වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




පයින් art

සිංහල මතක දෙමළ අමතක කලාවතී

කලාවතී කියලා කියන්නේ අපට සිටින දක්ෂම ගායිකාවක්. ඇයට දමිළ, සිංහල යන භාෂාවලින් අපූරුවට ගීත ගයන්න පුළුවන්. ඇතැම් විට කලාවතී සිංහල ගායිකාවක් ද කියලා හිතෙන තරමට සිංහල ගීත ගයනවා. ඒ වගේම ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක් වෙනවා. මේ කියන්න හදන්නේ කලාවතී ගැන හෙළිදරව් නොවුණ රහසක්. කවුරුත් මේ පිළිබඳ නම් දන්නේම නැතුව ඇති. කලාවතීට සිංහල වචන හොඳටම පුළුවන්. සිංහල ගීතවල පදමාලා වුණත් හොඳටම මතකයි. ඒ හින්දා ඇය සිංහල ගීත ගයද්දී කොලයක්වත් බලන්නේ නැහැ. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කලාවතී දමිළ වුණාට ඇයට දමිළ පොඩ්ඩක් මතක හිටිනව අඩුයි. ඒ නිසා දමිල ගීතයක් ගයද්දී නිතැතින්ම ඇයගේ අතේ ගීතයේ පදමාලාව තියෙනවා. ඒත් සිංහල ගීත ගයද්දී එහෙම නැහැ. කොහොමද වෙනස.

භාතිය - සන්තුෂ්ට එරෙහිව භාතිය ගාමින්ද

මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ අපූරු වීඩියෝවක් සැරිසරනවා. එය පැරැණි සංගීත වැඩ සටහනක එකක්. දෙන්නෙක් සින්දු කියනවා පේනවා. ඔවුන් ආනන්ද විදුහලේ කෝට් පැළඳ ගෙන ඉන්නේ. මේ දෙදෙනා සුප්‍රකට අරාබි ගීතයක් වන දි දී දී ගීතයයි ගයන්නේ. එක් කෙනෙක් ගයනවා. අනෙක් කෙනා රැප් කරනවා. මේ වීඩියෝව හරියටම අවුරුදු විස්සකට එහා පටිගත කළ එකක් කියලා විශ්වාසයි. මෙහි ගීතය ගයන්නේ ගාමින්ද ප්‍රියවිරාජ් හෙවත් පොඩි මල්ලි. රැප් කරන්නේ භාතිය ජයකොඩි. මේ දෙන්නා පාසල් යන කාලයේ දායක වූ සංගීතමය වැඩ සටහනක් තමයි ඒ. පොඩි මල්ලියගෙ නම් රැවුල විතරයි අඩු. භාතිය සන්තුෂ් යුවළ එක්වීමට පෙරයි භාතිය මෙහෙම සින්දු කිව්වේ. කෙසේ වෙතත් අදටත් ඒ වීඩියෝව බලලා දෙන්නටම ප්‍රතිචාර දක්වනවලු. පොඩි මල්ලිට සමහරු කියනවලු අපරාදෙ ගායනය අත හැරියේ කියලා. මේ වීඩියෝව කවුරු හෝ යළි අන්තර්ජාලයට එකතු කොට තිබුණේ ගාමින්දගේ සහ භාතියගේ නම නොදා. ඒත් ක්ෂණිකව බොහෝ දෙනකු මේ දෙදෙනාව නම් හඳුනාගෙන තිබුණා.

Modeling අලියා

නව පරපුරේ රංගන ශිල්පිණී රුක්ෂානා දිසානායක අලියෙක් දැක්කලු. ඒ උඩවලවේ ජාතික වන උද්‍යානයේදී. එහි දෙපැත්තේ තියෙන අලි වැට අද්දරටම මේ අලියා ඇවිත්. සාමාන්‍යයෙන් අලියා එහෙම එතැනට එනවලු. රුක්ෂානා බැහැලා ගිහින් අලියා ගාවට. ඇයට සෙල්ෆියක් ගහන්න ඕන වුණාලු. කකුලත් එහෙම හැඩයකට තියලා ඇය අලියත් එක්ක සෙල්ෆියක් ගහන්න ලැහැස්ති වුණාලු. මෙන්න බොලේ වැඩක්, අලියත් කකුල හැඩයකට තියා ගත්තලු. රුක්ෂානා අනෙක් කකුල සෙලෙව්වලු. මෙන්න අලියත් එහෙම කළාලු. රුක්ෂානාට පුදුමයි. රුක්ෂානා ඒ විදිහටම අලියව තියලා ෆොටෝස් ගත්තලු. එතැන හිටපු කවුදෝ කිව්වලු මෙයත් මොඩ්ලිං කරපු අලියෙක් ද කොහොද කියලා.

සුබ මංගලම්

ඉකුත් දිනවලදී එක්තරා සේයාරුවක් නිසා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු අතර විවිධ මතවාද හුවමාරු වුණා. මේ තියෙන්නේ එම සේයාරුව. බලන්නකො දෙන්නා ඉන්න අපූරුව. මේ කාන්තාව ඔබ හොඳට හඳුනනවා. ඇය සනෝජා බිබිලේ. ඇගේ අත ගෙන සිටින තැනැත්තා ප්‍රසාද් ගලප්පත්ති. ඔහුව නම් වැඩි දෙනෙකු හඳුනන්නේ ශ්‍රී ලංකන් බීන් කියලනෙ. සනෝජගේ තනිකඩ ජීවිතය නිමා වෙලා කියලා බොහෝ දෙනෙකු හිතුවලු මේ සේයාරුවත් එක්ක. හැබැයි මනාලයගේ මුහුණ දැක්කම ආකල්පය තරමක් වෙනස් වුණාලු. කොහොම හරි ඉතා ඉක්මනින් ආරංචියක් ගිහින් සනෝජා විවාහ වෙලා කියලා. සනෝජත් ඉතින් සද්ද නැතුව හිටියලු. මොවුන් දෙදෙනා මෙලෙස විවාහ වුණේ ඇයි දන්නවාද. අශෝක සෙනරත් මුදලිගේ අලුත්ම වේදිකා නාට්‍ය වෙනුවෙන්. මුහුරත්දා සනෝජා සහ ප්‍රසාද් හිටියේ මෙහෙම. ඉතින් මේ සේයාරුව දැක්කම සනෝජට මංගල සීනු හැඩ වුණා කියලා නොසිතෙන්නේ කොහොමද.