වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




අසහාය නිළි ගීත කෝකිලාවී

35 වෙනි ගුණානුස්මරණය වෙනුවෙනි

අසහාය නිළි ගීත කෝකිලාවී

රුක්මණී දේවි

උඩවලව ජලාශයේ ඉදි කිරීම් නිමකර මංගල දියවර නිකුත් කිරීමේ උත්සවය නිමිතිකොට 1968 අගොස්තු මස 28 දින දකුණු ඉවුර අභියස සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය සංවිධානය කරන ලදී. විවෘත වේදිකාවක් මත මයික්‍රෆෝනයක් සිටුවා අවට ගස්වල බඳින ලද ශබ්ද විකාශන යන්ත්‍ර යුගල කීපයක් ද විය. තාක්ෂණය එතරම් දියුණු නෙවූ කාල වකවානුවක් වූ බැවින් සැරසිලි හා ශබ්ද විකාශන ක්‍රම සරල හා ස්වභාවික විය. අගනුවර සිට ගායක ගායිකාවන් ප්‍රවාහනය කරන ලද බස් රථය ද වේදිකාව අසළ නවතා තිබුණි. ගායන ශිල්පීන් ඔවුන්ගේ වාරය එනතුරු බස් රථයේ රැඳී සිටිමින් තම වාරය පැමිණි වහාම වේදිකාවට සම්ප්‍රාප්ත වී සිය ගායනය ඉදිරිපත් කිරීම එදා සිරිත විය.

රුක්මණී දේවි ඇතුළු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සංගීත ප්‍රසංගයක් පවත්වන බව ඊට දින කීපයකට පෙර ප්‍රදේශය පුරා ප්‍රචාරය කර තිබුණ බැවින් විශාල පිරිසක් එම ස්ථානයට එක රොක් වී සිටියහ. එදා ශ්‍රීී ලංකාවේ අතිශය ජනප්‍රිය නිළිය හා ගායිකාව ලෙස රුක්මණී දේවිය සියල්ලෝම පිළිගත්හ. අනිකුත් ගායකයන්ගේ ගීී දෙක තුනක් ගැයීමෙන් පසු රුක්මණී දේවි වේදිකාවට පැමිණෙන බව ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ප්‍රචාරය වීමත් සමඟ ප්‍රේක්ෂකයන්ගේ අත්පොලසන් මධ්‍යයේ ඇය වේදිකාවට ප්‍රවිෂ්ඨ වූවාය.

ස්ත්‍රී ලාලිත්‍යයෙන් හා පිරුණු දේහ විලාශයක් ඈ සතු වූ අතර පංච කළ්‍යාණියකගේ අංග ලක්ෂණ නොඅඩුව පැවති බව කිව යුතුමය. තළ එළලු සමත්, සියුමැලි ඔපවත් මුහුණත්, අඩවන් වූ දිගුවන් දෙනෙතත්, එල්ලා වැටුණු දිගු කර්ණාභරණ යුගලත්, ඉදිරියෙන් උස්ව සැකසූ බොකුටු කේශ කලාපයත් අත් නැති හැට්ටයකින් ලා නිල් පැහැ සාරියකින් හැඩගැන්වී ආකර්ෂණීය මඳ සිනහවකින් යුත් උවනකින් ප්‍රෙක්ෂකයන් ඉදිරියේ වෙදිකාවේ පෙනී සිටියාය. එදා ජනප්‍රිය වී තිබුණ ‘කෝකිලයා කෙවිළිය හා නැළවෙන ප්‍රේ්ම වසන්තේ’ ගීතය ඇයටම ආවේණික මියුරු හ¼ඩින් ගයමින් රසික හදවත් ගී චිකිත්සාවෙන් මොහොතකට සන්තර්පණය කළාය. ඒ හෝරා කීපය ප්‍රදේශය පුරා ගී නදින් පාරාදීශයක් විය. ඒ රුක්මණී දේවි ගැන ඉපැරැණි මතකයක්.

