වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන පිරිනමන ආකාරය විවේචනය කරන්න මම සූදානම් නෑ

සම්මාන පිරිනමන ආකාරය විවේචනය කරන්න මම සූදානම් නෑ

මහරාජා එන්ටර්ටේන්මන්ට් සහ එම්. ටී. වී චැනල් ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල්

අපේ සිනමාව කඩා වැටිලා තියෙන මොහොතක ධර්ම යුද්ධය, පත්තිනි, ගෝල්, යශෝධරා වගේ චිත්‍රපට මේ කර්මාන්තය නඟා සිටුවන්න ගත් උත්සාහය අපි මීට වඩා මෙවැනි සම්මාන උලෙළකදී අගය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.

ජනප්‍රියම චිත්‍රපටය ලෙස එක් වර්ෂයකදී සරසවිය සම්මානය දිනාගන්නා පුද්ගලයා හෝ චිත්‍රපට සමාගම තවත් වර්ෂයකදී හොඳම චිත්‍රපටය නිෂ්පාදනය වෙනුවෙන් ද සම්මාන ලැබීමේ විරල සිදුවීමක් මෙවර සම්මාන උලෙළේදී දක්නට ලැබිණි. එකම චිත්‍රපට සමාගමක චිත්‍රපට දෙකක් විවිධ ඉසවු ඔස්සේ සම්මානනීය වීමේ විරල අවස්ථාව මෙවර හිමි කර ගනු ලැබුවේ මහරාජා එන්ටර්ටේට්මන්ට්ය. ඒ 2016 වසරේ තිරගත වූ චිත්‍රපට අතුරෙන් හොඳම චිත්‍රපටය වූ මෝටර් බයිසිකල් හා 2017 වසරේ ජනප්‍රියම චිත්‍රපටය වූ ධර්ම යුද්ධය නිෂ්පාදනය වෙනුවෙනි. ඒ නිමිත්තෙන් මහරාජා එන්ටර්ටේන්මන්ට් සමාගම සහ එම්. ටී. වී චැනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් හා කෙරෙන කතාබහකි මේ.

ඔබ ආයතනය මඟින් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් බයිසිකල් චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙසත් ධර්ම යුද්ධය චිත්‍රපටය ජනප්‍රිය චිත්‍රපටය ලෙසත් වසර දෙකේදීම සරසවිය සම්මානයට පාත්‍ර වෙනවා. මේ ගැන ඔබේ අදහස?

ඇත්තෙන්ම අපේ මහරාජා එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන්ම තියෙන්නේ ලොකු සතුටක්. විශේෂයෙන්ම ධර්ම යුද්ධය චිත්‍රපටය මෑත කාලයේ අපේ සිනමාව තුළ ලොකු ප්‍රබෝධයක් ඇති කළ චිත්‍රපටයක් වගේම සිනමාව තුළ ලොකු වෙනසක් ඇති කළ චිත්‍රපටයක් වුණා. මේ චිත්‍රපටය අපි තිරගත කළේ සී. ඊ. එල්. මණ්ඩලයේ. මේ මණ්ඩලයේ සිනමා ශාලා මම හිතන විදියට ඉතිහාසයේ මෙතරම් විශාල ආදායමක් ඔවුන් ලබල තිබුණේ නෑ. මේ මණ්ඩලයේ සිනමා ශාලා පවත්වාගෙන යන්නත් බැරි අවස්ථාවක තමයි ධර්ම යුද්ධය අපි රිලීස් කළේ. මෙයින් සිනමා ශාලා හිමියන් ලැබූ ආදායමෙන් ඔවුන් හෝල් අලුත්වැඩියා කළා. නවීන උපකරණ හයි කළා. විශාල පරිවර්තනයක් කර්මාන්තයක් විදියට සිනමාව තුළ ඇති කරන්න අපේ ධර්ම යුද්ධයට හැකි වුණා. මේක අපේම නිෂ්පාදනයක් ලෙසින් තමයි කළේ. අපේ අනිත් චිත්‍රපටය තරුණ සිනමාකරුවකු වූ ශමීර රංගන නාඔටුන්න තමයි මෝටර් බයිසිකල් නිර්මාණය කරලා අපි වෙත රැගෙන ආවේ. අපි එහි මුල් නිෂ්පාදකට එයාගේ නම පවා තියාගන්න අවසර දුන්නා. අපි කළේ ඇත්තටම එහි බෙදා හැරීමේ මූල්‍යමය දායකත්වය ලබාදීම පමණයි. චිත්‍රපටයේ හිමිකාරිත්වය අපි සතුයි. ඒත් අපි එහි මුල් නිෂ්පාදකට හානියක් වෙන්න තිබ්බේ නෑ. ඔහුට ඒ ගෞරවය අපි නිසි ලෙස ලබා දුන්නා. චිත්‍රපටය හදන කෙට එහි මුල් නිෂ්පාදක මුදල් යෙදුවත් චිත්‍රපටයේ පසුකාලීන කටයුතුවලට මුදල් යෙද වූයේ අපි. නමුත් අපි සම නිෂ්පාදකයන් නොවී නිෂ්පාදක කියන කර්තෘත්වය ඔහුට ලබා දුන්නා.

