වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

රිදී තිරයේ සදාතනික වීරයා ගාමිණී

සිංහල සිනමාවේ දක්ෂතම චරිතාංග නළුවා ලෙස ද චණ්ඩියා, සූරයා වීරයා ලෙසත් පැසසුම් ලද සිනමා සක්විති ආචාර්ය ගාමිණී ෆොන්සේකා පරපුරෙන් පරපුරට නොඅඩුව ජනප්‍රියත්වය රැක ගනිමින් එම ගෞරවය තව තවත් වැඩි කර ගත්තේය. එසේම රඟපෑම් පිළිබඳව අලුත් ශෛලියක් බිහි කිරීම, නළු නිළියන්ගේ වෘත්තීමය ගෞරවය දිනාදීම, සිනමාව පුළුල් කර්තව්‍යක් ලෙස ප්‍රචලිත කිරීමට කටයුතු කිරීම ආදිය නිසා ඔහු තවත් එක් සිනමා තරුවක් පමණක් නොවේ. සිනමා ප්‍රේක්ෂකයන්ගේ සමාජ දේශපාලන ගැටලු වෙනුවෙන් කතා කළ ගාමිණී ඒ තුළින් ද විශාල ප්‍රේක්ෂක පිරිසක් බිහි කරගත් ශ්‍රේෂ්ඨ සිනමාවේදියෙකි. ඇත්ත වශයෙන්ම අපේ සිනමාවේ නියම නළුවා බිහි වූයේ ගාමිණී තුළින්ය. ඒ රන්මුතු දුවේ ඔහුගේ චරිතය තුළින්ය. සිනමාවට අභිමානය හා අලංකාරය, වීරත්වය ගෙන දුන් මේ යුග පුරුෂයාගේ වියෝව නිසා හෙළ සිනමාව තුළ ඇති වූ හිදැස පිරවීමට සමතෙක් මෙතෙක් බිහි වී නොමැත. ඔහු රන්මුතු දූවෙන් බිහි වූ පරසතු මලයි. ගාමිණී වියෝ වී වසර 14 ගත වුව ද සදා නොමියන මිනිසා සිනමා සක්විති ඔහුය. ඔබ අන්තිම රැය තුළින් සමු ගත්ත ද කිසිදා අප හදවත් තුළින් සමු නොගනී. සැමදා රිදී තිරයේ වීරයා ඔබ මිස අන් කවරෙක්ද?


උලෙළ අගයමු

පසුගියදා පැවති සරසවිය සම්මාන උලෙළ අගය කරමි. රණතිසර ප්‍රමාද වී හෝ ලැබුණු රොබින් ප්‍රනාන්දු, සුවිනීතා, ශ්‍රියාණි අමරසේන, ධර්මසිරි බණ්ඩාරනායක යන ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට සුබ පතමි.
මෙවැනි සම්මාන උලෙළක් තියන්නටත්, චිත්‍රපට නිෂ්පාදනය කිරීමටත් සිනමාවක් තිබිය යුතුය. 80 මැද භාගයේ දේශීය සිනමාව කඩා වැටුණු යුගයේ ගෙවල් දොරවල් උගස් කොට බැංකු ණය ලබාගෙන සිනමාව ගොඩ ගත් වසර 50 කට වැඩි කාලයක් සිනමාවේ නම රැන්දූ සෝනියා දිසා මහත්මිය ඉක්මනින් ඇගැයීමට ලක් කරන්න.

රෙක්ස් කොඩිප්පිලි, තිස්ස විජේසුරේන්ද්‍ර, සුමනා අමරසිංහ ගැන ද මතක් කරමි.


