වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




දංකුඩ බණ්ඩා පස්සේ අලි පැටියෙක් පන්නලා

දංකුඩ බණ්ඩා පස්සේ අලි පැටියෙක් පන්නලා

ඔනෙල් දම්සත්

දංකුඩ බණ්ඩා ටෙලි නාට්‍යයේ 'දංකුඩ බණ්ඩා' අදටත් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වන්නේ ඒ චරිතයට පණ පෙවූ පොඩිත්තා නිසාය. ඔහු නමින් ඔනෙල් දම්සත්. දංකුඩ බණ්ඩා චරිතය රඟපෑ පුංචි ඔනෙල් පසුගිය දවසක සරසවියට ගොඩ වැදුණා. ඒ ඔහුගේ රඟපෑම් වගේම නවතම කලා තොතුරු ගැන ඔබ දැනුම්වත් කරන්නයි.

ඔනෙල් කියා ඔබව අමතන්නද? 'දංකුඩ බණ්ඩා' නමින් අමතන්නද?

රටේ හුඟක් දෙනෙක් මාව දන්නේ දංකුඩ බණ්ඩා නමින්. ඔනෙල් නමින් දන්නේ පාසලේ මිතුරන් හා මගේ සමීපතම ඥාතීන් විතරයි. කොහොම ඇමතුවත් මම සතුටින් එය බාර ගන්නවා. දැන් නම් පාසලේදීත් මට යාළුවො ගුරුවරු ආදරේට 'බණ්ඩා' කියනවා. (ඔනෙල් සිනාසෙයි).

දංකුඩ බණ්ඩා චරිතය ගැන කතා කළොත්?

එය තමයි 'දංකුඩ බණ්ඩා' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය. ගමක හැදිලා වැඩිලා ගමේ යාළුවො සමඟ එක්කාසු වෙලා පාසලෙත් ඉතා හොඳින් ඉගෙන ගෙන ගමටම සේවයක් කරන චරිතයක් තමයි දංකුඩ බණ්ඩා කියන්නේ. ගමේම මිනිස්සු දංකුඩ බණ්ඩට ආදරෙයි. කැමැතියි. එය ලොකු සතුටක්.

'දංකුඩ බණ්ඩාගේ' පවුලේ තොරතුරු?

'දංකුඩ බණ්ඩාට' ඉන්නේ අම්මයි තාත්තයි, සමුලි නංගියි විතරයි. අම්මා ලෙස රඟපාන්නේ මේධා ජයරත්න නැන්දයි තාත්තා ලෙස ධර්මපි‍්‍රය ඩයස් මාමයි. නංගි ලෙස තරුෂියි මා සමඟ රංගනයේ යෙදුණා.

'දංකුඩ බණ්ඩා' ඔබේ පළමු ටෙලි නාට්‍යයද?

ඔව්. මීට පෙරාතුව චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණත් එය තවමත් තිරගත වෙලා නැහැ.

කොහොමද ඔබ 'දංකුඩ බණ්ඩා' ටෙලි නාට්‍යයට එක්කාසු වෙන්නේ?

පුංචි කාලෙ ඉඳලාම කලාවට ලොකු ඇල්මක් තිබුණා. ෆේස්බුක් එකේ නාට්‍යයකට ළමා නළුවන් ඕන කියලා දැන්වීමක් යොදා තිබුණා. ළමයි දාහක් පමණ අතුරෙන් තමයි මේ නාට්‍යයට මාව තේරුණේ. ර්‍ථතභඵ ර්‍ණදඥ ප්‍රඩක්ෂන් ආයතනයේ මාලතී විජේසිංහ මහත්මිය තමයි මේ චරිතයට මාව තෝරා ගත්තේ.

ඒ වෙනුවෙන් වැඩමුළු, පරීක්ෂණ පැවැත් වුණාද?

ඔව්. අපිට පුහුණු වැඩමුළු පැවැත් වුණා. මුලින්ම ඒ අය ස්ක්‍රිප්්ට් එකේම කොටසක් චරිත විදිහට බෙදා දී අපිට දෙබස් කියන්න කිව්වා. මට රඟපාන්න ලැබුණු 'බණ්ඩා' චරිතයට තමයි මට දෙබස් කියන්න පුහුණුවට ලැබුණෙත්. ඉන් පසුව වර්ක් ෂොප් තියලා සම්මුඛ පරීක්ෂණ දෙක තුනකින් පසුවයි මාව තෝරා ගත්තේ.

ඔබට කැමරාව ඉදිරියේදී බයක් දැනුණේ නැත්ද?

කිසිම බයක් දැනුණේ නැහැ. සාමාන්‍ය විදිහට රඟපෑවා.

මුලින්ම රූගත කළ දර්ශනය මතකද?

ඔව්. එයට බයක් දැනුණේ නැතිවම මම අනුගත වුණා. අපිට මුලින්ම කරන්න තිබුණේ ඒකා පිට උඩ එකා නැගලා 'පොඩ්ඩො ඔයාට මොනවද පේන්නේ?' කියන දෙබස කියන්න. ඒ අනුව මගේ පිට උඩ රංජි, රංජිගේ පිට උඩ පොඩ්ඩා. මම තමයි යට ඉඳගෙන ඒ දෙබස අහන්නේ. එය සාර්ථකව රූගත කරන්න පුළුවන් වුණා.

ඔබට ටෙලි නාට්‍ය කණ්ඩායමෙන් ලැබුණු සහාය?

විශාල සහායක් ලැබුණා. ඒගොල්ල ඩයලොග් කියලා දෙනවා. වැරැදුණාම කිසිම දෙයක් කිව්වේ නැහැ. ආදරයෙන් උදව් කළා.

