වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු විසිපහකට පස්සේ රන්ජන්ගෙන් සම්මානගත් මාධ්‍යවේදී සෑම් පෙරේරා

අවුරුදු විසිපහකට පස්සේ රන්ජන්ගෙන් සම්මානගත් මාධ්‍යවේදී සෑම් පෙරේරා

සෑම් පෙරේරාලා, දෙදෙනෙක් සිනමාවට සම්බන්ධය. එක් අයෙක් ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පිනියකි. අනෙකා මාධ්‍යවේදියෙකි. සරසවිය, තරුණී පුවත්පත්වල කටයුතු කළ දෙයැනි සෑම් පෙරේරා ගීතා පුවත්පතේ කතුවරයා ලෙසද කටයුතු කළේය. සෑම් ඔහුගේ නවතම සිනමා කෘති පෙළක පළමු කෘතිය 'රූප ඡායා 1' නමින් මේ වන විට එළිදක්වා ඇත. මේ සොදුරු මාධ්‍යවේදියා, ලේඛකයා සමඟ යෙදෙන කතා බහ ඒ නිමිත්තෙනි.

මේ කලා ලොවේ දිදුළන තරු ගැන රචනා වූ පොතක්?

ඔව්. මම පුවත්පත් කලාවට අවතීරණ වූ දා පටන්ම සිතූ දෙයක් තිබුණා. ඒ තමයි එක පිරිසක් ගැන ලියන්නේ නැතිව කලා ක්ෂේත්‍රයට එක්වෙන හැමදෙනාම ගැන මම ලියනවා කියලා. එය මගේ හිතේ හැමදාමත් තිබුණා. එය මම මාධ්‍යවේදියෙක් ලෙස ක්‍රියාත්මක කළා. නිතරම කලා ලොවට එක්වෙන අය ගැන ලියන්නට පටන් ගත්තා. නැති නම්, ගාමිණී, මාලිනී, ජෝ, ටෝනි ගැන විතරක් ලියලා ඉන්න ඕන කියල මම කවදාවත් හිතුවේ නැහැ. ඒ කාලෙ බොහොම ජනප්‍රිය මාධ්‍යවේදීන් ලිව්වේ ඉතාම සීමිත පිරිසක් ගැන විතරයි. ඒක නිසා තමයි මට කිහිප දෙනෙකුට සීමා නොවී කලා ලොවට එක්වෙන හැමදෙනා ගැනම ලියන්න ඕන කියලා හිතුනේ.

මෙහි නවකයන්ටත් ඉඩක් වෙන්වෙනවා?

ඔව්. හුඟක් නවක කලා තරු ගැන මෙහි අන්තර්ගතයි. මම විවිධ පුවත්පත් ආයතන කර්තෘ මණ්ඩලවල සේවය කිරීමෙන් මෙය ඉතා පහසුවෙන් කරගන්නට පුළුවන් වුණා. මම හරියට ලිව්වා ගායකයො, තරුණ නළුවො, ෆැෂන් කරන තරුණයින් පිළිබඳව. එහෙම ලියල ලියල මම ලියල තියෙනවා මුල්ම ලිපි එකසිය තිස් පහක්. ඔය අද ජනප්‍රිය හැම නළුවෙක් නළියෙක්ගෙම තරුණ කාලෙ පළමු සටහන. ඒ කියන්නේ දැවැන්ත ලිපි නෙමෙයි. ඔවුන්ව ලෝකයාට, ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ මුල්ම සටහන, ලිපිය වෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට ඒ කාලෙ රූකාන්තගෙ, මම ලියලා තියෙනවා මංගල යෝජනා. එයා බඳින්න හොයන කෙල්ල ගැන. මට හරියටම මතක නැහැ. 'හඳ ඇදි රුව' වගේ විශේෂාංගයක් එය. එහෙම මම ලිව්වාම සමහරවිට ඒ වගේ ගතිගුණ තියෙන අයම බැඳලත් තියෙනවා. මේ ළඟදිත් මට එහෙම දෙයක් නළුවෙක් කිව්වා. ඔහු ජනක ජයලත්. ඔහු රට ගිහින් ලංකාවට ආ වෙලාවේ එන්න කිව්වා. මම ගියා. අපි දෙන්නා බැන්දෙත් ඔයා හින්දා කියලා ඒ නළුවා කිව්වා. දැන් අඩි හයක් විතර පිරිමි දරුවො දෙන්නෙකුත් ජනකට ඉන්නවා.

නවපරපුර ගැනම ලියත්දී චෝදනා ආවෙ නැද්ද?

මොකද නැත්තේ. සමහර ජනප්‍රිය නළු නිළියන් මගෙන් අහන්න ගත්තා ඇයි ඔයා නව පරපුර ගැනම ලියන්නේ කියලා. මම ලියූ සමහර නළු නිළියො ක්ෂේත්‍රයෙන් දැන් සමහර වෙලාවට ඉවත් වෙලා. ඒත් දැවැන්තයින් බවට පත් වූ පිරිසකුත් ඒ අතර ඉන්නවා.

නවකයො ගැන ලියද්දි රසවත් අත්දැකීම් ලබන්න ඇති?

කමල් අද්දරආරච්චි ගැනත් මුල් කාලයේම පළමු ලිපිය මම ලිව්වා. කමල් ගේ ගිය ආර්ටිකල් එකේ හෙඩිම වැරදිලා. මට තවම මතකයි කමල් ෂෝර්ට් එකක් ඇඳන් පොත් ටිකකුත් අතේ තියන් විජය පබ්ලිකේෂන් එකට ආවා. කමල් අද්දරආරච්චි ආවේ සාගරයක් මැදින් කියන එකට ආර්ටිස්ට් ඇඳල තියෙන්නේ 'ගඟ අද්දරින් ආ කමල්' කියලා. ප්‍රින්ට් වෙලා පත්තරෙත් අවුට් වෙලා. ඉතින් මේ. වගේ සිදුවීමුත් වුණා. කමල් මගෙන් ඇවිත් ඇහුවා මගේ පළවෙනි ආර්ටිකල් එක මේ ඔයා මොකක්ද මේ දාලා තියෙන්නේ කියලා.

