කර ගත යුතුයි කියන චේතනාවෙන්නම් මම චිත්‍රපට හදන්නේ නෑ. කවුරු හරි කිව්වොත් අද තියෙන ප්‍රවණතාව අනුව ඉතිහාසය පසුබිම් කරගත් චිත්‍රපටයක් හදමු කියලා මම එකහෙළාම කියාවි බෑ කියලා.

* හේතුව?

ඉතිහාස කතා හදන්න ඕනෑ තරම් දක්ෂ අධ්‍යක්ෂවරු ඉන්නවා මේ රටේ. බෞද්ධ චිත්‍රපටයක් හදමු කියලා කවුරු හරි යෝජනා කළොත් මම කියනවා මේ රටේ එවැනි චිත්‍රපට හදන්න මට වඩා දක්ෂ අධ්‍යක්ෂවරු ඉන්නවා කියලා. ඒ ඒ කැටගරීස්වල ඉන්න අධ්‍යක්ෂවරුන්ට කියලා එවැනි චිත්‍රපට නිර්මාණය කර ගත්තම කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. අවැඩක් වෙන්නේත් නෑ.

* එතකොට ඔබේ කැටගරිය මොකක්ද?

මේ රටේ ප්‍රේක්ෂකයා හඳුණනවනේ මගේ කැටගරි එක මොකක්ද කියලා.

දැන් ඔබ නිර්වචනය කරන්නේ කොහොමද ඒක?

සිනමාත්මක, ගුණාත්මක පැත්ත රැකෙන විදිහට තමයි මම නිර්මාණයක් කරන්නේ.

* නමුත් මම කියනවා ඔබ වාණිජ රැල්ලේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු කියලා?

වාණිජ සිනමාව කියනවාට වඩා වටිනවා ජනප්‍රිය සිනමාව කිව්වොත්. මොකද කොයි චිත්‍රපටය හදන්නෙත් වාණිජ පරමාර්ථ මුල් කරගෙනනේ.

* හරි ඔබ ජනප්‍රිය රැල්ලේ සිනමාකරුවෙක් කියන තැන ඉඳන් කතා කළොත්?

ඒකෙ වැරැද්දක් නෑ. හුඟක් වෙලාවට සම්මාන හම්බ වෙන්නේ නෑනේ ඔය ජනප්‍රිය රැල්ලට. ඕන්නං වැඩිම ආදායම ලබපු චිත්‍රපටය කියලා සම්මානයක් ලැබෙයි. නමුත් මම බලාපොරොත්තුª වෙන්නේ නෑනේ ඔය සම්මාන. මොකද හේතුව කලාකාරයෙක් වැරැදියි මේ සම්මාන බලාපොරොත්තුවෙන් සිනමාවේ රැඳී ඉන්නවා නම්. සිනමාව නිසියාකාරව හසුරවන්න බෑ සම්මාන පෙරේතකමත් එක්ක. තමන්ගේ කලා කෘතියකට කවුරු හරි සම්මාන දෙනවා නම් ඒක ගත්තට ඇති වැරැද්දක් නෑ. දුන්නටත් වැරැද්දක් නෑ. නමුත් තමන්ගේ නිර්මාණය සම්මාන අරභයා කරන්න එපා කියලයි මම කියන්නේ.

* එහෙම කරන අය ඉන්නවාද?

ඉන්නවා. ඒකනෙ අද බොහෝ විට සිදු වන්නේ. චිත්‍රපටය හදන්න සූදානම් වෙන කොටම සම්මාන ටික මාක් කරලා ඉවරයිනේ. ඉතිං එතකොට කලා කෘතියක් කෙරෙන්නේ නෑ. ඒ අධ්‍යක්ෂවරයා බලන්නේ අර ජූරියේ ඉන්න හය හත් දෙනාට හරි යන්න, ඒගොල්ලන්ගේ මොලෙන්, කනෙන් රිංගලා යන්න පුළුවන් විදිහේ මොනවා හරි දෙයක් කරන්න. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම සම්මාන හම්බ වෙනවා. නිෂ්පාදකවරයා කානුවේ. සම්මානය අධ්‍යක්ෂවරයාගේ අතේ.

* අපේ සිනමාවේ ‘විශේෂ ප්‍රයෝග’ එහෙම නැතිනම් ඵනඥජඪචත ඡ්ටටඥජබ පිළිබඳ කතා කරද්දී අපට දිනේෂ් ප්‍රියසාද් නාමය අමතක කරන්නට බැහැ?