1923 ජනවාරි 13 වෙනි දින කිතුණු පවුලකට දාව ‘ඩේසි ඩැනියල්’ නමින් දැරියක් මීගමුවේ ජනිත විය. දෙමාපියෝ ගුරු සේවයේ යෙදණාහ. දෙමටගොඩට පැමිණීමෙන් පසු ශිල්ප හැදෑරීමට ඈ ශාන්ත මැතිව් විදුහලට ඇතුළු කළාය. ළමා වියේදීම පල්ලියේ ගීතිකා (කන්තරු) ගැයීමට යොමු කිරීම නිසා කිතුණු පරිසරයට බෙහෙවින් අනුගත විය. ළමා කල සිටම ගීත ගැයීම හේතුªවෙන් ස්වර උච්චාරණය ක්‍රමයට ගීත පදමාලාව හැසිරවීමට සතතාභ්‍යාසයේ යෙදීම හා සාංසාරික පුරුදු අනුව ගායනයේ විශිෂ්ඨ වූවාය. බොදුනුවන්ට වඩා කිතුණු ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් පූර්ණකාලීනව ගායන ක්ෂේත්‍රයට පිවිසියේ පල්ලියේ මෙම ගායන අභ්‍යාසය තුළින් බව පෙනේ. සත්වැනි විය පසු කරත්ම ඩේසි ඩැනියල් ශිෂ්‍යාවට මැතිව් විදුහලේ වේදිකාවට පිවිස නර්තනයේ යෙදෙමින් ගායනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වී ඇත. එම පළමු ගීයම ළමා ගායිකාවක් ලෙස ජනප්‍රිය වීමට ප්‍රමාණවත් වී තිබේ.

එදා අපේ කලා ක්ෂේත්‍රය පෝෂණය වෙමින් පැවතියේ හේනේ, කමතේ, පැලේ, පිලේ, අට්ටාලයෙන් බිහි වූ ජන කවි මෙන්ම ශාන්ති කර්ම, යකදුරු ක්‍රියාකාරකම් හේතුවෙන් බිහි වූ යාතිකා මෙන්ම බෙර, දවුල්, නළා වැනි පංචතූර්ය ආදී දේශීය සංගීත භාණ්ඩ උපයෝගී කර ගනිමිනි. වෙස්සන්තර, සඳකිඳරු, කුස ජාතකය වැනි ආගමික කථා හා රාමායනය, අශෝක මාලා වැනි දෘෂ්‍ය කාව්‍ය අනුසාරයෙන් රඟ දැක් වූ නාට්‍ය හා නූර්ති ගී දිවයින පුරා ජනප්‍රිය වී තිබුණි. දහ නම වෙනි සියවස ආරම්භයේම එදා පැවති කෝපි කඩේ හා නිවෙස්වල ගීත ශ්‍රවණ මෙවලම් ලෙස ග්‍රැමෆෝනය ජනප්‍රිය විය. සර්පිනාව ප්‍රධාන වාද්‍ය භාණ්ඩයකි. නාට්‍ය කණ්ඩායම ලක්දිව පුරා සංචාරය කරමින් වේදිකා නාට්‍ය රංගනයෙන් හා නූර්ති ගී ගැයීමෙන් ප්‍රේක්ෂක ජනප්‍රියත්වය ඇති කළේය. එම නාට්‍යවල ගී ගැයීම හා ස්ත්‍රී චරිතවල රංගනයේ යෙදුණේ ස්ත්‍රින් ලෙස හැඳ පැළඳ ගත් පුරුෂයන්ය. පුරුෂ ආධිපත්‍යයට නතු වූ කාල වකවානුවක් අතීතයේ පැවති බැවින් කාන්තාවන්ට නර්තනය හෝ ගායනයට වේදිකාව තහනම් කලාපයක් විය. කාන්තාවක වේදිකාවට පිවිස පුරුෂයින් සමඟ නර්තනයේ, රංගනයේ හෝ ගායනයේ යෙදීම ස්ත්‍රී විලාපයකට හේතුවන ක්‍රියාවක් ලෙස එදා සමාජය සැලකූ අතර ‘ටීටර්කාරියෝ’, ‘බයස්කෝප් කාරිනියන්’ ලෙස සමච්චලයට පත් කරමින් විවාහයකට හෝ නුසුදුසු අය ලෙස සැලකූහ. එම කාල පරාශය තුල ජීවත් වූ ස්වදේශීය කාන්තාවෝ නර්තනය, ගායනය ප්‍රතික්ෂේප කළහ.

