වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




'මේ ගඟ මේ දුරු කතර ගෙවා' නිරංජලාගේ ගී අනුරාධාගේ හඬින්

'මේ ගඟ මේ දුරු කතර ගෙවා' නිරංජලාගේ ගී අනුරාධාගේ හඬින්

මෙරට ගීත කලාවේ ආදරණීයම හඬකට හිමිකම් කියූ ගායක ගායිකා යුවළක් වූ නිරංජලා සරෝජිනිත්, අබේවර්ධන බාලසූරියත් අපේ ගීත ක්ෂේත්‍රයේ නොමියන නාමයන්ය. එහෙත් මීට වසර අටකට පමණ පෙර අපෙන් සදහටම වෙන් වූ අබේවර්ධන බාලසූරියගේ ආදරණීය හඬ නිහඬ වනවාත් සමඟම නිරංජලා ද තම හඬ නිහඬ කරන්නට ගත් තීන්දුව ශ්‍රාවකයින් වශයෙන් අපේ හිත් රිදුමකට ලක් කළ ද බිරිඳකගේ පති භක්තියේ තරම කෙතරම්දැයි අපට පසක් කරන්නේය. නිරංජලා නැවත ගී නොගැයුව ද, පෙරදා ඇගේ මිහිරි හඬින් ගැයුණු ගී රාවය තවමත් අප හදවත් මන්මත් කරන්නේය.

'මට අපේ රටේ ගීත ශ්‍රාවකයින්ගෙන් සුවිශාල ඉල්ලුමක් තිබුණා ගීත ගායනා කරන්නේ නැත්නම් ඊට විකල්පයක් වශයෙන් වෙන යම් දෙයක් හෝ කරන්න කියලා. ඇත්තටම කිව්වොත් මම දන්නවා අපේ ගීත ශ්‍රාවකයෝ කොයි තරම් අපේ ගීතවලට ආදරෙයිද කියන්න. නමුත් අබේ නැතිවුණ දිනයේ ඉඳලා මට ගීත ගායනා කරන්න හිතක් නෑ. දැන් වසර අටක් ගතවෙලා තියෙනවා ඔහු අපෙන් සමු අරගෙන. ලංකාවේ විතරක් නොවෙයි අපි දෙන්නා ඒ කාලේ විදේශ ගතවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් පිටරට ප්‍රසංග හරියට පැවැත් වූවා. අදටත් ඒ පිරිසගෙන් මට විශාල ඉල්ලුමක් තියෙනවා ගීත ප්‍රසංග පවත්වන්න කියලා. ඒත් අබේ වෙනුවෙන් මම ගත්ත තීරණේ වෙනසක් නෑ. නමුත් මම ඒ ඉල්ලුම වෙනත් ආකාරයෙන් නිර්මාණශීලී දෙයක් කරන්න කල්පනා කළා. ඒ අනුව පසුගිය අවුරුද්දේ මම ඉතාලියේ සහ රෝමයේ ප්‍රසංග දෙකක් කළා. එහි විශේෂත්වය වුණේ මේ ගීත ගායනා කළේ ඒ රටවල පදිංචි වෙලා සිටින දක්ෂතා ඇති පිරිසක්. මම ඒ ප්‍රසංගයට සහභාගි වෙලා එම ගීිතයන්ගේ පසුබිම විස්තර සඳහා එකතු වුණා. ගීත 20 ගණනක් මගේ ගීත ගායනා කළා ඔවුන්. ඒ ගැන මම කතා කළා වේදිකාවේ ඉඳලම. පැය 03 ක විතර ප්‍රසංගයක් කළා.'

ජීවිතේම ගීතයක් කරගත්ත කෙනෙකුට ගීත ගායනා නොකර ඉන්න එක එක්තරා ආකාරයක දඬුවමක් විදියටයි මට දැනෙන්නේ. ඒ දඬුවම සොඳුරු දඬුවමක් කොට ආදරයෙන් බාර ගන්නට ඇය සමත් වෙලා තිබෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ ආදරය. ආදරයට කළ නොහැකි දෙයක් නෑ කියන්නේ ඒ හින්දා වෙන්න ඇති. පුරා දශක ගණනාවක් එක්ව දුක සැප වැළඳූ, එක්ව ජීවිතය බෙදා ගත් ආදරබර සැමියෙකු වෙනුවෙන් ඇය පති පූජා පවත් වන්නේ සුවහස් දන මන පිබිදූ මිහිරි හඬකට සදා සමුදීමෙන්. ඒ පිළිබඳ කනගාටුවක් හෝ පසුතැවීමක් කොතැනක හෝ ඇගේ සිතේ නොමැත. ඒ හඬ ඇය සිය ස්වාමියා වෙනුවෙන් සදා නිහඬ කොට ගත්තා..

