වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




වසර 14 කට පෙර බිනර මහේ මියගිය දෙමිතුරෝ ගාමිණී සහ ධර්මසිරි

වසර 14 කට පෙර බිනර මහේ මියගිය දෙමිතුරෝ

ගාමිණී සහ ධර්මසිරි

ගාමිණී ෆොන්සේකාගේ ජීවිතය ගැන දන්නා අතළොස්සක් පිරිසකගෙන් කෙනෙකි ධර්මසිරි. රාත්‍රිය ගාමිණීගේ දහවලයි. දහවල ඔහුගේ අලුයමයි. මුළු ලොව නිදිගත් මොහොතේ ඔහු අවදිව තම සමීපතමයන් සමඟ ජ්‍යෝතිෂය, දර්ශනය, දේශපාලනය, කලාව ගැන කතා කරයි. 1957 ඇති වූ ජාතිවාදී අරගල සමයේ 'සරුංගලේ' වස්තු බීජයේ මුල්ම කළල රුව ගාමිණීගේ හද ගැබ පිළිසිඳිණි.

මීට වසර 54 කට පමණ පෙර නොබිඳෙන මිතු දමක් ඇති කර ගත් මිතුරන් දෙදෙනෙක් ඒ සමීප ඇසුර, ඒ සහෝදරත්වය වසර 40 කට සීමා කොට එකම වසරේ බිනර මහේ ජීවිතයෙන් සමුගෙන වසර දාහතරක් සපිරෙයි. කලා ලොවේ මං සලකුණු තැබූ මේ කලාකාමී දෙමිතුරෝ නම් ගාමිණී ෆොන්සේකා සහ ධර්මසිරි ගමගේය.

ගාමිණීට කලින් ධර්මසිරි 2004 සැප්තැම්බර් 19 වෙනිදා අප අතැර ගිය අතර ගාමිණී හරියටම එයින් දින 11 කට පසු 2004 සැප්තැම්බර් 30 වෙනිදා ජීවිතයෙන් සමුගත්තේය.

අප ආදරයෙන් අමතන 'ගාමිණී අයියා' සහ 'ධර්මසිරි අයියා' සමීපව ඇසුරු කිරීමෙන් ලැබූ අපූරු අත්දැකීම් රැස අතුරින් කිහිපයක් මෙසේ සටහන් කරන්නේ ඔවුන් සදානුස්මරණීයව සිහිපත් කරමිනි.

ගාමිණී උපන්නේ 1936 මාර්තු 21 වෙනිදාය. ධර්මසිරි උපන්නේ 1939 ඔක්තෝබර් 04 වෙනිදාය. දෙදෙනාම සිප් සතර හැදෑරුවේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.

ගාමිණී, ධර්මසිරිගේ ඇසුර ඇති වන්නේ 1964 හරියේය. ඒ වන විට ගාමිණී 'රන්මුතු දූව', 'ගැටවරයෝ', 'ධීවරයෝ' චිත්‍රපටවල රඟපෑමෙන් ජනප්‍රියත්වයේ මුදුන් පෙත්තටම නැඟ සිටියේය. ධර්මසිරි කෙටි කතා තරඟයකින් ලංකාවෙන්ම මුල් තැනට තේරී අංකුර පත්තර කලාවේදියකු, චිත්‍රපට ගීත රචකයකු ලෙස දොරට වැඩියා පමණි. ගාමිණී ප්‍රධාන චරිතයක් රඟපෑ 'සැනසුම කොතැනද' චිත්‍රපටයේ සියලුම ගීත රචනා කිරීමේ අවස්ථාව ලැබුණේ ධර්මසිරිටය. ධර්මසිරිගේ චිත්‍රපට ගීත රචකුයකු ලෙස තිබූ ප්‍රතිභාවත්, ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයේ ප්‍රතිභාමත්ව ඔප් නැං වූයේ මේ චිත්‍රපටයෙනි. එහි එන 'සංසාර ගමනේ තණ්හා ආශා', 'සුළං කුරුල්ලේ' ගීත දෙක පමණක්ම එහි සාර්ථකත්වය මොනවට කියාපායි.

