වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




එදා  මා දිහා  බැලුවේ සමන් දෙවියෝ

එදා  මා දිහා  බැලුවේ සමන් දෙවියෝ

නිවේදක ජනිත් කරුණාරත්න

නිවේදකයකු ලෙස දිගු ගමනක් ආ ඔහු මාධ්‍ය කාලවේ ඔහුටම ආවේනික නිවේදන කලාවකට මේ වන විට අත් පොත් තබා හමාරය. ජනිත් කරුණාරත්න නව පරපුරේ මාධ්‍යවේදීන් අතර කැපී පෙනෙන්නේ ඔහුගේ දක්ෂතාවය, හැකියාව මෙන්ම කැපවීම නිසාය. නවතාවයෙන් හා දැනුමින් සන්නද්ධ නූතන නිවේදන කලාවට නව මානයක් එක් කරන්නට උත්සුක වන ජනිත් ඔහුගේ මාධ්‍ය ජීවිතය හා නිවේදන වෘත්තීය පිළිබඳ අප සමඟ කතාබහ කළේ මේ අයුරිනි.

කුඩා කල සිටම නිවේදන කලාවට ඔබට හැකියාවක් තිබෙන්න ඇති?

පාසල් යන කාලේ සිටම මාධ්‍ය කලාවට විශාල ඇල්මක් තිබුණා. ඇහැලියගොඩ ජාතික පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේදී සිංහල පාඩම කියවන්න කියලා අපිට කියනවා. මම තමයි නැඟිටලා සිංහල පාඩම හඬ නඟා කියවන්නේ. කතාවට, නිවේදනයට ඒ වගේ හැකියාවක් මට පාසැල් අවධියේත් තිබුණා. පසුව උසස් පෙළ විභාගය කළේ විද්‍යාව අංශයෙන්. උසස් පෙළ සමත් වුණා.

ඔබ දැන් වෘත්තිකයෙක්?

මේ වන විට ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරයෙක් ලෙස කටයුතු කරනවා. ඒ අතර නිවේදකයකු ලෙසත් කටයුතු කරනවා. නිවේදනයට අවකාශ ලැබෙන්නේ රෝහල් සේවයේදියි. මට රෝහලේදී හමුවෙනවා ජනිත සෙනෙවිරත්න කියන මාධ්‍යවේදියා. ඔහු මට මාධ්‍ය කලාවට එක් වෙන්න උදව් කරනවා. ඔහු මට සත් ජ්ර් නාලිකාවට සම්බන්ධ වෙන්න උදව් කළා. එහි අවුරුදු 2, 3 ක් නිවේදනය රෝහලේ වෘත්තීය වැඩත් සමඟ කරගෙන ගියා.

ඉන් පසුව ඔබ තවත් නාලිකාවකට එක් වෙනවා?

ඔව්. දවසක් 'සිරස' නාලිකාවේ සිරසට නිවේදකයන් බඳවා ගන්නවා කියලා දැන්වීමක් ගියා. මම එයට ඉල්ලුම්පතක් යොමු කළා. ඒ වන විටත් මම සත් FM එකේ ප්‍රවෘත්ති නිවේදකයෙක්. සිරස ආයතනයෙන් පැවැත් වූ පළවෙනි, දෙවෙනි පරීක්ෂණවලින් මම සමත් වුණා. අන්තිමට නවක නිවේදකයින් හතළිහක් තෝරා ගත්තා. ඒ හතළිහට මාව තේරුණා. එතකොට සිරස ටී. වි. නාලිකා ප්‍රධානි හැටියට උන්නේ චන්දන සූරියබණ්ඩාර. ඒ අතර මට 'Art එක' කියන වැඩ සටහනට දායක වෙන්නට ලැබුණා. එය තමයි මගේ පළමුවන රූපවාහිනී වැඩසටහන.

ඔබ නිවේදනයෙන් දායක වූ 'ආර්ට්' වැඩ සටහනෙන් පසුව ඔබේ නිවේදන දායකත්වය වෙනස් වෙනවා?

ඒ කාලේ උදේ තිබුණා ජීවිතයට ඉඩ දෙන්න කියලා රූපවාහිනී වැඩ සටහනක්. මම රෝහලට සම්බන්ධ නිසා එහි සිදු වූ වෛද්‍ය සාකච්ඡා බොහොමයක් මෙහෙය වන්නට සිදු වුණේ මට. ඒ අතර කලාව සම්බන්ධ වැඩ සටහන්වලටත් මම නිවේදනයෙන් දායක වෙනවා. තවමත් සුපුරුදු ලෙස මම මේ වැඩ සටහන්වලට දායක වෙනවා.

ඔබ දේශපාලන වැඩසටහන් සඳහාත් දායක වන බව පෙනෙනවා?

ඔව්. 'සටන' දේශපාලන වැඩ සටහනටත් මම දායක වෙනවා.

ඒ ඔබ දේශපාලනයට කැමැති නිසාද?

මම 'සටන' වැඩ සටහනට හුඟක් කැමැති මගේ පියාත් ගම්සභා කාලේ ඉඳලම වාමාංශික දේශපාලනයේ හිටියේ. එය බොහෝ දුරට මටත් බලපාන්න ඇති.