1949 ලංකා ගුවන් විදුලි සේවය ආරම්භ කරනු ලැබීය. ගුවන් විදුලිය ඇරඹීමත් සමඟ දේශීය සංස්කෘතියේ එතෙක් පැවති විවිධ ඉසවු සීඝ්‍ර දෝලනයකට මෙන්ම පැහැදිලි පරිණාමයකට පත්වීම වැළැක්විය නොහැකි විය. කලා ක්ෂේත්‍රයේ විවිධ මං පෙත් සොයා ගිය මෙවන් පසුබිමකට යෞවන වියේ සිටි ඩේසි ඩැනිියල් කලා ශිල්පිණියට කාන්තාවන් වෙනුවෙන් දායකත්වය සැපයීමට සිදු විය. ඇයගේ සහජ නිපුනතාවය නිසා රංගනය හා ගායනය පමණක් වෘත්තිය කර ගැනීමට සිදු විය. සංගීත විද්‍යාලයකින් හෝ නැටුම් ශිල්පායතනයකින් ඇය සිය කලා ක්ෂේත්‍රය සඳහා ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබා නැත. එවැන්නක් එකල ලක්දිව තිබුණේ ද නැත. සමාජ රඟහලෙන්ම නැටුම් ගැයුම් උගත්තාය.

එසේම ස්වකීය සිතුම්, පැතුම්, චිත්ත වේග, මමෝභාව, ආකල්ප හෝ විශ්වාස ස්වාධීනව රංගනයට නර්තනයට හෝ ගායනයට යොදා ගැනීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම ආවරණය කර පැවති කාල පරිච්ඡේදයත් එදා තිබුණි. නාට්‍ය නිෂ්පාදකයාගේ ලිඛිත ගොරහැඬි භාෂා ශෛලිය නාට්‍ය තුළිනුත්, ශෝකය, හැ¼ඩිම්, දෙඩීම් ගායනය තුළින් ප්‍රේක්ෂකයාට ශ්‍රවණය කිරිමට ලැබීම සුලභ විය. එබැවින් කතා ශෛලිය ස්වාභාවික නොවීය. ජීවිතයේ දිගුª කලක් මෙවැනි ඒකාකාරී චරිත හා ගායන අතර සැරිසරීමට සිදුවීම හේතුවෙන් ඩේසි ඩැනියල්ගේ රංගන, නර්තන හා ගායන තුළ ද ශෝකය, වියෝව බෙහෙවින් අන්තර්ගත විය. එදා ඇය ගැයූ ගීතවල, නාට්‍යවල හැඬීම් වැළපීම් බහුල වන්නේ ඒ නිසාය. පසුකාලිනව රංගනය හා නර්තනය ඇයට වෙහෙස ගෙන දෙන කාර්යයක් විය. එබැවින් ඇය පවසා සිටියේ,

‘නිළියකවීමේ ආශාව එකල මා තුළ සිහිනෙකින්වත් නොතිබුණේය. රඟපෑමට හා නැටීමට මා කිසි විටෙක ආශා නොකළෙමි. ගී ගැයීමට නම් හය හතර දැනගත් දා සිටම මා තුළ ආශාවක් පැවතිණ.

