වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ඇමතිගේ අස්සනින් එක ලියුමක් හෝ පෙන්නුවොත් මම චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කර ගන්නවා

ඇමතිගේ අස්සනින් එක ලියුමක් හෝ පෙන්නුවොත් මම චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කර ගන්නවා

DS අධ්‍යක්ෂ සුනෙත් මාලිංග අභියෝග කරයි

'නිදහසේ පියා - DS' නිදහස් වීමට ඇත්තේ තවත් සති තුනකට අඩු කාලයකි. චිත්‍රපට පෝලිම් පැන, බලය අයුතු ලෙස යොදා තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරන බවට ඇති චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එහි අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා සරසවියට පැමිණියේය. මේ ඔහු අප හා කී කතාවයි.

පළමුවෙන්ම අපට කියන්න මේ වගේ චිත්‍රපටයක් කරන්න හිතුවේ ඇයි කියලා?

එක හේතුවක් ලංකාවේ මීට කලින් දේශපාලනික චරිතාපදානයක් කර නැති වීම. ඒ වගේම අධ්‍යක්ෂවරයකු ලෙස මම අලුත් විදිහේ ප්‍රවර්ගවලට චිත්‍රපට හදන්න තිබෙන කැමැත්ත. අනෙක ලින්කන්, ඝාන්ධි ගැන ඒ රටවල කළා වගේ නිදහසට අවුරුදු 70 ක් සපිරෙන මේ වසරේ අපේ නිදහස ඩීඑස් චරිතය ගොනු කරන නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙනෙයි කියා හිතුවා.

ඒ සඳහා පර්යේෂණ කළාද?

අදහස ආ වෙලාවේ ඉඳන්ම මෙය අභියෝගයක් බව සහ තාක්ෂණ ශිල්පීන් පවා මේ වැන්නක් සම්බන්ධ අත්දැකීම් නැති බව දැන සිටියා.ඉතින් ඒ වෙද්දි ඩී එස් සේනානායක ගුණානුස්මරණ කමිටුවෙන් කර තිබූ පොත මූලාශ්‍ර කර ගත්තා. ඊට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් උප චරිත පිළිබඳ පර්යේෂණ කරන්නත් තව එවැනි කටයුතු රැසක් එක්ක පිටපත නිම කරන්න අවුරුදු එකහමාරක් පමණ ගියා. ඒ පිටපතත් තව අයට යවලා උපදෙස් ගත්තා. ඒත් දැන් නිමකර තිබෙන චිත්‍රපටයේ අඩංගු වන්නේ ලියූ කතාවෙන් බාගයක් පමණ තමයි. මොකද එය කරගෙන යද්දි අපට තේරුණා පැය හතරක පමණ චිත්‍රපටයක් හැදෙනවා කියලා. එය සංස්කරණය කළාම පැය 2.29ක් ආවා. එයත් වැඩියි කියා අදහස් ආ නිසා තව කොට කරලා අපේ රටට ගැලපෙන්න පැය 2.09ක චිත්‍රපටයක් තමයි මහජන ප්‍රදර්ශනයට තිබෙන්නේ.

මේ චිත්‍රපටයේ චරිත උප සිරැසි මඟින් හදුන්වා දීමෙන් එය වාර්තා වැඩසටහනක ස්වරූපයට බරවන අවස්ථා තිබෙනවා?