විශේෂ ප්‍රයෝගකරණය ඒ කියන්නේ ‘විෂුවල් ස්පෙෂල් ඉෆෙක්ට්’ කියන එක අසංක ලෝක සිනමාවේ මුල් යුගයේ ඉඳලම පැවැති දෙයක්. චාලි චැප්ලින්ගේ, සර්ජි අයිස්ටයින්ගේ, එතකොට ඇල්ෆ‍්‍රඩ් හිච්කොක්ගේ චිත්‍රපටවලත් මේක තිබුණා. කොටින්ම කියනවා නම් චිත්‍රපටය කියන්නේම විශේෂ ප්‍රයෝගයක්. ඒ කියන්නේ දළ සේයාපටය කොහොමද කැමරාවේ ගමන් කරන්නේ කියන එකත් හිතා ගන්න බැරි ක්‍රමවේදයක්. ඒක ඊට පසුව ප්‍රොජෙක්ටර් එකේ ගමන් කරන විදිහත් මායාවක්. සංකීර්ණ මාතෘකාවක්.

* ඒත් මොකක්ද ඔබ ඊට දෙන සරල අර්ථකථනය?

කුරසෝවාගේ ‘කගෙමුෂා’ කියන චිත්‍රපටයේ එක් දර්ශනයක් තියෙනවා මුහුද මැද දේදුන්නක් පායලා. ඉතිං ඔය කැමරාව අල්ලගෙන හිටියා කියලා දේදුන්න පායන්නේ නැහැනේ. අද පායයි ද, හෙට පායයි ද කියලා බලා ඉන්නත් බෑනේ. අපි විශේෂ ප්‍රයෝගකරණයේදී තමයි මේ දේදුන්න ආකාසෙට බද්ධ කරන්නේ. එතකොට ‘දස පනත’ චිත්‍රපටයේ මුහුද දෙබෑ වන දර්ශනය ගත්තම, ඒකත් විශේෂ ප්‍රයෝගයක්. මුහුද ළඟට ගිහින් කැමරාව අල්ලගෙන හිටියා කියලා මුහුද දෙබෑ වෙන්නේ නෑනේ. ඒක කරන ක්‍රමවේදයක් තියෙනවා. විවිධ වර්ගයේ දළ සේයා පට, විවිධ වර්ගයේ කැමරා කාච තියෙනවා. ඔප්ටිකල් ප්‍රින්ටර් කියලා ජාතියක් මේ ලෝකේ හැදුවා. ඒවා උපයෝගී කරගෙන තමයි විශේෂ ප්‍රයෝගකරණය නිර්මාණය වන්නේ.

* මෙතෙක් ඔබ චිත්‍රපට කොපමණ ප්‍රමාණයකට විශේෂ ප්‍රයෝගකරණයෙන් දායක වී තිබෙනවාද?

මෙතෙක් මගේ චිත්‍රපට ඇතුළු චිත්‍රපට අනූවක පමණ මම ප්‍රයෝග දර්ශන නිර්මාණය කර තිබෙනවා.

* එතකොට දැන් ඔය එක එක්කෙනා හදාගෙන තියෙනවා දෘෂ්ටි ප්‍රයෝග විශේෂඥ, අරක මේක කියලා?

එහෙම විශේෂඥයෝ මම නම් දැකලා නෑ. ඔය කවුරු කොහොම කිව්වත් ලංකාවේ විශේෂ ප්‍රයෝග විශේෂඥයා මම. ආයේ ඒකට අභියෝග කරන්න කාටවත් බැහැ.

* සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ඔබේ ජීවිතයේ සුවිශේෂී චරිතයක්. එක් අතෙකින් ඔහු ඔබේ පරමාදර්ශී ජීවන චරිතය. තව පැත්තකින් ඔබේ වීර ප්‍රතිරූපය. ඔහු ඔබේ ජීවිතයට මෙතරම් බද්ධ වුණේ කොහොමද?

