වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




78 යි තාම තරුණයි

78 යි තාම තරුණයි

කලං

දේශීය සිනමාවේ නළු ප්‍රතිරූපයට අපූරු අව්‍යාජත්වයක් එක් කරමින් සිංහල සිනමාවේ යුගයක් එකලු කළ ප්‍රතිභාපූර්ණ රංගධර අමරසිරි කලංසූරිය පිළිබඳ රටපුරා පැතිර ගිය ආරංචිය ප්‍රසිද්ධ රහසක්. සිනමා රසිකයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් ඔවුන්ගේ ආදරණීය කලං පිළිබඳ දුක්මුසු පුවතක් සමාජ ජාලා වෙබ් අඩවි පුරා පැතිර යමින් පවතින විට කලංට ආදරය කළ විදෙස් රටවල පවා සිටින රසිකයන් තම ශෝකය දරා ගැනීමට බැරිව තමන්ට දැනගන්නට ලැබුණු ආරංචිය ගැන කඳුළු සැලුවේ, දුක් වූයේ තම අදහස් සමාජ ජාලා වෙබ් අඩවි වෙත නිකුත් කරනු ලැබුවේ කලංට තිබූ අසීමිත ආදරය නිසාමය. කලං පිළිබඳ හරි හැටි තොරතුරක් නොදැන සිටි සියලු දෙනාගේ සිත් සතන් ප්‍රීතියට පත් කරමින් කලං යළිත් අප අතරට පැමිණියේ කවදත් ඔහු තුළ පැවති සරලකම අව්‍යාජ සිනහව ඇතිවමය.

තාරුණ්‍යයේ පිරිපුන් ජවයකින් යළිත් නිවස වෙත පැමිණි කලං හමුවන්නට අපි පැමිණියේ අංක 20 මිලේනියම් සිටි, කොටුගොඩ ලිපිනයේ ඔහුගේ නිවහන වෙතය.

අපගේ පැමිණීම දැනගත් විගස ඉදරියට පැමිණ අපිව පිළිගත්තේ කලං අයියාය. යං මල්ලි ගේ ඇතුළට වාඩි වෙන්න. අප අතර හමුව සිදු වන දින කලං අයියාට ද සුවිශේෂී දිනයක් විය. ඒ අන් කිසිවක් නිසා නොව කලං අයියාගේ ජන්ම දිනය එදිනට යෙදී තිබූ නිසාය. ගෙදර පුරාවට එදින තිබුණේ කලබලකාරී ස්වරූපයකි. නිරන්තරයෙන් නාද වන දුරකථනයෙන් නිවසට ගලා ආවේ සුබ උපන් දිනයක් කලං අයියා කියන පණිවිඩයයි. කලං අයියාට සුබ පතන්නට නිවසට පැමිණි අමුත්තන්ගෙන් ද අඩුවක් නැත. සමහරු තෑගි බෝග රැගෙන කලංට සුබ පතන්නට පැමිණේ. තවත් අය නිවසට පැමිණීිමට අවසර පතන්නේ ලිපිනය ගැන විමසමිනි. ඔය අතරේ කලංගේ පුතු දුමින්ද තමන්ගේ පියාණන්ට තෑගි බෝග සමඟින් උපන් දින සුබපැතුම් එක් කරලමින් නිවසට ගොඩ වූයේ තම පියාණන්ගේ දෙපා නමදිමිනි. තොර තෝංචියක් නැතුව නාද වන දුරකථනයේ හඬ අපේ කතාබහට බාධාවක් වූ හෙයින් කලං රිසීවරය පසෙකට තබා අපේ කතාබහට මුල පිරුවේය.

අද මට අවුරුදු හැත්තෑ අටක්. ඒකනේ මේ කෝල් වැහි වැහැලා.

හැබැයි හැත්තෑ අටක් කියලා නම් කියන්න බෑ. එහෙමද දන්නේ නෑ මොකද මම මැරිල ආයේ ඉපදුණ කෙනෙක්.