'පසුගිය කාලේ ඉතාලියේ මම කරපු ප්‍රසංගය ගැනත් ආරංචි වෙලා වෙන්න ඇති මෙවර මට ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයක් කරන්න ආරාධනාවක් ආවා. ඒ ආරාධනාව මට ලැබුණේ ඉන්ද්‍රජිත් මිරිහානගෙන්.

ඔහු ප්‍රසංගයක් පටන් ගත්තා 'නෑසෙන ගී' කියලා. වැඩිය ඇහෙන්නේ නැති ගීත තමයි මේ ප්‍රසංගයට ඇතුළත් වුණේ. පළවෙනි ප්‍රසංගය කළේ රෝහණ සිරිවර්ධන. දෙවෙනි ප්‍රසංගය චන්ද්‍රකුමාර් කඳනාරච්චිගේ. තුන්වැනි ප්‍රසංගයට තමයි මට ආරාධනා කළේ. ප්‍රසංගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වලදී. මේ ප්‍රසංගයේ සුවිශේෂිත්වය වෙන්නේ මගේ ගීත මෙහිදී ගායනා කරන්නේ මගේ අක්කගේ දූ අනුරාධා නන්දසිරි වීමය. මම සතුටු වෙනවා මම ගී ගායනා නොකළත් මගේ ගීත මිනිස්සු අතරට ගෙනියන්න දූ සම්බන්ධ වීම ගැන.

නිරංජලාගේ ගී හඬ යළි ජීවමාන කරන්නට ඇගේම ලේ උරුමයෙන් හිමිකම් ලබන්නේ දෙදෙනෙක්. නිර්මලා රණතුංගගේ දියණිය සෙව්වන්දිත් මල්කාන්ති නන්දසිරිගේ දියණිය අනුරාධාත් මේ දියණියන් දෙදෙනා. මෙවර ඔස්්ට්‍රේලියානු සංචාරයේදී නිරංජලාගේ ගී ගයන්නී අනුරාධායි. මේ ප්‍රසංගයේ දී නිරංජලාගේ තෝරා ගත් ගීත 15 කට ආසන්න ප්‍රමාණයක් ගැයීමට නියමිතය. නිරංජලාත් අබේවර්ධනත් සංයුක්ත තැටි පමණක් 13 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බැවින් ගීත තෝරා ගැනීමද තරමක අසීරු කාර්යයක් වුණා.

අනුරාධාට මේ ප්‍රසංගය එක්තරා ආකාරයක විස්මය දනවන කරුණක්. තම පුංචි අම්මාගේ ගීත ඇය ද පසෙකින් තබාගෙන ගායනා කරන්නට ලැබීම ඇය සලකනුයේ සුවිශේෂී වාසනාවක් ලෙසටය.