මුලින් කීවා වගේ මෙය ලංකාවේ පළමුවැනි දේශපාලන චරිතාපදාන චිත්‍රපටය. ඒ නිසා අපට මීට කලින් උදාහරණයක් නෑ. ඒත් ලෝකේ එවැනි චිත්‍රපට බැලුවම 'ලින්කන්' චිත්‍රපටයෙත් එහෙම චරිත අකුරින් හඳුන්වා දෙනවා. මොකද චරිත විශාල සංඛ්‍යාවක් එක්ක කතාවක් හදද්දි තනි තනි චරිත ගොඩනඟන්න වෙලාව මදි. මේ චිත්‍රපටයේ ඉන්න ජේ ආර්, බණ්ඩාරනායක වගේම ලේක්හවුස් එක පටන් ගන්න ඩී ආර් විජේවර්ධන වැනි චරිත ගැන ඕනෙ නම් වෙනම චිත්‍රපටයක් ගානේ හදන්න පුළුවන්. ඒ නිසා ප්‍රේක්ෂකයාට ඔවුන් මතක හිටින්න ලින්කන් චිත්‍රපටයට ස්පිල්බර්ග් යෙදූ ක්‍රමයයි අපි භාවිත කළේ.

මෙය නිෂ්පාදනය ගැන කීවොත්?

මෙය ලක්ෂ 900ක චිත්‍රපටයක්. නිෂ්පාදක වරු 10දෙනෙකු සම්බන්ධ වෙලා මුදල් යෙදුවේ.

විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඉන් එක් නිෂ්පාදකයෙක්?

එය හරි. එතුමා තමයි මෙහි මුල් නිෂ්පාදකවරයා. ඔහු මේ වැඩේට මුල පිරුවේ නැත්නම් මෙය නොකෙරෙන්න තිබුණා. අප තේරුම්ගත යුතු කාරණය, ලංකාවේ චිත්‍රපට නිෂ්පාදකවරු හරි අඩුයි හොයා ගන්න. විශේෂයෙන් මේ වගේ ලොකු පිරිවැයක් යෙදූ නිෂ්පාදකවරු ආයේ සිනමා කර්මාන්තයට අත ගැසුවෙත් නෑ.

හැබැයි ඔබට චෝදනාව එල්ල වන්නෙත් ඇමතිවරයා මැදිහත් වෙලා ඉන්න නිසා?

ඇත්තෙන්ම මේ චිත්‍රපටය හදන වෙලාවේ විෂය භාර අමාත්‍යවරයා ඔහු නෙවෙයි. එවකට එතුමා අධිකරණ අමාත්‍යවරයා. මගේ පළමු චිත්‍රපටය සිංහාවලෝකනය 2010දෙසැම්බර් 25 වැඩ ඉවරකරලා 2011ජනවාරි 14 රිලිස් කළා. ඒ වෙලාවේ ඊඒපී මණ්ඩලයේ චිත්‍රපට දෙකක පෝලිමක් තිබුණා. උදයකාන්ත වර්ණසූරියගේ 18 වැනි චිත්‍රපටය 'චැලෙන්ජර්' සහ සරත් වීරසේකරගේ පළමුවැනි චිත්‍රපටය ගාමණි. ඒත් ඊඒපි මණ්ඩලය තීරණය කරනවා 2011 ලෝක කුසලානය නිසා මගේ චිත්‍රපටය පෙන්වනවා කියලා. හැමදාමත් මේ තීරණය ගත්තේ ප්‍රදර්ශන මණ්ඩල විසින් කියන දේ එයින් පැහැදිලි වනවා. අනෙක ලංකාවේ වැඩ අවසන් කළ චිතපට අසූ ගණනක් තිබෙනවා.

