වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සොඳුරු ලොවට මල් වැහැලා අපේක්ෂා

සොඳුරු ලොවට මල් වැහැලා

අපේක්ෂා

ඔක්කොම ගේම් ඉවර වුණාම, අර පෝසත් කෙල්ල, ෂෙඩ් එකේ කෙට්ටු කොල්ලව බදිනවා. ෂෙඩ් එකේ උස හැන්ඩි ෆයිටර් දෙවැනි කෙල්ලව බඳීනවා. පිච්චැර් එක ඉවර වුණාම හෝල් ඒකෙන් ආපූ විසිල් පාර නම් කියලා වැඩක් නැහැ

පුංච් කොලු කුරුට්ටො දෙ⁣න්නෙක් බර කථාවක. එකෙක් පිච්චැර් එකක් බලලා. ඌ ඒ බලපු පිච්චැර් එකේ කථාව අනිත් කොලුවට කියන්නෙ අතින් පයින් ඇක්ෂන් දමලා. ඒ කොළුවා ඇස් ලොකු කරගෙන, කට ඇරගෙන අහගෙන ඉන්නවා.

" මං ඊයේ බලපු පිච්චැර් එකේ කොල්ලො දෙන්නා වැඩ කරන්නෙ පැට්‍රල් ෂෙඩ් එකේ... එකෙක් හැන්ඩියා, අනිත් එකා පොඩියි, ලෑටි බොඩියක් තියෙන්නෙ. ඒත් ඌ පනුවෙක් ගේ දගලන පොරක්. කොන්ඩෙත් අතින් පීරන්නේ. ඔන්න ඔතනට එනවා තඩි කාර් එකක්, පැට්‍රල් ගහන්න. අම්මට හුඩු, ඇතුළෙ ඉන්නෙ සුපිරි කෑලී දෙකක්. එක කෙල්ලෙක් ඩ්‍රයිවින් සීට් එකේ. මාර ගති. දෙවෙනි කෙල්ලත් මාර ඉස්ටයිල්. ඉතින් අර කොල්ලො දෙන්නා තමා පැට්‍රල් ගහන්න එන්නෙ.. වැඩේ කියන්නෙ බං දෙවනි කෙල්ල ඇහැ දෙනවනෙ අර හැන්ඩි පොරට.

"එතකොට පළවෙනි කෙල්ල?"

" ඒකීත් ඇහැදෙනවා අර පිළිවෙළක් නැති කොණ්ඩෙ තියෙන, කෙට්ටු කොල්ල ට."

"ඉතින් උං සෙට් වෙනවද?"

" උඔ මොනවද බං අහන්නේ. අර කෙට්ටු කොල්ලා කොහොම හරි පළවෙනි කෙල්ලත් එක්ක සෙට් වෙනවනේ..... අම්මට සිරි මාර ලව් එකක් බං ඒක .

"කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මග දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කලා"

දෙන්නම රේල් පීලී දෙකක නැගගෙන ඔය සින්දුව කියනවා... අර කෙට්ටු කොල්ලට ලව් එක නිකං හුරු නැහැ වගේ. ඒ වුණාට සුපිරි ඇක්ටිං"

ඒ විතරක් නෙමෙයි බං. උන් දෙන්නා කානිවල් එකකටත් යනවා. කෙට්ටු කොල්ල මාර ඉස්ටයිල් එකට ඩෙනිම් ජැකට් එකක් ඇඳලා. අම්මෝ කෙල්ල නම් මාර ලස්සන ඇඳුමක් ඇදලා. මුළු කානිවල් එකේම උන් ඒකිට වහ වැටිලා..

"සැණකෙළියේ සද එළියේ දිමුතු ලතාවයි
සිලි සිලියේ, සියුමැලියේ ඔමරි හිනාවයි
ඔමරි හිනාවයි, ඔමරි හිනාවයි
සැණ කෙළියේ සද එළියේ දිමුතු ලතාවයි"

"එතකොට අර දෙවෙනි කෙල්ලයි, හැන්ඩි කොල්ලයි සින්දු කියන්නෙ නැද්ද?"

"ඇයි නැත්තෙ, ඒක කියන්නෙ පස්සේ. ඉවසලා හිටපන් එතන්ට එනකල්"

"ඉතින් අර පළවෙනි කෙල්ලගෙ ලව් එකට කොකු වැටෙන්නෙ නැද්ද?"

