වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

සනී ලියොන්ගේ ඉටි රුව

නවදිල්ලියේ පිහිටි මැඩම් ටුසොඩ් ඉටි රූ කෞතුකාගාරය බොලිවුඩ් තරු රැසකින් අලංකාරවත් වී තිබෙනවා. රාජ් කපූර්, මධුබාලා, අමිතාබ් බච්චන්, අනිල් කපූර්, ශාරුක් ඛාන්, මධුරි ඩික්සිත්, රිතික් රෝෂන්, කරීනා කපූර්, දීපිකා පදුකෝන් වැනි වූ මේ තරු අතරට දැන් තවත් තරුවක් එක් වී සිටිනවා.

ඇය බොලිවුඩයේ සරාගි නිළියක ලෙසින් ඉහළ ජනප්‍රියත්වයක් ලද ඉන්දීය සම්භවයක් සහිත කැනේඩියානු ජාතික සනී ලියොන්. සනී ලියොන්ගේ ඉටි රුව ඇය භාවිත කරන්නා වූ සුවඳ විලවුන් වර්ගයෙන් සුවඳවත් කර තිබීමත් විශේෂයි.

"මගේ ඉටි රුව මා පුදුමයට පත් කළා. නිර්මාණකරුවන් එහි නිවැරදි හැඩය ගැනීම වෙනුවෙන් දින ගණනක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න ඇති. ඔවුන්ගේ සේවය මා කෘතවේදීව අගය කරනවා. මෙම පුදුම සහගත ගෞරවය වෙනුවෙන් මා තෝරා ගැනීම පිළිබඳ විශාල සතුටක් දැනෙනවා" යනුවෙන් ඉටිරුව විවෘත කළ පසුව සනී ලියෝන් මාධ්‍ය වෙත සිය අදහස් පළ කළා. මීට මාස කිහිපයකට පෙර Karenjit Kaur: The Untold Story Of Sunny Leone නම් වෙබ් කතා මාලාව ඔස්සේ ඇයගේ ජීවිත කතාව ද විකාශය කෙරුණා.


අර්ජුන්ගේ මනමාලි

අර්ජුන් කපූර්හට ඔහුගේ අත්තම්මා මනාලියක් හොයන්න පටන් අරගෙන බව ආරංචියි. බොහොමයක් ඉන්දීය පවුල්වල සිය මුනුපුරු මිනිබිරියන්ට සහකරුවන් සහකාරියන් සෙවීමේ බලය අත්තම්මලාට සහ සීයලාට හිමියි. අර්ජුන්ගේ පවුලත් ඒ වගේ පවුලක්. ඒ නිසා අත්තම්මා මේ වන විටත් අර්ජුන්ට මනමාලියක් හොයාගෙන. ඇය අර්ජුන් සමඟින් රංගනයේ යෙදුණු නිළියක්. ඒ කෙසේ වෙතත් අර්ජුන් නම් එයට වැඩි කැමැත්තක් නැති බවත් ආරංචියි.

අර්ජුන්ගේ අත්තම්මා ඔහුගේ මනමාලිය විදියට තෝරාගෙන තියෙන්නේ බොලිවුඩ් නිළි පරිනීති චොප්රා. ඉදිරියේදී තිරගත වෙන්න නියමිත Namaste England චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹූ තම අත්තම්මා එහි තම සහය නිළිය පරිනීති චිත්‍රපටයට සේම සැබෑ ජීවිතයේ සහකාරිය ලෙසත් හොඳීන් ගැළපෙන්නේ යැයි පවසන බව අර්ජුන් බොම්බේ ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියා.

"මීට පෙර නම් ඇය මේ වගේ බලපෑම් කරලා නැහැ. ඇය ඒ ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියත් නිවැරදි කාලයේදී ගැළපෙන කෙනා සමඟින් මගේ විවාහය සිදු වේවි" අර්ජුන් පවසනවා.


මාවල් සිනමා විශ්වයේ අලුත්ම සුපිරි වීරවරිය

මාවල් සිනමා විශ්වයට එක්වන අලුත්ම සුපිරිවීර චරිතය පසුගියදා පැමිණියේ Captain Marvel චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය සමඟින්. කැප්ටන් මාවල් නමින් හැඳීන්වෙන මේ වීරවරිය කැරොල් ඩැන්වර්ස්. මේ චරිතයට පණ පොවන්නේ ඔස්කාර් සම්මාන ලාභි 28 හැවිරිදි අමෙරිකානු නිළි බ්‍රියේ ලාර්සන් විසින්. කැප්ටන් මාවල්, මාවල් සිනමා විශ්වයේ බලගතු වීරවරියක්.