මගේ හිත මිත්‍රයෝ කලා ක්ෂේත්‍රයේ උදවිය පවා හිතුවේ මම මැරිලා කියලා. සමාජ ජාලා වෙබ් අඩවි පුරා පැතිරිලා ගියේ ඒ වගේ ආරංචියක්.

ඔය වගේ ආරංචියක් පැතිර යන්න ඇත්තටම කලං අයියේ මොකද වුණේ?

මට හිතාගන්න බෑ. බලාපොරොත්තු වෙච්ච දේකුත් නොවෙයි. එක පාරටම මට අමාරු වුණා. සිහි කල්පනාවත් අඩු වෙලා ගියා. මම දන්නේ නැහැ මට මොනවා වුණාද කියලා. ඒ වෙලාවේ මගේ දුවලා දෙන්නත් පුතාත් ගෙදර. එයාලා මාව ඉක්මනින්ම මීගමුවේ නවලෝක රෝහලට එක්ක ගහින් තිබුණා. දොස්තරලා නම් කියලා තිබුණලු මගේ ජීවිතය ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා. නිවුමෝනියාවත් එක්ක හෘදයාබාධයක් තමයි ඇවිත් තියෙන්නේ කියලා තමයි දොස්තරලා කියලා තිබුණේ. පස්සේ මගේ දරුවෝ මාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරලා. මට මොකද වුණේ කියලවත් මම දන්නේ නැහැ. දවස් විසි නමයක් මම සිහි නොලබා හිටියා. ඊට පස්සේ තමයි මම ඇහැ ඇරලා තියෙන්නේ.

සිහිය නොලබා මෙතරම් කාලයක්?

නිව්මෝනියාවත්, හාට් ඇටෑක් එකත් එකට ඇවිත් ශරීරය හොඳටම දුර්වල වෙලා තමයි සිහිය එන්න මෙතරම් කාලයක් ගිහින් තියෙන්නේ. දවස් විසි නමයකට පස්සේ සිහිය ඇවිත් මට සුවයක් දැනෙන්න ගත්තට පස්සේ ඉස්පිරිතාලෙන් ටිකට් කපලා මාව එක්ක ගියා අවිස්සාවේල්ලේ මගේ ලොකු දුවගේ ගෙදර. දුවගේ මහත්තයා වෛද්‍යවරයෙක්. එහෙ සති දෙකක් විතර ඉඳලා තමයි මම මේ ගෙදර ආවේ. දැන් මම සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා. වෛද්‍යවරු කිව්වේ විවේකයෙන් ඉන්න කියලා.

වෛද්‍යවරු ඔබේ ජිවිතය ගැන බලාපොරොත්තු අත්හල නිසා වෙන්න ඇති ඔබ ගැන දුක්මුසු ආරංචියක් රට පුරා පැතිර ගියේ?

එහෙම වෙන්නත් ඇති. මොකද මම දවස් විසි නවයක් ඇහැක්වත් ඇරලා නෑ. කොටින්ම කිව්වොත් මැෂින්වලින් තමයි දුවල තියෙන්නේ. ආයේ මම ජීවත් වුණේ මගේ වාසනාවට ද එහෙමත් නැත්නම් සමාජ ජාලා වෙබ් අඩවි ඒ වෙන කොටත් මට නිවන් සුව ප්‍රාර්ථනා කරපු නිසාවෙන් ලැබූ ආශිර්වාදයක් නිසා ද කියලා නම් මම දන්නේ නැහැ.

ඔබ කියන්නේ මැරිලා ඉපදුණා කියලද?

ඒක තමයි වෙලා තියෙන්නේ. මගේ බිරියත් දරුවොත් ඇත්තටම හිතලා තියෙන්නේ මම ආයේ ජීවත් වෙන එකක් නෑම කියලලු. ඉතිං තව මොනවද? එයාලා තුළත් ඒ වගේ සිතුවිල්ලක් මම හිටිය හැටියට දැක්ක නිසානේ එහෙම කියන්නේ. වෛද්‍යවරුන් ඒ නිගමනයේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතිං මේ ආරංචි පැතිර යන කොට මගේ හිතවතුනුත් මට ආදරය කරන රසිකයොත් හිතුවා මම ඇත්තටම නොයන ගමන ගිහින් කියලා.