'ඇත්තටම කිව්වොත් මම ගායිකාවක් විදියට එහෙම ප්‍රසංගවලට යන කෙනෙක් නෙවෙයි. මේ ප්‍රසංගය ගැන හිතත්දි මට හිතෙනවා ඒක මම ලබපු වාසනාවක් කියලා. පුංචි අම්මා සින්දු කියනකොට මම ඉපදිලාවත් නෑ. ඒ කාලේ කියපු සින්දු අද ඇයවත් ළඟ තියාගෙන මම ගායනා කරනකොට දැනෙන සතුට මට කියන්න වචන නැහැ. මම ප්‍රසංගයකට කියලා ඉස්සරලම ගීත ගායනා කළේ අම්මලත් එක්ක ගිහින් එංගලන්තෙදි. ඊට පස්සෙත් අම්මත් එක්ක තාත්තත් එක්ක ප්‍රසංග කීපයකදී යුග ගීතයක් එහෙම කියලා තියෙනවා. නමුත් තනියම ප්‍රසංගයක් ඉදිරිපත් කරලා නැහැ. මේ පළවෙනි වතාවට තමයි එක දිගට ගීත ගොඩක් කියන්නේ. ඒකත් රසිකයෝ ඉතාමත්ම ආදරයෙන් වැළඳ ගත්ත ගීත රැසක් එක්ක. මට එහෙම එන්න ලැබීමත් ලොකු වාසනාවක්. පුංචිගේ ගීතවලට ගොඩාක් ආදරය කරන පිරිසක් ඉන්නවා. එදිනෙදා පාර තොටේ හමුවන අය වගේම මුහුණු පොතේ අයගෙනුත් ලැබෙන ප්‍රතිචාර දැක්කම ඒක තේරෙනවා. පුංචි ගීත ගායනා කරන්නේ නෑ කියන එකට පුදුම විදියට කම්පා වෙන අය ඉන්නේ. පුංචිව අපට කවදාවත්ම replace කරන්න බෑ. ඒ ගායන හැකියාව, ඇගේ ගායන ලීලාවේ සියුම් තැන් අපි කොච්චර උත්සාහ කරත් අපට ගයන්න බැරි වේවි. නමුත් පුංචිගේ ගීත ඉදිරි පරපුරට මේක පුංචිගේම ගීත කියලා ගෙනියන්න ඕන හින්දා කියන්නම ඕනෑ අපි. මොකද අද වෙන විට CD කැසට් කියන දේවලුත් සමාජයෙන් ඉවත්වෙලා තියෙන්නේ. දැන් බොහෝ වෙලාවට මේවා හුවමාරු වෙන්නේ අන්තර් ජාලය හරහා. මට මගේ තාත්තාගේ අම්මගේ ගීත ආරක්ෂා කර ගැනීමේ හා ඉදිරියට රැගෙන යාමේ වගකීම තියෙනවා වගේම ඒ හා සමානම වගකීමක් අබේ බාප්පාගේ සහ නිරංජලා පුංචිගේ ගීත ආරක්ෂා කිරීමටත් ඉදිරියට ගෙනයාමටත් මට වගකීමක් තියෙනවා.

අද සමාජය දිහා බලන කොට අපිට විශ්වාසයෙන් බලා ඉන්න පුළුවන්කමක් නෑ. කොයි වෙලාවෙද කෙනෙක් අතින් ගීතයක් ගිලිහෙන්නේ කියලා බලාගෙන ඉන්නේ ඒක වෙන කෙනෙක් ගන්න. ඒ වගේ කාලෙක පුංචිත් එක්ක මේ වගේ යන්න ලැබීම මට ලොකු භාග්‍යයක්.

තමන්ට ගීත ගායනා කිරීමට හැකියාව තිබියදී ගීත ගායනයෙන් ඉවත්ව එම ගීත සංරක්ෂණය හා ඉදිරි පැවැත්ම වෙනුවෙන් තම ඥාති දියණියන් යොමු කරවන නිරංජලා වැන්නෝ කෙතරම් උසස් මනසකින් ක්‍රියා කරන්නේද? ඇය ගායනයට නැවතීමේ තිත තැබුවේ සතුටින්. ඒ පිළිබඳ කම්පාවක් කෙදිනකවත් ඇයට නොදැනෙනුයේ තම ආදරය වෙනුවෙන් කළ පරිත්‍යාගයක් නිසාවෙන්.

