වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




තිරයේ එක්නොවූ ඉන්දියාවේ දිලිප්-ආශා

තිරයේ එක්නොවූ ඉන්දියාවේ දිලිප්-ආශා

ශ්‍රී ලංකාවේ ගාමිණි-සුමනා

හින්දි සිනමාවේ එදා මෙදා තුර බිහිවූ වඩාත් ශ්‍රේෂ්ඨතම රංගන ශිල්පියා ලෙස සැලකෙන්නේ දිලිප් කුමාර්ය,ඒ හැරුණු විට අමිතාබ් බච්චන් හා ෂාරුක් ඛාන් දෙදෙනාද යුගයන් වර්ණවත් කළ ශිල්පින් දෙදෙනෙකු ලෙස සැලකේ,වරක් එරට සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ මුල් කවරය සැරසී තිබුණේ දිලිප් කුමාර්,අමිතාබ් බච්චන්,ශාරුක් ඛාන් යන යුග තුනක අංක එකේ නළුවන් තිදෙනාගේ ජායාරුපයකිනි,ෂාරුක් ඛාන් මෙම අවස්ථාව හැඳීන්වුයේ මෙය තමාට සුවිශේෂී අවස්ථාවක් ලෙසය.මේ වනවිට වයස අනුව ද ඉක්මවා සිටින දිලිප් කුමාර් 1944 සිට හින්දි සිනමාවේ කැපී පෙනුණු අතර ඔහු අවසන් වරට චිත්‍රපටයක් සඳහා පෙනී සිටියේ 1998 වසෙර්ය.ඔහු එදා රඟපෑ චිත්‍රපට අතරින් ආන්,අන්දාස්,දෙව්දාස්,මධුමති යන චිත්‍රපට කැපී පෙනුණු චිත්‍රපට කිහිපයකි,එදා මෙදා තුර බොලිවුඩ් සිනමාවේ ප්‍රධාන චරිත රඟපෑ නිලියන් වන නර්ගිස්,මධුබාලා,වෛජන්තිමාලා,මිනාක්ෂි,වහිඩා රෙහෙමාන්,නුටාන්,කාමිණි කව්ශාල් ,සයිරා භානු,පද්මිනි,මුම්ටාස්,හේමා මාලිනි,ලීනා චන්ද්‍රවාකර්,ශර්මිලා තාගෝර්, රාඛි වැනි නිළියන් රැසක් සමග තම සිනමා දිවියේ ඔහු ප්‍රධාන චරිත නිරුපණය කර තිබීමද මෙහිදී අමතක කළ නොහැක.

ඉහත නම් සඳහන් කළ නිලියන් අතරින් හැට හැත්තැව දශකවල හින්දි සිනමාවේ ප්‍රධාන චරිත රඟපෑ නිලියන් අතර අමතක නොවන නමකි ආශා පරේක්, මෙරට ද තිරගතවූ ආන් මිලෝ සජ්නා, කති පතන්, ලව් ඉන් ටෝකියෝ,ප්යාර් කා මෝසම් යන චිත්‍රපට ඇය ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපට අතර වේ.ආශා තම යුගයෙහි ප්‍රධාන නළුවන්වූ ශම්මි කපුර්,දේව් ආනන්ද්,රාජේන්ද්‍ර කුමාර්,ධර්මේන්ද්‍ර,ජෝයි මුකර්ජි,ජිතේන්ද්‍ර,රාජේශ් ඛන්නා,සුනිල් දත්,මනෝජ් කුමාර් වැනි නළුවන් සමග ප්‍රධාන චරිත නිරුපනය කළ අතර අවස්ථා කිහිපයකම ෆිල්ම් ෆෙයාර් සම්මාන සඳහා නිර්දේශ වූ ඇය 1971 වසරේ කති පතන් චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළි චරිතය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මාන අත් කර ගැනීම කැපී පෙනුණු සිදුවීමකි, පසුගිය දිනෙක 'හිට් ගර්ල්' නමින් තම චරිතාපදානය එළිදැක්වූ ඇගේ සිනමා දිවියේ එක්තරා අඩුවක් වශයෙන් සැලකෙනුයේ බොලිවුඩ් සිනමාවේ මහා රංගනවේදියා වන දිලිප් කුමාර් සමග චිත්‍රපටයක රඟපෑමට ඇයට අවස්ථාවක් නොලැබිමය, මිට කෙටි කලකට පෙර ඇය දිලිප් කුමාර් සමග එක්ව රඟ නොපෑම සම්භන්ධයෙන් විමසූ විට "මම දිලිප් ට කැමති නෑ" යනුවෙන් ඇය පවසා තිබුණු බවට වාර්තා වී තිබිණි, මෙය මහත් ආන්දෝලනයට ලක්වී තිබු නමුත් පසුව ඇය ප්‍රකාශ කර තිබුණේ තමා එවන් ප්‍රකාශයක් නොකළ බවත් එය එම පුවත ප්‍රකාශ කර තිබු මාධ්‍යවේදියා විසින් ඔහුගේ සිතේ තිබු අදහසක් පිටතට දමා තිබු බවත්ය,එමෙන්ම දිලිප් කුමාර් හා ඔහුගේ බිරිඳ වන සයිරා බානු සමගද තමා ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවද වැඩි දුරටත් පවසා තිබු ආශා වර්තමානයේ හෝ අවස්ථාවක් උදා වුවහොත් දිලිප් කුමාර් සමග රඟපෑමට බලාපොරොත්තුවෙන් සිටින බැව් පවසති.