මගේ 2011, 2013 සහ 2015 තැනූ වෙනත් චිත්‍රපට 3කුත් ඒ අතරට ඇතුළත් වනවා. හැබැයි ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික කිසිම ආයතනයක් මේ චිත්‍රපට වෙනුවෙන් නිල පෝලිමක් හදලා නෑ. එහෙම පෝලිමක් නැති තැනක පෝලිම් පනින්න බෑ. වර්තමාන විෂයභාර ඇමතිවරයාගේ මේ සම්බන්ධ දායකත්වය ගැන කීවෝත් ඔහු මේ සම්බන්ධව චිත්‍රපට සංස්ථාවට හෝ වෙනත් කිසිම රාජ්‍ය ආයතනයකට හෝ එතුමගේ අස්සනින් හෝ නිල නිවේදනයකින් කිසිම ලියුමක් දීලත් නෑ, පෝස්ටර් කටවුට් සඳහා දායක වෙලත් නෑ, ඔහු අපෙන් අහන්නෙත් නෑ චිත්‍රපටය එන්නේ කවද්ද කියලාවත්. මෙය සෙප්ටෙම්බර් ස්ටූඩියෝ ආයතනය විසින් නිපදවූවක්. අපි තමයි තීරණය කරන්නේ, ලියුම් දිලා තිබෙන්නේ මේවා ගැන. මම අභියෝග කරනවා ඇමතිගෙන් ආ එක ලියුමක් හෝ මිනිට් එකක් පුළුවන් නම් පෙන්වන්න. මම මේ චිත්‍රපටය නොපෙන්වා ඉන්නවා.

අප අගය කළ යුතු දේ ලංකාවේ නිෂ්පාදකවවරු අඩු වෙලාවක ඔහු කිසිදු මූල්‍ය වාසියකින් තොරව මෙවැනි වැඩක මූලිකත්වය ගන්න ඉදිරිපත් වීමයි. එනිසායි මේ රටේ නිදහස ලැබුණේ කොහොමද කියලා මෙතෙක් කතා නොවුණු විෂයයකට අපට අත තියන්න පුළුවන් වන්නේ. බොරු චෝදනා එල්ල නොකර ඒ ගැන ගරුත්වයකින් හිතන එකයි අප කළ යුත්තේ.

හැබැයි ගින්නක් නැතිව දුමක් නඟින්නෙත් නෑ නේද?

විජේදාස රාජපක්ෂ මහත්මයා සංස්කෘතික ඇමතවරයා ලෙස පත් වෙද්දි ජාතික චිත්‍රපට සංස්ථාව තිබුණේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිවරයා යටතේ. ඒ වෙලාවේ තමයි අපි චිත්‍රපටය ජාතික චිත්‍රපට සංස්ථාවේ මණ්ඩලය යටතේ දාන්න තීරණය කරන්නේ. පසුව ජාතික චිත්‍රපට සංස්ථාව සංස්කෘතික අමාත්‍යාංශය යටතට ගන්නවා. එය අපගේ ප්‍රශ්නයක් නොවේ. ඊට පස්සේ විජේදාස ඇමතිවරයා යම් පොතක්, වේදිකා නාට්‍යයක් සහ යම් ගුවන් විදුලි වැඩසටහනක් පිළිබඳ තහනමක් නිකුත් කරන්න පියවර ගත්තා. ඒ නිසා තමයි පිරිස කියන්න ගත්තේ ඇමතිවරයා විසින් නිෂ්පාදනය කළ චිත්‍රපටයක් තිබෙනවා කියලා. මේ දුමේ ගින්න තිබෙන්නේ එතැන. එය වෙනම ඒ අය විසඳ ගතයුතු ප්‍රශ්න මිසක චිත්‍රපටයට කිසිසේත් අදාළ නෑ. ඔය මාධ්‍ය සාකච්ඡාවල මේ චිත්‍රපටය පෝලිම් පැන්නා කියලා කතා කරපු කිසිකෙනෙක් මේ රටේ රාජ්‍ය හෝ පෞද්ගලික මණ්ඩලයක චිත්‍රපට පෝලිමක් නෑ කිය දේ දන්නෙත් නෑ කියලයි මට කියන්න තියෙන්නේ.

එහෙම නම් මේ තරම් පෝලිම ගැන කතාවෙන්නෙ ඇයි?