ගාමිණී සහ ධර්මසිරිගේ මේ ඇසුර රසවත් අත්දැකීම්වලින් පෝෂිත කෝෂ්ඨාගාරයක් බඳුය. ධර්මසිරි ගාමිණී ගැන ලියූ සටහනක් මා සංස්කරණය කළ 'හෙළ සිනමාවේ සක්විති' ග්‍රන්ථයේ සඳහන් වෙයි. එහි සුවිශේෂය නම් සම්මානනීය ගීත රචකයකු වූ ධර්මසිරි චිත්‍රපට ගීත රචනයට අලුතින් පිවිසෙන ගාමිණී ගැන සඳහන් කිරීමයි.

'වේලාව අලුයම දෙකට පමණ ඇත. අහසේ පෑයූ පුරා හඳ තවමත් කාන්තියෙන් බබළයි. කුඩා පොල් ගසේ අතු අග්ගිස්සෙන් බේරී ගලන සඳ රැස් දහර මිදුලේ තණ පලස මත තැවරී ඇත. අවට සියල්ල නිහඬය. කාර්මික නගරයක සේයාවකුදු මෙහි නොවේ. පාළු ගම්මානයක තනිය දුහුල් සාරි පොටකින් මෙන් අවට වෙළාගෙන ඇත.

මේ නිහඩ රැයේ අවදිව සිටින පුද්ගලයෙකි. නිවෙන දුම්වැටිය විනාඩි දෙකක පමණ විරාමයක් දී තවත් දුම් වැටියක් දල්වා ගන්නා හේ යම් කල්පනාවක නියැළී සිටී. ඔහුගේ දොතොලින් ගීයක පද වැලක් රාව නැඟේ. පරිසරයේ නිසංසල සුවය සමඟ ඔහුගේ අධ්‍යාත්මයේ සටහන් වූ වදන් පෙළකි. ලිහිල් සරල ආරකින් ඔහු අපූරු ගීයක පද වැලක් මුමුණයි.'

'බඹරිඳු බමරිඳු කුමට වඩින්නේ
වන මල් කැකුලිය සොයා වඩින්නේ
වන මල් කැකුලිය කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ'

මේ ධර්මසිරි කවියා 'මැදියම් රැයේ රසවතා' ලෙස හඳුන්වන ගාමිණී කවියා ගැන කරන හැඳින්වීමය.

ගාමිණී ෆොන්සේකාගේ ජීවිතය ගැන දන්නා අතළොස්සක් පිරිසකගෙන් කෙනෙකි ධර්මසිරි. රාත්‍රිය ගාමිණීගේ දහවලයි. දහවල ඔහුගේ අලුයමයි. මුළු ලොව නිදිගත් මොහොතේ ඔහු අවදිව තම සමීපතමයන් සමඟ ජ්‍යෙතිෂය, දර්ශනය, දේශපාලනය, කලාව ගැන කතා කරයි. 1957 ඇති වූ ජාතිවාදී අරගල සමයේ 'සරුංගලේ' වස්තු බීජයේ මුල්ම කළල රුව ගාමිණීගේ හද ගැබ පිළිසිඳිණි. නඩරාජා නම් ද්‍රවිඩ ලිපිකරුවකුගේ චරිතය පසුබිම් කොට ගොඩනැඟුණු මේ වස්තු බීජය රත්මලානේ සිරිමල් උයනේ තම නිවසට එක් රාත්‍රියක ධර්මසිරි කැඳවා ගෙන විස්තර කළේය. ගාමිණීගේ කතා වස්තුව හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසු ධර්මසිරි අතින් එහි තිර නාටකය ලිවීම ඇරඹිණි.