ධර්ම යුද්ධය හරහා ලොකු ආන්දෝලනයක් ඇති කරන මහරාජා එන්ටර්ටේන්මන්ට් ඈත අතීතයේ පටන් සිනමාව හා අත්වැල් බැඳගෙන නේද ඉන්නේ?

ඔව්. අපි අසූව දශකයේ පටන් සිනමාව හා අතවැල් බැඳගත් ආයතනයක්. ඒ තී චිත්‍රපටය ඉන්දියාව හා හවුල්ව නිෂ්පාදනය කරමින්. ඊට පස්සේ දිගු නිහඬතාවයකින් පස්සේ 2008 දී විතර අපි ඩාන්සින් ස්ටාර් චිත්‍රපටය හැදුවා. ඊට පස්සේ අවුරුදු අටක විතර නිහඬතාවයකින් පස්සේ අපි මහා පරිමාණයෙන් කර්මාන්තය හා අත්වැල් බැඳ ගන්න කොට අපිට හොඳ අත්දැකීමක් ලබා දුන්නා. මෝටර් බයිසිකල් චිත්‍රපටය අරගෙන කඩා වැටිලා තියෙන සිනමා කර්මාන්තය තුළ චිත්‍රපටයක් දුවවන්නේ කොහොමද කියන අත්දැකීම මෝටර් බයිසිකල් අපිට පහදලා දුන්නා. ඒ චිත්‍රපටයේ නිර්මාණශිලීත්වයට ඇගැයීමක් ලබා දෙමින් සම්මානනීය කරවීම ගැන අපි බෙහෙවින් සතුටට පත් වෙනවා.

මේ දිනවල ඔබගේ නවතම සිනමා නිෂ්පාදනය වූ ගෝල් අති සාර්ථක ගමනක් යනවා?

චිත්‍රපටය තිරගත කරලා මාසයක්වත් තව ගෙවිලා නෑ. කියන්න සතුටුයි අපි තිරගත කරන සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලා හිමියන් කියන්නේ ධර්ම යුද්දෙන් පස්සේ එයාලා හොයන වැඩිම ආදායම අපේ ගෝල් චිත්‍රපටය නිසා කියලයි.

උදුම්බරා හා තාල චිත්‍රපට දෙකත් මේ වසරේම තිරගත කරන්නද සැලසුම?

බොහෝ විට එහෙම වෙයි. සිනමා ශාලාවල දැනට තිරගත වන චිත්‍රපට අනුව තමයි ඒක තීරණය වෙන්නේ.

අද සිනමා කර්මාන්තයේ චිත්‍රපට නිර්මාණය වුණත් දුවන්නේ නැහැ කියන චෝදනාව තියෙනවා නේද?