අමෙරිකානු ගුවන් හමුදා පියාසර නිලධාරිනියක වූ කැරොල් ඩැන්වර්ස්හට සුවිශේෂ බලයක් හිමි වන්නේ අනතුරකදී ඇයගේ ජාන සමඟ පිටසක්වල ජීවින්ගේ ජාන මිශ්‍ර වීමෙන්. මේ අලුත් වීරවරිය පැමිණෙන Captain Marvel චිත්‍රපටය ලබන වසරේ මාර්තු මාසයේදී තිරගත වීමට නියමිතයි. එය 1990 දශකයේ සිදුවීම් පෙළක් සමඟින් වූ කතාවක් ගෙන එනවා. පිටසක්වළ ජීවින් කණ්ඩායම් දෙකක් අතර චක්‍රාවාට යුද්ධයක් ඇතිවන අවස්ථාවක් අළලා එය නිර්මාණය වී තිබෙනවා. එයින් පසුව කැප්ටන් මාවල් ලබන වසරේ මැයි මාසයේදී තිරගත කෙරෙන Avengers 4  චිත්‍රපටයේදීත් ඔබ හමුවීමට නියමිතයි.


ප්‍රියංකාගේ ගොවිපොළේ ජීවිතය

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා අමෙරිකානු ගායක නික් ජොනාස් සමඟින් විවාහ ගිවිස ගත්තේ පසුගිය අගෝස්තු මස මුම්බායිහි පිහිටි ඇයගේ නිවසේදීයි. මේ දෙදෙනා පසුගිය කාලයේදී ටෙක්සාස්හි ගොවිපොළක නිදහසේ කාලය ගත කළ බව ප්‍රියංකා සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබුණා.

සැප්තැම්බර් 16 වැනිදාට යෙදී තිබුණු නික් ජොනාස්ගේ 26 වැනි උපන්දිනය කැලිෆෝනියාවේදී සැමරීමෙන් අනතුරුව විවේකය වෙනුවෙන් නික් සහ ප්‍රියංකා නික්ගේ පවුලේ සාමාජිකයන් සමඟින් ටෙක්සාස්හි පිහිටි ගොවිපොළක් වෙත ගොස් තිබුණා.

මේ වසරේදී ඒ Kid Like Jake නම් අමෙරිකානු චිත්‍රපටයෙන් ප්‍රියංකාගේ රංගනය දැකගත හැකි වූ අතර ඇයගේ රංගන දායකත්වය ලද Isn't It Romantic නම් අමෙරිකානු චිත්‍රපටය සහ The Sky is Pink හින්දි චිත්‍රපටය ලබන වසරේදී තිරගත වීමට නියමිතයි.


සල්මන් - ලුලියා නැවතත්

සල්මන් ඛාන් පසුගිය සතියේ ජායිපූර් වෙත පැමිණියේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් වූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම වෙනුවෙන්. එහිදී ඔහුගේ පැමිණීමට වඩා කාගේත් අවධානය යොමු වුණේ ඔහු පැමිණියේ කවුරුන් සමඟින්ද යන්නයි. ඒ වෙන කිසිවෙකුත් නොව ඔහුගේ පෙම්වතිය යැයි හඳුන්වන රුමේනියානු ගායිකා ලුලියා වැන්තූර්.

ජායිපූර්හි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් වූ මෙම මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන්නේ රාජස්ථානයේ හිටපු විදේශ කටයුතු ඇමතිනී බිනා කාක් විසින්. ඔහු සල්මන්ගේ ළඟම හිතවතියක බව පැවසෙනවා. මීට පෙර ඔහු සල්මන්ගේ Maine Pyaar Kyun Kiya, God Tussi Great Ho වැනි චිත්‍රපටවලටත් රංගනයෙන් දායක වූ අයෙක්.

මෙම අවස්ථාවට සල්මන් ලුලියා සමඟින් සහභාගිවීම කවුරුත් පුදුමයට පත් කළ සිදුවීමක් වුණා. දෙදෙනාගේ සබඳතාවය නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළත් මෙලෙසින් ප්‍රසිද්ධියේ පෙනි සිටි අවස්ථා කිහිපයක්ම මීට පෙර මාධ්‍ය වාර්තා කළා. එපමණක් නොව ලුලියා සල්මන්ගේ පවුලේ සාමාජිකයන් සමඟින් සමීපව ඇසුරු කරන බවත් රහසක් නොවෙයි.