ඔබ රන්ජන් ගැනත් ලිව්වා?

ඔව්. රන්ජන් ක්ෂේත්‍රයට ආ මුල් යුගයේ ෆැෂන් වලට පින්තූර දමන්න ආවා. හැමදාම රන්ජන් එනවා. දෙල්තොට චන්ද්‍රපාල මහත්තයා මට දවසක් කිව්වා සෑම්ව හම්බවෙන්න එන ෆැෂන් කොල්ලො ටික දාන්න එළියෙ ගහන්න ඕන හට් එකක් කියලා. ඒතරමට ෆැෂන් පේජ් එකට තරුණයො ආවා. ඒ ගොඩේම හිටියා රන්ජන්. රන්ජන්ගේ පින්තූර වලට පොඩි කැප්ෂන් ලියලා ඇරියා. ඒ කරපු දේට අවුරුදු 25 කට පස්සේ රන්ජන් මට සම්මානයකුත් දුන්නා.

එය ඔබට දිරියක් වුණා?

ඔව්. මේ වගේ සිදුවීම් නිසා තමයි මේ පොත් ටික රචනා කරලා ඉක්මනින්ම මුද්‍රණය කරන්නට මම යුහුසුළු වුණේ.

සිනමා පොත්වලට සමාජයේ ඉල්ලුමක් තියෙනවාද?

ඇයි නැත්තේ.

මේ කෘතියේ අන්තර්ගතය?

මේ කෘතියට පාදක වෙනවා සිනමාවේ මුල්ම කාලයේ නළු නිළියන් ගේ සිට අද දක්වා බිහි වූ නළු නිළියන් පිළිබඳ මා ලියූ විස්්තර. බී. ඒ. ඩබ්ලිව් ජයමාන්නව මට ඉන්ටර්වීව් කරන්න ලැබුණෙ නැහැ. මම යන කොට ඔහු මිය ගිහින්. නමුත් ඔහුගේ බිරිඳ ග්‍රේස් ජයමාන්නව මම ඉන්ටර්වීව් කළා.

ඇය ගැන කතා කළොත්?

ඇය හරිම ලස්සනයි. ඇයට දරුවන් පස්දෙනෙක්. බී. ඒ. ඩබ්. ජයමාන්න මිය ගිහින්. ඇය ජයමාන්න සිනමාකරුවට හරියට බැන්නා. ඇය කිව්වේ ඔහු මාව නැති කළා කියලයි. ළමයි එක්ක මම දුක්වින්දා කියා ඇය කිව්වා. ඒ ගෙදර ඔවුන්ගේ විවාහ ඡායාරූපයක්වත් තිබුණෙ නැහැ. අපි බී. ඒ. ඩබ්. ජයමාන්න කියලා ලොකුවට කතා කළත් ඔහුගේ බිරිද ඔහු ගැන කිසිම අයුරකින් ලෙන්ගතු බවකින් කතා කළේ නැහැ. මම ඒ හැමදේම පත්තරේට ලිව්වා. එතැන් පටන් මෑතක ක්ෂේත්‍රයට ආ හේමාල් රණසිංහ, පූජා උමාශංකර් දක්වාම මම ලිව්වා.

ඒ ලිවීම ගැන මොකද හිතෙන්නේ?

මට එය ලොකු ආසාවක් වුණා.

මේ පොත කොටස් වශයෙන් පළවෙන්නේ?

ඔව්. පොත් දහයක්. ලිපි බොහෝ ප්‍රමාණයක් ඇතුළත්. මේ පොත් දහයක පළමුවැන්න.

පත්තර ජීවිතය ගැන තෘප්තිමත්ද ඔබ?

අනිවාර්යයෙන්ම. මම සිනමාව ගැනම ලියලා මට කාලයක් සිනමාව එපා වුණා. පසුව මම කාන්තා පත්තර, ළමා පත්තරවලට ලිව්වා. ඒවායෙ වැඩ කළා. එක තැනක මම ඉන්නේ අවුරුදු 4 ක් 5 ක් වගේ තමයි. එය මගේ සිරිතක්.

ජීවිතයට සමීපතම නළු නිළියන් කවුද?

හුඟ දෙනෙක් ඉන්නවා. ලින්ටන් සේමගේ වගේ අය එදා අපිට හරියට සලකනවා. හුඟක් අය කියනවා පත්තර කාරයන්ට මිනිස්සු සලකන්නේ ගැන කියලා. එය බොරු. මට නම් හුඟක් අය ආදරයෙන් සලකනවා. නළු නිළියො විශේෂයෙන්.

ඔබ තවත් පොත් රචනා කර තිබෙනවා?

ඔව්. මේ පොත් අතර මම ආසම පොත තමයි මම ලිව්වා නවකතාවක්. 'ක්‍රිකට් ගහන කුඩඅම්මා' කියලා. එය සමාජයේ ඕනම කෙනෙකුට කියවා රස විඳින්න පුළුවන්. මං එයට චිත්‍රපට තිර නාටකයක් ලියමින් ඉන්නේ. එයින් කියවෙන්නේ දුප්පත් අසරණ ළමයි ගැනයි. දුක් විඳින ළමයින් ගැන.

මාධ්‍යවේදියෙක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

හරියට සන්තෝෂ වෙනවා. සමාජයට දෙයක් දෙන්න පුළුවන් වුණා.