ක්ෂේත්‍රයේ ඔබේ හිතවත් කලාකරුවන් ඔබේ මේ අසනීප තත්ත්වය තුළ ඔබව බලන්න ආවද?

හුඟක් අය මම පත් වෙලා තියෙන තත්ත්වය ගැන දැනගෙන දරුවන්ගෙන් විමසීන් කරලා තිබුණා. සමහරු මාව බලන්නත් රෝහලට ඇවිත් තිබුණලු. මම ඒ කිසිවක් දන්නේ නැහැ. මගේ රසිකයෝ මා වෙනුවෙන් බෝධි පූජා ඒ අයගේ ආගමික අදහස් අනුව මට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරලා තිබුණා. මම ඒ හැමෝටම මගේ භක්තිය, ස්තූතිය පුද කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

අසනීප තත්ත්වය ඇතිවෙන අවධිය වෙන කොට ඔබ කලා ක්ෂේත්‍රයෙන් දුරස් වෙලා ද හිටියේ?

මම ස්වාධීන රූපවාහිනියේ විකාශය වන රනිල් කුලසිංහගේ පූරි ටෙලි නාට්‍යයේ තමයි රඟපාමින් හිටියේ. ඒකේ මුලින් කළ සියලු කොටස්වල මගේ චරිතය මම රඟපාලා ඉවර කරලා තිබුණේ. ආයෙත් මාව ඉදිරි කොටස්වලට ඕනෑ කිව්වොත් මම ලෑස්තියි ඒ වෙනුවෙන් මගේ දායකත්වය නැවතත් ලබා දෙන්න.

මේ වන කොට රඟපා තවමත් විකාශයවීමක් නොවූ, තිරගත නොවූ චිත්‍රපට ටෙලි නාට්‍ය එහෙම තියෙනවාද?

ටෙලි නාට්‍ය නම් නෑ. චිත්‍රපටයක් නම් තියෙනවා. මට නම මතක නෑ. ඒක මොස්කවු නිෂ්පාදනයක්.

ඔබ පූරි රඟපෑවේ කොතරම් කාලයක් නිහඬව ඉඳලද?

මම පූරි රඟපෑවේ විනෝදාංශයක් විදියට. රඟපෑම කියන දේ මගේ රැකියාව නොවෙයි. මට පොඩි සැකයක් තියෙනවා රඟපාන්න හොඳ නිර්මාණ බිහි වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් ටෙලි නාට්‍ය පැත්තට. මම එහෙම කියන්නේ අපේ නළුවන්ට අද රඟපාන්න හොඳ නිර්මාණ නැහැ. නළුවො තුළ වුණත් තියෙන්නේ ඒකාකාරී රංගනයක්. හොඳ නිර්මාණ බිහි නොවීම හරිම ඛේදවාචකයක්. අපේ අති දක්ෂ නළුවෝ නිකන් වයසට යනවා. ඒ අයගේ පල ප්‍රයෝජනයක් ගන්න හොඳ නිර්මාණ බිහි නොවීම මහ අපරාධයක් විදියටයි මම දකින්නේ. මහේන්ද්‍ර පෙරේරා, සෞම්‍ය ලියනගේ, ජැක්සන් ඇන්තනි වගේ පුද්ගලයන්ගේ දක්ෂතා අපේ කලාවට එක් කර ගන්න හොඳ නිර්මාණ අඩුවීම විශාල ගැටලුවක්. ජැක්සන් ඇන්තනි මගේ හොඳ මිත්‍රයෙක්.

