වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




අශෝක හඳගමගේ Music Video

අශෝක හඳගමගේ Music Video

ඉන්දිකා උපමාලිගේ ගායනය චිත්‍රාල් සෝමපාලගේ සංගීතය

අශෝක හඳගමගේ පද මාලාවකට අනුව නිර්මාණ වූ මම දෝංකරයි ගීතයේ මියුසික් විඩියෝව ඉකුත් දා එළිදැක්වුණා. චිත්‍රාල් සෝමපාල මෙම ගීතයේ සංගීත නිර්මාණය කොට ඇති අතර හඬ මුසු කළේ ඉන්දිකා උපාමාලි විසිනි. පැරැණි ගී‍්‍රක ලතින් මිථ්‍යා කතා චරිත යුවළක් වන නාසියස් සහ එකෝ ඇසුරෙන් නිර්මාණය වූ මෙම වර්තමාන සමාජයේ කියවීමේ කැඩපතක් ලෙස අශෝක හඳගම හඳුන්වා දෙනවා. විඩියෝව හා අධ්‍යක්ෂණය ද හඳගමගෙන්.

වන්න දේශපි‍්‍රය කැමරා අධ්‍යක්ෂණය කොට තිබේ. උපුල් චමිල බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා.


අමනාප කිමැයි

චිත්‍රපට ප්‍රදර්ශනයේ ඇති අර්බුද එලෙසමයි. ඒවා කවදා නිමා වෙයිද දන්නේ නැහැ. මේ තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත් වන්නේ තරුණ සිනමාකරුවන්. ප්‍රදර්ශකයින් එකිනෙකාට බෝලෙ පාස් කර ගැනීම නිසා නවක අධ්‍යක්ෂවරුන් තවත් අපහසුතාවයටත් හිත් අමනාපයටත් පත් පත් වුණා. මෙහෙම දෙදෙනෙක් අපට හමු වුුණා. ඉන් එක් අයෙක් ප්‍රසන්න ජයකොඩි අනෙක් කෙනා ශමීර රංගන නාඔටුන්න.

ප්‍රසන්න කියලා කියන්නේ අපට සිටින සම්මානනීය විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක්. ඔහු තමයි ඉකුත් සරසවිය සම්මාන උලෙළේ 2017 වසරේ හොඳම අධ්‍යක්ෂවරයා. ශමීරත් එවැනිම කෙනෙක්. ප්‍රසන්නගේ පසු පරපුර නියෝජනය කරන ඔහුගේ මෝටර් බයිසිකල් චිත්‍රපටය සරසවිය උලෙළේම 2016 හොඳම චිත්‍රපටය වුණා. මෙවන් වූ සම්මානිත දෙදෙනෙක් ටික කලක් අමනාපව හිටියා. එයට හේතුව වුණේ. තිරගතවීමේ පාර්ශවයෙන් ප්‍රසන්නටයි ශමීරටයි බෝලෙ පාස් කර කර හිටපු නිසා. කොහොම හරි දෙදෙනාටම සම්මාන හිමි වුණා. අවුරුදු දෙකකට දෙන්නාගේ චිත්‍රපටත් තිරගත වුණා. ඉකුත් දිනයකදී මේ අධ්‍යක්ෂවරුන් මිත්‍ර වුණා. ඒක වුණෙත් සරසවිය නිසා. ප්‍රසන්නවයි ශමීරවයි රැගෙන අපි ගියා මොනරාගල. ලේක්හවුස් කුටියේ පැවැත්වුණු සිනමා වැඩමුළුවට. දෙදෙනාට එහිදී කතා කරද්දි අර අමනාපය ගැන හෙළිවුණා. කතාවෙන්ම එය දුරුවුණා. අවසනදි දෙන්නම පරණ ලෙසටම මිත්‍ර වුණේ සරසවියට ද තුති පුදමින්.


ප්‍රවීණ ලෝක මලල ක්‍රීඩා උළෙලට ගායකයෙක්

මේ දිනවල ස්පාඤ්ඤයේ මලගා නුවර පැවැත්වීමට නියමිත ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට ප්‍රවීණ ගායන ශිල්පි රන්ජන් ජයතිලක මහතා ද තේරී පත් වී ඇති බව දැනගන්නට ලැබුණා.

පසුගිය මස සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත් වූ ප්‍රවිණයන්ගේ 5 වන මලල ක්‍රීඩා උලෙළේ අවසන් තේරීම් තරගයේදී තරග ඉසව් දෙකක් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වුණා.

රන්ජන් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ ආරම්භක සාමාජිකයකු වන අතර වසර ගණනාවක සිට එහි ගිණුම් පරීක්ෂක තනතුර ද හොබවනවා.

ඔහුගේ ඇතැම් ගී ගායනා වසර 50 ද ඉක්මවා ඇති අතර ආචාර්ය වික්ටර් රත්නායක සමඟ ගැයූ 'රුවන් නිදන හෙළබිමයි'. විශාරද සුජාතා අත්තනායක සමඟ ගැයු 'බුදුන් දැක නිවන් දකිනු පිය සොඳුර', 'පොල් කට්ටට වතුර අරං මූණ සෝදලා', 'සිතක පෙම්බර සිතිවිලි', 'අරලිය මල් සමන් මල්', 'සමන්ගිරට සීත හිමේ' 'පොලිස් රාළහාමි' වැනි ගීතයන් ප්‍රෙක්ෂක ජනතාව ඉතා ඉහළින් වැළඳ ගත් ගීත බවට පත් වුණා. ලෝක මලල ක්‍රීඩා උලෙළකට සහභාගි වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායන ශිල්පියා වන්නේ ද රන්ජන්ය.


ශි‍්‍රයාපාලගේ කැපකරු මාපිය

කලාභූෂණ ඊ. ඩී ශ්‍රියාපාලට අලුත් අදහසක් පහළ වෙලා. නිරන්තරයෙන් අලුත් අදහස් එන නිසාම ඔහු ඒවා සටහන් කොට සරසවියට ගෙනත් දෙනවා. මෙවර ද ශ්‍රියාපාල එහෙම කළා. ඔහුට තියෙනවා ශ්‍රී නාට්‍ය රංග කවය කියලා සංගමයක්. එමඟින් කැපකරු අරමුදලක් රැස්කොට අසරණ කලාකරුවන්ට පිහිට වන්නයි ශ්‍රියාපාලගේ අදහස. එවන් වූ අසරණභාවයට පත් වූවන්ට මාසික බෙහෙත් වට්ටෝරු අරගෙන දීම, පොහොය සිල් බරපැන දැරීම ආදී කටයුතු රැසක් මෙමඟින් සිදු කිරීමට ශ්‍රියාපාලගේ අරමුණයි. මේ පිළිබඳ වැඩි විස්තර 0719915271 යන අංකයට කතාකොට ශ්‍රියාපාල අමතා වැඩි විස්තර දැනගැනීමට පුළුවන්.