මේ තිරණය මම හිතට එකඟව ගත්ත තීරණයක්. ඒ ගැන කෙදිනකවත් මට කම්පාවක් නෑ. මම සිතුවා මගේ හඬ එයා වෙනුවෙන් කැප කරනවා කියලා. මොකද අපි දෙන්නම මේ ගමන ආවේ එකට. ඒක මට තනියම යන්න හිත දෙන්නේ නෑ. අබේ අසනීප වෙලා ටික කාලයක් යනකොට එයාගේ හඬ නැතුව ගියා. ඒත් එයා දැනගෙන හිටියේ නෑ ඒක කවදාවත් ආයේ එයාට ලැබෙන්නේ නෑ කියලා. එයා හිතුවේ ටික කලකින් හරි යයි කියලා. නමුත් දොස්තරලා මට කිව්වා හඬ නැවත එන්නේ නැහැ කියලා. ඒ කාලේ ඇතුළත මම දැක්කා එයා කොයිතරම් ඒකට දුක් වුණාද කියලා. එතකොටම තමයි මම හිතුවේ මමත් ආයේ සින්දු කියන්නේ නෑ කියලා. මම ක්ෂේත්‍රයට ආවේ එයත් එක්ක එයා පසු පස්සේ. මගේ හඬ තිබුණට යම් තැනකට මට එන්න උපකාර කළේ ඔහුයි. ඒ නිසා මම හිතාගත්තා ඔහු නැති දවසට ඔහු වෙනුවෙන් මම නිහඬ වෙනවා කියලා. ඒකට මට දුක නැහැ. අපි සංයුක්ත තැටි 13 ක් කරලා තිබෙනවා. ගීත 500 ට වැඩිය ගායනා කරලා තියෙනවා. රටවල් 25 ක විතර සංචාරය කරලා තිබෙනවා.

අනිත් පැත්තෙන් මම එදා ඉඳලම කිව්වේ කවුරු හරි කෙනෙක් මගේ ගීතයක් ගායනා කරනවා නම් මට ඒක රස විඳින්න පුළුවන්. අහගෙන ඉන්න මම ආසයි. කෙනෙක් මගේ ගීතයක් ගායනා කරන්න තෝර ගන්තේ එයා ආස නිසානේ. ඒක අයුතු විදියට පාවිච්චි කරන්නේ නැතුව ගීතයට නරකක් කරන්නේ නැතුව ගායනා කරනවට මම සතුටුයි.

වෙනත් ගායිකාවකට වඩා නිරංජලාට සතුටු විය හැක්කේ තම ගීත ඉදිරියට ගෙනියන්නට ඇගේම පරපුරේ අය ඉදිරිපත් වීමය.

'ඇත්තටම ඒකට මට සතුටුයි. මේගොල්ලන්ට අයිතිය තියනවා මගේ ගීත ඉදිරියට ගෙනි යන්න සහ ආරක්ෂා කරන්න. අද අපිට අහන්න දකින්න ලැබෙන්නේ සහ බොහෝ ප්‍රවීණයෝ දොස් කියන්නේ කිසිම අනු දැනුමක් නොමැතිව ඔවුන්ගේ ගීත ගායනා කරන නිසානේ. මම දුවලටත් ආදරයෙන් කියන්නේ 'පුතේ ඔයාලා මගේ ගීත ගායනා කරන්න. මොකද මේ ගීත වර්තමාන හා අනාගත පරපුර දැනගන්න ඕනනේ. නමුත් මා ගැනත් සඳහන් කරන්න කියලයි. එච්චරයි ඕනෑ.'

මේ වනතුරුම ඇගේ ගීතවලට පෙම් බඳින ගීත ශ්‍රාවකයෝ රැසක් ලංකාවේ සිටිනවා. ඒ අය වෙනුවෙන් ද ඉදිරියේදී මෙවැනි ප්‍රසංගයක් ගෙන ඒමට නිරංජලා අදහස් කරගෙන සිටිනවා. ඇගේ ඒ ප්‍රාර්ථනය නුදුරු දිනකදීම සාක්ෂාත් වෙන්නට අපේ ප්‍රාර්ථනාද එක් කරමු. නිරංජලා ගීත ගායනයෙන් සමු ගත්ත ද ඇගේ වෘත්තීය ජීවිතය නිවේදනය තුළින් තාමත් අප හමු වෙනවා. ජාතික රූපවාහිනියේ 'සෙනෙහසේ නවාතැන' ඇගේ නිවේදනයෙන් හැඩ වෙනවා.

'මගේ ජීවිතේ අබේ නැති පාලුව, තනිකම කාටවත් පුරවන්න බෑ. නමුත් ඔහු නැතුව ගෙවුණ මේ අවුරුදු අට තුළ සිංදු නොකිව්වට හැම කලා කටයුත්තකටම මම සහභාගි වුණා. යාළු මිත්‍රයින්, හිත මිතුරන්ගේ ඇසුර ලැබුණා. විවේක වෙලාවේ පොතක් පතක් කියවනවා. ඔය විදියට ජීවිතේ ඉතුරු ටිකත් ගෙවිලා යයි.