සරුංගලේ ආරම්භය මෙය විය. චිත්‍රපටයේ දෙමළ බසින් තිබූ දෙබස් ලියූවේ දෙමළ ලේඛිකාවක් වූ යෝගා බාලචන්ද්‍රන් විසිනි. ඒ දෙබස් ගාමිණී උච්චාරණය කළ අන්දම යෝගා විස්මයෙන් කම්පිතව බලා සිටියාය. එවකට යාපනයේ විශ්වවිද්‍යාලයයේ උප කුලපතිවරයාව සිටි මහාචාර්ය කේ. කයිලාසපති ගාමිණී දෙමළ දෙබස් කියනු අසා 'පුදුමයි ඔබ යාපනේ නඩරාජාට වඩා හොඳින් දෙමළ උච්චාරණය කරනවා.'

OCIC සම්මාන උලෙළේදී ගාමිණීට හා ධර්මසිරිට අපූරු සිදුවීමක් විය. එදා සම්මාන පිරිනැමුණේ එවකට අග්‍රාමාත්‍යව සිටි ආර්. ප්‍රේමදාස මහතා අතිනි.

'හොඳම කතා රචකයාට හිමි සම්මානය ගාමිණී ෆොන්සේකාට . . .' ප්‍රකාශයට පත් විය.

අගමැතිතුමා සම්මානය පිරිනැමීමට සූදානමින් සිටී. ඒ අසල OCIC ජාතික අධ්‍යක්ෂක ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාය.

ගාමිණී ශාලාවේ ඉදිරි අසුනක සිටියද නැඟී සිටියේ නැත. දෙවැනි වර ප්‍රකාශකයා යළිත් ගාමිණීගේ නම ඇමතීය. එවර ගාමිණී නැඟිට තම මිතුරු ධර්මසිරි දෙස බලා ඉඟි කළේය. ධර්මසිරි ද අභිනයෙන් කීවේ ගාමිණීට වේදිකාවට යන ලෙසය. ගාමිණී ඇවිද ගොස් අගමැතිතුමා අසලට ගියේය.

'අගමැතිතුමනි, මේ සම්මානය ගැනීමට මට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒක හෘද සාක්ෂියටත් විරුද්ධයි. මගේ සංකල්පය තිර නාටකයට නැඟුවේ ධර්මසිරි ගමගේ.'

'එහෙමනං ඔබ මේ සම්මානය මගේ අතින් අරගෙන ඔබේ අතින්ම ඔහුට පිරිනමන්න.'

ශාලාවෙන් නැඟුණු අත්පොළසන් හඬ මැද ධර්මසිරි අසලට ගොස් 'මෙය අයිති මට නොවේ. ධර්මෙට. මෙය පිළිගන්න' පැවසීය.

මේ බව ධර්මසිරි නොයෙක් විට පවසා ඇත්තේ ගාමිණීගේ උදාර ගති සොබා අගයමිනි. ගාමිණී සැම විටම ධර්මසිරිගේ කවිත්වය අගය කළේය. වරක් 'සහනය' නම් චිත්‍රපටය රූගත වෙද්දී එහි දර්ශනයට අදාළ ගීතයක් අලුතින් නිර්මාණය කරන්නැයි ද එය ධර්මසිරි ලවා රචනා කොට අමරදේවයන් ලවා ගායනා කරන්නැයි නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේය.

'සිහින නෙළුම් මල ජීවිත පොකුණේ' ගීතය ධර්මසිරි රචනා කළේ ඒ අනුවය. චිත්‍රපටයේ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය හා සෙසු ගීතවල තනු නිර්මාණය ද රොක්සාමි ගෙනි.

ගාමිණී හා ධර්මසිරි උතුරා ගිය මානව දයාවෙන් යුතු චරිත දෙකකි. මහා නළුවකු ලෙස සිංහ වෙස් ආරූඪ කර සිටිය ද ඔහුගේ හදවතෙහි ලැගුම් ගත්තේ කුඩා දරුවෙකි. ගාමිණී දකුණුතින් දුන් දේ වම් අත නොදැන සිටියේය. ධර්මසිරිගේ වචනයෙක් කිවහොත් ඒ දිනවල ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටි සිනමා ශිල්පීන් කිහිප දෙනෙකුටම ඔහු පිහිට වූයේය. සතියකට එක් වතාවක් ඔවුන් තම නිවෙසට කැඳ වූ ගාමිණී ඔවුන්ට මුදලින් ආධාර කළේය. එහෙත් තමා අසල්වල් නළුවාට උදව් කරන බව තමාගෙන් උදව් ලබන බව තමාගෙන් උදව් ලබන හෝ නොලබන බව කිසිවකුට ඔහු කවදාවත් හෙළි කළේ නැත.