කාන්තා අභිමානය පෙන්නූ රුක්මණී

රුක්මණී දේවි යනු මේ පුංචි ලක්බිමට පහළ වූ වටිනා වස්තුවකි. රඟපෑම කාන්තාවට තහනම් වූ යුගයක එම බැමි බිඳ දමා කාන්තා අභිමානය රටට පෙන් වූ ඒ වටිනා චරිතය අලෙවි කරමින් අද සමහරුන්ගේ ජීවන මාර්ගය වී තිබෙන්නා වූ යුගයක එය තම ආදායම් මාර්ගය කර නොගනිමින් රුක්මණී දේවිය යටපත් නොවීමට දැඩි උත්සාහයක යෙදෙමින් තම ධනය ශ්‍රමය කාලය නිතැතින්ම හදවතට එකඟව වැය කරනා රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ ආරම්භක සාමාජිකාවක වූ දැනට අසනීපව සිටින සිරිමා මාසලින් හට ඉක්මන් සුවය ලබා නැවත ගායන ලොවට පිවිසේවායි මෙසේ ප්‍රාර්ථනා කරමු.


චිත්‍රපට ගී ප්‍රචාරය වන්නේ නැහැ

අවිශ්වාසය, ගැහැනු ගැට, පතිවත, සෝභා, සේපාලි ආදි චිත්‍රපටවල ගීත කිසිම රේඩියෝ යන්ත්‍රයකින් ප්‍රචාරය වන්නේ නැහැ.


දේශමාන්‍ය කීර්ති බණ්ඩාර මැතිතුමාට

අල්ලපු ගෙදර චිත්‍රපටය නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඉදිරිපත් වීම පැසසිය යුතුය. නව පරපුරට දැක ගැනීමට නොහැකිව ලතවෙන පේ‍්‍රක්ෂකයාට එය දැක බලා ගැනීමට පුල පුලා බලා සිටින වග දන්වන අතර ඔබතුමාගේ ඒ කටයුත්ත ඉතාමත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.


සෑම නාට්‍යයකම එකම හඬ

ඉන්දියාවේ කුණූ කුඩයට දැමූ නොවටිනා ටෙලි නාට්‍යය කිසිම හරයක් නොමැතිව මෙහි විකාශය කිරීම ඉතා වැදගැම්මකට නොමැති ක්‍රියාවකි. සෑම නාට්‍යයකම ඇසෙන්නේ එකම කටහඬය. බලධාරින්ට මෙය නොහැඟීම ජාතියේ අවාසනාවයි.


දෙරණට ස්තූතියි

දෙරණ නාළිකාවේ විකාශය වන අලුත් චිත්‍රපට ඉතාම ලස්සනයි. හැම භාෂාවකින්ම චිත්‍රපට පෙන්වනවා. දෙරණටත් දෙරණ කාර්ය මණ්ඩලයටත් මගේ නොමඳ ස්තූතිය. සුභපැතුම්.


රූපය දිරයි නාමය නොදිරයි

අගනුවරින් බැහැරව ජීවත් වෙමින්, සිංහල සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය ජය කෙහෙළි නංවමින් සම්මාන නොලැබ නිහඬව, නිහතමානීව මෙලොවින් සමුගත් රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්නට අජරාමර නිවන් සුව අත්වේවා!


සතිස්චන්ද්‍ර එදිරිසිංහට

දශක ගණනක් තිස්සේ රංගනයෙන් හා ටෙලි නාට්‍ය සිනමා නිර්මාණ කරමින් කළ මෙහෙවර අගනේය. රසික හදවත් දිනූ කලාකරුවාණනි ඔබට ප්‍රශස්ත නිර්මාණ කිරීමට ආයු වර්ණ සැප බල ශක්තිය ලැබේවායි පතමි.


ටෙලි කලාව අතරමං වේද?

දෙබස් කැවූ විදේශීය ටෙලි නාට්‍ය දැන් දැන් අපේ පුංචි තිරය ආක්‍රමණය කර තිබීමෙන් සිංහල ටෙලි නාට්‍ය කලාව අතරමං වේද.