මම මේ ජැක්සන්ට කියන්න ඉන්නේ ඔයාගේ ස්ටයිල් එක දැන් වෙනස් කරන්න කියලා. අද එයාගේ රංගනය ඒකකාරී වෙලා කියලයි මට හැඟෙන්නේ. ඇයි අපි මහේන්ද්‍ර පෙරේරා, සෞම්‍ය ලියනගේ වගේ පුද්ගලයන්ගෙන් රංගනය කියන දේ අපේ නිර්මාණ වෙත එක් නොකර ගන්නේ? ඒකට ප්‍රධාන හේතුව විදියට මම දකින්නේ ඔවුන්ට රඟපාන්න වපසරියකින් පිරි හොඳ නිර්මාණ බිහි නොවීම.

ජැක්සන්, මහේන්ද්‍ර, ශ්‍රියන්ත, කමල්, සෞම්‍ය වගේ නළු පිරිසක් එක්තරා වකවානුවක් තුළ බිහිවන විශිෂ්ට නළු පිරිසක්. ඔවුන්ගේ බිහි වීමෙන් පසු අපිට නව පරපුරක් ඔබගේ ඇගැයීම තුළ දකින්න තියෙනවාද?

දක්ෂ ළමයි ඉන්නවා. මම දකින්නේ ඔවුන් ඒ ගැන දැනුවත්වීමක් නැහැ කියලා. අද මේ නොදැනුවත්කම නිසා ගැහැනු හෝ පිරිමි දෙපාර්ශවයම රංගනයට වඩා මුල් තැන දෙන්නේ බාහිර අලංකාරයට ඇඳුම් පැලඳුම්වලට. ඔවුන් තුළ දකින්න තියෙන්නේ ඇඳුමෙන් පැලඳුමෙන් කොණ්ඩා මෝස්තරයන්ගෙන් අලංකෘත වූ බාහිර ආටෝපයක් විතරයි. රංගනය කියන දේ මේ අයගෙන් දකින්න නැහැ. බාහිර ආටෝපයට අභිනය යට වෙලා. අධ්‍යක්ෂවරු වුණත් මේ ගැන හිතන්න ඕනෑ කියලයි මගේ හැඟීම.

ඔබේ පරපුර විසින් ගොඩනැඟු රංගන ඉතිහාසය ඉදිරියට ගෙන යන්න පරපුරක් නැහැ කියලා ද ඔබ අදහස් කරන්නේ?

දැන් බලන්න මාලිනී ෆොන්සේකා අවුරුදු පනස් පහක් රැගෙන ආපු රංගන අතීතය ඉස්සරහට ගෙනි යන්න අද කවුරුවත් බිහි වෙලා නැහැ. මේ නිළි රැජිණ දුක් මහන්සියෙන් අනේක දුක් ගැහැට විඳිමින් අඩු පහසුකම් යටතේ ගොඩ නැඟුව ඒ චරිතය ඉදිරියට ගෙනි යන්න තාම කවුරුවත් බිහි වුණාද? මාලිනී කියන්නේ අපිට සම්පතක්. ඇය ගැන කියන්න අපිට වචන මදි. ඇය විසින් තිරයේ ප්‍රතිනිර්මාණය කළ චරිත ගැන මට පුදුම හිතෙනවා.

ඔබ අපේ හෙළ සිනමාව තුළ අව්‍යාජත්වයේ මුද්‍රාව සිනමාවේ ස්ථාපිත කිරීමට උත්සුක වන නළුවෙක්?

මම නෙමේ ඒක කියන්නේ විද්වතුන්, විචාරකයන්, ප්‍රේක්ෂකයන්. ඔවුන් කියන්නේ මම ඒ දේ අහස්ගව්ව රඟපෑම තුළින් ස්ථාපිත කළා කියලයි. බඹරු ඇවිත්, අපේක්ෂා, අනුපමා, යස ඉසුරු, අහස් මාළිගා, හන්තානේ කතාව, පූජා චිත්‍රපට හැම එකකින්ම මම වෙනස්ම චරිත තමයි තිරයේ ප්‍රතිනිර්මාණය කළේ.

අපේ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත නළු නිළි කියා භේදයකින් තොරව ඔබ ඔවුන් හා උරෙන් උර ගැටෙමින් රංගගනයේ නියැළෙනවා?