"ඇයි නැත්තෙ.. කෙල්ල හෙන පෝසත්. කොල්ලා හෙන දුප්පත්. ඉතිං කෙල්ලගෙ තාත්තා මේ ලස්සන ඉස්ටයිල් පෝසත් කෙල්ලව අර වගේ පැට්‍රල් ෂෙඩ් එකක පැට්‍රල් ගහන එකෙකුට දෙයිද බං"

"එතකොට දුෂ්ටයෙක් ඔතනට නැද්ද?"

"ඇයි නැත්තෙ .දුෂ්ටයත් හැන්ඩි පොරක්. හරියට සුද්දෙක් වගේ. ඌ හැබැයි ක්ලබ් අයිතිකාරයෙක්. ක්ලබ් එකේ සින්දු කියන කෙල්ල එක්කත් මූ සෙට්. ඒකිත් මාර ලස්සනයි. ඉස්ටයිල්.

"ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා
ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා

අවන් හලේ නෑසීයන අඩ අඳුරේ
සිහින ලොවේ ඔබ හා සැනසෙන මොහොතේ
ළගින් ඉදන් රස කථා කියා, සනසන්නම් ඔබ මගෙ කියා."

අර ක්ලබ් එකේ සින්දු කියන කෙල්ල ඔය සින්දු⁣ව ක්ලබ් එකේදී කියන්නෙ, අර සුද්ද වගේ පොරට ලව් කරගෙනම."

"ඉතිං සුද්ද වගෙ පොරට ක්ලබ් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවනම් . අර කෙල්ලගෙ ලව් එකට කොක්ක දාන්නෙ ඇයි. ?

"ඇයි බං ඒ කෙල්ලට මාර බූදලයක් තියෙනවනේ. සුද්ද වගේ පොර ඇහැ ගහගෙන ඉන්නෙ ඒ බූදලය ගන්නනෙ. අනිත් එක කෙල්ලගෙ තාත්තත් කැමතියි මේ ක්ලබ් කාරයට. කොහොම හරි ෂෙඩ් එකේ කොල්ලගෙයි, මේ කෙල්ලගෙයි ලව් එක කෙල්ලගෙ තාත්තට මාට්ටු වෙනවා. ඊට පස්සෙ කෙල්ලට කොහෙවත් යන එක කෙල්ලගෙ තාත්තා තහනම් කරනවා. පව්... කෙල්ල අඬනවා. ඇයි ෂෙඩ් එකේ කොල්ලව බලන්න යන්න විදියක් නැහැනේ.

ෂෙඩ් එකේ කොල්ලටත් අප්සෙට් .ඌත් බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. කෙල්ලයි, කොල්ලයි දෙන්න දෙපැත්තෙ අඩනවා. මටත් ඇඬුනා ඩෝ... පස්සෙ පසුබිමින් දුක සින්දුවක් කියනවා.. ඒක අහද්දි තවත් ඇඬෙනවා.

"සද තනිවෙලා අහසේ, හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා.
පියමං කලා දෙදෙනෙක් සෙවනක් බලා
පැතුමන් සිඳී නිවෙසක් ඇත සුන් වෙලා"

දැං කොල්ලටයි කෙල්ලටයි හමු වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. කෙල්ල අඬනවා හෝ ගාලා. හැබැයි කෙල්ල අඬන්නෙත් ලස්සනට ඇඳලා, අලුත් මෝස්තරේට කොන්ඩෙ දාලා, මේකප් කරලා, ලිප්ස්ටික්ස්, කියුටස් එහෙම ගාලා. ලස්සනට අඬනවා බං. අර කෙට්ටු කොල්ලත් එහෙමයි. ඌත් ඩෙනිම් ජැකට් ගහලා, කොන්ඩේ අලුත් මොස්තරෙට අවුල් කරලා, ඉස්ටයිල් එකට අඩනවා බං. මාර ලස්සනයි.ඔන්න ඔය වෙලාවට අර දෙවනි කෙල්ලයි, ෂෙඩ් එකේ හිටිය හැන්ඩි කොල්ලයි, සප් එකට එනවා. උං දෙන්නා හින්දා කොල්ලටයි, කෙල්ලටයි හම්බවෙන්න චාන්ස් එකක් ලැබෙනවා. කියලා වැඩක් නෑ බං. උං දෙන්නා දැක්ක ගමං බදා ගන්නවා. කෙල්ල හෝ ගාලා අඬනවා . ඇයි හුඟ කාලෙකට පස්සෙ නෙ හම්බවෙන්නෙ. "

"ඉතිං උං දෙන්නා සින්දුවක් කියන්නෙ නැද්ද?"