රටමදන්න නිවේදකයෙක් ඔබ?

ලොකු සතුටක් දැනෙනවා. මගේ හිතේ තියෙන රස්සාව තමයි නිවේදනය. මම උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබුවේ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හිතාගෙන. ඒ වුණත් මම ඒ වෙනුවට පන්ති ගියේ නැහැ. පන්තිවලට දෙන සල්ලි ටික එකතු කරගෙන කළේ කැසට් පීස්වල මගේ හඬ පටිගත කරලා නාලිකාවලට යවන එක. මේ වගේ වැඩ තමයි මාධ්‍යයට එකතු වෙන්න ආසාවෙන් ඒ කාලේ කළේ.

ඔබේ වෘත්තීය ජීවිතය ගැන තෘප්තිමත්ද?

ඔව්. මම ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරන්නේ. අපේ ජාතික රෝහලේ වික්‍රමසිංහ අධ්‍යක්ෂකතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා, බාහිර රෝගී රසායනාගාර අංශයේ භද්‍රා මිස්, සහෝදර කාර්ය මණ්ඩලය මේ හැම දෙනාම මගේ වෘත්තීය දිවියේදී මට විශාල ශක්තියක්. මේ අයත් ආදරෙන් මතක් කරන්න කැමැතියි. අවුරුදු දාහතරකට ආසන්න සේවා කාලය තුළදී ඔවුන්ගෙන් මට ලැබෙන සහාය දිරිමත් කිරීම ඉදිරියට යාමට ලොකු ශක්තියක්.

අමතක නොවන සිදුවීම් කොතෙකුත් ඇති?

ගොඩක් තිබෙනවා. සිරස ටීවි එකේ අවුරුද්දට ලයිව් වැඩ සටහනක් කරන්න මට සිදු වුණා. එය තමයි මගේ පළමුවෙනි ලයිව් වැඩසටහන. වැඩ සටහන තිබුණේ සිරීපාදෙ කඳු මුදුණේ. උදේ පාන්දරම වැඩ සටහන පටන් ගත්තා. දැන් සිරීපාදෙ වඳින ගාථාව තමයි මට මුලින්ම කියන්න තිබුණේ. මම එය කට පාඩම් කර ගත්තා. ඔන්න මම ලයිව් එකට ලැහැස්තියි. වැඩසටහන ආරම්භ කරනවාත් එක්ක මුලින්ම මේ ගාථාව කියාගෙන ප්‍රේක්ෂකයා අමතන්නයි මට තිබුණේ. මයික් එකත් අතට අරන් ඇවිදගෙන යනවා මම. කැමරාව ඉදිරියෙන්. මම පළවෙනි පදේ කියනවා. ඒ පදේ කියනවා විතරයි, මට ඉතුරු පද ටික එකක්වත් මතක නැහැ. මොකුත් කරන්න බැහැ. මම වාසනාවට වගේ කැමරා එක දිහා බලන එක නවත්වලා ඉදිරිය බැලුවා. මම නතර වෙලා තියෙන්නේ ගාථාව ගහලා තිබෙන කණුව ළඟ. මගේ සතුට ඉහ වහා ගියා. මම ක්ෂණිකව අනෙක් පද ටිකත් ලස්සනට කියෙව්වා. එදා නම් මං දිහා බැලුවේ සමන් දෙවියොම තමයි. නැති නම් එදාම මගේ මාධ්‍ය ජීවිතය ඉවරෙටම ඉවරයි. මේ සිදුවීම ජීවිතේට මට අමතක වෙන්නේ නැහැ.

කොහොද ඔබට පේ‍්‍රක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. සමහර විට මම රෝහලේ වැඩ කරන කොට හුඟ දෙනකුට මාව අඳුර ගන්න බැරිව යනවා. ඒත් සමහර අය අමුතුවෙන් මං දිහා බලලා කියනවා මහත්තයා තැන් දෙකක ඉන්න බැහැනෙ කියලා. පොඩි සතුටක් දැනෙනවා මේ වෙන දේවල් එක්ක.

කවුද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබට සහාය වන අය?

සිරස ආයතනයේ මාධ්‍යවේදීන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා. විශේෂයෙන්ම සිරස නාලිකා ප්‍රධානී සුසාර දිනාල් මහත්මයා අපිට හැකියාවන් මතු කර ගන්න අවස්ථාව දෙනවා. සිරස නාලිකාවේ ඉන්න හැම මාධ්‍යවේදියකුම වගේම සහෝදර සේවකයන් හැම දෙනාම ආදරයෙන් සිහිපත් කරනවා.

ඔබේ බිරිඳ දරුවන් ගැනත් කතා කරමු?

මගේ ජීවිතය හරිම සුන්දරයි. ජීවිතය ඒතරම්ම සුන්දර කර තිබෙන්නේ මගේ බිරිය මහේෂි. ඒ වගේම දරු දෙදෙනා. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය නිසයි අද මම මෙතැන ඉන්නේ.