ඒක මම ලැබුව වාසනාවක්. මම කා සමඟත් රඟපෑවා. නම් දැරූ ගාමිණී, ජෝ, ටෝනි, ස්වර්ණා, මාලිනී, අනෝජා, සබීතා මේ හැමෝම මාත් සමඟ කරට කර රංගනයන්ට එක් වුණා.

රංගනයේදී ඔබට ප්‍රතිරූපයක් නිර්මාණය කරන්නට අත්වැලක් වු නිළියන් ගැන මොකද හිතෙන්නේ?

මාත් සමඟ රඟපෑ නිළියෝ පිළිබඳ මගේ ලොකු ගෞරවයක් තිබුණා. ඒ අය තුළත් මා ගැන තිබුණේ එහෙම අදහසක්. මම කියන දේ ඒ අය ඇහුවා. ඒ අය කියන දේ මම ඇහුවා. මාත් එක්ක රඟපාලා ඒ අයට ලකුණු ආවා. රංගනයේදී යම් නිළියක් වරදක් කළොත් මට ඒ දේ පෙන්නා දෙන්න මට අණ දෙන්න පුළුවන්කමක් තිබ්බා.

රංගනයේදී ඔබට අභියෝග වූ නිළියන් එහෙම ඉන්නත් ඇති?

විශේෂයෙන් ස්වර්ණා මල්ලවාරච්චි. ඇයත් සමඟ රඟපාන කොට බොහොම පරෙස්සම් වෙන්න ඕනෑ. නැත්නම් නළුවා අහකට විසි වෙනවා. ඇය රංගනයේදී අයි කැච් එකට නළුවාව සියුම්ව ග්‍රහණය කර ගන්නවා. මම ඇයත් සමඟ ඩොරින්ගේ සයනය චිත්‍රපටයේ රඟපාන්න ගිහින් අමාරුවේ වැටුණා. පස්සේ මට ස්වර්ණා කිව්වා අපහසුවෙන් නේද රඟපෑම කළේ කියලා. සබීතා මමත් එක්ක පොඩි විජේ චිත්‍රපටයේ රඟපෑවා. ඇය මගේ බිරිය විදියටයි එහි රඟපෑවේ. ඒ රඟපෑම වෙනුවෙන් ඇය හොඳම නිළිය ලෙසත් සම්මාන ලැබුවා. පොඩි විජේ රඟපාන කොට සබීතා මට චරිතෙ ගොඩනඟන්න හොඳ සහයක් ලබා දුන්නා. අනෝජා, ශිරානි නුගේරා මාත් සමඟ රඟපෑවා. ඒ අයත් මට ලොකු ගෞරවයක් ගෙනත් දුන්නා. ඒ ගෞරවය නිසාම ඒ අය චරිතය හොඳට කළා. එහෙම කළ නිසාම මම රඟපෑ චිත්‍රපට සාර්ථක වුණා.

හන්තානේ කතාව චිත්‍රපටයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ කැරැක්ටරයට ජීවය එක් කරන ඔබ තමන්ගේ ඡායාරූපයක් පුවත්පතක පළ කර ගන්න කොළඹ ආ ගමනේ රසබර අතීතය මතකද?