යමුනා විනෝදනීට තුති

සංගීත විශාරද ගායන ශිල්පිනී යමුනා විනෝදනී ඔබගේ 'අසුරු සැණින්' ප්‍රසංගයට සමගාමීව නිකුත් කළ 'අසුරු සැණින්' සහ 'ප්‍රේමයයි වෛරයයි' සංයුක්ත තැටි දෙකේ ගීත හරිම ලස්සනයි. ඝෝෂාකාරී අර්ථ ශූන්‍ය ගීත ඇසෙන මෙවන් යුගයක මෙම ගී එකතුව ඉඩෝරයට වැටෙනා සිහිල් දිය බිඳක් වැනිය. යමුනා විනෝදනී ඔබට බොහොම තුති.


ශ්‍රී සිද්ධාර්ථ වැදගත්

හරසුන් ටෙලි නාට්‍ය නිර්මාණය වන යුගයක බෞද්ධ ජනතාවට වැදගත් ටෙලි නාට්‍යයක් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නමින් සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට හිරු නාළිකාවෙන් විකාශය වෙයි. වෙනත් භාෂාවලින් රචනා වූ ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක් මෙරට රූපවාහිනී නාළිකාවල විකාශය කරයි. නමුත් ප්‍රථම වතාවට මෙවැනි ටෙලි නාට්‍යයක් නිපදවීම පිළිබඳව එයට සම්බන්ධ සියලු දෙනාට කෘතඥ වෙමි.


බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න

සිංහල සිනමා වංශ කතාවේ රන් අකුරින් ලියවිය යුතු වුව ද සියලු දෙනා විසින් අමතක කොට දැමූ ප්‍රථම චිත්‍රපටය 'කඩවුණු පොරොන්දුව' සමඟ චිත්‍රපට 12 ක් සිනමාවට දායාද කොට අධ්‍යක්ෂවරයෙකු සේම රංගන ශිල්පියකු ද වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් නිහඬවම සමුගෙන ගොස් වසර 53 ක් ගත වුව ද එතුමා පිළිබඳ මතකය රසික හදවත් තුළ නම් නොනැසී පවතින්නේය. කළ ගුණ නොදත් ජාතියක ඉපිද සිටින අය ගැන කවර කතාද?


ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලට

ජීවන ගමන් මඟේ 84 වැනි වසරට පියවර තබමින් එදා සිට අද මේ දක්වාම ගී ලෝකය විරාජමාන කරමින් තවමත් අප අතරම රැඳී සිටින්නට හැකි වීම කලාවට ආදරය කරන ඔබට ආදරය කරන සියලු දෙනාගේම වාසනා මහිමය බව කිව යුතුමයි. එදා සරල ගීතයෙන් සංගීත ලොවට පැමිණ ගීත රැසක් ගයමින් තිරගත වූ චිත්‍රපට රැසකම රඟපෑ සිනමා නිළියන්ට පසුබිම් ගීත ගයමින් ගී ලොව ඔබ කර ඇති විප්ලවීය වෙනස නිසාම ඔබ විසින් ගයා ඇති සෑම ගීතයක්ම හරිම රසවත් බවින් පරිපූර්ණය. නෙළුම් මානෙල් මඩේ පිරිලා - රැජින මමයි - පුන්සඳ එළියයි ඇතුළු ගීත හා එම ගීතවල ඇති රස වින්දනය සැමදා ගීතලෝලී ජනතාව අතර සදාකල්හිම රැඳී පවතීවි.


අධ්‍යක්ෂකට - නිෂ්පාදකට තුති

කවදත් අපට ශ්‍රේෂ්ඨ සිනමා කෘතීන් ඉදිරිපත් කළ සම්මානනීය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි ඔහුගේ නවතම චිත්‍රපටය 'ඝරසරප' තුළින් අරුම පුදුම වැඩක් පෙන්වා දී ඇත. මෙවැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අර්ජුන කමලනාත්ට ද මගේ අවංක ස්තූතිය පුද කරමි.


