වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




නිවුන් සොහොයුරන්ගේ වික්‍රමය

නිවුන් සොහොයුරන්ගේ වික්‍රමය

විද්‍යාප්‍රබන්ධ චිත්‍රපට ප්‍රිය කරන සිනමා ලෝලීන්ට මේ වසර බලාපොරොත්තු සහගත සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව උදාකළ වසරක්.  Jurassic World: Fallen Kingdom , Solo: A Star Wars Story, Deadpool 2, Avengers: Infinity War,Pacific Rim Uprising ඒ වෙනුවෙන් මේ වසරේ තිරගත කෙරුණු විද්‍යාප්‍රබන්ධ චිත්‍රපට කිහිපයක්. මේ අතරට එක්වන නවතම විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටය වන්නේ Kin චිත්‍රපටය යි.

තරුණ පිරිමි ළමයෙකු සහ ඔහුගේ සොහොයුරා විසින් අතිශය ප්‍රබල ආයුධයක් සොයා ගැනීමක් වටා කතාව ගෙතී ඇති මෙය නිර්මාණය වී තිබෙන්නේ, 2014 වසරේ තිරගත කෙරුණු Bag Man නම් කෙටි චිත්‍රපටය පාදක කොටගෙනයි. කෙටි චිත්‍රපටය ඇසුරින් වෘත්තාන්ත චිත්‍රපටය සහ එයට ගැළපෙන අයුරින් චරිත නිර්මාණය සහ හැසිරවීම ඔස්සේ ලද ජයග්‍රහණයෙන් නිර්මාණය කෙරුණු Kin චිත්‍රපටය සහ Bag Man කෙටි චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, ජොනතන් බේකර් සහ ජෝෂ් බේකර් නම් නිවුන් සොහොයුරන් දෙදෙනා විසිනි.

එනිසා සොහොයුරන් දෙදෙනෙකු විසින් සොහොයුරන් දෙදෙනෙකු පිළිබඳව නිර්මාණය කළ සිනමාපටයක් ලෙසින් ද මෙය විශේෂිත බව බොහෝ දෙනාගේ අදහසයි. Kin චිත්‍රපටය බේකර් සොයුරන්ගේ පළමු වෘත්තාන්ත සිනමා නිර්මාණය යි. මෙහි තිර පිටපත රචනා කර තිබෙන්නේ, ඩැනියෙල් කේසී විසිනි.

ජිමී සහ අප්‍රිකානු - අමෙරිකානු සම්භවයක් සහිත ඔහුගේ හදාගත් සොහොයුරා එලිජා ඉතා බලගතු අවියක් සමඟින් පැන යන්නේ තමන් පසුපස ලුහුබඳීන අපරාධකරුවෙක් සහ ඔහුගේ දරුණු හමුදාවෙන් ගැලවීම වෙනුවෙන්.

ජිමී සහ එලිජා සතු එකම ආරක්ෂිත මෙවලම වන්නේ ද පෙර කී බලගතු අවිය පමණයි. මෙම අවිය කුමක් ද? අපරාධකරු ඔවුන් පසු ලුහුබඳීන්නේ ඒ හේතුවෙන් ද? එසේ නම් එම අවිය ඔවුන් සතුකර ගැනීමේ අරමුණ කුමක් ද? යන්න දැක ගත හැකි වන්නේ Kin චිත්‍රපටය නැරඹීමෙනි.

අමෙරිකානු විද්‍යාප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Kin හි මයිලිස් ටෘයිට්, ජැක් රේනර්, සූ ක්‍රෙවෙට්ස්, කේරී කූන්, ඩෙනිස් ක්විඩ්, ජේම්ස් ෆ්‍රැන්කෝ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. ලයන්ස්ගේට් විසින් බෙදාහරින Kin චිත්‍රපටය පසුගිය අගෝස්තු 31 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ඇරඹි අතර එය මේ වන විට IMDb දර්ශකයේ ප්‍රතිචාර 5.7/10ක් ලබා ගෙන තිබේ. රොටෙන් ටොමැටෝස්හි විචාරක මනාපය හිමි වී තිබෙන්නේ 34%ක් ලෙසිනි.

මෙම චිත්‍රපටය හදවත තැති ගන්වන ආකාරයේ බෙහෙවින් ත්‍රාසජනක චිත්‍රපටයක් බව ඇතැම් විචාරකයෙකුගේ මතය යි. බහුතරයක් ලෙසින් යහපත් විචාරක පැසසුම් නම් මෙයට හිමි වී නොමැති බව හැඟි යන්නක්.

මෙම චිත්‍රපටයේ කොටසක් පවුලේ චිත්‍රපටයක් ලෙසත් අනෙක් කොටස විද්‍යාප්‍රබන්ධ ගවේශණාත්මක චිත්‍රපටයක් ලෙසත් කොටස් දෙකක් අතරේ දෝලනය වෙමින් තම අනන්‍යතාව සොයන චිත්‍රපටයක් සේ හැඟෙන බව තවත් අයෙකුගේ අදහසයි. කෙසේ නමුත් මෙය රූපවාහිනි කතාමාලාවක පළමු කොටසකට නම් වඩාත් උචිත වන සේ හැඟෙන බවත් විචාරක අදහස් අතර වේ.