වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සාගරයක් මැද නොමියෙන මිනිසා ගාමිණී ගැන ලියවුණ ගීයක්

සාගරයක් මැද නොමියෙන මිනිසා ගාමිණී ගැන ලියවුණ ගීයක්

හෙළ සිනමා සක්විති ඔහුය. රංග ප්‍රතිභාවෙන් ඔහුට සම කළ හැකි අයකු මෙතෙක් බිහිව නැත්තේය. යුග ගණනාවක් ස්වකීය රංගන ප්‍රතිභාවෙන් රිදී තිරය ඔපවත් කළ ගාමිණී අදින් වසර දහහතරකට පෙරාතුව අප අතරින් සදහටම නික්ම ගියේ දහසකුත් දෙනාගේ නෙතග කඳුළු නංවාලමිනි. ඔහු වෙනුවෙන් පසුකාලීනව ඔහුගේ සහෘදයින් කළ කී දේ බොහෝය. ගාමිණී ෆොන්සේකා ස්මාරකයක් හැදිණ. ගාමිණි ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන සිනමා උලෙළ පැවැත්විණි. වසරක් පාසා ගාමිණී ගුණවැයිණ. එහෙත් මෙතෙක් අපට අසන්නට දකින්නට නොලැබුණු කර්තව්‍යයක් ගාමිණී වෙනුවෙන් කර ඇතිවගට ඉකුත්දා අපට ආරංචි විය. එය එක්තරා අන්දමින් උපහාරයක් වන්නේය. ගාමිණී එලෙස ස්මරණය කරමින් අගය කරනු ලැබුවේ ගී මල්දමකිනි. මෙහි නිෂ්පාදනය සිදු කරන ලද්දේ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වූ ගාමිණී රසික කිංස්ලි මොහාන් විසිනි. ඔහුගේ සමීපතම ඥාතියකු වූ ටෙලිසිනමා අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මෙහි ගීපද ගෙත්තම් කරන ලදී. අමරසිරි පීරිස්ගේ මියුරු හඬ සංකලනයෙන් හැඩ ගැන්වූ ගීතයේ සංගීත නිමැවුම නවරත්න ගමගේ විසිනි. මෙම සටහනින් පසු ලියැවෙන්නේ එහි පද මාලාවයි. බලන්න කොතරම් එය අපූරුද යන වග.

හෙළ සිනමාවේ
වීර චරිතයේ නිදසුනවූ
රඟ විරුවාණෙනි
පෑ විස්කම් ඔබ මැවු රූ සරියේ
සලකුණ විය රඟ පෞරුෂයේ

චලන චිත්‍රයේ නොසැලුණු සක්විති
පෑ ඔද තෙද ගරු සරු සාරය
රාජ සභාවේ දෙවැනි අසුනෙ හිඳ
පෑ දස්කම් හරි නැණ සාරයි

දකුණෙන් උතුරට පාලම සෑදූ
සරුංගලේ නඩරාජා විය ඔහු
වැලිකතරේදී නිධානයක් වූ
සාගරයක් මැද නොමියෙන මිනිසා
නොමියෙන මිනිසා//


අ. ත. ක. ස. සම්මාන දිනුවෝ

අගනුවර තරුණ කවි සමාජයේ අසූ තුන්වැනි සංවත්සරය වෙනුවෙන් කවියට, කලාවට කළ මෙහෙය අගයමින් කලාකරුවන් පහළොස් දෙනෙකුට සම්මාන ප්‍රදානය කරන ලදී. මේ එම සම්මානිත කලාකරුවන් කිහිපදෙනෙකුගේ සේයාරූ සනිටුහන්වූ අයුරුයි. මහාචාර්ය සනත් නන්දසිරි, කිවිවර මාටින් ජයවර්ධන, දයාන් විතාරණ, රොඩ්නි විදානපතිරණ, බණ්ඩාර ඇහැලියගොඩ, ධර්ම ශ්‍රී මුද්දවගේ, කරුණාරත්න අරන්දර, නාකුළුගමුවේ ගුණරත්න, කල්‍යාණි හේරත් මැණිකේ, අගලියේ විමලසේන කුමාර, ජයන්ත නානායක්කාර, සිරි කහවල, ආචාර්ය නුවන් නයනජිත් කුමාර, සහන් ජයශානක සහ ප්‍රියන්ත කොඩිප්පිලි මෙහිදී සම්මානිත කලාකරුවෝ් වෙති.


පේරාදෙණියේ නොදුටු ඇස්

කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කරන “නොදුටු ඇස්” වේදිකා නාට්‍යය එළඹෙන 3 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය රඟහලේදී වේදිකා ගත කෙරේ.


යමුනා මාලිනී පෙරේරාගේ ග්‍රන්ථ යුගලක්

ප්‍රවීණ ලේඛිකාවක හා ගීත රචිකාවක වන යමුනා මාලිනී පෙරේරා විසින් රචනා කරන ලද ග්‍රන්ථ ද්විත්වයක් එළි දැක්විණ. විවිධ පුවත්පත්වලට ලියන ලද ලිපි මාලාවක්, ගං දැලේ සිත හා කෙටි කතා එකතුවක් වන සේයා පාරන මායා ඇයගේ මෙම නවතම කෘතින් වේ.


දැවෙන විහඟුන් කතාබහක

අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූ සිනමාපටයක් වන සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් සිනමාපටය පිළිබඳ විද්වත් සිනමාකතිකාවක් මෙම මස 29 වැනිදා සවස මරදාන ඩීන්ස් පාරේ සමාජ සහ සමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. අජිත් ගලප්පත්ති, භූපති නලීන් වික්‍රමගේ සහ සුමිත් චාමින්ද යන විචාරකයින් මෙම අවස්ථාවට සහභාගිවනු ඇත. සභාව මෙහෙයවීම මාධ්‍යවේදී නුවන් ජූඩි ලියනගේ විසිනි


කතන්දර පැය 29 වැනිදා BMICH හිදී

කතන්දර පැය එළඹෙන 29 වැනි දින සිරිමාවේ බණ්ඩාරනායක පොත් ප්‍රදර්ශන මධ්‍යස්ථාන අබියස සවස 4 ට පැවැත්වේ. පැයක් පුරා පැවැත්වෙන මෙම ළමා වැඩසටහන සඳහා පවුලේ සියලුම ඥාති මිත්‍ර ආදීන්ට සහභාගි විය හැකිය. එදින මුලින්ම පැමිණෙන දරුවන් විසිපස් දෙනාට ළමා පොතක් පිරිනැමීම ද සිදු කෙරෙනු ඇත.