වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




‘මොකක්ද ඩික්සන් මේ කේස් එක’

‘මොකක්ද ඩික්සන් මේ කේස් එක’

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

බිනරි නිළියක වන්නට පෙරුම් පිරුවේ පාසල් අවදියේය.ඇය ජීවත්වූයේ බොරැල්ලේ ය. ඇයගේ පියා පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයෙකු විය.විනෝද් ජීවත් වූයේත් ඇගේ නිවහන තිබුණ පැත්තේමය. ඔවුහු එක වයසේ හොද මිතුරෝ වූහ. නාට්‍යකරුවෙකු වීමේ අරමුණින් කල් ගත කළ විනෝද්ගේ එම අපේක්ෂාව බිඳ වැටුණේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම නිසාය.ඒ වන විට ඔහු සිය මුල්ම නිර්මාණය වේදිකාවට ගෙන ඒමට සැලසුම් කරමින් සිටියේය. විනෝද් ගේ හව්හරණයට කිසිවකු නැති වෙයි.නාට්‍යකරණය පිළිබඳ සියල්ල අත හරින විනෝද් ජීවිතය අලුතින් අරඹන්නට ඇඹිලිපිටියේ පදිංචියට ගියේය. පාසල හමාර කරන බිනරි නිළියක වීමේ අභිලාෂය පසෙක ලා මව්පියන් සොයා දුන් තරුණයෙකු හා විවහ ව ඉතාලියට ගියාය. එයින් වසර ගණනාවකට පසු ඇය ආපසු එන්නේ විවාහය අතරමග බිද වැටීමෙනි.මේ වන විට චුට්ටං මුදලාලි වෙනත් ගැහැනියක හා හාදව අනුරාධපුරේ පදිංචියට ගොසිනි.තම නිවාසය අලුත් වැඩියා කරන්නට පැමිණෙන ඩික්සන් සමග හාද වන බිනරි ඔහු හා පවුල් කන්නට පටන් ගත්තාය.විනෝද් සහ බිනරි ගේ පැරණි නාට්‍ය සගයකු වූ දර්ශන ගේ මග පෙන්වීම මැද බිනරි චිත්‍රපටයකට ආයෝජනය කරන්නට පටන් ගත්තාය.ඒ තම අතැති මුදලිනි. එහි ප්‍රතිවීරයාගේ චරිතය රඟපානුයේ ඩික්සක්ය.චිත්‍රපටය අවසන් කරන්නට මත්තෙන් බිනරි සතු මුදල් අවසාන වෙයි.මේ අතරවාරයේ හදිසියේ අහම්බෙන් හමුවන විනෝද් බිනරිට උපකාර කරන්නට පටන් ගත්තේය.එහෙත් එය අතරමඟ බිඳ වැටෙනුයේ කිසියම් පිරිසක් විසින් විනොද් ඝාතනය කරනු ලැබීමෙනි. විනෝද් පාතාල ලෝකයට සම්බන්ධ නායකයෙකු බැව් අනාවරණය වනුයේ එයින් පසුවය.මේ අතරවාරයේ ඩික්සන් ද විවාහකයෙකු බැව් දැන ගන්නා බිනරි ඔහු නිවසින් පළවා හරියි.එහෙත් ඇය සොයා එන ඩික්සන් නිවස තුළ වළ දමා ඇති විනෝද් විසින් සොරා ගන්නා ලද මුදල් හා රන් ආභරණ බිනරි වෙත පෙන්වා දෙන්නේ ඇය විස්මයට පත් කරමිනි.ඩික්සන් එම මුදලින් යළි චිත්‍රපටය අරඹන්නේ වෙනත් අධ්‍යක්ෂවරයෙකු පත් කර ගනිමිනි.මේ බොරැල්ල හන්දියේ කතාන්තරයයි.

අද එතැන් සිට...

‘මොකද මේ වෙලා තියෙන්නේ?’

කඩිමුඩියේ ගෙට ඇතුළු වූ ඩික්සන් ගේ ස්වරූපයෙන් තැති ගත් බිනරි ඇසුවාය.

‘අපි ඉවරයි.සුදු නෝනේ.අරුං දැන ගෙන විනෝද් මහත්තයා ගේ සල්ලි අපි ගාව තිබ්බා කියලා’

ඩික්සන් වචන ගොනු කළේ පරිස්සමිනි.ඔහුගේ සියොලඟම දහඩියෙන් පෙඟි ගොසිනි.

‘කොහොමද දන්නේ.’

බිනරි ඇසුවේ කලබලයක් නොපෙන්වමිනි.

‘දර්ශනයා වමාරලා’

බිනරි ගත් හුස්ම පහළට යවා ගත නොහැකිව සිටියාය.මේ වන තෙක් සියල්ල නූලට රූලට සිදුව තිබිණ.හෙට චිත්‍රපටය තිර ගත වීමට සියල්ල සූදානම්ය.ගත වූ දවස් කිහිපයම ගත කළේ ඒකටය.චිත්‍රපටය පෙන්වන්නට මුල් සිනමාහල ලැබුණේ බොරැල්ලේමය.ඒ බව සඳහන් ලියුම ලැබුණ දවසේ බිනරිට කදුළු ආවේය.ඇය සවස සිනමාහලට ගියේ ඩික්සන් එක්කය.

