වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ජාතික නාළිකාවෙන් ගැලවෙන්නෙ නැතිව ඉන්න උත්සාහ කරනවා

ජාතික නාළිකාවෙන් ගැලවෙන්නෙ නැතිව ඉන්න උත්සාහ කරනවා

Chaminda Gunarathna

ප්‍රධාන ප්‍රවෘත්ති කියන්නට පටන් අරන් දැනට අවුරුදු දොළහයි.

පැනයක් අසන්නට ප්‍රථම චමින්ද ගුණරත්න එසේ කීවේය. සැබැවින්ම මා අසන්නට සිටියේද එම කාරණාවමය.

* මේ කාලය අතරතුරදී කොච්චර සම්මාන අරගෙන තියෙනවාද?

ප්‍රධාන පෙළේ සම්මාන උලෙළවලින් සම්මාන නවයක් මට හිමි වෙලා තියෙනවා.

* ඒ ගැන මතක් කරද්දී සතුටක් හැර වෙන මොනවා හිතෙන්නද?

ඒක තමයි. ඒත් මං මේ දිනවල යම් කලකිරීමකින් ඉන්නේ.

* ඒ මොකද?

අනාගතය අනපේක්ෂිත නිසා.

* අනපේක්ෂිතයි කිව්වේ?

බොහොම පරිස්සමින් උත්තරයක් දෙන්න ඕන ප්‍රශ්නයක්. මෙහෙමයි මං මේ දිනවල කලකිරීමේ උපරිම කාලය ගත කරනවා. එහෙම වෙන්නෙ සුදුස්සාට සුදුසු තැන නැති හින්දා. මං මේ තැනට ආවෙ හැකියාව පෙන්වලා. ඒ හැකියාවටයි මේ තැන ලැබුණේ. ඒ හින්දා අකටයුතුකම් වෙද්දි කලකිරෙනවා වැඩියි.

* සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වෙන කොට ඔබ මොකද කරන්නේ?

මොන දේ වුණත් හිනාවෙලා ප්‍රසන්නව ප්‍රවෘත්ති කියන්න ඕනේ. ඒක මගේ වෘත්තියනේ. කලකිරීම්වලට හේතු ඵල බලලා උපේක්ෂාවෙන් ඊට මුහුණ දෙනවා.

* අද ඔබ සිටින තැන ගැන කියන්නට වචනයක් ඇති?

හුඟක් තෘප්තිමත්. මං ගමක කොල්ලෙක්. ගැමිකම නිසාම මුල් යුගයේ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. සියලු දේ විඳ දරාගෙන ඉදිරියටම ආවා.

* මුල් යුගයේ පූර්වාදර්ශ කර ගත්තේ කාවද?

තිස්ස ජයවර්ධනට බෙහෙවින් ප්‍රිය කළා. ඔහුගේ හඬ ගුවන් විදුලිය ඔස්සේ ඇසුණාම මට හිතුණේ හරි උස මහත දේහධාරී කෙනෙක් කියලා. එහෙම නැහැ. ඔහුගේ හඬ ඔස්සේ මාව කොතරම් විස්මයට පත් කළාද කියලා හිතුණා. එකම එක වාතවක් ගුවන් විදුලියේ කොරිඩෝවේදී එතුමාව මුණගැහිලා තියෙනවා.

* ප්‍රවෘත්ති නිවේදනය ඉගෙන ගන්න හරි තැනක් තියෙනවද ලංකාවේ?

නැහැ. වෙන අයවලුන් පූර්වාදර්ශයට ගෙන අත්දැකීම් ඔස්සේ ඉදිරියට යෑමක් තමයි තියෙන්නේ. මටත් ඒ අත්දැකීම පොදුයි.

* අද පරපුරේ අයගේ අඩුපාඩු ගොඩක් තියෙන්නේ මේ නිසාද?

නැහැ. ඉගෙන ගන්න කෙනා කොහොමත් ඉගෙන ගන්නවා. මෙතෙන්දි වෙලා තියෙන්නේ වෙන ගැටලුවක්. බොහෝ දෙනෙකු හුදෙක් කියවනවා පමණයි. ඒක හරියට තමන් පොතක් කියනවා වගෙයි. පොතක් කියවද්දී ඒක දැනෙන්නේ තමාටනෙ. ඒත් ප්‍රවෘත්ති එහෙම නැහැ. ප්‍රවෘත්ති කියන්නේ අනුන්ට අහන කෙනාට විශ්වාසවන්ත අන්දමෙන් එය ඉදිරිපත් කළ යුතු වෙනවා. එතකොටයි නියම ප්‍රවෘත්ති නිවේදකයා වන්නේ.

* ප්‍රධාන නාළිකා කීයකින් විතර මේ වන විට ඔබට ඇරැයුම් කොට තියෙනවාද?

ප්‍රධාන නාළිකා සියල්ලන්ගෙම පාහේ මට කතා කරලා තියෙනවා. හොඳ තනතුරුවලට ඉහළ වැටුප් දෙන්නම් කියලයි ඔවුන් කතා කරන්නේ. ඒත් ඒ ආරාධනා සියල්ල පාහේ මං ප්‍රතික්ෂේප කළා.

* ඒ කියන්නේ චමින්ද ගුණරත්නව ජාතික නාළිකාවෙන් ගලවන්න බැහැ?

ගැලවෙන නොගැලවෙන එක මට තීරණය කරන්න බෑ. ඒ නිසා ගැලවෙන්නෙ නැතුව ඉන්නවා.

* ප්‍රවෘත්ති නිවේදන ජීවිතයේ වඩාත් අවදානමකින් යුතුව ප්‍රවෘත්ති කිව්වෙ කවදාද?

රත්මලානේ බෝම්බයක් පිපුරුණු දවස මතකද. අන්න එදා අප ප්‍රවෘත්ති අංශයට ලැබුණේ වැරැදි තොරතුරු. එක්තරා අමාත්‍යවරයකු තමයි අපට ඒ විස්තර දුන්නේ. ඒවා වැරැදි තොරතුරු කියලා දන්නෙ නැතුව මං කිව්වා. ඊට පසුවයි අප දන්නේ ඒවා වැරැදියි කියලා. අපට ඒ වෙලාවේ ඉඳලා ඒ කියූ ප්‍රවෘත්තිය නිවැරැදි කරන්න කියලා බලපෑම් ආවා. මට ඒ මොහොතේ අපට වැරැදි තොරතුරු දුන් ඇමැතිවරයාගේ නම කියන්නත් බැහැ. හරිම අවදානමින් ඉතාම සූක්ෂමව එදා වැරැද්ද නිවැරැදි කළා.

* ඔබේ පුංචි පවුලේ විස්තරයි අවසන් කොට මං අහන්නේ?

මගේ බිරිය ඉනෝකා හර්ෂනී. ඇය රජයේ සහකාර රස පරීක්ෂකවරියක්. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුවට අවුරුදු හතයි. පුතාට අවුරුදු තුනයි.