බොලිවුඩ් සිනමාවේ දිලිප් කුමාර් හා සමාන කරන විට ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර බිහිවූ අග්‍රගණ්‍ය නළුවා ගාමිණි ෆොන්සේකාය, මෙරට සිනමාවේ විශේෂයෙන්ම ඔහුගේ යුගයේ ප්‍රධාන චරිත රඟපෑ එනම් හැටේ දශකයෙහි ජිවරානි,සන්ධ්‍යා කුමාරි,විජිත මල්ලිකා,අනුලා කරුණාතිලක,එඩ්නා සුගතපාල,පුණ්‍යා හින්දෙනියවැනි නිලියන් සමගද හැත්තැව දශකයෙහි කැපී පෙනුණු මාලිනි,ශ්‍රියානි,නීටා,සෝනියා දිසා,ස්වර්ණා කහවිට,ගීතා කුමාරසිංහ,විනා ජයකොඩි,ජෙනිටා සමරවීර ,ස්වර්ණා මල්ලවාරච්චි,(ස්වර්ණා මල්ලවාරච්චි චංචල රේඛා චිත්‍රපටයේ ගාමිණිගේ පෙම්වතිය ලෙස රගපෑවාය)මානෙල් වානගුරු,ෆරීනා ලායි වැනි ප්‍රධාන චරිත නිරුපනය කළ නිලියන් සමගද චරිත නිරුපනය කිරීමේ අවස්ථාව ඔහු උදා කර ගත්තේය.

හැත්තැව දශකයෙහි ප්‍රධාන චරිත නිරුපණය කළ කලින් නම් සඳහන් කළ නිළියන් අතරට එක්වන තවත් ප්‍රධාන පෙළේ නිළියකි සුමනා අමරසිංහ, එවකට ප්‍රධාන චරිත නිරුපණයෙහි කැපී පෙනුණු රෝයි ද සිල්වා,විජය කුමාරතුංග,තිස්ස විජේසුරේන්ද්‍ර,ඔස්වල්ඩ් ජයසිංහ,ටෝනි රණසිංහ,ලයනල් දැරණියගල,එච්.ආර්.ජෝතිපාලවැනි නළුවන් සමග ප්‍රධාන චරිත නිරුපනය කිරීමේ අවස්ථාව ඇයට අත් විය,එමෙන්ම මෙම චිත්‍රපට සාර්ථක වූ බවද නොකියා බැරිය,කෙසේ නමුත් ඇය සමඟ ප්‍රධාන චරිත රඟපෑ නළුවන්ගේ නාම ලේඛනය දෙස බලන විට එහි යම් අඩුවක් ඇති බව පෙනී යන කරුණකි,ඒ සිනමා සක්විති ගාමිණි සමග ඇය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපා නොමැති බවය,හැටේ දශකය අග පමණ තිරයට ආ රෑන ගිරව් චිත්‍රපටයේ ගාමිණි සමග ඇය රුප රාමුවක දැක ගැනීමට ලැබුණද ඇය ඔහු සමග ප්‍රධාන චරිතයක් රඟපා නැත.