තම සහෝදර නළු නෙල්සන් කරුණාගම රෝගීව මිය යන තෙක්ම ගාමිණී තම බිරිඳ සමඟ එක් වී හැම උපකාරයක්ම කළහ. එක් නළුවෙකු රෝගී වී සිටිය දී උදව් උපකාර ලබා සුව වී මැතිවරණ වේදිකාවක ගාමිණීට අපහාස වන ලෙස වහසි බස් දොඩවද්දී ඔහු සිනා සී එයට ප්‍රතිචාර දැක් වීය.

මගේ පුවත්පත් කලා ජීවිතයේ ගාමිණී - ධර්මසිරි ගැන කීමට ඇති විශේෂ සිද්ධියක් ඇත. මා 'සරසවිය' පුවත්පතේ කර්තෘව සිටිය දී ගාමිණී හා ජෝ අබේවික්‍රම යන මහා නළුවන් දෙදෙනා අවස්ථාවාදීන්ගේ කේලම් බස් නිසා විරසකව සිටියෝය. දෙදෙනාම මිතුරන් නිසා මට මෙය මානසික වධයක් විය. දිනක් ධර්මසිරි හමු වූ විට මම මෙසේ කීවෙමි.

'ධර්මසිරි අයියා මට ලොකු ආසාවක් තියෙනවා ගාමිණී අයියාවයි, ජෝ අයියාවයි යාළු කරන්න. මේකට මට ධර්මසිරි අයියගේ උදව්ව ඕනෑ. ඔයාට විතරයි මට මේකට උදව් කරන්න පුළුවන්.'

'හොඳ යෝජනාවක්. හැබැයි අමාරු වැඩක්. අපි බලමු. . .'

'ධර්මසිරි අයියට විතරයි මේක කරන්න පුළුවන්'

ඔහු සිනාසුණා පමණි.

වැඩේ හරි ගියේය.

'මල්ලි අද හවස කැමරා ශිල්පියෙකුත් එක්ක ගාමිණීගේ ගෙදර එන්න. මම ජෝ එක්ක එහෙ එනවා.'

මගේ සිහිනයේ මල් පිපිී ඇත. සරසවියේ මුල් කවරයට මේ තරම් හොඳ පින්තූරයක් තවත් තිබේද? එය එසේම ඉටු විය. ගාමිණී ජෝ එකට සිටින ඒ මුල් කවරය දුටු කලා ලෝකයම කැලඹිණ. ඒ සඳහා මට පිහිටට හිටියේ ධර්මසිරි අයියා නම් මේ දුර්ලභ මිනිසාය.

ධර්මසිරි අයියා ද නව පරපුරට 'පහන් වැටක්' විය. යමුනා මාලිනී පෙරේරා කිවිඳිය පැවසුවා මෙන් 'නව පරපුරේ සුවහහසක් අංකුර කලාකරුවන්ට මාර්ග නියාමකයා වූ 'පහන් වැටේ තාත්තා' ධර්මසිරි ගමගේය. ඇය මේ කවියෙන් පිඬු කොට දක්වන්නේ ඔහුගේ අප්‍රමාණ සෙනහසයි.

'සෝ දුක් ගිනි හද තුළ නැඟෙනා විට
ඉන් ලොව ගනදුර නිව්ව හැටී
අපේ ලොව ද ඒ එළියෙන් එළි කර
අපට මඟ කියා දුන් හැටී
ඔබගෙනි හඳුනා ගන්නේ අප සැම
කිසිදා දැක නැති සරස්වතී

බණ්ඩාර ඇහැළියගොඩ කවියා ලියූ මේ කවියෙන් ද අනාවරණය වන්නේ ද ධර්මසිරි අයියාගේ ගුණ සුවඳමය.