" නෑ එතකොට උං දෙන්නගෙ සිංදු ඉවරයි. ඒවුණාට අර දෙවනි කෙල්ලගෙයි, උස හැන්ඩි පොරගෙයි නියම ලව් සින්දුවක් තියෙනවා.

"සොඳුරු ලොවට මල් වැහැලා,

තව් තිසාවෙ හද මැවිලා

සිතු පැතුම් තාරකා -පෙමට පායලා

මා ආදරෙයි- පායන් සදේ."

"පිස්සු හැදෙනවා, ඒ සීන් එක දැක්කාම. දෙවනි කෙල්ලයි ,හැන්ඩි පොරයි මාර ලව් බං"

"උන්ගෙ ලව් එකට කොකු වැටෙන්නෙ නැද්ද?"

"උන් දෙන්නගෙ ලව් එකට කොකු වැටෙන්නෙ නැහැ. මොකද උන් දෙන්නා නෙමෙයිනෙ ප්‍රධාන චරිත. සාමාන්‍යයෙන් කොකු වැටෙන්නෙ ප්‍රධාන චරිත වලට විතරයි. ඒ පිච්චර් වල හැටි. දැං අර ක්ලබ් අයිති කාර සුද්ද වගේ පොර, අර කෙට්ටු කොල්ලගෙ කෙල්ලව බඳීන්න යන්නේ.. මාර අප්සෙට් එක"

"එත කොට අර ක්ලබ් එකේ සිංදු කියන කෙල්ලව ක්ලබ් අයිති කාර සුද්දා වගේ එකා අත්හැරලා දාලද?"

"උඹට පිස්සුද? ඒ ලව් එකත් නැගල යනවා."

"රෑ සීතලයි, ආශා ගලයි.

රෑ සීතලයි, ආශා ගලයි

රඟන රඟදෙන රඟ හල ජීවිතයයි"

සුද්ද වගෙ කොල්ලට ඕනේ අර කෙල්ලගේ බූදල⁣යනෙ. අනිත් එක ඒ කෙල්ලගෙ තාත්තත් මූට කැමතියි නෙ. වැඩේ සීරියස් වෙන්නෙ,කෙල්ල, කෙට්ටු කොල්ලව හම්බවෙන්න ගිය එක කෙල්ලගෙ තාත්තට මාට්ටු වුණාට පස්සෙ. ඒකෙන් වෙන්නෙ, කෙල්ලගෙ තාත්තා ඒ කොල්ලට හොදටම බැනලා එලව ගන්නවා. පව් කෙල්ල අඬනවා හෝ ගාලා"

"එතකොටත් කෙල්ල ලස්සනට ඇඳලා, මේකප් දාලද ඉන්නේ?"

" එහෙම තමා බං පිච්චර් වල. නැත්නම් හොටු පෙරාගෙන අඬනව යෑ. එහෙම වුණොත් බලන්න අප්පිරියයි නෙ. ඒ හින්ද අඬන්නෙත් ලස්සනට තමා. කෙට්ටු කොල්ලට ෆුල් අප්සෙට්. ඌ කෙල්ලගේ තාත්තට කියනවා "මං කවද හරි කෙල්ලව ගන්නවා..ක්ලබ් කාරයට අයිතිවෙන්න දෙන්නෙ නැහැ කියලා"

කෙල්ලගෙ තාත්තට මාර හිනා. ඇයි ක්ලබ් කාරයා සද්දන්තයෙක් වගේ. ලෑටි බොඩි කොල්ලා නිකං හූණු පැටියෙක් වගේ නෙ. කෙල්ලගේ තාත්ත දන්නවා ක්ලබ් කාරයා, කොල්ලව හුළං පෙත්ත වගේ කරකවලා විසිකරනවා කියලා.

කොහොම හරි කෙල්ලගෙ තාත්තා, කෙල්ලව අර ක්ලබ්කාර සුද්ද වගේ කොල්ලට පල්ලියෙ බන්ඳලා දෙනවනේ"

" ඒ කියන්නෙ පිච්චර් එක එතනින් ඉවරද?"

"පිස්සුද බං ඊට පස්සෙ තමා හොදම කෑල්ල තියෙන්නෙ. දැන් අර සුද්ද වගේ කොල්ලයි ,කෙට්ටු කොල්ලගේ කෙල්ලයි කසාද බැඳල පල්ලියෙන් එළියට එනවා. එතකොටම කෙල්ලගේ කොල්ලයි, අර උස හැන්ඩි පොරයි එනවා. කෙල්ල කොල්ලව දැක්ක ගමන් මඟුල් ඇඳුම පිටින්ම අර ක්ලබ් කාරයවත් එතනම හලලා කොල්ල ළඟට දුවගෙන එනවා.