මට මතක හැටියට 1969 දී. ඒ වෙන කොට මම රැයත් දවාලත් කියන චිත්‍රපටයේ රඟපාලා හන්තානේ කතාව චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්න කාලේ මට හිතුණා සරසවිය පත්තරේ මගේ විස්තරයක් දාලා පින්තූරයක් දමා ගන්න. ඒකට මම කොළඹ ආවා. මම හිතුවේ නුවර වගේම කොළඹත් සීතල ඇති කියලා. උදේ පාන්දර හතරට විතර නුවරින් බස් එකක නැග්ගා කොළඹ එන්න. සීතලට අඳින්න ජසියකුත් අරන් කොහොම හරි උදේ හත විතර වෙන කොට මම කොළඹට ආවා. ඒ ඇවිත් ලේක්හවුස් එකේ පඩි පෙලේ මම ඉඳගෙන හිටියා. අදටත් මම ලේක්හවුස් ගියොත් ඒ අතීතය, ඒ පඩි පෙළ නඟින කොටම මට මතකයට එනවා. ඔහොම මම ඉඳගෙන ඉන්න කොට දෙන්නෙක් පදික වේදිකාවේ ඇවිදගෙන ඇවිත් ලේක්හවුස් පඩි පෙළ නඟින කොට මගෙන් ඇහුවා ඇයි මේ කියලා. මම කිව්වා මම නුවර ඉඳලා ආවේ. චිත්‍රපටයකත් රඟපානවා. මගේ නම කලංසූරිය පත්තරයක පින්තූරයක් දාගන්නයි ආවේ කියලා. මේ දෙන්නා තමයි (මම පසුවයි දන්නේ) පසු කලෙක ලේක්හවුස් සභාපති වුණ රණපාල බෝධිනාගොඩ මහත්තයයි, පී. බී. ඉලංගසිංහ මහත්තයයි කියලා. හා යන්කො කියලා මාව ඔවුන් එවකට සරසවිය පත්තරේ කර්තෘවරයාව සිටි විමලසිරි පෙරේරා මහත්තයා ළඟට ගෙනිහින් වාඩි කළා. එතකොට මගේ මුල්ම පින්තූරයට ලිපිය ලිව්වේ එවකට සරසවියේ හිටපු චන්ද්‍රසිරි සෙනෙවිරත්න. (වර්තමානයේ ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයායි). ඒ පින්තූරය තමයි මගේ මුල්ම පත්තරයක පළ වුණ ඡායාරූපය. එදා චන්ද්‍රසිරි සරසවිය පත්තරයේ පළ කරලා තිබුණේ කඳුළෙන් ඔප වුණු අමරසිරි කලංසූරිය කියලා. ජනතා පත්‍රයේ මගේ මුල්ම ආටිකල් එක ලියන්නේ මෙරිල් පෙරේරා.. .

ඔබ දායක වූ චිත්‍රපට ප්‍රමාණය ගත්තහම ඊට අඩු ප්‍රමාණයකට තමයි ඔබ ටෙලි නාට්‍ය සඳහා දායක වෙන්නේ?

මම මුලින්ම රඟපාන්නේ ඩී. බී. නිහාල්සිංහගේ දිමුතු මුතු ටෙලි නාට්‍යයේ. ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය වූ දිමුතු මුතු නිසා මම ගොඩක් ජනප්‍රිය පුද්ගලයෙක් වෙනවා. මම ජනප්‍රිය නළුවා ලෙසත් සම්මාන ලබනවා. ඒ ඇරෙන්න මම දායක වූ ටෙලි නාට්‍ය සීමාසහිතයි. හතේ වසම, පූරි, ටෙලි නාට්‍ය තමයි අනික් නිර්මාණ.

මුල්ම ටෙලි නාට්‍යයේ ජනප්‍රියම නළුවා වූ ඔබට පසු කලෙක නිර්මාණය වු ටෙලි නාට්‍ය සඳහා ආරාධනා නොලැබෙන්නේ?

මම දන්නේ නැහැ ඇයි කියලා. මම හිතනවා අමරසිරි කලංසූරිය කියන පුද්ගලයා රඟපාන්න මහ ගාණක් ගනියි කියලා හිතලා එහෙම මට ආරාධනා නොකළාද කියලා.

ඔබ මුදල මත රංගනය විකුණුව නළුවෙක්ද?