‘අපි මැනේජර්ට කතා කරමු’

ඩික්සන් යෝජනා කළේය.ඔවුහු සිනමාහලට ගොඩ වී කළමනාකරු දෙස විමසුවේය.ගේට්ටුවේ සිටි තැනැත්තා ඔවුන් දෙස බැලුවේ හොරෙකු දෙස බලන්නාක් මෙන් බැල්මකිනි.ඔහු කාර්යාලයට අත දිගු කළේය.ශාලාවේ කොනක තිබුණ කාර්යාලයේ ලොකු පුටුවක පොඩි මිනිසකු වාඩි වී සිටියේය.

‘අපේ පික්චර් එකක් හෝල් එකට එන්ඩ තියෙනවා’

ඩික්සන් කෙලින්ම කතාබහ පටන් ගත්තේය.ඔහු ඒ සඳහා ලැබුණු ලිපිය ද සිනමාහල් කළමනාකරුට පෙන්වූයේය.කළමනාකරු ගේ මුහුණේ කිසිදු සිනහවක් නොවිණ.

‘දැන් පික්චර් එනවා.ඒවා දුවා ගන්ඩ එක තමා වැඩේ’

ඔහු ගණනකට නොගෙනම පැවසුවේය.ඉස්සර ප්‍රඩියුසර්ලා එන්නේ කාර් වලින්.දැන් එන්නේ පයින්

ඔහු සිතට නැගන වදන් කියන්නට ගියේ නැත.බිනරි වටපිට බැලුවාය.සිනමාහලේ පෙන්වූ පැරණි චිත්‍රපට කිහිපයක පෝස්ටර් දූවිලි බැදෙමින් තිබිණ.මේ චිත්‍රපට බලන්නට අම්මා හෝ තාත්තා සමග ඉදහිට සිනමාහලට ගොඩ වැදුණ අයුරු බිනරිට සිහිපත් විය.පසු කලක විනෝද් සමගද එහි චිත්‍රපට නැරඹුවාය.

‘පෝස්ටර් ටික ගේන්ඩ.ලොබි කටවුට් එක ගහන්ඩ .මේ ට්‍රේලර් එකත් ගෙනත් දෙන්ඩ’

කළමනාකරු පැවසුවේ පුරුදු පරිදි පුහුණු කළ වචන පෙළක් වැන්න.

‘දැන් පෙන්නන පික්චර් එක කොහොමද?’

ඩික්සන් ඇසුවේය.

‘අද දවසටම පහළොස් දෙනයි.මෙතැන තේ කඩයක් දැම්මානම් ලාබයි’

කළමනාකරු පැවසුවේ තමන් අධෛර්යමත් කරවන අදහසින් යුතුවයැයි බිනරිට සිතිණ.

‘ඒ වුණාට අපේ එක දුවනවා.’

බිනරි පැවසුවාය.කළමනාකරු බිනරි ගේ මුහුණ දෙස හොදින් බැලුවේ දැන්ය.මේ යුවළ කිසිසේත්ම එකිනෙකා නොපැහෙන්නෝය.හැඩි දැඩි මිනිසා පෙනුම කොළඹට ආගන්තුකයෙකු බව පැහැදිලිය.සුකුමාල ගැහැනිය කොළඹය.කළමනාකරු අනුමාන කළේය.

‘හැමෝම කියන්නේ හිතාන ඉන්නේ එහෙම තමා.ලෑස්තිවෙන්ඩ.අපිත් කැමැති එහෙම දුවනවා නම් තමා.’

කළමනාකරු ගේ මුහුණට සිනහවක් නැගිණ.මේ කළමනාකරු කලකට ඉහත සිනමාහලේ දොරටුවේ ප්‍රවේශ පත්‍ර පිරික්සීමේ යෙදුණ තැනැත්තා බව බිනරිට මතකය.එදා බිනරි හා ඩික්සන් ආපසු ගියේ එහි ප්‍රදර්ශනය කළ චිත්‍රපටය ද නැරඹූ පසුවය.

’අපි ෆිල්ම් එකේ නම බොරැල්ල හන්දිය කියලා වෙනස් කරමු‘

සුරේෂ් යෝජනා කළේය.

’ඔය දැන් කාලෙට ගැලපෙන ෆයිට් තියෙන චණ්ඩි කතාවක් කියලා පබ්ලිසිටි වලට ත් ලේසියි’

සුරේෂ් වැඩි දුරටත් කතා කළේය.

චිත්‍රපටයේ ප්‍රචාරක වැඩ සදහා විල්බට් ජයතුංග ද පැමිණ සිටියේය.විල්බට් සුරේෂ් කතාව සිනහවකින් අනුමත කළේය.විල්බට් වචනයක් වචනයක් පාසා සිනාසෙන්නෙකි.ඒ වන තෙක් නිශ්චිත නමක් නොයෙදූ චිත්‍රපටයට නමක් ලැබුණේ එහෙමය.චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මුල් වරට සිනමාහලේ තිර ගත වූ දවසේ සුරේෂ් ට විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැතිවිණ.දවස් ගෙවි ගියේ ඉක්මනිනි.චිත්‍රපටය තිර ගතවීම දවස උදාවිය.එයට පෙරාතුව පැවැති පුවත්පත් සාදය සංවිධානය කරන ලද්දේ ද සුරේෂ්මය.

දිනය සිකුරාදාය.එදින පුවත්පත් සඳහා කුඩා දැන්වීම් පළ කෙරිණ.සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ ඒ අතරය.