උත්තම පුරුෂ උත්තම ටෙලි නාට්‍යයක්

පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනිය තුළින් සතියේ දිනවල රාත්‍රී 9.00 ට විකාශය වූ උත්තම පුරුෂ මෑත කාලයේ ටෙලි නාට්‍යයක් ලෙස සියලු වයස් භේදයකින් තොරව සියලු දෙනා එකසේ රසාස්වාදය ලැබූ බව පෞද්ගලිකව මා සිතමි. එවැනි අද කාලයට ගැළපෙන ටෙලි නාට්‍යයක් අප වෙත ගෙන ආ එහි අධ්‍යක්ෂතුමාටත්, නිෂ්පාදකතුමාටත් එහි රංගන ශිල්පීන් සියලු දෙනාටත් සැබැවින්ම පවුලේ නාළිකාව වූ ස්වාධීන රූපවාහිනියටත් මගේ සුභාශිංසන මෙසේ පිරිනමමි.


සරත් ධර්මසිරිට ප්‍රණාමය

අයි. ටී. එන්. නාළිකාවේ විකාශය වන උත්තම පුරුෂ ටෙලි නාට්‍යයෙහි කපිලරත්නගේ චරිතයට පණ පොවන රිචඩ් අබේවර්ධන කෙරෙහි අනුකම්පා සිතෙන අතර මේනකා ලෙස රංගනයේ යෙදෙන චමිලා පීරිස් කෙරෙහි ඇත්තටම තදබල කෝපයක් අපට ඉස්මතු වෙන අතර මේ හැම දෙයක්ම තිර රචනයට ගොඩ නැඟූ එහි අධ්‍යක්ෂක සරත් ධර්මසිරි මහතාට අපගේ භක්ති ප්‍රණාමය පුද කරමි.


සිනමාවට අහිමි වූ සෙයින් සුහේර්

පසුගිය දිනෙක ස්වාධීන රූපවාහිනී සේවයෙන් එතරම් පැරැණි නොවන සිංහල චිත්‍රපටයක් විකාශය වූවා. එය 'චණ්ඩින්ගෙත් චණ්ඩියා' චිත්‍රපටයයි. එහි දුෂ්ටයාට රඟපෑවේ තවත් අපූරු නළුවෙකි. ඔහු නමින් සෙයින් සුහේර්ය. සෙයින් අපූරුවට එම දුෂ්ඨ චරිතය නිරූපණය කර තිබිණ. මීට අමතරව ඔහු පෙම්වතා හා ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපට කීපයක් ද විය. 'රත්තරං කන්ද', 'සනසන්න මා' ඉන් ප්‍රධානය. මෙයින් 'රත්තරං කන්ද' චිත්‍රපටයට පාදක වූයේ එකල ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් ප්‍රචාරය වූ 'රත්තරං කන්ද' ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයි. එම ගුවන් විදුලි නාට්‍යයේ 'මාතලී' යන චරිතය රඟපෑවේ නිට්ටඹුවේ එම්. විමලසේනය. චිත්‍රපටයේ 'මාතලී' වූයේ සෙයින්ය. 'සනසන්න මා' ඔහුගේම නිෂ්පාදනයකි. සිනමාවට ඔහුද අහිමි විය.


නන්දන වින්දන නැවතත් ඕනෑ

මියගිය අබේවර්ධන බාලසූරියට උපහාර ලෙසත් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා නන්දන වින්දන වැඩ සටහන නැවත විකාශය කරන ලෙස ඉල්ලමි. නැතිනම් පැරැණි ගායක ගායිකාවන් සහභාගි කරවා ගෙන ඔවුන්ටත් රසිකයන්ටත් ප්‍රයෝජනවත් ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලමි. ඒ සඳහා නිරංජලා සරෝජනී ඉදිරිපත් වන්නේ නම් මැනවි.