දයාබර වදන් නිරතුරු මුවඟේය
සොයා බලා අප හැරලුවෙ සුමගේය
ගියා කියා කිසි කලකදි නොහැඟේය
පියාණන් අපේ ධර්මසිරි ගමගේය

'පහන් වැට' නවක පරපුරට අත හිත දුන් ධර්මසිරි අයියා අප හමුවන්නේ 1966 දී පමණය. ආනන්දයේ සිප් සතර හදාරමින් සිටියදී කුලරත්න ආරියවංශ (ප්‍රවීණ සම්මානලාභී ගීත රචක) හා මාත් ධර්මසිරි අයියා දැක ගැනීමට 'ලංකාදීප' කාර්යාලයට ගියේ එකල අප විද්‍යාලයේ සිටියදීම තවත් මිතුරන් සිව් දෙනකු සමඟ සංස්කරණය කළ 'සෙවණ' පුවත්පතට කෙටි කතාවක් ලබා ගැනීමටය. කෙටි කතාවක් ලබා දුන්නා පමණක් නොව පුවත්පත් කලාව ගැන වැඩි උපදෙස් ලබා ගැනීමට එකල ඔහු පදිංචිව සිටි වැල්ලම්පිටියේ නිවසට එන ලෙස කුලේටත් මටත් ආරාධනය කළේය. තමා ලියූ පොත් අපට පරිත්‍යාග කොට පුවත්පත් කලාවේ මූලධර්ම කියා දීමට මේ කාරුණික මිනිසා නිහතමානී විය. අප එහි යන හැම දිනම සීතා අක්කාගේ කාරුණික ආගන්තුක සත්කාර අපට කිසිදා අමතක නොවේ. එබැවින් පත්‍ර කලාවේ අපේ මූල ආචාර්යවරයා දයාබර ධර්මසිරි අයියාය.

ගාමිණී අයියා ගැන ද වචනයක් සඳහන් කර මේ ලිපිය අවසන් කරමි. ගාමිණී අයියා නව පරපුරට අත හිත දෙන්නේ ඈතින් සිට ඔහු හා ඇය ගැන නිරීක්ෂණය කිරීමෙනි. ඔවුන්ගේ කුසලතා හැඳින ඔවුනට අත හිත දෙන ඔහු ඔවුන්ගේ හපන්කම් දැක නිහඬව සතුටු වෙයි. ගාමිණීගේ මේ ක්‍රියාවලිය ගැන සිතන විට අපට මතකයට එන්නේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ කවි හිමියන් වරක ලියූ කවි දෙපදයයි.

ඉණි මං බඳින හැටි බැණ බැණ කියා දිදී
ඉණි මං නඟින විට සිටියා සිනා සිසී

දීර්ඝ කාලයක් පුරා හෙළ කලා කෙත සරුසාර කරමින් ගෞරවනීය මාධ්‍ය මෙහෙවරක නිරත වූ ධර්මසිරි අයියා අප වෙතින් නික්ම ගොස් වසර දාහතරකි.

මේ අතර 'හෙළ සිනමා සක්විති' ලෙසින් විරුදාවලී ලත් අසහාය රංගන ශිල්පී ගාමිණී ෆොන්සේකාගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක් කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහල අබියසදී ඉදි කෙරිණි. මේ පිළිරුව නිර්මාණය කළේ මූර්ති ශිල්පී ගුණසේන කුරුළුගම කලාකරුවා විසිනි. හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා මහතාගේ යෝජනාවක් අනුව මේ ප්‍රතිමාව ඉදි කිරීමට ජයන්ත ධර්මදාස මහතා ප්‍රමුඛ ගාමිණී ෆොන්සේකා පදනම මෙහි මූලිකත්වය දැරීය.