හැමෝම හිතන්නේ තමන් චිත්‍රපටයක් කළාම හෝල් එකක දාලා තමන් කැමැති කාලයක් දුවවන්න. මිනිස්සු සිනමා ශාලාවලට එන්නේ නැති වුණාම සිනමා ශාලා පත්වන අපහසුතාවය ගැන ඔය කවුරුවත් හිතන්නේ නැහැ. සිනමා ශාලාවක් පවත්වාගෙන යන්න අවම වශයෙන් මාසයක ආදායම රුපියල් ලක්ෂ පහක්වත් තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් ශාලා හිමියන් තමන්ගේ සිනමා ශාලාව ගෙනි යන්න බැරිව විශාල අපහසුතාවයකට පත් වෙනවා. ආදායම මාසෙට ලක්ෂයක් දෙකක් හොයන්න වුණොත් මේ වගේ තත්ත්වයක් තුළ අපි ජාත්‍යන්තර සම්මාන ගත්ත කියල චිත්‍රපට කරල වැඩක් නැහැ. චිත්‍රපට ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආකර්ෂණය කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මිනිස්සු ටිකට් එකක් අරන් චිත්‍රපටයක් බලන්න එන්නේ. විදේශීය සම්මාන උලෙළකට තියන්න චිත්‍රපටයක් හදල එහෙ සම්මාන ගත්ත කියලා ඇවිත් කියනවා ලංකාවේ අය මේක බලාපල්ලා කියලා. එහෙම චිත්‍රපට බලන්න ප්‍රෙක්ෂකයා සූදානම් නැහැ සල්ලි ගෙවලා.

ලෝකයේ විවිධ වූ භාෂාවන්ගෙන් නිර්මාණය වූ ධර්ම යුද්ධය චිත්‍රපටයට නිසි ඇගැයීමක් මෙවර තිස් හතර වන සරසවිය සම්මාන උලෙළින් ලැබුණා කියා ඔබ හිතනවාද? නැද්ද?

මම කිසිම සම්මාන උලෙළක සම්මාන පිරිනමන ආකාරය විවේචනය කරන්න සූදානම් නැහැ. ධර්ම යුද්ධය චිත්‍රපටය 2017 වසරේ ජනප්‍රියම චිත්‍රපටය විදියට සම්මානයෙන් ඇගැයීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. ජැක්සන් ඇන්තනී ගැන මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ වගේම කුමාර තිරිමාදුර අනෙකුත් රංගන ශිල්පීන්ගෙනුත් රංගනය මීට වැඩිය ඇගැයීමකට ලක් වූවා නම් මම මීට වඩා සතුටට පත් වෙනවා. ඒකෙන් මම කියන්නේ නැහැ අනෙක් සම්මාන දීම ගැන මගේ විරෝධතාවක් අකමැත්තක් තියෙනවා කියලා. මම පෞද්ගලිකව සතුටු වෙනවා මේවා තව ඇගැයීමකට ලක් වුණා නම් හොඳයි කියලා.

ගරා වැටෙන සිනමාවක් ගැන කතාකරන වටපිටාවක් තුළ විශාල ආයෝජනයක් සිනමාව වෙනුවෙන් යොදවන්න බියක් නැද්ද?

සිනමාව වෙනුවෙන් සල්ලි යොදවන්න ඇත්තෙන්ම බියක් තියෙනවා. ඒත් රටක් ඉස්සරහට යන්න නම් හොඳ සිනමාවක් තිබිය යුතුයි කියන තැන අපි ඉන්නවා. අපි ගොඩක් ව්‍යාපාර එකතුවක් එක්ක යන ගමනක් අපිට තියෙනවා. එහෙම තියෙද්දී සිනමාවට මුදල් ආයෝජනය කරනවා කියන්නේ අතිශයින්ම අවදානම් කටයුත්තක්. අපේ සභාපතිතුමාට පුදුම ආශාවක් තියෙනවා සිනමා කර්මාන්තය ගැන. එතුමාගේ තියෙන ආශාව කැමැත්ත තමයි මේ අවදානම් සහගත ගමනට ආයෝජන හයක් එක් කරලන්නේ.