කොහෙත්ම නෑ. මම කවුරු හරි චිත්‍රපටයක් කරන්න කතා කළොත් කීයද කලංගේ ගාණ කියලා ඇහුවොත් මම කිව්වේ මට කීයක් හරි දෙන්න කියලා. මම දිමුතු මුතු කරන කොට අපේක්ෂා චිත්‍රපටය කරනකොට කිව්වේ කීයක් හරි දෙන්න කියලා. එච්. ඩී. ප්‍රේමරත්න අපේක්ෂා කරන කොට එහෙම නෙමේ ගාණක් කියන්න කිව්වා. මම රුපියල් දෙදහසක් කිව්වා. කිසිම කතාවක් නෑ දෙදහ ගෙව්වා. ඒ කාලේ මම ව්‍යාපාරිකයෙක්. ලංකාවම දන්නවා මම කළ රෙදි බිස්නස් එක. මම රඟපෑම රස්සාවට කළ දෙයක් නොවෙයි. ඒක මගේ විනෝදාංශය.

මෑත භාගයේ නිර්මාණය වූ චිත්‍රපට සඳහාවත් ඔබ වැනි ප්‍රවීණයකුට චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් ආරාධනා නැද්ද? ඔබට දෙන්න ඔවුන්ගේ පිටපතේ චරිත නැද්ද?

කවුරුත් මම එක්ක හොඳයි. කතාබස් කරනවා. ඒත් කවුරුවත් නිර්මාණවලට කතා කරලා නැහැ. මම අහලා තියෙනවා දැන් කාලේ නළු නිළියන්ට පිටපත රඟපාන්න ලැබෙන්නෙත් දෙබස් ටික ලැබෙන්නෙත් ෂූටින්වලට ගියහම කියලා. අපි ඒ කාලේ බඹරු ඇවිත් වගේ චිත්‍රපට කරන කාළේ පුදුම වින්දනයක් ලැබුවේ. කවුරුවත් මුදල් ගැන කතා කළේ නැහැ. ජෝ, මාලිනී, සිරිල් වික්‍රමගේ අපි එකට උයාගෙන කාලා නිර්මාණ කළේ. බලන්න ඒ නිර්මාණ අදටත් සදාතනිකයි.

අද වන විට හැත්තෑ අටවන වියට පා තබන ඔබ එදා සිනමාව වැලඳ ගත්තේ කිනම් වයසකදීද?

ඒ වෙන කොට මට වයස අවුරුදු 17 විතර ඇති. මගේ යාළුවෙක් හිටියා රංජිත් පෙරේරා කියලා. ඔහු කිංස්වුඩ් ශිෂ්‍යයෙක්. මම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. මම මහනුවර මල්ලිකා ස්ටුඩියෝවේ ස්ටොක් කීපර් කෙනෙක් හැටියට පොඩි රස්සාවක් කළා. රංජිත් පොටෝ ක්ලබ් එකක් කළ නිසා මල්ලිකා එකට එනවා පින්තූර ප්‍රින්ට් කරගන්න. දවසක් මල්ලිකා එකේ මුදලාලි කිව්වා කලං ඔය ගබඩාවේ තියෙන කල් පැනපු ෆිල්ම් කෑන් කීපය විසි කරලා දාන්න. ඒවා කල් පැනලා කියලා. මට මතක් වුණා එතකොට රංජිත්ව. ඔහු ළඟ කැමරාවක් තිබුණා. මම කිව්වා මේ විසි කරලා දාන එකේ මොනව හරි දෙයක් කරන්න පුළුවන්ද බලන්න කියලා. ඊට පස්සේ බර්ටි ගුණසේකරට කියලා ස්ක්‍රිප්ට් එකක් ලියව ගත්තා. ඊට පස්සේ අපි දෙපත් නයි කියලා චිත්‍රපටයක් කළා. ඊට පස්සේ ඒකේ නම වෙනස් කළා රැයත් දවාලත් කියලා. අනෝමා වත්තල්දෙණියත් මමත් තමයි ඒකේ රඟපෑවේ.

ඔබ හන්තානේ කතාව චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ?