එහෙම පෝලිම ගැන කතා කරනවා නම් වර්තමානයේ ආ අනෙක් චිත්‍රපට ගැනත් කියන්න ඕනා. උදාහරණයකට ගෝල් ෂූටින් පටන් ගන්නේ අපේ ඩීඑස් පසු නිෂ්පාදන කටයුතු කළාටත් පස්සෙ. ඝරසර්පට පස්සේ එන්න නියමිත චිත්‍රපටය තවම සමීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කරලත් නෑ. එයින් මම කියන්න උත්සාහ කරන්නෙ නෑ මේ එක චිත්‍රපටයක්වත් ආපු එක හෝ එන එක වැරැදියි කියලා. මම කියන්නේ පෝලිමක් තියනවාය කියන අයටයි. පෝලිමක් නැත්නම් වැඩ ඉවර කරන ඕන චිත්‍රපයකට මණ්ඩලය විසින් තීරණය කරනවා නම් ප්‍රදර්ශනය කරන්න පුළුවන්.

හැබැයි හැම වෙලේම ඔය පෝලිම් පැන්න කතා තිබුණා. එහෙනම් අධ්‍යක්ෂවරයෙක් විදිහට 2010 මම සිංහාවලෝකනය එක්ක ඇවිත් තියෙන්නේත් පෝලිම පැනලා. හැබැයි මම දැනුවත්ව එදා පෝලිමක් තිබුණේ නෑ.

එතකොට අර චිත්‍රපට 80?

මමත් ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයෙක්. අපි හැම මාසෙකම රැස් වෙලා මේ චිත්‍රපට ගැනත් කතාවෙනවා. ඒවාට කුමක් කළ යුතුද යන වගකීම ජාතික චිත්‍රපට සංස්ථාව ගත යුතු තීරණයක්. අපේ සංසදය වගේම, නිෂ්පාදකවරුනගේ සංසදය, ප්‍රදර්ශකයන්ගේ සංසද නොයෙක් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒත් ක්‍රියාත්මක වන මට්ටමේ නෑ. එය වෙනම ප්‍රශ්නයක්.

පෞද්ගලික මණ්ඩල සහ සංස්ථාව අතර ඇති අරගලය?

ජාතික චිත්‍රපට සංස්ථාවට පෞද්ගලික මණ්ඩල පවරා ගැනීමක් මෑතකදී කළානේ. එයට විරුද්ධව තහනම් නියෝගයක් ගෙනා නිසා සුපුරුදු විදිහට පෞද්ගලික මණ්ඩල තවමත් කටයුතු කරනවා. චිත්‍රපට සංස්ථාව වෙනම මණ්ඩලයක් ලෙස කටයුතු කරනවා. නඩුව අවසන් වෙන්න ඕන තීරණය කරන්න ජාතික චිත්‍රපට සංස්ථාව කෙබඳු ආකාරයකින් බෙදාහැරීම් කටයුතුවලට මැදිහත් වේවිද යන්න පිළිබඳව. හැබැයි මොනවා හෝ ආකාරයකින් බෙදා හැරීම ඉක්මනින්ම ක්‍රමවත් නොකළොත් අර 80 තව වැඩි වෙයි.

ඔබේ චිත්‍රපටය දැන් ප්‍රදර්ශනයට සූදානම්ද?

ඔව්. බොහෝ විට ලංකාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙද්දි තමයි දැන ගන්නේ මෙහෙම එකක් ආවා කියලා. ඒත් දැන් අපි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට නිපදවලා පෙර අවධානයක් යොමු කරන්න කටයුතු කරනවා. එයින් තමයි චිත්‍රපටය සාර්ථක කරගන්න පුළුවන්. වෙළෙඳ උපක්‍රමය සමහර විට තරමක් වෙනස් කරන්න වෙයි. හැබැයි අපි මෙය දෙමළ බසට පරිවර්තනය කරනවා.

අපි යාපනේ උදේවරුවේ දෙමළ බසින් මංගල දර්ශනය පවත්වලා එදිනම සවස කොළඹදී සිංහල මාධ්‍ය මංගල දර්ශනය පවත්වනවා.