වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




අධ්‍යක්ෂණයට බය නැනෝහාමි 

අධ්‍යක්ෂණයට බය නැනෝහාමි 

ගයනා සුදර්ශනී එක්ක කතා බහක්

.පුංචි තිරයේ සුදු හාමිනේ කියන්නේ ගායනා සුදර්ශනීට. එදා මෙදාතුර විසිහත් වසරක රංගන ජීවිතය තුළ ඇය කොතෙක් චරිත කළද සුදුහාමිනේ ටෙලිසිතුවමේ ඇගේ චරිතය ගැන කතා කරන්නන් එමටය. මේ සුදුහාමිනේ මේ දිනවලදී නැනෝ හාමිවී අප හමුවට එන්නීය. ඒ චරිත් අබේසිංහගේ මිණිගංදෑල ටෙලිසිතුවම ඔස්සේය. අද අපේ මේ කතාවට මූලික හේතුව වූයේද නැනෝහාමිය

ගයනා, නැනෝහාමි බාර ගත්තේ ඇයි? විශේෂ හේතුවක් තිබුණද?

ඇත්තටම විශේෂත්වයක් තිබුණා. කලකට පසුව අධ්‍යයනය කරමින් රඟපාන්න හැකියාව තිබුණු චරිතයක් ඒක. මම මෙහි රඟපාන්නේ ශ්‍රියන්ත අයියගෙ බිරිය හැටියට. ඔහු වගේම දක්ෂ ප්‍රවීණයන් රැසක් මෙහි රඟපානවා. මට ගොඩක් සතුටු හිතුණා ඒ වගේ ප්‍රවීණයන් රැසක් සමඟ කලකට පසුව රඟපාන්න ලැබීම. ඉතා කඩිමුඩියේ කරන නාට්‍ය අතර මෙහෙම නාට්‍යයක මෙහෙම චරිතයකට කතා කළාම හේතුවක් නැහැනෙ බැහැ කියන්න.

රංගනයට ලැබෙන බොහෝ ආරාධනා ඔබ සුහදව ප්‍රතික්ෂේප කරන වග දැනගන්නට ලැබුණා?

අප ගොඩනඟාගත් පදනමට අනුව නිතර දෙවේලේ මට නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. ඒත් මං ඒ සෑම එකක්ම බාර ගන්නේ නැහැ. හේතුව මේකයි. මට ලැබෙන චරිත මට මුලින්ම දැනෙන්න ඕනා. ඒ වගේම මට ඒ චරිත රසවිඳින්නට පුළුවන් වෙන්න ඕනා. එහෙම මට දැනෙන්නෙවත් රසවිඳින්නවත් බැරි චරිත ප්‍රේක්ෂකයො කොහොමද රසවිඳින්නෙ. එහෙම චරිත කළානම් ප්‍රේක්ෂකයො මාව ප්‍රතික්ෂේප කරාවි. මං මුලින්ම මට ලැබෙන චරිතය මට විඳින්න පුළුවන්ද කියලා බලනවා. ඊට පසුවයි රඟපාන්න බාරගන්නෙ.

ඔබෙන් පසුව රංගන ශිල්පිනියන් බොහෝ දෙනෙකු බිහිවුණා. ඒ වගේම පසු පරපුරකුත් හැදුණා. ඒ අය අතරේ ඔබ හිතනවද තවම ඔබ එදා වගේම ජනප්‍රියයි කියලා?

අනිවාර්යයෙන්ම. මං ජනප්‍රිය නැතිනම් මට නාට්‍යවලට කතාකරනවාද. නැහැනෙ. මට එදා වගේම අදත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තියනවා. ඒ බොහෝ පිරිසක් පැමිණියත් මට ඔවුන් සමඟ කරට කර රඟපාන්න පුළුවන් හැකියාව සහ මට ඇති ඉල්ලුම නිසයි.

ඔබේ සැමියා සහන් විජේසිංහ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් වෙලත් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ඔබ අධ්‍යක්ෂණයට යොමුවෙලා නැහැ?