(රුක්මණී දේවි - සුනිල් මිහිඳුකුල)

ඩේසි ඩැනියල්ගේ ප්‍රථම වේදිකා නාට්‍යය වූයේ රාමායනයේ සීතාවගේ භූමිකාව රංගනයෙන් දායකවීමයි. ඇයගේ ස්ත්‍රී දේහ ලක්ෂණ, හඬ හැසිරවීම, වේදිකාවට පිවිසීමේදී ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කළේය. එබැවින් සමකාලීන නාට්‍ය නිෂ්පාදකයෝ ඇයගේ සහභාගිත්වය තම නර්තනයට, ගායනයට නිරතුරුව අපේක්ෂා කළෝය. මේ අතර මීගමුවේ මිනර්වා සංචාරක නාට්‍ය කණ්ඩායමට ඇතුළත්වීමේ භාග්‍ය ඇයට හිමි විණි. මෙහිදී නර්තනයෙන් හා රංගනයෙන් බොහෝ දුරට සහභාගි නොකර ගායනයට පමණක් අවස්ථාව ලබා දී ඇත. නාට්‍යයක් විටින් විට රඟපෑමේදී එම කොටස් අතරතුර වේදිකාව සැරසීමට එදා බොහෝ වෙලාවක් ගත වී ඇත. එම විරාමය තුළ ප්‍රේක්ෂකයා රඳා තබා ගැනීම සඳහා විටින් විට රුක්මණී දේවී ගීත ගායනය සඳහා මිනර්වා නාට්‍ය කණ්ඩායම විසින් යොදවන ලදී. ප්‍රේක්ෂකයාට මෙන්ම රුක්මණී දේවියට ද මෙය නව අත්දැකීමක් වී තිබේ. ඇයගේ පුරුදු ගීත ගායනය නිදහසේ ඉදිරිපත් කිරීමට මෙම අවස්ථාව බෙහෙවින් ප්‍රයෝජනවත් වී ඇත.

මිනර්වා නාට්‍ය කණ්ඩායමේ ප්‍රථමවරට ඇය වෙදිකාවේ රංගනයේ යෙදී ඇත්තේ ‘කඩවුණ පොරොන්දුව’ නාට්‍යයේ රංජනීගේ භූමිකාවයි. පසුව කඩවුණ පොරොන්දුව ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය ලෙස භාරතයේ රූගත කරන ලදී. එහි ප්‍රධාන නිළිය ලෙස රඟපෑමේ යෙදුණේ රුක්මණී දේවියයි. මෙම සුවිශේෂී අවස්ථාව ඇය ජීවිතයේ ලැබූ අභිමානවත් අතිශය වැදගත් ලෙස සිහිපත් කළේය.

‘කොළොම්බස් අමෙරිකාව සොයා ගත්තා සේ ඇය ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය නිර්මාණය සඳහා දායක වූ බවය.’

1947 ජනවාරි 21 වෙනි දින රාජ්‍ය අනුග්‍රහය සහිතව මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සිනමා රසික රසිකාවියන් බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයෙන් කොළඹ කිංස්ලි සිනමාහලේදී කඩවුණ පොරොන්දුව ප්‍රථම සිිංහල කථානාද චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලැබීය. එහිදී ඩේසි ඩැනියල් හෙවක් රුක්මණී දේවිය ප්‍රථම සිංහල චිත්‍රපට නිළිය ලෙස කිරුළු පැළඳී ඓතිහාසික දිනය ද විය. ඉන් පසුව ද නිර්මාණය වූ නාට්‍යවල හා චිත්‍රපටල ප්‍රධාන නිළි චරිතයට ඇය දායක වූවාය. ග්‍රැමෆෝන් මෙන්ම නූර්ති ගී ද ගැයූ රුක්මණී දේවි ප්‍රතිභාපූර්ණ කලාකාරිණියක්, වේදිකා හා චිත්‍රපට නිළියක් වශයෙන් සක්‍රීයව හිමි කලා ක්ෂේත්‍රයේ පසුතලය ස්ථාපිත කරනු ලැබූයේ එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමඟ ගැයූ ‘සිරි බුද්ධගයා විහාරේ’ ගීතයෙනි.