මල්ලිකා ස්ටුඩියෝවේ වැඩ කර කර ඉන්න කොට ඇතිවන ගැටුමක් නිසාවෙන් මට එතනින් යන්න වෙනවා. ඔය අතරෙ මට දැනගන්න ලැබෙනවා මා මිත්‍ර ධර්මසේන පතිරාජයන්ගෙන් සුගතපාල සෙනරත් යාපා චිත්‍රපටයක් කරන්න යනවා කියලා. උඹත් ඇප්ලිකේෂන් එකක් දාපන් කිව්වා. කොළඹ ජුබිලි හෝල් එකේ තමයි ඉන්ටවිව් තිබුණේ. පස්සේ මට ලියුමක් ආවා මාවත් විජය කුමාරතුංගවත් තෝර ගත්තා කියලා.

මින් මතු ඔබ රංගනයට සමු දෙනවද?

රඟපාන්න ආසයි. හැබැයි මට ගැළපෙන එකක්. මම හිතන්නේ මට තවත් කවුරු හරි රඟපාන්න ආරාධනා කරයි.

ඔබ බොහෝ විට අපට දකින්නට ලැබුණේ ඔබටම ආවේණික වූ ඇඳුම් විලාසිතාවකින්. ඒ කියන්නේ බොත්තම් නොපිය වු කමිසයක් උඩින් දමා ගත් බෙහෙවින් නිල් පැහැති ඩෙනිම් කලිසිමෙන් සැරසුණු පුද්ගලයෙක් විදිහට. මේකට විශේෂ හේතුවක් තිබුණාද?

ආර්ථික, සාමාජීය වශයෙන් දුක් කම්කටොලු රැසකට මුහුණ පාමින් ආ ගමනක් තමයි මට තියෙන්නේ. මට තිබ්බෙත් එක කමිසයයි. ඒක ඇඳගෙන තමයි මම හැම වැඩක්ම කරන්න යන්නෙත්. මම අවුරුදු ගාණක් වැඩ කළේ ඒ කමිසය ඇඳගෙන. පළවෙනි චිත්‍රපටයෙත් මම රඟපෑවෙත් ඒක ඇඳගෙන. ඒ කාලේ මම ඒ ෂර්ට් එක ගත්තේ රුපියල් පහකට කියලා තමයි මතක. අහස් ගව්ව රඟපාන්න ගියෙත් ඒක ඇඳගෙන. මට මඟුල්වලට ආරාධනා කරන්න ආවාම මම කියන්නේ මම එන්නේ මෙහෙම. මට සූට් එහෙම අඳින්න බැහැ. එනව නම් එන්නේ මෙහෙම තමයි කියලා. කවුරුවත් එපා කිව්වේ නැහැ. උඹ කැමති’ විදියකට වරෙන් කිව්වා. මම ගියෙත් එහෙම තමා.

ඒ යුගයේ බොහෝ තරුණ පිරිස් ඔබව අනුකරණය කළා නේද?

ඔව්. මම වෙන්න බොහෝ දෙනා උත්සාහ ගත්තා. ඩෙනිම් කලිසම ඇඳලා මම වගේ ෂට් එක දාලා ඉන්න ගොඩක් අය ප්‍රිය කළා. මට කොළඹ රෝයල් එකේ ගුරුවරයෙක් කතා කරල කිව්වනේ එදා අතීතය ඔහුට අමතකයි. හැබැයි අහස් ගව්ව තාමත් මතකයි. අපි එදා කලං අයියා ඇන්ද විදිය අල්ල ගන්න ගොඩක් ට්‍රයි කළා කියලා. ධර්මසිරි බණ්ඩාරනායකත් මට කිව්වා කලංගේ ස්ටයිල් එක මාත් අල්ල ගන්න ගොඩක් ට්‍රයි කළා කමිසයයි කලිසමයි අඳින විදිය කියලා.

සමාජය පවා අනුකරණය කරන ඒ ක්‍රමය ඔබ තෝරා ගන්න ඔතරම් උත්සාහ කළේ ඇයි?

මට ඒක පහසුයි. ඕන තැනක වැටිල නිදාගන්න පුළුවන්. මට ඉස්සර ඉන්න තැනක් තිබුණේ නැහැ. කොහේ හරි වැටිල නිදා ගත්තා. අත් දිගට දැම්මා නිදා ගත්තා. සුමානෙට සැරයක් විතර හෝද ගත්තා.