මගේ ජීවිතයේ වීරයෝ දෙන්නෙක් හිටියා. එක් කෙනෙක් මගේ අංකල් කෙනෙක් ඕවන් පීරිස් කියලා. එයා එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්. ‘රුහුණු කුමාරි’ දුම්රියේ සෙනඟ දාහක් පටවාගෙන ‘ඩක ඩක’ ගාලා හයි ස්පීඩ් යනවා හවසට. අපිට අත වනාගෙන යන්නේ. නමුත් ඒක පේන්නෙවත් නැති තරමට ස්පීඩ් ඒ මගේ පුංචිකාලේ. මම හිතාගෙන හිටියේ ඒ කාලේ කවදා හරි එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. අනෙක් පැත්තෙන් මම හිතනවා ගාමිණී ෆොන්සේකාව දාලා චිත්‍රපටයක් හදනවා කියලා. හුඟාක් චිත්‍රපට හදන්න නෙවෙයි, ගාමිණී දාලා එකම චිත්‍රපටයයි. මොකද මම එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්නේ.

* ගාමිණී ෆොන්සේකා ගැන ඒ විදිහෙ සිතිවිල්ලක් ආවේ කොයි කාලෙද?

පුංචිම කාලේ. ‘ඔහොම හොඳද’ චිත්‍රපටය බලලා තමයි මට ගාමිණී අයියා ගැන ඒ වගේ හැඟීමක් ඇති වුණේ. මම හිතන්නේ අසංක ඒක පෙර ආත්මයේ ඉඳන් එන බැඳීමක්. ගාමිණී ෆොන්සේකා මහත්මයත් එක්ක මගේ තිබුණා පොඩි ගනුදෙනුවක්. ඒක දැනගෙන හිටියේ එයයි, මායි විතරයි. ඉතින් ඒක මෙතන විග්‍රහ කරලා වැඩක් නැහැ. 1976 අග භාගේ ඉඳන්ම එතුමයි, මමයි බොහොම කිට්ටුවෙන් බොහොම බද්ධ වෙලා ජීවත්වුණේ. ඒක ආත්මීය බැඳීමක්. කෙටියෙන් විග්‍රහ කිරීම අසීරුයි. මොකද සිනමාව පිළිබඳවත්, වෙනත් ආත්මීය කරුණු කාරනා පිළිබඳවත් ද එතුමා මාව පෝෂණය කරලා තියෙනවා.

* සිනමාව පැත්තෙන් ගාමිණී ෆොන්සේකා කියන චරිතය ගැන කතා කළොත්?

ගාමිනී ෆොන්සේකා තරම් සිනමාව ගැන දන්න කිසිම කෙනෙක් මෙතෙක් මේ ලෝකේ මට හමුවෙලා නෑ. ලෙන්සස් ගැන, ෆෙ‍්‍ර්ම්ස් ගැන ඔහුට රංගනය වගේම හොඳ දැනුමක් තිබුණා. ඔහු සතුව තිබූ කාර්මික ඥානය ඉතා ඉහළයි. මේ නිසා ඔහු සමඟ වැඩ කිරීම හරි පහසුවක් වුණා. රඟපෑමේදී ඔහුගේ ක්‍රමවේදය වුණේ රිහේසල්ස් වැඩිපුර කරමු. ටේක්ස් අඩුවෙන් යමු කියන එකයි. නිකම්ම ටේක්ස් අරන් නෙගටිව් නාස්ති කිරීම නෙවේ. මොකද නිෂ්පාදකයා බේරා ගන්නත් එපායැ. නමුත් අද නළුවකුට, නිළියකට එහෙම රිහේසල් කරන්න කිව්වොත්, වෙලාවක් නෑ, හරි හරි ටේක් එකේදී දෙන්නම් කියලා අන්තිමේදී හොඳටම නානවා.

* ඇයි එහෙම වෙලා තියන්නේ?

ප්‍රධාන දේ අසංක, විනයක්, හික්මීමක් නැති එක. ආපු වෙලාවෙ ඉඳන් ඉ. ර්. ඉ. ගහන එකනේ කරන්නේ. ඇත්තම කිව්වොත් චිත්‍රපට කරන්න බෑ මුන් එක්ක. ගාමිණී ෆොන්සේකා වගේ දැවැන්ත විශිෂ්ට නළුවෙක් එක්ක චිත්‍රපට කරපු මට දැන් ඉන්න සමහර එවුන් එක්ක චිත්‍රපට කරන්න බෑ. මුලින්ම හදාගන්න ඕනෑ දේ තමයි විනය. රඟපාන්න බැරි වුණත් කමක් නෑ. නළුවා හොඳ මිනිහෙක් නම් අපි ගන්නවා චිත්‍රපටවලට. රඟපාන්න බැරි එකා ගෙනත් රඟපාවන්න පුළුවන්. ඒකට බය වෙන්න එපා. මුලින්ම විනයගරුක වෙන්න.