මෙම ගීතය ජනප්‍රිය වූ විගස ග්‍රෑමෆෝන වෙළඳ තැටි සඳහා ගීත දහයකට වැඩි ප්‍රමාණයක් ද, චිත්‍රපට පසුබිම් ගීත ද, විරිදු හා කණ්ඩායම් ගීත ද බොහෝ ප්‍රමාණයක් ගායනා කර දායාද කර දී ඇත. කලා ක්ෂේත්‍රයේ ග්‍රැමෆෝන යුගය ලෙස හැඳීන් වූ කාල පරිච්ඡේදය හා නූතන යුගය ආබද්ධ කිරීමේ සන්ධිස්ථානය වූයේ රුක්මණී දේවියයි. ග්‍රැමෆෝන යුගයේ සිට වර්තමාන යුගයට ඇය පිවිසෙන්නේ වෙස් මුහුණු, සිවම්මා ධනපාල, ඔතේලෝ, වෙස්සන්තර නාට්‍ය හා අහසින් පොළොවට රූගත කිරීම්වලට දායකවීමෙනි. ඒ වන විට රුක්මණී දේවි නවක නිළියන්ගේ ආදරණීය ‘ඩේසි අක්කා’ වී හමාරය.

දරුවන් නොමැති විවාහයක් ඇය එඩී ජයමාන්න රංගන ශිල්පියා සමඟ ගත කළාය. නූතන සමහර කලා ශීල්පීන් මෙන් රැයකින් දෙකකින් ඇය ජනප්‍රිය නොවූවාය. නිතර නිහඬ අරගලයක යෙදුනු ඇයගේ විඤ්ඤාණය කලා ක්ෂේත්‍රයටම කැප කර ඇත. ඒ තුළින් ශිල්පීය පරිණතභාවය සමකාලිනයන් අභිබවා නිරුත්සාහයෙන් නැඟී සිටීමට හේතුª විය. ගීතයෙන් රංගනයෙන් හා නර්තනයෙන් ඇයගේම අනන්‍යතාවය ප්‍රේක්ෂකයාට හඳුනා ගැනීමට පහසු වී ඇත.

දකුණු පළාතේ සංගීත සංදර්ශනයකට සහභාගි වී නැවත මීගමුවෙ සිය නිවහන කරා පැමිණෙද්දී 1978 ඔක්තෝබර් 28 වෙනි දනි ජාඇල තුඩැල්ලේදී රිය අනතුරකින් රුක්මණී දේවිය මිය ගියාය. එම ස්ථානයට ආසන්නනයේ ඇයගේ ජීවී සිරුරට බොහෝ සේ සමාන වූ ශ්වේත වර්ණ ආලේපිත පිළිරුවක් මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාපිත කර තිබේ. එය ජාතික වස්තුවක් ලෙස සැලකිය හැකි අග්‍රගණ්‍ය කලා ශිල්පිණියකට කරන ලද ගෞරව ප්‍රණාමයකි.

නව කලාකරුවෝ මෙන්ම නව පරපුරේ බොහෝ දෙනා කලා ක්ෂේත්‍රයට පුනරදයක් ඇති කළ රුක්මණී දේවි වැනි ජනප්‍රිය කලාකාරිණියන්ගේ නම පවා නොදනිති. ඇයගේ, අරුත්බර, කර්ණ රසායන ගීත බොහෝ ගණනක් ඇත. එවැන්නක් කලාතුරකින් හෝ විද්්‍යුත් මාධ්‍යයකින් හෝ විකාශනය කිරිමක් සිදු නොකරයි.

ලංකාදීප පුවත්පතින් සංවිධානය කරනු ලැබූ ‘දීපශිඛා’ සම්මානයෙන් රුක්මනී දේවි පිදුම් ලැබුවාය. ජාත්‍යන්තර චිත්‍රපට සඟරාවක් වන භාරතයේ ෆිල්ම් ෆෙයාර් විදේශීය සඟරාවේ මුල් පිටුවේ ඇගේ ඡායාරූපයක් පළ කිරීමෙන් සිනමා හා ගායන ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ඨ සේවය අගයමින් උපහාර දක්වා ඇත.