සැබෑ දිවියේදීත් ඔබ දංකුඩ බණ්ඩා වගේද?

නැහැ. මමත් අහිංසකයි. ඒත් මම දංකුඩ බණ්ඩා චරිතයට ආසයි.

ඔබේ පදිංචිය හා පවුලේ තොරතුරු?

මම ජීවත් වෙන්නේ කොළඹ ඔරුගොඩවත්තේ. අම්මයි, තාත්තයි මමයි විතරයි පවුලේ ඉන්නේ. තාත්තා අසංක ඉන්ද්‍රජිත්. අම්මා අමිලා චතුරාංගනී.

ඔබ ඉගෙනුම ලබන්නේ?

කොළඹ මහානාම විදුහලේ හත්වන ශ්‍රේණියේ.

ඔනෙල්ට වඩා දැන් දංකුඩ බණ්ඩා ජනප්‍රියයි නේද?

ඔව් මට හුඟ දෙනෙක් බණ්ඩා කියනවා. 'දංකුඩයා' කියනවා. ඔනෙල්ට වඩා බණ්ඩාට රසිකයින් ආදරෙයි.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

හොඳට රඟපානවා කියලා කියනවා. හැමෝගෙන්ම යන යන තැන ආදරය ලැබෙනවා.

දංකුඩ බණ්ඩා නාට්‍යයේ තේමා ගීතය ගයන්නෙත් ඔබයි?

ඔව්. ඒ අවස්ථාව මට ලබා දුන්නේ දිනේෂ් සුබසිංහ මාමා. ඒ වගේම මේ නාට්‍යයේ අධ්‍යක්ෂක ප්‍රියන්ත ශ්‍රී සමරකෝන් මාමා වගේම නිෂ්පාදකවරිය මාලතී විජේසිංහ මහත්මිය ආදරයෙන් මතක් කරනවා.

ඔබේ අනාගත බලාපොරොත්තුව කවුරුන් වෙන්නද?

කවදා හරි ෆයිලට් කෙනෙක් වෙන්නට තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

දංකුඩ බණ්ඩා රූගත කිරීම් කළේ කෙහේද?

රූගත කිරීම් කළේ පොළොන්නරුව ප්‍රදේශයේයි. එහේ තිබුණු ලස්සන පරසරය ගම්මානයකට ගැළපෙන නිසා එහි තමයි රූගත කිරීම් සිදු කළේ.

මොනවද එහිදී සිදු වූ අමතක නොවන සිදුවීම්?

අලි පැටියෙක් පස්සෙන් පැන්නුවා. ඒ විතරක් නෙමෙයි, වල් ඌරෙකුත් පැන්නුවා. අලියා එන එක මට තමයි මුලින්ම දැනුණේ. මම හැමෝටම කිව්වා කෑගහන්න එපා කියලා. බලනකොට පිටුපස්සෙන් කොළ පෑගෙන ශබ්දයක් එනවා. බලනකොට අලි පැටියෙක්. අපි ඔක්කොම පැනලා දිව්වා. මට මතකයි කැමරා මාමත් කැමරාව කරේ එල්ල ගෙන දුවගෙන ආවා. කැලේ මැද වල් ඌරෙක් පන්නගෙන ආවා. ඒවගේ තව තව දේවල් වුණා.

මොනවද ඒ?

මේ නාට්‍යය පටන් ගන්නේ බයිසිකල් රේස් එකකින්. මමත් බයිසිකලේ පදින්න පටන් ගත්තා. එක පාරටම චේන් එකට කකුල අහු වුණා. බයිසිකලෙන් ඇදගෙන වැටුණා. දණහිස පවා හොඳටම තුවාල වුණා. ඒ වගේම පළවෙනි වතාවට කුඹුරක් කොටන්නත් මට ලැබුණා. ඇලේ දොලේ මඩ නාන්න, කොළඹ දරුවෙකුට හිතන්නවත් බැරි දේවල් රූගත කිරීම් කළ පොළොන්නරුවේදී මම අත් වින්දා. හරිම සතුටක් දැනුණා. තනිවම ඇලේ බෝට්ටු පදින්න, පාරු පදින්න මට තිබුණා. මේ හැම දේම සාර්ථකව කරන්න මට හැකි වුණා.

මොකක්ද ඔබ රඟපාන චිත්‍රපටය?

'විශ්ම'. එහි ප්‍රධාන චරිතය විශ්ම තමයි මම රඟපාන්නේ.

'විශ්ම කියන්නේ මොන වගේ චිත්‍රපටයක්ද?

විශ්ම නගරයේ පෝසත් පවුලක ළමයෙක්. ඔහු තාත්තව හොයා යන ගමනක් ගැන කියෙවෙන මැජික් පිරුණු චිත්‍රපටයක් එය.

කවුද ඔබේ හොඳම යාළුවා?

අම්මයි තාත්තයි හැරුණු කොට මගේ සුරතල් බල්ලා 'බෲනෝ'.

මොනවද ඔබේ විනෝදාංශ?

ලංකාවේ පරණ කාසි වගේම පිටරටවල කාසි එකතු කරන එක වගේම ලංකාවේ ගිනි පෙට්ටි වර්ගත් මම බොහොම විනෝදයෙන් එකතු කරනවා.

කවුද ඔබ ස්තූති කරන පිරිස?

මේ නිර්මාණයට මාව දයක කර ගත් හැම දෙනාටම වගේම මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන්ට, මිතුරු මිතුරියන් හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.

කලාවේ අනාගත බලාපොරොත්තු?

ගායනයෙන් වගේම රංගනයෙන් ඉදිරියට යන්න ආසාවක් තිබෙනවා.