සරසවිය සම්මාන උලෙළ ඉතිහාසයේ ඊ. ඒ. පී. මණ්ඩලය ලබා සිටි අභිමානයක් 34 වන සරසවිය සම්මාන උලෙළේදී ඒ හා බද්ධ වෙනවා?

සරසවිය සම්මාන උලෙළකදී ඉර මැදියම චිත්‍රපටය හා රෝස වසන්තය චිත්‍රපට හොඳම චිත්‍රපටය හා ජනප්‍රිය චිත්‍රපටය ලෙස සරසවිය සම්මාන දිනාගෙන තිබූ බව ඇත්ත. ඒ තැන අපි මෙවර මෝටර් බයිසිකල් හා ධර්ම යුද්ධය චිත්‍රපට දෙක වෙනුවෙන් ලබා ගත්තා. ඒ ගැන නිහතමානී අභිමානයක් අපිටත් තියෙනවා. සම්මාන උලෙළ සිනමා කර්මාන්තය තුළ තිබිය යුතුයි කියන තැන මම ඉන්නවා. එහෙම වුණොත් තමයි නිර්මාණකරුවන් දිරි ගැන්වෙන්නේ. නිෂ්පාදකයෙක් විදියට අපි බලාපොරොත්තු වෙන්නේ අපේ නිෂ්පාදනවලට සාධාරණ අගැයීමක්. සිනමා කර්මාන්තය තුළ විශේෂයෙන් සරසවිය සම්මාන උලෙළ කියන්නේ මේ රටේ සම්මාන උලෙළවල මුදුන් මල්කඩ. එතකොට සරසවිය සම්මාන උලෙළේ සම්මානයක් ලැබෙන එක මහ ලොකු දිරිගැන්වීමක් වෙනවා. නිර්මාණකරුවන්ට ඒ දිරිගැන්වීම අත්‍යාවශ්‍යයි. අපේ පරමාර්ථය ප්‍රේක්ෂකයා වැඩි වශයෙන් සිනමා ශාලා වෙත ගෙන ඒම මිසක් සම්මාන බලාපොරොත්තුව චිත්‍රපට කිරීම නම් නොවෙයි.

නිර්මාණකරුවන් හොඳ චිත්‍රපට කළත් ඒවා පෙන්නගන්න ප්‍රචාරණයක් නැහැ කියලා චෝදනා කරන කොට ඔබලාට ඒ අතින් ප්‍රචාරණ පහසුකම් ඉහටත් උඩින්?

පැහැදිලව චිත්‍රපටයේ අන්තර්ගතය හොඳ නැතිනම් ඔහොම නෙමේ කොහොම පබ්ලිසිටි දුන්නත් වැඩක් නැහැ. චිත්‍රපටය මිනිස්සු අතරට යන්නේ නැත්නම් චිත්‍රපටයේ අන්තර්ගතය ජනතාව අතරට රැගෙන යා හැක්කක් විය යුතුමයි. කවුරු හරි කියනවා නම් පබ්ලිසිටිවලින් ෆිල්ම් දුවන්න පුළුවන් කියලා ඒක මුළාවක්. චිත්‍රපටයක සාර්ථකත්වයට අනිවාර්යයෙන්ම චිත්‍රපටය ගුණාත්මකව හොඳ වෙන්න ඕනෑ. අපේ පරම මුලික පරමාර්ථය තමයි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට හොඳ චිත්‍රපටයක් ලබාදීම. සිංහල චිත්‍රපටයක් හදල ලංකාවේ හරියට පෙන්න ගන්න බැරි නම් ලංකාවේ ලක්ෂ පහක් චිත්‍රපටය බලන් නැත්නම් එහෙම චිත්‍රපට හදල ඇති වැඩේ මොකක්ද. විසි දහසකට තිස් දහසකට චිත්‍රපට හදලා බලෙන් පෙන්නල වැඩක් තියෙනවාද?