සැමියා මට බලකරනවා නිර්මාණයක් කරන්න කියලා. මමයි පස්ස ගහන්නෙ. අධ්‍යක්ෂණයට අතගහන්න පොඩි බයක් තියෙනවා. තවමත් අපි ක්ෂේත්‍රය අධ්‍යයනය කරන නිසා එහෙම හිතෙනවා ඇති. සැමියා ඒ පැත්තට යොමු කරන්න හැදුවත් අධ්‍යක්ෂණයට බයයි මං.

ඔබ පරපුරේ බොහෝ දෙනෙකු රූපවාහිනී රියැලිටි තරගවලට යොමුවෙලා. ඒත් ඔබ ඒවාහි නැහැ?

රියැලිටි තරගවලට මං දැඩිව අකැමැතියි. මං ඒවා තරයේ ප්‍රතික්ෂේප කරනවා. කතා කළත් යන්නේ නැහැ.

ඇයි ඒ?

රියැලිටි කියන්නෙ සමස්ත කලා ලොවටම තියන එක්තරා පිළිලයක්. අපේ බොහෝ දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඊට ගොදුරුවනවා. රියැලිටි ඔස්සේ කලාකරුවන් නිතර රූපවාහිනියෙන් දක්නට ලැබෙනවා. හැමතිස්සෙම ඔවුන් ජනතාව අතරේ. එහෙම වෙනකොට වෙන්නෙ ආර්ටිස්ලගෙ වටිනාකම අඩුවෙන එක. කලාකරුවො කියන්නෙ එහෙම දකින්නට ඕන පිරිසක් නෙවෙයි. ඔවුන් අවශ්‍ය වෙලාවේ පෙනුනම ඇති. රියැලිටි හරහා වෙන්නෙ ඒ වටිනා කාලය තමන් විසින්ම නැතිකරගන්න එක.

කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබට රියැලිටි සඳහා ආරාධනා නොලැබුණු නිසා මෙහෙම ද්වේශයෙන් කතාකරනවා කියලා?

මගේ කිසිම ද්වේශයක් නැහැ. මං කියන්නෙ ඇත්ත. ඇයි අපේ වටිනාකම බාල්දු කරගන්නෙ. ඔය රියැලිටිවලට දායකවන අය ගැන මිනිස්සු කතා කරනවා අපිට ඇහිලා තියනවා. බලාගෙන ඉන්න පුළුවන් අයිටම් නෙවෙයි ඔවුන් ඉදිරිපත් කරන්නෙ. ඒ නිසා බොහෝ දෙනෙකුගෙ අප්‍රසාදයට ලක්වෙනවා. කලාකරුවො එහෙම වෙන්නෙ ඇයි. ඔවුන් ඒ තත්ත්වෙට පත්විය යුතුද. මං අහන්නෙ?

හෙට ෂූටිං තියන නාට්‍යයකට අද කතා කළොත් ඔබ යනවද?

කොහෙත්ම නැහැ. කොහොමත් අද වෙන්නෙ ඒ වගේ වැඩනෙ.

මෙච්චර කඩිමුඩියෙ නාට්‍ය හදපු කාලයක් තියෙන්නට නැතුව ඇති නේද ගයනා.

අම්මේ ඔව්. ඉස්සර අපි නාට්‍යයක් කරද්දි සතියකට වඩා පිටපත කියවනවා. අධ්‍යක්ෂවරයා එක්ක සාකච්ඡා කරනවා. චරිතය අධ්‍යනය කරනවා. අද ඒ මොකක්වත් නැහැ. නාට්‍යකට කතා කරනවා. සතියකින් මුහුරත් තියනවා. ඊළග සතියෙ ෂුටිං දවස් හතෙන් හතම වැඩ. එතරම්ම ක්ෂණිකයි.

සුදුහාමිනේ ගැන වර්තමානයේදී ඔබට ප්‍රේක්ෂකයන් මතක් කරනවාද?

ඔව්. මේ ඊයේ පෙරේදා දවසක තිබුණු උත්සවයකදී මට කෙනෙකු ඔය චරිතය ගැන මතක් කළා. මට හරිම පුදුමයි. සමහරුන්ට මගෙ නම අමතක වුණාට ඒ චරිතය හොඳට මතකයි.

මිණිගංදෑලෙන් පසුව තවත් ටෙලිනාට්‍ය භාර ගත්තද?

තවම නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් කරනවා. අර කලින් කිව්වා වගේ මට ඒක විඳින්න පුළුවන් වෙන්න ඕන.