පිස්සු හැදෙනවා ඩෝ... අපිට මාර ජොලි.. හෝල් එක ඇතුලෙ විසිල් ගහනවා. අප්පුඩි ගහනවා. මමත් ගැහුවා ඩෝ විසිල් පාරක්"

ඊට පස්සේ අර ක්ලබ් පොර කොල්ලගෙ පස්සෙන් පන්නනවා . කෙට්ටු කොල්ලත් අරින්නෙම නැහැ. ගත්තනෙ බිම තියලා පත ගඩොලක්. දීලා ඇරියෙ නැතෑ සුද්ද වගෙ පොරට. ඒ අස්සෙ ෂෙඩ් එකේ උස හැන්ඩි කොල්ලත් වලියට එන්ටර් වෙනවා. ඌ නියම ෆයිටර්. පැය ගානක් සුද්ද වගේ පොරත් එක්ක. ගහගන්නවා. නියම ෆයිට් එක. අන්තිමයට බලං ගියාම සුද්දෙක් වගේ හිටිය ක්ලබ් පොර මාර ගේම් කාරයා. හොර බඩු ජවාරම් කාරයා. අන්තිමයට අර කෙල්ලගෙ තාත්තට ඔක්කොම තේරෙනවා. සුද්ද වගේ පොර, ෆුල් නොකවුට්.

ඔක්කොම ගේම් ඉවර වුණාම, අර පෝසත් කෙල්ල, ෂෙඩ් එකේ කෙට්ටු කොල්ලව බදිනවා. ෂෙඩ් එකේ උස හැන්ඩි ෆයිටර් දෙවැනි කෙල්ලව බඳීනවා. පිච්චැර් එක ඉවර වුණාම හෝල් ඒකෙන් ආපූ විසිල් පාර නම් කියලා වැඩක් නැහැ.

පිච්චැර් එක නම් ෆුල් 'කොර' හරිද. උඹත් කොහොම හරි ගිහිං බලපන්.. නියම කථාව, සුපිරි සින්දු ටික. නළු නිළියෝ ඇට් කරන ලස්සන දැක්කම පිස්සු හැදෙනවා. කෙල්ලො දෙන්නා මාර ලස්සනයි, ඉස්ටයිල් . ෂුවර් එකටම හෝල් එකේ දවස් 100 පනිනවා."

එතකොට මේ කොලුවා එයාගේ යාළුවට විස්තර කරපු ෂෙඩ් එකේ ලෑටි බොඩිය තියන කෙට්ටු කොල්ලා 'අමරසිරි කලංසූරීය'. ෂෙඩ් එකේ උස හැන්ඩි ෆයිටර් 'රොබින් ප්‍රනාන්දු', කාර් එකේ ආව, පෝසත් ලස්සන කෙල්ලො දෙන්නගෙන් පළවෙනි කෙල්ල, 'මාලිනී ෆොන්සේකා', දෙවෙනි කෙල්ල 'ගීතා කුමාරසිංහ' . ක්ලබ් එකේ සිංදු කියන කෙල්ල 'කුසුම් පෙරේරා'. පළවෙනි කෙල්ලගෙ තාත්තා 'ෆීලික්ස් ප්‍රේමවර්ධන'. එතකොට අර සුද්දා වගේ ක්ලබ් අයිතිකාර දුෂ්ට හැන්ඩියා 'රන්ජන් මෙන්ඩිස්',.

කොලුවගෙ භාෂාවෙන්, කිවහොත් 'පිච්චැර්' එක තමා, 'අපේක්ෂා'. හැදුවේ එච්.ඩී ප්‍රේමරත්න. පෙන්නුවේ 1978 නොවැම්බර් 03 වෙනිදා, ඉදලා. ඒක රිට්ස්, ලැවීනියා, මුවීටෝන්, යන ශාලාවන් තුනේම දින 81ක් පෙන්නුවා. ඒ වගේම ආරම්භක සිනමාහල් 7කම දින 50 ක් පහු කෙරුවා.

චිත්‍රපටය හැඳින්වුයේ පියුමකින් උපන් කුමාරියක්, දූවිල්ලෙන් උපන් තරුණයෙකි. ඒත් ඔවුන්ට තිබුණේ එකම අපේක්ෂාවයි.