වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




බීන්ට එරෙහිව ජොනී

බීන්ට එරෙහිව ජොනී

එක වචනයක්වත් නොපවසා ලෝකයම සිනහ ගැන්වීමට සමත් මිස්ටර් බීන් කවුරුත් හඳුනන කාගේත් ආදරයට පාත්‍ර වූ චරිතයක්. රෝවන් සෙබස්තියන් ඇට්කින්සන් නම් සිය සැබෑ නමට වඩා තමන් විසින්ම නිර්මාණය කළ රූපවාහිනි කතා මාලාවේ (Mr. Bean) චරිතයේ නමින් ලොව හඳුනාගත් මිස්ටර් බීන් සිනමා ලෝකය ඔස්සේ තවත් දැවැන්ත මෙහෙයුමකට පා තැබූයේ 2003 වසරේදීයි. ඒ Johnny English (ජොනී ඉංග්ලිෂ්) චිත්‍රපට මාලාව සමඟින්.

රහස් පරීක්ෂක කතා තේමාවක් ගෙන එන ජොනී ඉංග්ලිෂ් චිත්‍රපටයේ ජොනී ඉංග්ලිෂ් චරිතය, බ්‍රිතාන්‍යයේ නිර්මිත ලෝ ප්‍රකට රහස් පරීක්ෂක ජේම්ස් බොන්ඩ් චරිතය සිහිගන්වන හාස්‍යමය ස්වරූපයක් ගෙන තිබෙනවා. රෝවන් ඇට්කින්සන් විසින් පණ පොවන ජොනී ඉංග්ලිෂ් නම් රහස් ඔත්තුකරුවා වටා ගෙතෙන මෙම චිත්‍රපට මාලාව ආරම්භ වූයේ, බ්‍රිතාන්‍යයේ එක් රහස් ඔත්තුකරුවෙකුගේ අවමංගල්‍ය උත්සවයට එල්ල කෙරෙන ප්‍රහාරයක් සමඟින්.

එහිදී ජොනී ඉංග්ලිෂ් හැර බ්‍රිතාන්‍යයේ සිටි අනෙක් සියලුම රහස් ඔත්තුකරුවන් මරණයට පත් විය. මේ අතරේ දී රජ කිරුළේ අතුරුදන් මැණික් සෙවීමේ මෙහෙයුම භාර වන්නේ බ්‍රිතාන්‍යයේ අවසන් බලාපොරොත්තුව වන ජොනී ඉංග්ලිෂ් වෙතයි.

ඔහු සහ ඔහුගේ සහයකයා එක්ව එම අභිරහස විසඳු අයුරු 2003 වසරේදී Johnny English චිත්‍රපටයෙන් අපට දැක ගත හැකි විය. 2011 වසරේදී ජොනී ඉංග්ලිෂ් නැවතත් පැමිණියේ, චීන අගමැතිවරයා ඝාතනය කිරීමේ සැලැස්මක් ව්‍යර්ථ කිරීම වෙනුවෙන්. Johnny English Reborn නම් වූ එම චිත්‍රපටයේදී ඔහු විසින් අධි තාක්ෂණික උපකරණ භාවිත කිරීමද කැපී පෙනුණි.

මේ වන විට වසර හතක් පමණ ගත වී බ්‍රිතාන්‍යයේ තවත් රහස් පරීක්ෂකයන් ද බිහි වී ඇති අතර හදිසියේ එල්ල කෙරෙන සයිබර් ප්‍රහාරයකින් ඔවුන්ගේ නම් ගම් සියල්ල හෙළි වේ. එම සයිබර් ප්‍රහාරයෙන් ද ජොනී ඉංග්ලිෂ් ආරක්ෂා වන්නේ ඔහුගේ නම හෙළි නොවීම හේතුවෙන්.

මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන ජොනී ඉංග්ලිෂ් වෙත මේ අන්තර්ජාල අපරාධකරුවන් සොයා ගැනීමේ මෙහෙයුම භාර කෙරේ. නවීන තාක්ෂණය හමුවේ සිය සාමාන්‍ය විධික්‍රම සමගින් මෙම මෙහෙයුමට ජොනී ඉංග්ලිෂ් මුහුණු දෙන අයුරු Johnny English Strikes Again  චිත්‍රපටය ඔස්සේ දැක ගන්න පුළුවන්.

Johnny English Strikes Again පසුගිය සැප්තැම්බර් 14 වැනිදා මෙක්සිකෝවේදී තිරගත කළ අතර ඔක්තෝබර් 05 වැනිදා සිට බ්‍රිතාන්‍යයේත් ඔක්තෝබර් 10 වැනිදා සිට ප්‍රංශයේදීත් ඔක්තෝබර් 26 වැනිදා සිට අමෙරිකා එක්සත් ජනපදයේත් තිරගත කිරීමට නියමිතයි.

Johnny English Strikes Again අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, අයර්ලන්ත ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් කර් විසින්. මෙහි රෝවන් ඇට්කින්සන් සමඟින් බෙන් මිලර්, ඔල්ගා කුරිලෙන්කෝ, ජේක් ලැසී, එමා තොම්සන් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වී සිටිනවා.

Johnny English චිත්‍රපට මාලාවේ තෙවැන්නට මේ වන විට  IMDb දර්ශකයේ 6.7/10ක් හිමි වී ඇති අතර රොටෙන් ටොමැටෝස් හි විචාරක මනාපය හිමි වී තිබෙන්නේ 38%ක් ලෙසින්. ඔවුන්ගේ අදහස නම් මෙම චිත්‍රපට මාලාවේ මීට පෙර තිරගත වූ චිත්‍රපට සහ මෙය අතර ලොකු වෙනසක් පෙනෙන්නට නොමැති බවයි.

එසේම පැරණි රහස් පරීක්ෂක චිත්‍රපට අනුසාරයෙන් නිර්මාණය කර ඇති සේ හැඟි යන බවත් විචාරක අදහස් අතර වේ. නිසි ආරම්භයක් සේම නිසි අවසානයක් නොමැති චිත්‍රපටයක් ලෙසත් එහිදී රෝවන් ඇට්කින්සන් නම් නළුවාගේ විහිළු සහ දක්ෂතා නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බවත් විචාරකයන් පවසා සිටී.