නිල් රුපසිංහ,එම.එස්.ආනන්දන්,ජෝ දේව් ආනන්ද් මෙම දෙදෙනාම යොදාගෙන චිත්‍රපටනිර්මාණය කළ අධ්‍යක්ෂකවරුන් අතර පෙරමුණේ සිටි අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකි,නමුත් ඔවුන් එක් අයෙකු හෝ ගාමිණී හා සුමනා ප්‍රධාන චරිත සඳහා යොදාගෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බවක් නොපෙනේ,නිල් රුපසිංහගේ පළමු චිත්‍රපටය වූ දැන් මතකද චිත්‍රපටයෙහි ගාමිණි රඟ නොපෑ අතර එහි සුමනා චරිතයක් නිරුපණය කළාය, නීල්ගේ හතර දෙනාම සුරයෝ,ආදරේ හිතෙනවා දැක්කම,යකඩයා වැනි ගාමිණි රඟපෑ සුමනා අවස්ථාවක් හිමි නොවිණි.එම.එස්.ආනන්දන්ගේ මගේනංගී ශ්‍යාමා චිත්‍රපටයෙහි ශ්‍යාමා ආනන්ද හැරුණු විට අනෙක් ප්‍රධාන කාන්තා චරිතය වුවේ සුමනායි.නමුත් එම.එස්.ආනන්දන් ඉන්පසු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල ඇයට චරිත නොවිය.ජෝ දේව් ආනන්ද් යනු මෙරට සිනමාවේ රෝයි-සුමනා යුගය වඩාත් ස්ථාපිත කළ අධ්‍යක්ෂකවරයා ලෙස හැඳීන්වුවහොත් එය අසත්‍යයක් නොවේ, සුනේත්‍රා, ඔබයි මමයි, සුකිරි කෙල්ල යන ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල ප්‍රධාන නළු නිළි චරිත නිරුපනය කළේ ඇය හා රෝයි ද සිල්වාය, නමුත් සුකිරි කෙල්ල චිත්‍රපටයන් පසු ජෝ දේව් අධ්‍යක්ෂණය කළ මිනිසුන් අතර මිනිහෙක් චිත්‍රපටය සඳහා ඔහු ගාමිණි ෆොන්සේකා තෝරා ගත් අතර ඔහුගේ කලින් චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑ රෝයි ද සිල්වාද ප්‍රධාන චරිතයක් සඳහා තෝරා ගත් නමුත් ඔහුගේ ප්‍රධාන නිළිය වූ සුමනා හට එවර අවස්තාව හිමි නොවිය,එමෙන්ම එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිත දෙක සඳහා ඔහු තෝරා ගත්තේ ගීතා කුමාරසිංහ හා විනා ජයකොඩිය.

එමෙන්ම රෑන ගිරව් චිත්‍රපටය තිරයට ගෙන ආ ධර්ම ශ්‍රී කල්දේරාද ඉන්පසු මෙම දෙදෙනා වෙන් වෙන් වශයෙන් ප්‍රධාන චරිත සඳහා යොදා ගෙන චිත්‍රපට අධ්‍යක්ෂණයකළේය,උදාහරණ වශයෙන් ගත් කල ඔහුගේ මී මැස්සෝ චිත්‍රපටය සඳහා ගාමිණි හා අනුලාද රත්රන් අම්මා චිත්‍රපටය සඳහා ගාමිණි හා ශ්‍රියානිද යොදා ගත් ඔහු දිපාංජලි චිත්‍රපටය සඳහා සුමනා හා තිස්ස ද යොදා ගත්තේය, එහෙත් මෙම දෙදෙනා ප්‍රධාන චරිත සඳහා එක් කර චිත්‍රපටයක් තිරයට ගෙන ඒමට සමහර විට ඔහුටද අදහසක් නොතිබෙන්නට ඇතිදැයි යන්න කිව නොහැක.